(නාලක සංජීව දහනායක)
යුද්ධය අවසන් කළ තමන්ට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනයමින් තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමට විරුද්ධ පාර්ශවය කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (05) පැවැසීය.
ඉකුත් රජය යුද්ධය අවසන් කළ නිසා අද සියලුම දෙනාට සංවර්ධනය ගැන කතා කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවද ඔහු කීය.
කන්ද උඩරට තරුණ සංසදයේ සංවිධායකත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී ඉකුත්දා පැවැති සමුළුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
මැතිවරණ සමයේදී විවිධ පුද්ගලයන් විවිධාකාර පොරොන්දු දෙනවා. ඒ මැතිවරණ පොරොන්දුවලට වඩා ඔබගේ අනාගතය ඔබ අතට ගන්නේ කොහොමද කියන කාරණය පිළිබදව කතා කරන්නට මම කැමතියි. වතුකරයේ තරුණයන් වශයෙන් ඔබට අවශ්‍ය ආකාරයට අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. මීට වසර සියයකට පමණ පෙර තිබූ නිවාසම අදත් තිබෙනවා. මේ ප්‍රශ්නවලට කෙටිකාලීනව හා දීර්ඝ කාලීනව විසඳුම් දිය යුතුයි. එමෙන්ම වතුකරයේ ජීවත්වන ඔබගේ ජීවිතය ගැන වතු ආර්ථිකය පැත්තෙන් පමණක්ම නොසිතා විසඳුම් දිය යුතුයි.
අපේ රටට විදේශ විනිමය ලැබෙන්නේ වතු ආර්ථිකයෙන්. නමුත් ඔබ ගැන කතාකරන විට තේ ආර්ථිකය ගැනම කතා කරනවානම් එය අසාධාරණයි. ඔබගේ ජීවිත ඉහළට ගෙන ආ යුතු ආකාරය පිළිබඳව සිතා මෙම ප්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ අධ්‍යාපනයෙන් ඉහළට පැමිණිය යුතුයි. තමන් ජීවත්වන පරිසරය තුළින් හැමදාම දකින තේ වත්තට වඩා වෙනත් දෙයක් දකින්න ඔබ කැමැතිවිය යුතුයි.
වතුකරයේ ජීවත්වන ඔබගේ ජීවිතය කෙටිකාලීනව හා දීර්ඝ කාලීනව හොඳ තැනකට ගෙන ආ හැකි පියවර ගැනීමට අප යොමුවිය යුතුයි. මා කතා කරන්නේ අද මෙතැන ඉන්න ඔබ ගැනම පමණක් නොව වතුකරයේ සිටින සමස්ත ජනතාව ගැනයි. මෙතන සාමාන්‍ය පෙළ දක්වා, උසස් පෙළ දක්වා, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසු තරමට ඉගෙනගත් අය සිටින්න පුළුවන්. නමුත් වතුකරයේ බොහෝ පළාත්වල අධ්‍යාපනය තිබෙන්නේ පහළ ස්ථානයක. සෑම කෙනකුටම අධ්‍යාපනය ලැබිය හැකි ආකාරයට ආර්ථිකයට දායක විය හැකි අධ්‍යාපන ක්‍රමයක් සඳහා අපි ඉක්මනින් යොමුවිය යුතුයි. පොදුවේ ලංකාවේ සියලු_ම තරුණ තරුණියන්ට හොඳ රැකියාවක් ලැබීමේ හැකියාවක් හෙවත් නිපුණත්වයක් ලබාගැනීමට රජයන් අවස්ථාවක් නොදීම අද වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. තාක්ෂණික හෝ කාර්මික විද්‍යාල හරහා ඔබට රැකියා ලබා ගැනීමට හැකි දැනුමක් නිපුණත්වයක් ලබා දිය යුතුයි. මෙය අපට කෙටි කාලීනව කළ හැකි දෙයක්. නමුත් නිපුණත්වයක් නැතිව රැකියාවක් සොයාගෙන කොළඹට ආවොත් ඔබ බලාපොරොත්තු වෙන ආදායම හෝ ජීවිතය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.
