X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කොරෝනා කාලෙට ඔරොත්තු දෙන කෑම බීම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන

වසංගත තත්ත්වයක් රට පුරා පැතිර ඇති කාලවකවානුවක අපි නිරෝගීකම රැක ගන්නේ කොහොමද? එසේත් නැත්නම් සිරුර රෝගී වීමට ඉඩ නොතබා   නිරෝගීභාවය රැක ගන්නේ කෙසේද යන්න ඉතා වැදගත්ය. එසේනම් රෝගවලට ඔරොත්තු දීමට හැකි ප්‍රතිශක්තියකින් සිරුර සමන්විත විය යුතුයි. මේ ප්‍රතිශක්තිය බෙහෙත්වලටත් වඩා අප ගන්නා ආහාර පාන මගින් ගොඩනංවාගත යුතුවේ. එනම් නැවුම් එළවළු හා පලතුරු ඒ සඳහා අවැසි ප්‍රධාන ප්‍රභව වේ. 
                                                                                                    
සිරුරේ නිරෝගීභාවය ගිලිහී යන්නේ මෙහෙමයි....

බැක්ටීරියා, විවිධ වයිරස්, දිලීර සේම එක් එක් මදුරු වාහකයන් නිසාත් අපේ ශරීරයේ නිරෝගීතාව ගිලිහේ. මින් වයිරස මගින්  හටගන්නා රෝග තත්ත්ව ආදියට ප්‍රතිකාර නොමැති අතර කොරෝනා වයිරසය පැතිර යාමත් සමඟම සියලුම දෙනා අත්විඳි අමිහිරිම අත්දැකීමද එයයි. 

විසබීජ මගින් රෝග ඇති වන ආකාරය....

වාතය,කෙළ බිඳිති , පිළුණු හෝ කල් ඉකුත්වූ ආහාර, ජලය හෝ මදුරු වාහකයන් මගින් රෝගකාරක විසබීජ අපට ඕනෑම අවස්ථාවකදී ශරීර ගත විය හැකියි. ශරීරයට ආගන්තුක  එම ද්‍රව්‍යයට විරුද්ධව අපේ ශරීරයේ සෛල ක්‍රියාත්මක වීමට පටන් ගනී. රුධිරයේ ඇති විවිධ සෛල වර්ග හා සටන් කිරීමට එම රෝගකාරකයට සිදුවේ. රෝග කාරක විසබීජ ශරීර ගතවන සංඛ්‍යාව හා ශරීරයේ සෛලවල පවතින ශක්තිය අනුව මේ සටනේදී ශරීරයේ ඇති සෛල දක්වන ප්‍රතික්‍රියාව බලවත් වුවහොත් රෝගකාරක පරාජය වේ. එහෙත්  රෝගකාරකය බිඳ හෙළීමට    ශරීරයේ සෛලවල ශක්තිය ප්‍රමාණවත් නොවුණහොත් අපට රෝගය වැළඳේ.

රෝගවලට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව...

එසේනම් අපේ ශරීරය රෝගවලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ගොඩනඟා ගන්නේ කෙසේද යන්න දැනුම්වත් වීම අවශ්‍ය වේ. මේ ශක්තිය ශරීරයට ලබා දීමට සමබල ආහාර වේල්, ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලය පානය කිරීම,  ආතතියෙන් ⁣තොර වීම , මත්පැන් - දුම්පානයෙන් තොර වීම මෙන්ම උසට සරිලන ශරීර බර පවත්වා ගෙන යාමත් ඉතා වැදගත් වේ. ඒ වගේම දියවැඩියාව,අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් වැළකීම සේම ඒවාට මේ වනවිටත්  ගොදුරුව ඇත්නම් නිසිලෙස පාලනය වී සිටීමද කළ යුතු වේ. 

වයිරසවල⁣ට මෙතෙක් බෙහෙත් සොයාගෙන නැත...

කොවිඩ් -19 රෝගී තත්ත්වය කොරෝනා වයිරසය ආසාදනයෙන් හට ගැනේ. වයිරස් රෝගයක් වන මේ  සඳහාද ප්‍රතිකාර නොමැති අතර රෝග ලක්ෂණ සඳහා පමණක්  ප්‍රතිකාර ලබා දේ.  ඒ අනුව මතු වන රෝගී ලක්ෂණවලට ප්‍රතිකාර ලබා දෙමින් ශරීරය තුළින් ප්‍රතිශක්තිය උපදවා ගෙන රෝගකාරක මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිය අපේ සිරුරට ලබා දේ.  

