X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මහ රෑ කාමරේට ගිය ගැටකපන්නිය මුදලාලිගෙ ගැටේට අහුවෙලා

(හසලක වාර්තාකරු)
‘‘අවුරුදු ගාණක් ගෙන්දගම් පොළොවේ කරක් ගහපු මාව ඔය පැඟිරි කෙල්ලන්ගේ ගැටවලට අහුකර ගන්ට බෑ පුතෝ.’’ යැයි ඔහු තම වෙළෙඳසලට යන එන ගමේ කොල්ලන්ට කියන්නේ මහත් උජාරුවෙනි.


තිස් දෙහැවිරිදි වියේ පසුවන ඔහු  මහියංගනයට නුදුරු කුඩා නගරයක වාහන අමතර කොටස් අලෙවි වෙළෙඳසලක් පවත්වාගෙන යන දෙදරු පියෙකි. සිය වෙළෙඳසලට අවශ්‍ය අමතර කොටස් රැගෙන ඒමට නිතර කොළඹට ආ ගිය ඔහු මෙදිනද එවැනි අවශ්‍යතාවකට කොළඹට ගොස් පෙරළා මහියංගනය බලා ඒමට කොළඹ මහියංගන බස් නැවතුම්පළට පැමිණෙන විට සවස 4.30 පමණ වී තිබිණි.


එසේ බස් නැවතුම්පළේ බසයක් පැමිණෙන තුරු රැඳී සිටින විටදී සිය කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය පිටතට ගෙන නිවසට රැගෙන යෑමට විවිධ වර්ගයේ පලතුරු  වර්ග ගැනීමටද ඔහු අමතක නොකළේය. මෙම ක්‍රියාව අසල සිටි යුවතියකගේ උකුසු ඇසට හසුවී තිබිණි. මුදල්  පසුම්බියේ විශාල මුදලක් තිබෙන බව ඇයට ඒත්තු ගියේ දුඹුරු හා කොළ පැහැති නෝට්ටු කීපයක් එහි දුටු නිසාය. අවශ්‍ය අමතර කොටස් රැගෙන යෑමට පැමිණියත් අවශ්‍ය අමතර කොටස් කීපයක් ගැනීමට නොහැකි වූයෙන් එම මුදල් ද ඔහු අත ඉතිරිවී තිබිණි.


විනාඩි කීපයක් ගත විය. ඔහු අසලට වයස අවුරුදු 27ක් පමණ වයසැති රුවැති තරුණියක් පැමිණ ‘‘අයියේ මෙතන කොහෙ යන  බස්ද නතර කරන්නේ? ‘‘ආ මේක  මහියංගනයට යන බස් නතර කරන තැන.’’ ඒ බස්වල මහනුවරට ගනීවිද දන්නේ නෑ නේද?‘


’’ගනීවි මොකද මේක යන්නේ මහනුවර හරහානේ.’’ යැයි ඔහු ඇයට උත්තර දුන්නේද ඇය දෙස නොබලාම ආවට ගියාටය.


පස්වරු 4.45ට පමණ මහියංගන බලා යන  පෞද්ගලික  බස් රථයක් නැවතුම්පළට පැමිණියෙන් ඔහු බසයට ගොඩවී ආසනයක වාඩි වූ අතර ඔහු සමඟ කතා බස් කළ තරුණියද බසයට ගොඩවී ‘‘අයියේ මමත් මෙතන වාඩි වෙන්නද?’’


‘‘හා කමක් නෑ.’’ ඔහුගේ පිළිතුර විය. ඇය මහනුවරටත් ඔහු මහියංගනයටත් ගමනට අදාල ටිකට්පත් ලබා ගත්හ.


බස්රථය ගමන් ආරම්භ කරනවාත් සමඟම ඇය නින්දට වැටුණ අතර නිට්ටඹුව නගරය ආසන්නයේ ඇය අවදි වූවාය. එතැන් පටන් නැවතත් ඇය ඔහු සමඟ කතා බහට වැටුණි. ඇය පදියපැලැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය  කරන බවත් මවට අසනීප බවට ලද පණිවිඩයක් නිසා තමන් නිවස බලා යන බවත් මෙහිදී ඇය ඔහුට පවසා ඇත.


ගමනේ විඩාව නිවාගැනීමට වරකාපොල ප්‍රදේශයේ තේ කඩයක් අසල රථය නතර කළෙන් එහිදී ඔහු ඇයට කිරි වීදුරුවකින් හා බනිස් ගෙඩියකින් සංග්‍රහ කිරීමටද අමතක නොකළාය.


මාවනැල්ල  නගරයට බසය ළඟාවන විට රාත්‍රි 7 පමණ වී තිබිණි.


අයියේ බස් එක නුවරට යනකොට කීය විතර වෙයිද?.


‘‘මං හිතන්නේ 7.30 විතර වෙයි.’’


‘‘හරි  වැඩේනේ අයිනේ අපේ ගමට යන අන්තිම බස් එක තියෙන්නේ රෑ 7ට. ඊට පස්සේ ආයේ බස් නැහැනේ. හරි වැඩේ තමයි මේ බස් එක හෙමින්නේ යන්නේ.’’ ඇය තමාටම කියා ගත්තාය.‘‘හා කමක් නෑ මේ බස් එක  මහියංගනයටනේ යන්නේ. අපේ අක්කා කෙනෙක් මහියංගනේ ඉන්නවා. අද එයාලාගේ ගෙදර ගිහිල්ලා හෙට උදෙන්ම  ගෙදර යනවා.’’ඇය ඔහුට කීවාය.


