වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා


 

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මදු හා උඟුල් ඇටවීම සිදු වේ. වන සතුන් ඇල්ලීම සඳහා මදු ඇටවීම අතින් උඩරට වතුකරයට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයකි. වන සතුන් ඉලක්ක කර ගනිමින් මෙසේ අටවන මදු හා විවිධ උඟුල්වලට නිරන්තරයෙන් වනසතුන්ට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික ශ්‍රී ලංකා කඳුකර කොටියන් අසුවීම මෙහි ඇති අසුන්දරම කතා පුවත වේ.   


උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ බහුලව කම්බි මදු ඇටවීම සිදු වෙමින් පවතී. එහි ගැටෙන කඳුකර ගෝනුන්, වැලි මුවන්, වල් උෟරන් හා වෙනත් සතුන් ප්‍රමාණය වසරකට මෙතෙක්ය යැයි කිව නොහැකි තරම්ය. සෑම වසරක් තුළදීම එම සතුන්ට අමතරව කඳුකර කොටියන් පස් හය දෙනෙකු මදුවලට හසුව උඩරට වතුකරය හා ඒ ආශ්‍රිතව මියයාම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.  


කඳුකර කොටියෙකු මදුවකට හසුව මියයාමේ සිදුවීමක් ඉකුත් මාර්තු මස 31 දින වාර්තා විය. ඒ ආගරපතන පොලිස් බල ප්‍රදේශයට අයත් බෝපත්තලාව, මැණික්පාලම ප්‍රදේශයේ දී ඉකුත් මාර්තු මස 24 දින මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා සිටිය දී වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කඳුකර කොටියාය. කම්බි මදුව ගැට ගසන ලද මුගුරත් ඇදගෙන විශාල දුරක් යාම හේතුවෙන් මෙම කඳුකර කොටියාගේ පපු ප්‍රදේශය කම්බි මදුවට කැපී දැඩි ලෙස තුවාල වී පැවැතිණි. වනජීවි නිලධාරීන් මෙම කඳුකර කොටියා නිර්වින්දනය කොට ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන ගිය අතර එහිදී දින අටක පමණ කාලයක් පශුවෛද්‍ය නිලධාරීන්ගේ හා වනජීවි නිලධාරීන්ගේ දැඩි අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලැබූ එම සතා ඉතාමත් අවාසනාවන්ත ලෙස මරණයට පත්විය. වයස අවුරුදු අටක පමණ වන දැඩි දේහධාරී නීරෝගීමත් මෙම කඳුකර කොටියා ඉතාමත් දැකුම්කළු රූපයකින් හෙබි සතෙකු බව වනජීවි නිලධාරීහු පවසති.


ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දැකිය හැකි විලෝපීය ක්‍ෂීරපායි සතෙකි. දැනට ලොව සිටින කොටි විශේෂ අටෙන් එක උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා කොටියා නම් කොට ඇත. මොවුන් සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා (Panther Pardus Kotiya) යනුවෙන් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා කොටියා මෙරට තර්ජනයට ලක්ව වඳවී යමින් පවතින සත්ත්ව විශේෂයකි.
උඩරට වතුකරයේ බොහෝ පිරිස් මෙලෙස මදු අටවන්නේ තම වගා බිම් වන සතුන්ගෙන් ආරක්‍ෂා කිරීමටය. ඊට අමතරව වන සතුන් මරා මස් විකිණීම පිණිස තවත් ඇතැම් පිරිසක් මෙසේ මදු හා උඟුල් අටවති. ඒ අතර තවත් අතලොස්ස පිරිසක් කඳුකර කොටියන් හා හඳුන් දිවියන් ඉලක්ක කර ගනිමින්ම මදු හා උගුල් අටවති.


