බිය සහ කැලඹීම විසින් ද යුවතියක ශක්තිමත් කරනු ලබන්නේය. වේගවත් හද ගැස්ම සාමාන්‍ය තරමට එන තුරු දෑත් තරයේ එකිනෙක පටලාගෙන මොහොතක් සිටි දිනේෂි ඊළඟ මොහොතේ දිරි වඩාගෙන නැඟී සිටියාය. තවමත් වැස්ස එක සීරුවට ඇද හැළෙමින් පැවතිණි. මෙවන් අවස්ථාවක බාහිර සරණක් සොයාගෙන යනවාට වඩා තමාගේ ආරක්ෂාව තමාම සලසා ගත යුතුයයි ඇගේ සිත කීවේය. ඇය හෙමිහිට කුස්සියට ගොස් බිත්ති මුල්ලේ හේත්තු කර තිබූ කිතුල් පොල්ල අතට ගත්තාය. තාත්තා නිවසේ නැති දවස්වල අම්මා නිදා ගත්තේ මේ පොල්ල අත මානයේ තබාගෙන බැව් ඇයට මතක තිබිණි.
“මොකටද අම්මා ඕක..?” දිනෙක දිනේෂි ඇසුවේ කුතුහලයෙනි.
“තාත්තා හැම වෙලාවෙම ගෙදර නෑනෙ පුතේ.. ගෙදරක පිරිමියෙක් නෑ කියලා දැන ගත්තම හොර හතුරෝ එන්න බලනවා.. එහෙම ආවොත් එහෙම මේක හොඳ ආයුධයක්..”
අම්මා සිනාමුසු මුහුණින් යුතුව කී බැවින් කුඩා දරුවන් තිදෙනෙකු සමඟ පමණක් නිවසේ සිටින කාන්තාවකගේ සිතේ ඇති බියමුසු හැඟීම් හැඳින ගන්නට එදා දිනේෂිට පුළුවන් වූයේ නැත. තාත්තා නිවසේ නැති දවස්වලට ඔවුන් සුවසේ නිදා ගනිද්දී අම්මා සුළු ශබ්දයකට වුව ද තැති ගැනී අවදි වෙන්නට ඇතැයි ඇයට සිතුණේ මේ මොහොතේය. කරදරයක් වෙනු ඇතැයි සිතට සැකයක් දැනෙන අවස්ථාවල අම්මා මේ ආයුධය අතට ගන්නටත් ඇත. අද සිය සිත පෙළන්නේත් ඒ සැකමුසු, බියජනක හැඟීම් ම නොවන්නේදැයි ඇයට සිතිණි.
“අම්මා කවදාවත් මේක පාවිච්චි කරන්න නැතුව ඇති.. ඒත් මට අද පාවිච්චි කරන්න ඕන වුණොත් උදව් කරන්න අම්මා..”
මුමුණමින් දිනේෂි නැවතත් දොර ළඟට ආවාය. තාත්තා නිවසේ නැති විට ඔහුගේ වගකීම් දැරිය යුතු වන්නේ ලොකු මල්ලී විසිනි. එහෙත් තද නින්දේ පසුවන ඔහු අවදි කරවා සිත රිදෙන දේවල් අසා ගන්නවාට වඩා මේ තත්ත්වයට තනිවම මුහුණ දෙන්නට ඇය තීරණය කළාය. අම්මා මේ අහලපහලම කොහේ හෝ ඇතැයි හැඟීම ඇයට ශක්තිය සැපයුවේය.
“මොකෙක් හරි දොර කඩාගෙන ගෙට ආවොත් ඔළුව පැලෙන්න පාරක් දෙනවමයි..” ඇය අදිටන් කර ගත්තාය.
තවත් ටික වේලාවකින් ඇසුණේ දොරේ වැදීගෙනම කිසිවෙකු ඇද වැටෙන්නාක් බඳු හඬකි. දිනේෂි කිතුල් පොල්ල තවත් තදින් අල්ලා ගත්තාය. ඒ වන විට වැස්ස තුරල් වෙමින් පැවති බැවින් පිටත අනෙක් හඬවල් හොඳින් ග්‍රහණය කර ගන්නට පුළුවන්කම තිබිණි.
“මේ දොර ඇරපියව් යකෝ.. මම තෙමිලා දියබත් වෙලා ඉන්නෙ..”
පෙර ඇසුණු ගොරෝසු පිරිමි හඬම ඇසිණි.
