X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


’රටේ ගිනි නිවන්න නම් අපි කවුරුත් එක් විය යුතුයි’

(අංජුල මහික වීරරත්න)

”රනිල් වික‍්‍රමසිංහ යනු තාන්නxමාන්න, නිලතල ලැබීම මෙන්ම එහි දුක්බර ස්වභාවය හොඳින්ම විඳගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු යැයි” කොළඹ නව කෝරළේ ප‍්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ කොළඹදී පැවැසූහ.

රටේ ගිනි නිවන්න නම් අප කවුරුත් එක්ව කැපවිය යුතු බව ද ගලබොඩ ඤාණිස්සර නාහිමියෝ තවදුරටත් ප‍්‍රකාශ කළහ.

ප‍්‍රවීණ ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි සම්පාදනය කළ ”රනිල් වික‍්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග‍්‍රන්ථය දොරට වැඞීමේ උත්සවයට සහභාගී වෙමින් නාහිමියෝ මේ බව කීහ.

කොළඹ - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්විණි.

යහපාලන රජය පිහිටුවීම සඳහා මූලික වී ක‍්‍රියා කළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ගෞරව දැක්වීම සඳහා විනාඩියක නිහඬතාවක් ආරක්ෂා කිරීමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ඇරැඹිණි.

ජනපති, අගමැති ප‍්‍රමුඛ ආරාධිතයන් අයි පෑඩය ඇසුරින් මංගල පහන් දැල්වීම විශේෂත්වයක් විය.

කතුවරයා විසින් කෘතිය ජනපති, අගමැති සහ කථානායකට පිරිනැමීමෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ ග‍්‍රන්ථය ජනගත කිරීම ද සිදුවිය.

ග‍්‍රන්ථය අලෙවියෙන් ලැබෙන ලාභය ජාතික වකුගඩු අරමුදලට බැර කරනු ලැබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ මෙසේ ද කීහ.

”රනිල් වික‍්‍රමසිංහ නම් වටිනා පුද්ගලයාගේ ආරම්භක ඉතිහාසය මට සිහිපත් වෙනවා. හෙලේනා විජයවර්ධන ළමාතැනියට සහ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් තුමාට දරුවන් නව දෙනකු සිටියා. ඔවුන් මෙරට අක්කර තිස් - හතළිස් දහසක් වගා කළ වීර කාන්තාවක් වෙනවා. වීර පියෙකු වූවා.

භාෂාවට - සංස්කෘතියට, මුළු මහත් රටට සේවයක් කළ මාපිය යුවළක් ද වෙනවා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාත් ඒ ළමාතැනීගේ මුණුබුරෙක්. අභාවප‍්‍රාප්ත වී සිටින රවී ජයවර්ධන මහතා පූජ්‍ය පක්ෂයට බස්රථ, දුම්රිය, පොදු වාහනවල නොමිලේ ගමන් කිරීමට අවසර පත‍්‍ර දීමට කටයුතු කළා. එතුමාත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සහෝදරයකු වන කෝබට් ජයවර්ධන පැවිද්ද ලබා අප ඇසුරේ ගංගාරාමයේ වැඩ සිටියා.

විජයවර්ධන පවුලේ හැංගිච්ච රහස ඞී.ආර්. විජයවර්ධන මහතායි. එමෙන්ම රූබි විජයවර්ධන මැතිනියයි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය නාලනී වික‍්‍රමසිංහ මහත්මියයි. එතුමියගේ සැමියා වන්නේ එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතායි. ඔහු මෙරට ප‍්‍රවෘත්ති පත‍්‍ර කලාවේ විප්ලවය කළ නිහඬ පුද්ගලයායි. රනිල් වික‍්‍රමසිංහ මහතා ඔවුන්ගේ පුත‍්‍රයායි.

සතර බ‍්‍රහ්ම විහරණ ගැන බුදුන්වහන්සේ දේශනා කළා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනු එයයි.  ඕනෑම කෙනකුට තිබිය යුතු ශ්‍රේෂ්ඨතම ගුණය මෛත‍්‍රියයි. සමානාත්මතාව, කැපවීම, ඉවසීම වැනි ගුණාංග ද පැවැතිය යුතුයි.

