සෑම රාජ්‍ය නායකයෙක්ම මාව ඇමැතිධුරයකට තෝරාගෙන තිබෙනවා


වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති 

නිමල් සිරිපාල ද සිල්වා

මම අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියා ‘පරීක්ෂණයේ තොරතුරු දෙන්න’ කියලා. ඔවුන් මට ලියුමක් එවලා තියෙනවා ‘මට විරුද්ධව කිසිම චෝදනාවක් කිරීමට සාක්ෂි නෑ. 

ඒ ලිපිගොනු අපි වහලා දාලා තියෙන්නේ කියලා.

1994 වසරේ සිට පැවැති සෑම රජයකම ඇමැතිකමක් හිමිවීමේ වාසනා ගුණ මහිමයක් හිමි වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග මේ කතාබහ ඒ රහස පිළිබඳව හා කතාබහට ලක්ව ඇති දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙනි. 


? 1994 ඉඳන් තිබුණ හැම ආණ්ඩුවකම ඔබ ඇමති කෙනෙක්. මොකක්ද රහස? 


පිළිතුර:- රහස මොකක්ද කියලා මට කියන්න බෑ. මොකද සෑම රාජ්‍ය නායකයෙක්ම මම ඇමැති ධුරයට සුදුසුයි කියලා තෝරාගෙන තියෙනවා. දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඒ වගේම මට ලබා දුන්න අමාත්‍යාංශ මම අවංකවම හිතනවා මම හොඳින් ඒ කටයුතු කළා කියලා. ජනතා අභිලාසයන් ඉටුකිරීමට මට පුළුවන් පරාසය තුළ මම කැපවෙලා තියෙනවා. ඒ නිසා ඇමති කෙනෙක් හැටියට මම සුදුසුයි කියලා රාජ්‍ය නායකයන් හිතනවා ඇති. මොකද මේ මා විසින් මාව පත්කර ගත්තා නොවෙයිනේ. ඒකට හේතුව මගේ දේශපාලන සම්බන්ධතා පමණක් නොවෙයි ඉන් ඔබ්බට ගිය මගේ දක්ෂතාවයයි. 


 දක්ෂතාවය තියෙන්නේ එන එන ආණ්ඩුවල පාටට අනුව ඔබේ පාට වෙනස් කර ගැනීමට? 


පිළිතුර:- මට පවරන ලද කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමට මට ඇති දක්ෂතාවය පමණයි. 


 ඔබේ ඔය දක්ෂතාව පෙන්වන්න ඔබට අවස්ථාව දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබ අද ද්‍රෝහි වෙලා? 


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම ද්‍රෙ‌ා්හි වෙලා නෑ. මම තවමත් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගන්න. 


 ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? 

පිළිතුර:- ඊයේ පෙරේදා දයාසිරි ජයසේකර ලේකම්තුමා අරගලයට ගිහින් හූ කෑවට පස්සේ කිව්වා ‘රටේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද?’ කියන එකයි කියලා. ඒක හොඳයි ප්‍රජාතන්ත්‍රවාදයට මූලික තැනක් දෙන එක. ඒත් කෝ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණ ව්‍යවස්ථාව අනුව කිසිවිටකවත් සභාපතිවරයාට අත්තනෝමතික බලයක් තිබුණේ නෑ කිසිම කෙනෙක්ව තනතුරුවලින් ඉවත් කරන්න. එවැනි අත්තනෝමතික බලයක් ව්‍යවස්ථා සංශෝධනයක් මුවාවෙන් මේගොල්ලේ කරගත්තා. අපි ඒකට විරුද්ධ වුණා පක්ෂයේ ව්‍යවස්ථාව තුළ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත වෙලා තිබුණ පක්ෂයේ සාමාජිකත්වයෙන් හරි තනතුරකින් ඉවත් කරන නමුත් ඒක වෙනස් කළා. එහෙම පක්ෂයක් වටා ජනතාව ගොනු වෙයිද? 


 මේ තත්ත්වය තුළ ඔබේ අනාගතයටත් පක්ෂයේ අනාගතයටත් මොකක් වෙයිද? 

පිළිතුර:- මගේ අනාගතය ගැන මම එහෙම ආත්මාර්ථකාමී වෙන්නේ නෑ. මට ඕනැ අපේ පක්ෂය ආරක්ෂා කරගන්න. ඒ වෙනුවෙන් මම කැපවෙනවා. පක්ෂයේ සභාපතිතුමත් ලේකම්තුමත් පක්ෂය දාලා ගිහින් ආපහු ආපු අය. 2015 දී පොදු අපේක්ෂකයා වෙන්න කියලා මටත් ආරාධනා ආවා. ඒත් මම පක්ෂය දාලා ගියේ නෑ. තාමත් මගේ හදවත තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මම මේ නඩු කියන්නේ මේ පක්ෂයේ රැඳී ඉන්න ඕනැ නිසා. 