මෙරට ඉතාමත් දුර්ලභ සතෙකු ලෙස හඳුනාගෙන සිටි කළු කොටියා ද මදුවකට හසුව අවාසනාවන්ත ලෙස මරණයට පත් වූයේ උඩරට කඳුකරයේදීය. පසුගිය වසර කීපය තුළ දී කඳුකර කොටියන් රැසක් මදුවලට හසුවීමත් සමග උඩරට වතුකරය තුළ කඳුකර කොටියන් බේරා ගැනීමේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම අතිශය සතුට දනවන කටයුත්තකි. උඩරට වතුකරයේ අටවා තිබෙන මදු හා වෙනත් සත්ත්ව මර උගුල් ගැලවීම, වතු නිලධාරීන්, වතු කම්කරුවන් ඇතුළු එම ප්‍රදේශවල ගම් වැසියන් දැනුවත් කිරීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. කිසියම් කාලයක් ගත වී හෝ මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීම සතුටට කරුණකි.  


බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේදී කඳුකර කොටියා මදුවට හසුවීමත් සමඟ එම ප්‍රදේශයේ රක්‍ෂිතයන් ආශ්‍රිතව වන සතුන් හා කඳුකර කොටියන් ඉලක්ක කර ගනිමින් අවටා තිබු මදු හා මර උඟුල් ගැලවීමට නුවරඑළිය, හග්ගල අඩවි ආරක්‍ෂක වනජීවි කාර්යාලයේ නිලධාරීන් පියවර ගනු ලැබීය. දින තුනක පමණ ඉතාමත් වෙහෙසකර කටයුත්තකින් පසුව එම ප්‍රදේශවල අටවා තිබූ කම්බි මදු සියයකට අධික ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට ඔවුන්ට හැකි විය. ඊට අමතරව ඉකුත් වසරේ වනජීවී නිලධාරීන් විසින් පුස්සැල්ලාව, සොගමා තේ වතුයායේ පමණක් අටවා තිබූ කම්බි මදු 50කට අධික ප්‍රමාණයක් හා විවිධ සත්ත්ව මර උඟුල් රාශියක් එක දිනයක දී ගලවා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඉකුත් වසරේ පුස්සැල්ලාව, හෙල්බොඩ වතුයායේ අටවා තිබු මදුවලට කඳුකර කොටියන් දෙදෙනෙකු එකම දිනක එකම ස්ථානයේ හසු වූ අතර, ඉන් එක කොටියෙකු මිය ගොස් සිටි අතර, අමානුෂික වධ වේදනා විඳ ජීවිතයත් මරණයත් අතර පසු වූ අනෙක් කොටියාගේ පණ ගලවා ගැනීමට වනජීවි නිලධාරීන්ට හා පශු වෛද්‍යවරුන්ට හැකිවිය.  


කොටි හා මිනිසුන් අතර ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වනජීවි දෙපාර්තමේන්තුව විශේෂ කරුණු කීපයක් කෙරෙහි මේ වෙන විට අවධානය යොමු කොට තිබීම කාලීන වැදගත් ක්‍රියාවක් ලෙස සැලැකිය හැක. ඒ අනුව බහුල වශයෙන් කඳුකර කොටියන් අනතුරට හෝ මරණයට පත්වෙන ප්‍රදේශවලට වැඩි ප්‍රමුඛතාවයක් ගෙන දෙමින් වතු ජනතාව හා වතු නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම සිරිපා අඩවියේ මෙන්ම පුස්සැල්ලාව, කඳපොළ, ආගරපතන ආදී වතුකරයේ එවැනි දැනුම්ත් කිරීම් පසුගිය වසරේ සිදු කොට තිබේ. එසේම මෙම වැඩසටහන උඩරට වතුකරයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි වරින්වර අඛණ්ඩව සිදුකර ගෙන යාම කාලෝචිත බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙති.  