දිනේෂි විමසිල්ලෙන් ඇහුම්කන් දුන්නාය. ඒ තාත්තා විය යුතුයයි සිතේ එක පැත්තක් කියද්දී අනෙක් පැත්ත එකහෙළාම එයට විරුද්ධ වූයේය. තාත්තා කිසිම දවසක පවුලේ අය ඉදිරියේදී එවන් අශෝභන ආකාරයෙන් කතා කරන්නේ නැත. මේ යම්කිසි අවස්ථාවාදී පිරිමියෙකු ගෙතුළට පිවිසෙන්නට දරන උපක්‍රමයක් විය යුතුයයි ඇයට සිතිණි. ඇයට අමල් බිසෝ කතාව සිහිපත් වූයේය. අම්මාත් තාත්තාත් ගෙදර නැති වේලාවක නිවසට එන රාක්ෂයා අමල් බිසෝ ඩැහැ ගන්නට උත්සාහ කරන්නේය. ඔහු ගෙතුළට එන්නට විවිධ උපක්‍රම යොදද්දී දොර නාරින් අමල් බිසෝ කියන්නට ගිරවෙක්, පූසෙක්, බල්ලෙක් පමණක් නොව මුරුංගා ගසක් පවා සිටියේය. එහෙත් දිනේෂිට මේ මොහොතේ උපදෙසක් දෙන්නට කිසිම කෙනෙක් නැත.
“මගෙ අර රත්තරන් ගෑනි හිටියනම් කවදාවත් මට මෙහෙම දුක් දෙන්නෙ නෑ.. තොපේ කරුමක්කාරකමට ඒකි යන්නම ගියා.. දැන් තොපි දොරවල් වහගෙන සැපට නිදි.. මේ කාලකණ්ණි තාත්තා ගැන හිතන්න එකෙක්වත් නෑ.. ඔව් එකෙක්වත් නෑ.. තාත්තා හම්බ කරලා ගෙනත් දෙනවනම් තොපිට ඒ ඇති..”
වචන පටලවමින් ඒ කතා කරන්නේ තාත්තාම බැව් එවරනම් දිනේෂි හොඳින්ම වටහා ගත්තාය. ඔහු සිටින්නේ හොඳටම බීමතින් විය යුතුය. හැඳින ගන්නට නොහැකි තරමට කටහඬ ගොරෝසු වී ඇත්තේත්, අර තරම් රළු බස් බණන්නට ඇත්තේත් එම නිසාය. ඇගේ සිත කලකිරීමකින් මෙන්ම කෝපයකින් ද පිරිණි. ඇය අතේ වූ කිතුල් පොල්ල එතැනම බිම අත් හැරියාය. එය සිමෙන්ති පොළව මත වැටුණේ සෑහෙන හඬක් නංවාගෙනය.
“හදිස්සියේ හරි තාත්තා දොර කඩාගෙන ගෙට ආවානම් එහෙම මම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගහන එක ගහනවාමයි.. මාව ඒ පාප කර්මෙන් බේරා ගත්තට ස්තුතියි අම්මා..”
ඇය කීවේ සැනසිලිදායක හඬිනි. විටෙක ආරක්ෂාවට යොදා ගන්නා දෙයක් තවත් විටෙක සිත භීතියෙන් සසල කරන යමක් බවට පත්වෙන්නේ පුදුමාකාර අන්දමිනි. දිනේෂිට ද බිම අත හැරුණ කිතුල් පොල්ල බිත්ති මුල්ලට හේත්තු කර තබන්නටවත් නොහැකි තරමේ තැති ගැන්මක් දැනෙන්නට වූයේය.
“මගෙ ජිනා.. එදා මම බීලා ආව වෙලාවේ ඔයා ළඟට ඇවිත් බැන බැන හරි මට සාත්තු කළා.. මම අවතාර, හොල්මන් විශ්වාස කරන්නෙ නෑ නෝනේ... ඒත් මම අපි දෙන්නගෙ ආදරේ විශ්වාස කරනවා.. ඔව් මැරුණත් මාව දාලා යන්න බැරි තරමට ඔයා මට ආදරේ කරනවා කියලා මම දන්නවා.. මම ආයෙ බොන්නෙ නෑ කියලා ඔයාට පොරොන්දු වුණා තමයි.. ඒත් මට පාළුයි නෝනේ.. මට පාළුයි.. බිව්වම හරි ඔයා ළඟට එයි කියලා තමයි මම ආයෙමත් බොන්න පටන් ගත්තෙ..”
