විදුලි අමාත්‍යාංශ ඉල්ලීමට ඉංජිනේරු සංගම් විරෝධය


උපුල් වික්‍රමසිංහ

2023 වසරේ මුල් මාස 6ක කාලය සඳහා හදිසි මිල දී ගැනීම් යටතේ මෙගා වොට් 120ක විදුලියක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට අදාළව ටෙන්ඩර් කැඳවන ලෙස දන්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ලංකා විදුලි බල මණ්ඩලයට පසුගිය ඔක්තෝබර් මස 25 වැනි දින ලිඛිතව දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වේ. 

ඒ අනුව ටෙන්ඩර් කැඳවීමක් සිදුකර පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමක් සිදු කළ හොත් අදාළ මාස හයක කාලය සඳහා රුපියල් බිලියන 25ක පමණ මුදලක් වැය වෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

  
‘අපි මේකට විරුද්ධයි. මොකද රටේ ආර්ථික අර්බුදය නිසාත් විදුලි බල මණ්ඩලය තවමත් පාඩු ලබන නිසාත් අධික වියදමක් දරලා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න එකට අපි විරුද්ධයි. මේක කළොත් මාස හයක කාලෙට රුපියල් බිලියන 25ක විතර පාඩුවක් සිදුවෙන බවට අපේ සංගමය ගණන් හදලා තියෙනවා. ‘‘වීරරත්න මහතා ප්‍රකාශ කළේය.  
එවැනි ලිඛිත දැනුම් දීමක් අමාත්‍යාංශයෙන් විදුලි බල මණ්ඩලයට ලැබී ඇත්දැයි එම මණ්ඩලයේ සභාපති නලින් ද ඉලංගකෝන් මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ ඒ ආකාරයේ දැනුම් දීමක් නොලැබුණු බවත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඉදිරි කාලය සඳහා අවශ්‍ය වන විදුලිය ප්‍රමාණය පිළිබඳ සකස් කරන වාර්තා මත පදනම් වෙමින් විදුලි බල මණ්ඩලය විසින් අමාත්‍යාංශය දැනුම්වත් කරනු ලැබීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්ය. රටේ ආර්ථික තත්ත්වය සලකා බලමින් ඉදිරියේ දී තෙල් භාවිත කර විදුලිය නිපදවන්නේද යන්න ගැන මේ දිනවල විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් සාකච්ඡා පවත්වමින් සිටිනු ලබන බව කී සභාපතිවරයා ඉදිරි සතිය ඇතුළත ඒ පිළිබඳ අවසන් තීරණයක් ගත හැකි බවට ද විශ්වාසය පළ කළේය.