මහනුවරින් නැවත මහියංගනයට අදාල ඇයගේ බස් ගාස්තුව ඔහු විසින්  ගෙවා දැමුවේ ඒ වනවිටත් ඇතිව තිබූ දැඩි මිත්‍රත්වය නිසාත් ඇය නැවත නින්දේ පසුවූ හෙයිනුත්ය. රථය මහියංගනයට ළඟාවන විට රාත්‍රි 10.30පමණ විය. දෙදෙනාම බසයෙන් බැසගත් අතර ‘‘අයියේ මම පණ්ඩිතයා වාගේ මහියංගනයට ආවාට අක්කලාගේ ගෙදර තියෙන තැන දන්නේ නෑනේ. එයාගේ ටැලිෆෝන්  නම්බරේවත් මා ළඟ නෑනේ. හරිම වැඩේ මට වුණේ. කමක් නෑ අයියේ ඔයා යන්න. මම එළිවෙනකම් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා යනවා. නවාතැනකට යන්නවත් මට සල්ලි අතේ නෑ අයියේ.’’ඇය ඉතා බැගෑපත්ව කීවාය.


තමන්ට සිදුවුණේ කොටි  වලිගය අල්ලා ගත්තා  වාගේ වැඩක්. මෙයා දාලා යන්නත් බෑ.  ගෙදර අඬගහගෙන යන්නත් බෑ. මොකද කරන්නේ. ‘‘නංගි මා ගැන වරදවා හිතන්න එපා කාමරයක් අරගෙන එහෙ අද රෑ ඉඳලා හෙට උදේ ඔයා යන්න’’


අනේ අයියේ මගේ ළඟ සල්ලි නෑනේ’’


‘‘හා කමක් නෑ මම දෙන්නම්’’


‘‘හැබැයි අයියා මට තනියම නම් ඉන්න බෑ හොඳේ. ඔයත් එන්න ඕන.’’


ඔහුට වෙනත් විකල්පයක් නැත.  රාත්‍රී ආහාරයට අවශ්‍ය බත් පාර්සල් 2ක්ද රැගෙන ඔවුන් දෙදෙනා නගරයේ අසල තිබූ ලැගුම්හලකට ගොඩවී කාමරයක් වෙන්කරගෙන එයට ගොඩ වූහ.


‘‘අයියේ මට ඇඟ සෝදගන්න ඕන.’’ කියා ඇය නාන කාමරයට ගිය පසු ඔහු තම ගෙල බැඳි රන්මාලය හා මුදල් පසුම්බියේ තිබූ මුදල් පිටතට ගෙන කවරයක බහා පැළඳගෙන ගිය සපත්තුවක ඉතා සූක්ෂම අයුරින් සඟවා තැබුවේ ඔහුට ඇය පිළිබඳව ඇති වූ  යම් සැකයක් නිසාය. ඇය නාන කාමරයෙන් පිටතට පැමිණි පසු ඔහුද රුපියල් විසිපන් දහසක් පමණ වටිනා ජංගම දුරකතනයද රැගෙන ඇඟ සෝදා ගැනීමට නාන  කාමරයට ගියේය.


විනාඩි කීපයකින් පෙරළා ඔහු කාමරයට එනවිට තමන් සමඟ පැමිණි තරුණිය එහි නැත. ඇය රැගෙන ආ ගමන් මල්ලද නැත. කෑම පාර්සලයක්ද නැත. වහා තම කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය පිළිබඳ විපරම් කළේය. ඔහු සිතුවා හරිය කාමරයෙන් පිටතට  විත් නවාතැන්පලේ සේවකයකුගෙන් තමන් සමඟ පැමිණි තරුණිය  දැක්කාද කියා විමසීමේදී ඔහු පැවසුවේ ඇය කිසිවක් කතා නොකර පිටව ගිය බවය.


සිහිබුද්ධිය මෙහෙයවා තැනට සුදුසු නුවණ පාවිච්චි කළ හෙයින් ගොදුරක් සොයා කොළඹ සිට කිලෝමීටර් 170ක් පමණ දුර තමන් පසුපස ආ ගැටකපන්නියකගෙන් බේරීමට තමන්ට හැකිවීම පිළිබඳව ඔහු දහස් වරක් සතුටු වූයේය. එසේ නොවන්නට ඔහු පවසන අන්දමට ඒ වනවිට තම මුදල් පසුම්බියේ  තිබූ රුපියල් හැටදහසක පමණ මුදලත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් දම්වැලත් තමට අහිමිවීමට ඉඩ තිබූ බවය.


මේ සිදුවීම නිසාම ‘‘අවුරුදු ගාණක් ගෙන්දගම් පොළොවේ කරක් ගහපු මාව ඔය පැඟිරි කෙල්ලන්ගේ ගැටවලට අහුකරන්ට බෑ පුතෝ! යැයි ඔහු තම වෙළඳසැලට යන එන ගමේ කොල්ලනට කියන්නේ මහත් උජාරුවෙනි.



අදහස් (1)

මහ රෑ කාමරේට ගිය ගැටකපන්නිය මුදලාලිගෙ ගැටේට අහුවෙලා

rangana Tuesday, 05 January 2021 07:04 AM

මේ මුදලාලි නම් හරිම පුදුම කෙනෙක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site