 ජපානේ තාසිසෙ සමාගමෙන් ඔබ අල්ලස් ඉල්ලුවා කියලා බරපතළ චෝදනාවක් ආවා. දේශපාලන ක්ෂේත්‍රයේ තවමත් මේ චෝදනාව දෝංකාර දෙනවා? 

පිළිතුර:- දේශපාලනයේ දී හැමදාමත් විරුද්ධවාදීන් නොයෙකුත් දේවල් කියනවා. නමුත් ඒවා ඔප්පු කරන්න ඕනෑ. ඔය චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළා කොමිෂන් සභාවක්. එයින් මම නිවැරැදිකරුවා බවට පත්වුණා. අනුර කුමාර ඇතුළු කිහිප​ දෙනෙක් කිව්වා ‘ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාවෙන් වැඩක් නෑ. අල්ලස් කොමිසමෙන් මේක විභාග කරන්න ඕනැ කියලා. ඊට පස්සේ මාලිගාවත්තේ ඉන්න මොහොමඩ් නියාස් කියලා කෙනෙක් අල්ලස් කොමිසමට පැමිණිලි කළා. අල්ලස් කොමිසම දීර්ඝ විභාගයක් කළා. අඩු ගණනේ මගෙන් කටඋත්තරයක්වත් ගත්තේ නෑ. 


 කටඋත්තරයක්වත් ගන්නේ නැතිව කොහොමද දීර්ඝ විභාගයක් කළා කියන්නේ? 

පිළිතුර:- කටඋත්තර ගන්න සාක්ෂි තියෙන්න ඕනැනේ. තොරතුරු දැන ගැනීමේ පනත හරහා මම අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියා ‘පරීක්ෂණයේ තොරතුරු දෙන්න’ කියලා. ඔවුන් මට ලියුමක් එවලා තියෙනවා ‘මට විරුද්ධව කිසිම චෝදනාවක් කිරීමට සාක්ෂි නෑ. ඒ ලිපිගොනු අපි වහලා දාලා තියෙන්නේ’ කියලා. මේ රටේ අල්ලස් හා දූෂණ ගැන විභාග කිරීමට තියෙන ඉහළම මණ්ඩලයෙන් මාව නිදහස් කරලා තියෙනවා නම් තව මොනවද? ජනතා විමුක්ති පෙරමුණේ සිරිත තමයි එකම බොරුව දිගටම කියාගෙන යාම. 


 අනුර කුමාර කිව්ව ‘ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ සභාපති ධුරයට කුසලා ​ සරෝජනී පත් කරන්න කියලා ඉල්ලුවෙත් ඔබයි’ කියලා ? 

පිළිතුර:- නෑ නෑ මට එහෙම ඉල්ලන්න පුළුවන්කමක් නෑනේ. මම ඉල්ලුවේ කොමිසමක් පත් කරන්න කියලයි. ජනාධිපතිතුමා ඒ කොමිසම පත් කළා. ඒ කොමිසම පැත්තකට දාන්නකෝ. අල්ලස් කොමිසම මම ද පත් කළේ. ඒ කොමිසම කියනවා නම් මම නිවැරැදියි කියලා එහෙම නම් ඊට වඩා මොකක්ද තියෙන්නේ. මේක තනිකරම මඩ ප්‍රහාරයක්. 


 ශ්‍රී ලන්කන් ආයතනය ප්‍රතිව්‍යූහගත කරන බව කියනවා. ඒ වචනය ඇතුළේ තියෙන්නේ විකිණීම ද වෙන දෙයක්ද? 

පිළිතුර:- ප්‍රතිව්‍යූහගත කරනවා කියන වචනය ඇතුළේ තියෙන්නේ අපටත් යම් අයිතියක් තියොගෙන මේ තියෙන මූල්‍යමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආයෝජකයෙක් සොයා ගැනීමයි. 


 එතැන දී සිදුවන ක්‍රියාවලිය මොකක්ද? 


පිළිතුර:- මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගත්තොත් ඒකට එක එක රටවලට ගොඩ බැසීමට තිබෙන අයිතිය දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවට. ඒක නිසා මේක අපට සීයට සීයක්ම විකුණන්න බෑ. අඩුම තරමින් සියයට 51 ක් අපි ළඟ තියාගන්න ඕනැ. එතකොට තමයි අපට ගොඩබිම් මෙහෙයුම් ලැබෙන්නේ. අපට ගුවන් යානා නැහැනේ. ගුවන් යානා 27 ක් තියෙනවා ඒ 22 ම කුලියට ගත්ත ඒවා. අපි බදු කුලී ගෙව්වේ නැත්නම් ඒ ටික අරගෙන යාවි. අපට තියෙන ප්‍රාග්ධනය තමයි ලෝකයේ යම් යම් රටවල ගුවන් තොටුපළවල්වලට ගොඩ බැසීමට තියෙන අවසරය. නමුත් අපේ කේටරින් සමාගම හා යෑම් මෙහෙයුම කරන සමාගම ලාභ ලබනවා. නමුත් ඒක විශාල ලාභයක් නොවෙයි. 


 ලාභය ලාභයක් නොවන්නේ ඇයි? 