වන සතුන් හා කොටියන් ඇල්ලීම සඳහා මදු හා උඟුල් ඇටවීම හා වෙනත් උපක්‍රම භාවිත කරනු ලබන ප්‍රදේශයන්ගේ මදු හා උඟුල් ගලවා ඉවත් කිරීමේ වැඩ සටහනක්ද වනජීවි  සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වෙන විට ක්‍රියාත්මක කරමින් පවතී. එය ද ඉතාමත් කාලෝචිත මෙන්ම සිදුවිය යුතුම කරුණක් ලෙස දැක්විය හැක. එහෙත් මෙම කටයුත්ත සිදුකිරීමට විශාල මිනිස් ශ්‍රමයක් අවැසිය. එය හුදෙක්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් තනිව සිදු කළ හැකි ක්‍රියාවක් නොවෙන බව පෙනේ. ඊට මහජන සහාය මෙන්ම විවිධ සංවිධාන, ඒ ඒ ප්‍රදේශයන්ගෙන් හමුදා හා සිවිල් ආරක්‍ෂක බලකා නිලධාරින් ද යොදාවා ගැනීමට හැකියාව ඇත්නම් උඩරට වතුකරයේ මෙකී මදු හා උඟුල් ගැලවීම තවදුරටත් සාර්ථක කර ගත හැක. මදු ගලවන ප්‍රමාණයට සරිලන සේ නැවැත මදු ඇටවීම ද උඩරට වතුකරයේ සිදු කරමින් පවතින බව ද වනජීවි නිලධාරීන්ගේ මතය වී තිබේ.  

 


උඩරට වතුකරයේ කඳුකර කොටින්ට හා වෙනත් වන සතුන්ට සිදුවෙන හානියක් කඩිනමින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීම හා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වටිනා කටයුත්තකි. මදුවලට හසුවෙන කඳුකර කොටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් මිය යනුයේ එම සතා වැඩි කාලවේලාවක් මදුවට හසුව දඟලමින් සිටීම හේතුවෙනි. එම තත්ත්වය අවම කර ගැනීම වනජීවි දෙපාර්තමේන්තුවේ දැනට ඇති 1992 කෙටි හදිසි දුරකතන අංකය පිළිබඳව වඩාත් පුළුල් ප්‍රචාරයක් වතුකරයේ වතු ජනතාවට හා සෙසු ජනතාවට ලබාදිය යුතුව තිබේ. බොහෝ පිරිසක් එවැනි දුරකථන අංකයක් තිබේ ද යන්න පිළිබඳව පවා නොදනී. එවැනි දෑ දෙමළ බසින් මුද්‍රණය කොට ඔවුන් අතට පත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්නේ නම් මෙම ක්‍රියාදාමය වඩාත් කාලෝචිත මෙන්ම වැඩදායි වනු ඇත. 


ඊට අමතරව මදුවලට හසුවෙන කොටියන් බේරා ගැනීමට වනජීවි නිලධාරීන්ට ප්‍රමාණවත් තරම් අවශ්‍ය කරනු ලබන උපකරණ හා මෙවලම් උඩරට වතුකරය ආශ්‍රිත වනජීවි කාර්යාලයන්ට ලබා දිය යුතුය. පසුගිය දිනවල උඩරට වතුකරයේ මදුවලට හසුව සිටි කඳුකර කොටියන්​ බේරා ගැනීමට යාමේ දී වනජීවි නිලධාරීන් විවිධ දුෂ්කරතාවලට හා චෝදනාවන්ට ලක්වීමට සිදුවූයේ මෙවැනි ගැටලු හේතුවෙනි. ප්‍රතිකාර සඳහා රැගෙන යන ලද කඳුකර කොටියන් කීප දෙනෙකු අකාලයේ මිය යන ලද්දේ වනජීවි නිලධාරීන් ද විවිධ දෝෂාරෝපණවලට ලක්වෙමිනි. එසේම කොටියන් සම්බන්ධයෙන් පමණක් රාජකාරී කටයුතු සිදු කිරීමට උඩරට වතුකරය ආශ්‍රිතව පුහුණුවලත් වනජීවි නිලධාරී කාර්ය මණ්ඩලයක් කඩිනමින් ස්ථාපිත කළ යුතුව තිබේ.

 

තලවකැලේ : 
ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