හැමදාම වත්තේ වැඩ කරලා ලබන වේතනය විතරක් ඔබට සෑහෙන්නෙ නෑ. එයින් මිදී ඔබගේ ජීවිතය හොඳ තත්ත්වයකට ගෙනඒමට හැකි ආර්ථික ක්‍රමවේදයකට යොමු වෙන්නේ කොහොමද කියන දේ ගැන සොයා බැලිය යුතුයි. ඔබගේ ප්‍රදේශයේ නගරය දිහා බලන්න. මේ නගර නවීන ආකාරයට දියුණු කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය හරහා ඕනෑතරම් රැකියා නිෂ්පාදනය කළ හැකියි. කොළඹ සිට මාතර දක්වා යන විට සංචාරකයන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය වී තිබෙන හැටි දකිනවා. නමුත් කොළඹ සිට නුවරඑළිය දක්වා යනකොට අපි එවැන්නක් දකින්නේ නැහැ. හැම සංචාරකයෙක්ම නුවරඑළියේ නැවතීමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සංචාරකයන් නවත්වා ගැනීමේ හැකියාව ඇති විශාල අවස්ථාවන් මේ අතරමග තිබෙනවා. ස්වාභාවික පරිසරය සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි දියුණු කිරීම මගින් අපට ආදායම් මාර්ග ඇති කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් මේ ප්‍රදේශවල රැකියා උත්පාදනය කිරීමටත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීමටත් හැකියි. අපි වෙනස් කළ යුත්තේ මෙයයි.
අපේ අනාගතේ අපේ අතේ කියමින් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ අනාගතය ඉස්සරහට ගෙන යන්න අවස්ථාවක්. මෙවැනි අවස්ථා නිර්මාණය කිරීම හරහා ආර්ථීකයේ නව අවස්ථා වතුකරයේ තරුණ තරුණියන් අතරට ගෙන යා හැකියි. අනිවාර්යෙන්ම අධ්‍යාපනය දියුණු කළ යුතුයි. අධ්‍යාපනය දියුණු නොකළ මේ නව ආර්ථිකය තුළ හොඳ වේතනයක් ලැබිය හැකි රැකියාවක් ලබාගන්න සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසයි කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව මෙය වෙනස් කළ යුතු බව මම සඳහන් කරන්නේ. රජයක් ලෙස අපි ඒ සඳහා අවස්ථාව සකස් කර දිය යුතුයි. ඒ හරහා අදට වඩා ඉහළ තත්ත්වයක් ඔබට ලබාගත හැකියි.
ආර්ථිකය දියුණු කිරීම හරහා සමාජයේ එක් කොටසක් පමණක් විශාල ආදායමක් ලබනවා වෙනුවට සමස්ත සමාජයම විශාල ආදායමක් ලැබීමට යොමු කිරීම මගේ අදහසයි. ඒක පුද්ගල ආදායම ඉහළ ගියත් සමහර ජනතාව දුප්පත්. ඒ විදියට එක ජනකොටසක් දුප්පත්ව සිටිනවා නම් අපි මොනතරම් සංවර්ධන කටයුතුවලට එළඹුණත් වැඩක් නැහැ. පහත්ම මට්ටමේ ජනතාව ඉහළට ඔසවා තබන්න, අඩුම තරමේ තමන්ට තුන් වේල කාලා ජීවත්වීමට හැකි ආර්ථික ක්‍රමවේදයක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නෙවෙයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළා. ලංකාව පුරා යටිතල පහසුකම් දියුණු වුණේ ඒ කාලයෙයි.
යුද්ධය ආරම්භ කළේ අපි නෙවෙයි. යුද්ධය ආරම්භ කළේ අද ආණ්ඩුවේ ඉන්නා අයයි. අපි යුද්ධය අවසන් කරපු අයයි. ඒ යුද්ධය අවසන් කිරීම නිසා වසර දහයක් තුළ කිසිම ජීවිතයක් විනාශ වුණේ නැහැ. 2009 සිට මේ වන තෙක් යුද්ධය තිබුණානම් ජීවිත කීයක් විනාශ වෙනවද. හමුදාවේ එල්.ටී.ටී.ඊ.යේ, සිවිල් ජනතාවගේ, සිංහල සිවිල් ජනතාවගේ පමණක් නොවෙයි ආර්ථික මර්මස්ථාන කොපමණ විනාශ වෙන්න තිබුණද? යුද්ධයක් තිබියදී උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනයක් කරන්න බැහැ. දරුවන්ට පාසල් යන්න පුළුවන්ද. ඒ පැතිවල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.