පිළිතුර:- ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගත්තාම අනික් පැත්තෙන් ශ්‍රී ලන්කන් එකෙන් එන පාඩුව ගත්තම සෑම අවුරුද්දකදීම රජයෙන් ඩොලර් මිලියන 150 ක් විතර දෙන්න වෙනවා. දැන් අපට ඒක කරන්න බෑනේ. මුදල් දීලත් පාඩු ලබන ආයතනයක් පවත්වාගෙන යන්න කිසිසේත්ම විදියක් නෑ දැන් තියෙන ආර්ථික තත්ත්වය අනුව. 


 මේ ආයතන පවුලේ බූදල් බවට පත්කර ගත්ත නිසා පාඩු ලබනවා කියලා මම කිව්වොත්? 


පිළිතුර:- ඔව්. මේවා හදන්න නම් සම්පූර්ණයෙන්ම සිස්ටම් එක වෙනස් කරන්න ඕනැ. දැන් බලන්න. අපි ඒකාධිකාර හදලා තියෙනවා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගන්න. තෙල් විකුණන්න. විදුලිය විකුණන්න පුළුවන් ඒ අයට විතරයි. මේවා කොච්චර පාඩු ද? එහෙම කොච්චර පාඩු ලැබුවත් බෝනස් දෙනවා. හැම අවුරුදු තුනකට සැරයක් පඩි වැඩිකර ගන්නවා. ඒවා පුළුවන්ද රජයකට නවත්වන්න. කිසිම රජයකට ඒවා නවත්වන්න බෑ. ඒවා වෙනස් කරන්න ගියාම වෘත්තීය සමිති අවි අමෝරාගෙන එනවා. එහෙම ඒකාධිකාර හදපු එකේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. තේරුම් ගත යුතු කරුණු තමයි රජයක් කරන ව්‍යාපාර හැම විටම අසාර්ථකයි කියන එක. 


 ශ්‍රී ලන්කන් එකට මොකක්ද කරන්න යන්නේ කියලා ඔබ කිව්වේ නෑ?

 
පිළිතුර:- ශ්‍රී ලන්කන් එක ඩොලර් මිලියන 1401 ක් විතර ණයයි. කොහෙන්ද අපි මේ ණය ගෙවන්නේ? මේ ණය ගෙවන්න නම් අපි ආයෝජකයෙක් ගෙනල්ලා ඒ ගේන ආයෝජනවලින් ණය ගෙවිය යුතුයි. 


  දැනට ආයෝජකයෙක් හඳුනාගෙන ද ඉන්නේ? 


පිළිතුර:- ආයෝජකයෙක් ගෙන්වීම සඳහා මම කැබිනට් පේපර් එකක් දාලා ඉතාම විනිවිද භාවයකින් යුතු වැඩපිළිවෙළක් තුළින් හොඳම ආයෝජකයා ආකර්ෂණය කර ගැනීමට පිළිවෙතක් සකස් කරලා තියෙනවා. 


 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න ගියාම විරෝධතා ආවා. ඒ නිසා ඒක නතර වුණා. දැන් ඒකේ තත්ත්වය කොහොම ද? 

පිළිතුර:- නැගෙනහිර ජැටිය ආදානි සමාගමට දුන්නේ නැත්තේ ආපු විරෝධතා නිසා තමයි. නමුත් අපි බටහිර ජැටිය අදානි සමාගමට දුන්නා. පහුගිය බදාදා මම බටහිර ජැටියෙ පිරවීම් කටයුතු ආරම්භ කළා. නැගෙනහිර ජැටියෙ වැඩ සියයට 15 ක් 20 ක් විතර අවසන්. වරාය අධිකාරියෙ සල්ලිවලින් නැගෙනහිර ජැටියෙ වැඩ කරගෙන යනවා. එන අවුරුද්දෙ අග වෙන්න පෙර ජැටියෙ වැඩකටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. 


 සමගි ජන බලවේගයේ කී දෙනෙකුට ඇමැතිකම් ලැබෙනව ද? 


පිළිතුර:- ඒක ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න වෙන්නේ. 


 රාජිත සේනාරත්නට සෞඛ්‍ය ඇමැතිකම ලැබෙන බවට ලොකු රාවයක් යනවා? 


පිළිතුර:- කට කතා නම් තියෙනවා. ඒවා ගැන මුකුත් කියන්න බෑනේ. එහෙම දේවල් වෙනවා නම් හොඳයි. එතකොට ඉබේටම සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවනේ. 


 ඉල්ලා අස්වුණාට පස්සේ ඔබට ගෝඨාභය රාජපක්ෂ හමුවුණා ද? 


පිළිතුර:- ඔව්! ඔව්! මම හමුවෙලා කතා කළා. එතුමා එක්ක අපට පෞද්ගලික විරසකයක් නෑනේ. එතුමාගේ රාජ්‍ය පාලනය සම්බන්ධ ගැටලු අපට තිබුණා. නමුත් අපට පෞද්ගලික ප්‍රශ්න නෑනේ. 
 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්