ප්‍රතිශක්තිකරණය සඳහා  එන්නත් ලබා දීමෙන්ද අප සිදු කරන්නේ යම්හෙයකින් වයිරස ශරීර ගත වුවහොත් එය මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිය සිරුරට ලබා    දීමත්, රෝගය වැළඳුණහොත් ඉන් ඇතිවන සංකූලතා අවම කිරීමත්ය.

එසේනම් රෝග වැළඳීමේ අවදානමෙන් මිදීමටත්, රෝගය වැළඳීමෙන් ඇතිවන සංකූලතා අවම කිරීමටත් අප කුමක් කළ යුතුද? ඒ සඳහා අප ගන්නා ආහාර සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි.    
   
 වසංගත කාලෙට නිරෝගීකම හීනයක් නොවන්නට.....                                                                                                                                
බේත් හේත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සේම අප ගන්නා නැවුම් ආහාර පානත් නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමේ මූලික රහස වේ. පිරිසුදු හා නැවුම් එළවළු පලතුරු පෝෂණයෙන් මෙන්ම ගුණදායී බවෙන්ද වැඩිය.

අපේ ආහාර වේල ශක්තිය ලබා දෙන ආහාර, වර්ධක ආහාර මෙන්ම ආරක්ෂක ආහාර යන කාණ්ඩ ත්‍රයෙන්ම සමන්විත විය යුතු බවට ඔබ දැනුම්වත්ව ඇති. 

බත්, බඩ ඉරිඟු, තිරිඟු, කුරක්කන්, මෙනේරි ආදිය මෙන්ම අල,බතල ආදියත් තෙල් හා මේද මඟින්ද ශක්තිය ලබා දේ. මාළු, මස්,කිරි, බිත්තර, කව්පි,කඩල, පරිප්පු, මුං ඇට ආදිය සිරුරේ වර්ධනය මෙන්ම ගෙවී ගිය කොටස් අලුත්වැඩියාවත් රෝග මර්දන ශක්තිය ලබා දීමටත් අවැසි වේ. 

ඒ වගේම එළවළු, පලතුරු, පළා වර්ගවලින් ලැබෙන විටමින්, ඛනිජ වර්ග, ප්‍රතිඔක්සිකාරක, කෙඳි, ශරීරය ලෙඩ රෝගාදිය වැළඳීමෙන් ආරක්ෂා කර තබයි. 

විශේෂයෙන් විටමින් A,C ,E හා D විටමින මෙන්ම B විටමින් සංකීර්ණයද යකඩ, කැල්සියම් , සින්ක්, අයඩින්, මැග්නීසියම් මෙන්ම අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වන තඹ, සෙලිනියම්, කැඩ්මියම්, ක්‍රෝමියම්ද ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. 

මෙහිදී සිදු වන්නේ අප ගන්නා ශක්තිය ලබා දෙන සහ වර්ධක ආහාර නිසි අයුරින් ශරීරයට ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය හෝමෝන ,එන්සයිම පද්ධතිවල සංඝටක ලෙස විටමින් සහ ඛනිජ වර්ග ක්‍රියා කිරීමයි. එම පෝෂකවල අඩුවක් සිදු වූ විට ශරීරයේ අභ්‍යන්තර ආරක්ෂණ ක්‍රියාවලි අඩපණ වේ. එමෙන්ම දෛනිකව ප්‍රමාණවත් පරිදි නිසියාකාරයෙන් ජලය හා දියර වර්ග පානය නොකිරීමත් ශරීරයේ සෛල විජලනය වීමට හේතු වී ශරීර ආරක්ෂාවට බාධා පමුණුවයි. 

නිරෝගීතාව පවත්වා ගැනුමටත් රෝගවලින් ඉක්මන් සුවතාවටත් කළ හැකි ⁣දෑ...

එසේනම් මෙවැනි අවදානම් සහිත වසංගත කාලයකදී ඊට ඔරොත්තු දිය හැකි පරිදි නිරෝගීතාව රැක ගැනීමටත් රෝගවලට ගොදුරු වූවන් ඉන් ඉක්මන් සුවය සඳහාත් කළ යුත්තේ කුමක්ද යන්න මෙහිදී ඉතා වැදගත්ය.

