ඈත කඳුකර හිමවි අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළද ලියන්ගේ සිහින අතරේ
මැවේ ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළැමැදේ මුස කරන්නෙ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
ගායනය : පණ්ඩිත් ඩබිලියු.ඩී අමරදේව
ගේය පද : මහගම සේකර
සංගීතය : පණ්ඩිත් ඩබිලියු.ඩී අමරදේව
මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තිය ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ පෞරුෂය ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වර සංරචනය ද මේ ගීතයේ සාර්ථකත්වයට තුඩුදී ඇත. මේ වූ කලී සිංහල ගීත වංශයේ ප්‍රථම පුරුෂ වර්ණනයයි.
මෙබඳු පුරුෂ වර්ණනාවක් අප මීට පෙර අසා ඇත්තේ යශෝධරාවගෙන් පමණි. ඇය සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිය පුත් රාහුල කුමරුන්ට පියාගේ අතිඅලංකෘත වු බුද්ධ රූපකාය පිළිබඳ මහත් භක්ත්‍යාදරයෙන් වර්ණනා කළාය.
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව යශෝධරාව සහ පුතණුවන් බැහැදැකීමේ අරමුණින් කපිල වස්තු පුරයට වැඩම කළහ. මඟ වඩිනා බුදුන් වහන්සේ පෙන්වා යශෝධරා දේවිය තම පුතු රාහුල කුමාරයාට නරසීහ ගථා නවයකින් පියා පිළිබඳ විස්මිත වර්ණනයක් කළාය.
පුණ්ණ සසංක නිහෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුයිහ පිතා නරසීහෝ
පුන්සඳ මෙන් බැබළෙන මුහුණයි
දෙවි මිනිසුන් හැමටම ප්‍රිය උපදයි
මත් ඇතකුගේ ගමනට සරි ගමනයි
මේ උත්තම මුනි පුත නුඹ පිය වෙයි
යශෝධරා දේවිය බුදුන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ උපමා උපමේය ඇසුරෙන් ගොඩනගන අයුරු විචිත්‍රය. එවිට මාර්ගඵල නොලබා සිටි යශෝධරා දේවිය සංසාර පුරුද්දෙන් කරන මේ පුරුෂ වැනුම බොදු බැතිමතුන් කෙරෙහි ශ්‍රද්ධාව වඩන්නකි.
මේ ගීතයේ අරුත පිළිබඳ සිතන්නට කලින් ඊට පාදක වූ කතා පුවත කුමක් දැයි අපි මුලින්ම විමසා බලමු.
චිත්‍ර සේනයන් නිර්මාණය කළ "නල දමයන්ති මුද්‍රා නාට්‍යයට මහගම සේකරයන් විසින් විරචිත මේ ගීතයේ කතා පුවත අපට අසන්නට ලැබෙන්නෙ මහභාරතයෙනි.
නිෂධ රාජ්‍යයේ විසූ නල කුමරුන් රූපශ්‍රීයෙන් අනූන , ආරෝහ පරිනාහ දේහයෙන් යුතු කඩවසම් තරුණයෙක් වූයේය. කඩු දුනු ශිල්ප ප්‍රගුණ කළ ඔහු අසරු ධාවනයෙන් ද කෙළ පැමිණියේය. ධර්මිෂ්ට පාලකයකු වූ ඔහුට රට වැසියෝ ද ගෞරවාදරය කළහ.
දිනක් රාජකාරියේ නියැළී සිටි කුමරුන් වෙත චරපුරුෂයෙක් අපූරු පණිවිඩයක් රැගෙන ආවෙිය. විදර්භ දේශයේ පාලක භීම රජුගේ දෙටු දියණිය වන දමයන්ති කුමරිය පිළිබඳ චරපුරුෂයා කුමරුන් ඉදිරියේ අපූරු වර්ණනයක් කළේය.