1983 ඇතිවුණු තත්ත්වය ඇති කළේ අපි නොවෙයි. යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන් කිරීම නිසා රට සංවර්ධනය කරන්න අවස්ථාව ලැබුණා. ජීවිත බේරුණා. මේවා ජනතාවට ලැබුණු සහන. නමුත් ජනතාව අතරට යවලා තියෙන්නේ යුද්ධයෙන් මිනිස්සු මැරුවේ අපි කියන පණිවුඩයයි. අපි මිනිස්සු මැරෙන එක නවත්තපු අයයි. යුද්ධය අවසාන කිරීම නිසයි අපිට අද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්. ඔබේ අධ්‍යාපනය ගැන කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙත් ඒ නිසයි.
එදා ඔබ කොළඹට ආවම කී වතාවක් සෝදිසි කිරීමට ලක්වුණාද. ඔබ දෙස සැකෙන් බැලුවේ නැද්ද. පසුගිය වසර 10 තුළ ඔබ දෙස කවුරුත් සැකෙන් බලන්නේ නැහැ. මිනිස්සු සැකෙන් බලන්න සෝදිසි කරන්න පටන් ගත්තෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ. ඔබ වසර දහයක් සතුටෙන් ජීවත් වුණා. ඔබව සෝදිසි කළේ නැහැ. ඔබ දෙස සැකයෙන් බැලුවෙ නැහැ. ඔබ තරුණ නිසා යුද්ධයේ ඉතිහාසය ගැන දන්නේ නැති පිරිසක්. නමුත් ඇත්ත කතාව අපි නොවෙයි යුද්ධය ආරම්භ කළේ. යුද්ධය ආරම්භ කරපු අය තමයි අපිට මේ චෝදනාව කරන්නේ. ඒ අය අනෙක් පැත්තේ සිටිමින් බොරු ප්‍රචාර කරමින් ඔබේ ඡන්දය ඩැහැගන්න බලන් ඉන්නවා යැයිද රාජපක්‍ෂ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත
වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා
සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ
යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව
අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන
රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘බොරු ප්‍රචාර කරන විරුද්ධ පිලේ අරමුණ තරුණ ප්‍රජාවගේ ඡන්දය ඩැහැගැනීමයි‘‘
Isuri Wednesday, 09 October 2019 07:13 AM
බය වෙන්න එපා මැතිදුනි..ඔබට අප සහයෝගය දෙනවා අනිවාර්යයෙන්ම. අපිට මතකයි ඒ කාලෙ අපේ අම්මලා ඇවිත් පාසල් ගානෙ මුර කරපු හැටි. ළගපාත බෝම්බ පුපුරනකොට ගෙදරට ඇදන් ඉදපු ඇදුම පිටින් ඉස්කෝලෙ ළගට දුවපු හැටි. ගමනක් යන්න ඕන උනාම ගැහී ගැහී බයෙන් බස්වල ගොඩවෙලා ගිය හැටි. මේ සේරම මතකයි. ඒ අදුරු අතීතය නිම කිරීමට දායක වූ ඔබට කෙළෙහි ගුණ දත් අප කෙසේ ද්‍රෝහි වෙම්ද..? සුවහසක් ජීවිත බේරූ පිනම ඇතිය ඔබට ජයග්‍රාහී ගමනකට පියවර තබන්නට..
Mf Wednesday, 09 October 2019 12:30 PM
යුද්ධය දිනපු ගෞරවය සියලු දෙනාටම හිමිවිය යුතුයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හිරේ යනකොට නෝ කතා කවුරුවත්.. දැන් සෑම අංශයකින්ම නිදහස තියෙනවා. අපොයි මෙයාට වැඩි හොඳයි මහේෂ් සේනානායක හිටපු හමුදාපති....
Rasika Pradeep Wednesday, 09 October 2019 01:06 PM
"කොළඹ සිට මාතර දක්වා යන විට සංචාරකයන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය වී තිබෙන හැටි දකිනවා. නමුත් කොළඹ සිට නුවරඑළිය දක්වා යනකොට අපි එවැන්නක් දකින්නේ නැහැ. හැම සංචාරකයෙක්ම නුවරඑළියේ නැවතීමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සංචාරකයන් නවත්වා ගැනීමේ හැකියාව ඇති විශාල අවස්ථාවන් මේ අතරමග තිබෙනවා. ස්වාභාවික පරිසරය සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි දියුණු කිරීම මගින් අපට ආදායම් මාර්ග ඇති කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් මේ ප්‍රදේශවල රැකියා උත්පාදනය කිරීමටත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීමටත් හැකියි." මේක තමයි රටට ඕනේ ප්‍රතිපත්තිමය වෙනස.