අද දවසේදී ඔබ නිරෝගී පුද්ගලකු විය හැකිය. එසේම කොවිඩ් ආශ්‍රිතයකුව නිවසේ නිරෝදායන කාලයක් ගත කරන්නකු විය හැකියි. එසේ නැත්නම් කොවිඩ් ආසාදනය වී රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වන්නකු විය හැකියි. තවද රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් කොවිඩ් ආසාදිතව නිවසේ පසුවෙනවා විය හැකියි.  නොඑසේ නම් අසාධ්‍ය තත්ත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නෙකු විය හැකියි. ඔබ මින් කුමන කාණ්ඩයක පසු වුවද ආහාර වේල ගැන සැලකිලිමත් වීම ප්‍රධාන වගකීමයි.

ආහාර ලැයිස්තුව....
 
*  ශක්තිය ලැබෙන බත්, කුරක්කන්, බඩ ඉරිඟු වැනි ධාන්‍ය මෙන්ම අල, බතල,කොස්, දෙල් වගේ ස්වාභාවික ආහාර වර්ගත් ආහාර වේලට එකතු විය යුතුයි.
* එමෙන්ම රෝග මර්දන ශක්තිය ඇති , සිරුරේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියාවට බලපාන මාළු, මස්, බිත්තර , හාල්මැස්සන් හා කිරි ආහාරයක් මෙන්ම කව්පි,කඩල,  පරිප්පු, මුං සෝයා වැනි ඇට වර්ගයකුත් මතක ඇතිවම එකතු කර ගන්න.
* ඒ වගේම ශරීරයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ආරක්ෂක ආහාර කාණ්ඩයත් ඉතා වැදගත් වේ. එනම් එළවළු, පලතුරු සහ පළා වර්ගයි. 

විටමින්  A, C, E, D සහ B  සංකීර්ණයේ විටමින රෝගවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනැඟීමට උපකාර වේ.තවද රෝග වැළඳුණු පසුව රෝගී තත්ත්වය දරුණු වීමට එරෙහිව ඇවැසි ශක්තිය ලබා දීමද සිදු වේ. 

විශේෂයෙන් විටමින් C යනු වයිරස හා බැක්ටීරියාවලට එරෙහි වීමට හැකියාවක් මෙන්ම අසාත්මිකතා අවම කිරීමේ ශක්තියකින් හෙබි විටමිනයකි. හෘදයේ, රුධිර වාහිනීවල මනා පැවැත්මට විටමින් C  මඟින් සුවිශාල කාර්යයක් ඉටු කෙරේ. 

විටමින්  E , ඔමේගා - 3 මේද අම්ල රුධිර වාහිනීවල මනා පැවැත්මට සේම , රුධිරය කැටි ගැසීම වැලැක්වීමත් , කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමටත් දායක වේ.

එමෙන්ම ඛනිජ ලවණ, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, අයඩින් සහ සින්ක් ශරීර අභ්‍යන්තර පරිසරයේ සමතුලිතතාව පවත්වා ගෙන යාමට මහෝපකාරී වේ. එමෙන්ම රුධිර පීඩනය, ඇස්වල සෞඛ්‍යය රැක ගැනීමට , රෝග මර්දන ශක්තිය ඇති කිරීමටත් දායක වේ. මානසික ඒකාග්‍රතාව ඇති කිරීමට, මොළයේ මනා ක්‍රියාකාරීත්වය උදෙසාද මෙම පෝෂක වැදගත්ය. එබැවින් ඔබ ගන්නා ආහාර වේලට ඉහත පෝෂකවලින් අනූන ආහාර වර්ග එකතු කිරීමේ වැදගත් බව සුළුපටු නොවේ.

වසංගත කාලයට ඔබින ආහාර වට්ටෝරුව...

*  ධාන්‍ - සහල්, කුරක්කන්, මෙනේරි,බඩ ඉරිඟු, ඕට්ස්

*  අට වර්ග - පරිප්පු, කඩල, මුං ඇට, සෝයා, කව්පි

* එළවළු - මුරුංගා, බෝංචි, බීට්රෑට්,  වට්ටක්කා, දඹල, කරවිල,රාබු,කැරට්, පිපිඤ්ඤාා, තක්කාලි, ගෝවා, වම්බටු, බණ්ඩක්කා, පතෝල , වැටකොළු ආදී කොළ සහ කහ පැහැ එළවළු 

* පලතුරු- නෙල්ලි, පේර, කජු, කාමරංගා,⁣ ලෙමන්, දෙහි , පැපොල්, වෙරළු, අඹ, කොමඩු,  දෙළුම් , කෙසෙල් ආදායත්.