දමයන්ති කුමරියගේ රූප සොබාවට ලොබ බැඳි නල කුමරුට ඇය ගැන ප්‍රේමනීය සිතක් පහළ විය. දමයන්ති කුමරියගේ රූ සපුව සිතින් ඇඳගත් කුමරු ඇයට රහසේම ආලය කළේය. දිනක් දමයන්ති කුමරිය ගැන සිතමින් විල් තෙරක ඇවිදිමින් සිටි නල කුමරුට ශෝභමාන ස්වර්ණහංසයකු මුණගැසිණි. නල කුමරු අසුරු සැණින් හංසයා අල්ලා ගත්තේය. අභයදානය ඉල්ලා හඬා වැටුණු හංසයා තමා නිදහස් කරන්නෙ නම් දමයන්ති නමැති සුන්දර කුමරිය මිතුරු කර දෙන බව කීය.
දමයන්ති කුමරිය දැක ගැනීමට ආසාවෙන් සිටි කුමරු පොරොන්දු පිට හංසයා නිදහස් කළේය. පොරොන්දු වු පරිදි දමයන්ති කුමරිය සොයා ගිය හංසයා නල කුමරුන්ගේ රූප සෞන්දර්ය පිළිබඳ ඇය ඉදිරියේ වර්ණනා කළේය. මෙම ගීතයෙන් කිය වෙන්නේ එකී වර්ණනාවයි.
ඈත කඳුකර හිමවි අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වෙි
ඈත කඳු හිමෙන් වැසුණු හිමාල වනයේ සීතල සඳුන් තුරු සෙවණ පිරිමැද හමන සුළඟේ පාවී එන්නේ ඔහුගේ නාමයයි. ඔහු තමයි නල කුමරයා. නල යනු සුළඟයි. ඔහු පිළිබඳ නොදත් අයෙක් නොවූහ. ඔහුගේ නාමය නිෂධයේ සියල්ලෝම දනිති.
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළද ලියන්ගේ සිහින අතරේ
මැවේ ඒ රූපේ
අහස් කුසේ තරු බැබළෙන රාත්‍රියක මැණික් ඇතිරු සඳලුතලයක සුන්දරත්වය විඳින ළාබාල යුවතියන්ගේ සිහින කුමරා ඔහුයි. එබඳු මොහොතක පවා නල කුමරුන්ගේ කඩවසම් රූසපුව මැවී පෙනේ. මේ ගීතයේ උපමා රූපක මාලාව ඇසෙන කල්හි ස්ත්‍රි වර්ණනාවල පවා නොමැති අපූරු වදන් දක්නට ලැබේ. මහගම සේකරයෝ නල කුමරුන්ගේ කඩවසම් රූසපුව නැවුම් ආකාරයකට වර්ණනය කරති.
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළැමැදේ මුස කරන්නෙ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
නල කුමරුන්ගේ උරතලය හෙවත් පපු පෙදෙස රන්මුවකු බඳුය. ඒ තරමි සුවිසල් උරතලයක් හිමි පුරුෂයකුට තුරුලුවී නිදන කාන්තාවකගේ පයෝධර පවා මුසපත් වෙනවා.
"රනින් කළවන් පුළුල් උරයෙන් - හසුන් ළැමැදේ මුස කරන්නෙ "
මෙය කෙතරම් රමණීය කාව්‍යෝක්තියක්ද? මේ සුවය විඳින ඕනෑම ගැහැනියකගේ හදවතේ ආදරය මෙන්ම ශෘංගාරයද උපදිනවා.චන්ද්‍රයාගේ සෞම්‍ය ගුණයත් ඊට මුහුවන බව නොවෙද මේ කියන්නෙ? සරාගයෙන් පිරුණු ඔහුගේ ඇස් පුරා නුරා රසය ඉතිරෙනවා.
පියවුරු හංසයන්ට උපමා කිරීම සාහිත්‍යයෙහි ඉතා ගතානුගතිකය. එහෙත් මහගම සේකරයෝ මේ පදවලින් එය විප්ලවීයකරණය කරති. සරාගී නිල් නුවන් බඳුනින් - නුරා ඉතිරෙන්නේ.
ඔහුගේ සරාගික දෙනෙත් යුග මධු විතක් සේ දිසෙයි. මේ පදවලින් කාමසමිබෝගය ඉල්ලා නඟන රාවයක් නොඇසේද?