ඔහු ඉකි ගසා හඬමින් කියාගෙන යන්නට වූයේය. දිනේෂි එහෙමම දොර ළඟ ඇණ තියාගෙන වාඩි වූවාය. ඇගේ ඇස්වලින් එක දිගටම කඳුළු ගලාගෙන එන්නට පටන් ගත්තේය. එහෙත් තාත්තා කලින් හැසිරුණ රළු විලාසය නිසා දොර අරින්නට ඇයට සිතුණේ නැත. ඒ තාත්තා නොව ඔහු ලෙසින් රඟපාන හොරෙකු විය යුතුයයි හැඟීමෙන් මිදෙන්නට ඇය අපොහොසත් වූවාය.
“ඔයා මේ ළඟපාතම ඉන්නවා කියලා ලොකු දුව දන්නවා.. හත් දවසේ දානෙ දා අම්මා ඉන්නවා කියලා ඒකි පහන ළඟට දිව්වෙ ඒකනෙ.. පහන ළඟට වෙලා ඒකි හරි සන්තෝසෙන් කතා කරන්නෙ ඔයත් එක්ක කියලා මම දන්නවා.. ඒත් ඒකි ඔයාට ආදරේ නෑ නෝනේ.. ඒකනෙ අම්මත් දානෙ දීලා තියෙද්දී ආයෙමත් දානෙ උයාගෙන පන්සලට ගියෙ..”
තාත්තා මෙතරම් බීමතින්, වැස්සේ තෙමීගෙන ගෙදර එන්නට හේතුව දිනේෂිට වැටහිණි. ඔහු දානය වෙනුවෙන් සිය මුදල්වත්, කාලයවත් වැය නොකළේ එයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට වෙනත් විදියක් නොතිබූ නිසා විය යුතුය. ඒ සමඟම ඇය පුදුම වූයේ සකුණ හැරෙන්නට කිසිවෙකු නොදන්නේ යයි අනුමාන කරගෙන සිටි අම්මා පිළිබඳ රහස තාත්තා දැන සිටීම පිළිබඳවය. එහෙත් ඔහු ඉඟියකින්වත් එබවක් අඟවා නොතිබිණි. එසේ තිබුණේ නම් දානය පන්සලට ගෙන ගොස් දෙන ලෙස කීවේ අම්මාම බව දිනේෂි ඔහුට කියන්නට ඉඩ තිබිණි.
“කොච්චර දානෙ දුන්නත් ඔයා ඒ පින් අනුමෝදන් වෙන්න එපා නෝනෙ.. ඔයා අවතාරයක් වෙලා හරි මාත් එක්කම ඉන්න.. එහෙම නැත්නම් මාවත් ඔයා ළඟටම ගන්න.. මුළු ලෝකෙම තිබ්බත් මට ඔයා නැතුව ඉන්න බෑ නෝනෙ..”
වචනයෙන් වචනයට තාත්තාගේ කටහඬ සිහින් වී ගියේ වෙහෙස හෝ නිදිමත නිසා විය යුතුයයි දිනේෂිට සිතිණි. ඇය අවසන් කොටස අසා ගත්තේ දොරට කන තබාගෙනය. තාත්තා කෙරෙහි උපන් දුකක් ඇගේ මුළු හදවතේම ඉතිරීපැතිරී ගියේය. එහෙත් ඇය ගල් ගැසුණාක් මෙන් සිටිවනම සිටියා විනා දොර හරින්නට උනන්දුවක් දැක්වූයේ නැත.
“තොපෙ කාලකණ්ණිකමට ඒ ගෑනි යන්නම ගියා...”
තාත්තාගේ එවදන් ඇගේ සිත තුළ දෝංකාර දෙන්නට පටන් ගත්තේය. ඒ චෝදනාව සෘජුවම එල්ල වූයේ තමාට නොවේදැයි ඇයට සිතෙන්නට පටන් ගත්තේය.
“අම්මා.. ඔයාවත් තාත්තට තේරුම් කරලා කියන්න මගෙ අතේ වරදක් නෑ කියලා..”
දිනේෂි කැබිනට්ටුව මත ඇති අම්මාගේ සේයාරුව දෙස බලාගෙන ඉකි බින්දාය.
ලබන සතියට...