* පළා වර්ග- මුරුංගා කොළ, ගොටුකොළ, තම්පලා, කංකුං, කතුරු මුරුංගා, මුගුණුවැන්න, සාරණ, අගුණ කොළ ආදියත් ඉතා පහසුවෙන් ඔබට සොයා ගත හැකියි.

*  අල වර්ග- අර්ථාපල්, බතල

*  සත්වමය ආහාර- මාළු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන් , කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන

* ස්වාභාවික රසකාරක- ඉඟුරු, සුදුලූණු, කුරුඳු, කරාබු නැටි, රතු ලූණු, එනසාල්, කරපිංචා, රම්පෙ, සේර ආදියත් කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්

* ස්වාභාවික පාන වර්ග - බෙලි, රණවරා, ඉරමුසු, පොල්පලා, පාරම්පරික සහල් එනම් කළු හීනැටි, කුරුලු තුඩ,  පච්චපෙරුමාල්, මඩතවාලු, සුවඳැල් ආදී සහල් වර්ග මුසු කරමින් සාදන ලද කැඳ වර්ග, පොල් කිරි කැඳ ආදියත් ඉතාම ගුණදායකයි.

* කෘතිම රසකාරක යෙදූ, අධික ලුණු , තෙල් සහ සීනි සහිත ආහාරවලින් හැකිතාක් ඉවත් වීම නුවණට හුරුය.

* දිනකට ජලය වීදුරු 6ත් 8ත් අතර ප්‍රමාණයක් ලීටර් දෙකත් දෙකහමාරත් අතර පානය කරන්න.

* මත්පැන් සේම දුම්පානයෙන්ද ඉවත් වන්න.

ඉහත පුරුදු අනුගමනය කිරීම මඟින් ඔබට සිරුරේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි දියුණු කර ගත හැකිය. රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වයට ඔරොත්තු දිය හැකි පරිදි ප්‍රතිශක්තිය ගොඩ නංවා ගැනීමටද ඉවහල් වේ.

මෙවැනි කාලවලට ඖෂධ වන්නේ අප ගන්නා ආහාර බව මතක තබා ගන්න. 

අමතක කළ නොහැකි මන්දපෝෂණය....

කුඩාම දරුවන් අතර මෙන්ම තරුණ වැඩිහිටි කුමන වයස් කාණ්ඩය ගත්තද ප්‍රධාන පෝෂණ දුර්වලතාවක් වන මන්දපෝෂණය තත්ත්වයද සමහර අවස්ථාවලදී සුලබව කතා බහට බඳුන් වන්නකි. ඒ අනුව අඩු පෝෂණය මෙන්ම අධි පෝෂණයද ශරීරය රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හීන කර දමයි.

පෝෂණ ගුණයෙන් අනූන කෑම වේලක් ඔබට ඉතාම පහසුවෙන් වටපිටාවෙන්ම සපයා ගත හැකියි. අධික මුදලක් වැය කරමින් දිගු පෝලිම්වල රැඳී සිටිමින් කාලය මෙන්ම මුදල්ද නිකරුණේ වැයකොට පිටින් ලෙඩ රෝග ශරීරයට ඇතුල් කර නොගන්න. 

සරල වෙන්න..

බතක්, එළවළුවක්, පළා වර්ගයක්, හාල්මැස්සන් කීප දෙනෙක් හෝ බිත්තරයක් සැම ආහාර වේලකටම එකතු කර ගන්න. පහසුවෙන් ලබා ගත හැකි පලතුරක්, වෙරළු ගෙඩියක්, පේර, පැපොල් කැබැල්ලක් ආහාරයට එකතු කර ගන්න. වෑංජන රාශියක් පිළියෙළ කරනවාට වඩා එළවළුවක්,පරිප්පු, පළා වර්ගයක්, හාල්මැස්සන් එකතු කර එක් වෑංජනයක් සමඟ බත් හෝ පාන් හෝ රොටි හෝ අල වර්ගයක් හෝ ආහාරයට ගත හැකිය.

සරලව සිතන්න...

නිවසේ සියලුම දෙනා සමඟ සතුටින් සිටීමට උත්සාහ කරන්න. මේ ගෙවීයන ආපදා සමය අපට පමණක් නොව මුළු ලෝකයාටම එකසේ බලපාන්නකි. ඔබ ඔබගේ සෞඛ්‍යය මෙන්ම පවුලේ සෞඛ්‍යය රැක ගැනීමටත් වග වෙන්න. එවිට අපට නැවතත් යහපත් වටපිටාවක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කොරෝනා කාලෙට ඔරොත්තු දෙන කෑම බීම

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site