මේ ගීතය මහගම සේකරයන් ලියු ගීත අතරින් විශිෂ්ටතම ගීතය බව වරක් මහාචාර්ය සුචරිත ගමිලත් සූරීහු පැවසූහ.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සිසිර දිසානායකයන්ගේ ගේය පද රචනයෙන් ද ප්‍රවීණ ජන සංගීතවෙිදී ලයනල් රන්වලයන්ගේ ස්වර සංරචනයෙන් ද වසන්තා මධුරාංගනීගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ ක
කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිඳුන් විසින් විරචිත ’’කව් සිළුමිණ`’’ හෙවත් කුසදාවත නමැති මහා කාව්‍ය ග්‍රන්ථයේ ඉහත සඳහන් කවිය අර්ථ ගන්
සුනිල් සරත් පෙරේරාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීත සංරචනයෙන් ද විශාරද අමරසිරි පීරිස්ගේ සුගායනයෙ
ප්‍රේමයේ පරමානන්දය, බ්‍රහ්මාස්වාදය විඳීමේ පරම පරමාර්ථයෙන් ඇතැමි පුරුෂයෝ එක ලියක් පතා ලොබ ලිය වඩති. ජීවිතයම කැප කරති.
මෙවර ගී විනිස හැඩ ගැන්වෙන්නේ මෑතකදී තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියවුණු නාද සංගීත කණ්ඩායමෙි ගීමිණිරුවනකිනි.
සුකීර්තිමත් ගේය කාව්‍ය සිත්තරු ප්‍රේමකීර්ති ද අල්විසුන් රචනා කළ මෙි මහඟු ගී මිණ වික්ටර් රත්නායකයෝ සංගීතයෙන් ඔපමට්ටම් කළෝය.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොවේ මෙවන් කුමාරයෙක් ලොවේ
Samantha yahampath Monday, 15 August 2022 03:03 PM
ඉතාම හොඳ විවරණයක්... ගීතය පිළිබඳ අපිට වෙනස් ඇසකින් බලන්න හැකි වුණා... බොහෝමත්ම පින් ශශී... ඔබේ ලියන රටාවද හරිම අපූරුයි. දිගටම ලියන්න.
මැක්ස් Tuesday, 16 August 2022 04:49 PM
සුවිශිෂ්ට විවරණයක්. ගීය සේ ම රසවත් විචාරයක්.
AB Wednesday, 17 August 2022 06:34 AM
ඉතාම අද්විතීය ගීතයක එහි ගැබ්ව තිබෙනාවූ රසය සහ හරය ඒ අකාරයෙන්ම සමාජයට ඉදිරිපත් කිරීම නොනවත්වා කරගෙන ප්‍රභාත්ට හැකිවේවා. වසා සිටි නෙතු පියන් විවරවී සරාගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ නම් එයටද අමරදේවයන් ගායනා කරන ලද මෙම ගීතය පිළිතුරු සපයා ඇත. කුමරියක පා සලඹ සැලුනා වසා සිටි නෙතු පියන්....ඇරුනා කුමර බඹසර අසපුවේ මා සමවැදී....උන් දැහැන් බිදුනා කුමරියක පා සලඹ සැලුනා..
Nd Wednesday, 17 August 2022 07:14 PM
ඈත කඳුකර හිමවී අරණේ ගීතය රසවත් නිර්මාණයක්. මේ සඳහා ඉදිරිපත් කර ඇති විචාරය ද සිත්ගන්නා සුළුයි. විශේෂයෙන්ම යශෝධරා දේවිය බුදුන් වහන්සේ පිළිබඳ කළ වර්ණනයයි. නල කුමරු ගැන හංසයා කරන වර්ණනයයි... සමපාත කොට විචාරකයා ගොඩනගා ඇති ගැඹුරු විවරණය අපූරුයි. මේ විචාරය මොනතරම් විශිෂ්ටදැයි කිවහොත් පොදු රසිකයාට ගීතය තේරුම් ගැනීමට හැකිවන පරිදි ව්‍යක්ත බසකින් එය ලියා තිබෙනවා..!
randil Monday, 22 August 2022 02:11 PM
අති විශිෂිඨයි...