මා දුටු විඳදරා ගැනීමේ හැකියාව ඇති පුද්ගලයකු මෙරට සිටිනවා නම් ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලයා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතායි. ඉන් පසුව තාන්න-මාන්න නිලතල ලැබුණා සේම එහි දුක්බර ස්වභාවයත් හොඳින් විඳගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා හඳුන්වාදිය හැකියි.

රටේ ගිනිගන්න ප‍්‍රශ්න නිවන්න අප කවුරුත් කැපවිය යුතුයි. ඉදිරියට එන වෙසක් දිනය ඒ සඳහා සුදුසු දිනයයි.

විදේශීය ජාතීන් මෙරටට එන අවස්ථාවේ සියලූම ජාතීන් එකා වගේ කටයුතු කළ යුතුයි. අපට ලැබී ඇති අවනම්බු නැති කර ගැනීමට එය හොඳ අවස්ථාවක් වේවි.

අපි සියලූම වාද බේද අමතක කර මධ්‍යස්ථව, සමගියෙන්, එකමුතුව රට ගොඩනගමු. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට සහ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දිය හැකි ශක්තිය එයයි.”

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා

”රනිල් වික‍්‍රමසිංහ ගැන මෙවැනි වේදිකාවක විනාඩි කීපයකින් කතා කර නිම කරන්න බැහැ. ඒ නිසා එක් පැතිකඩක් ගැන පමණක් මා කතා කරන්නම්.

එතුමා ආදී රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකු වෙනවා. රාජකීය බව එක් පැත්තකිනුත්, අනික් පැත්තෙන් සරල බවත් ගැන මා අද කතා කරනවා.

1948 නිදහස ලැබුණු පසු අප රටේ නායකත්වය බාරගත් සියලූම දෙනා විදේශ අධ්‍යාපනය ලැබූ අයයි. ඩඞ්ලි, ජේ.ආර්., සර් ජෝන්, සර් ඔලිවර් ගුණතිලක, නුගවෙල, කන්නන්ගර ආදීන් විදේශ අධ්‍යාපනය ලැබූ නායකයන් වූවා.

1951 දී බණ්ඩාරනායක මේ කඳවුරෙන් ඉවත්වී වෙනම පිළකට ගමන් කළා. ඒ පිළෙහි සිටි නායකයන් ද විදේශ අධ්‍යාපනය ලැබූ අයයි. බණ්ඩාරනායක, ශ්‍රී නිශ්ශංක, ඒ.පී. ජයසූරිය, ජෝර්ජ් ආර්. ද සිල්වා ඒ කඳවුරේ සිටියා.

මේ පිල් දෙකටම මැද සිටි සම සමාජ පක්ෂ නායකයන් වූ අයත් විදේශ අධ්‍යාපනය ලැබූ අයයි. එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, පීටර් කෙනමන් ආදීන් ඒ අතර වෙනවා.

මේ පළමු පරපුරෙන් පසුව අපට දෙවැනි පරපුර හමුවෙනවා. ඒ පරපුර මෙරට ජාතික අධ්‍යාපනය සමග මුසු වෙනවා. රනිල් වික‍්‍රමසිංහ එහි සුවිශේෂී නිෂ්පාදනයයි. මෙරට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා අගමැති වූ පළමු දේශපාලකයා රනිල් වික‍්‍රමසිංහයි.

1953 දී රනිල් රාජකීය විද්‍යාලයට ඇතුළු වෙනවා. ඒ රටට සුවිශේෂී වසරකයි. හර්තාලය ඇරැුඹුණේ 1953 දීයි. රනිල්ගේ පියා මෙරට මාක්ස්වාදී දේශපාලනය හැදෑරූ ලංකා සම සමාජ පක්ෂයේ ඉහළ නායකයකු වූවා.

එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතාගේ විවාහය ගැන ලංකා සම සමාජ පක්ෂය මධ්‍යම කාරක සභා රැස්වීම් දෙකක කතා කළා. ධනපති පවුලක් වන විජයවර්ධන පවුල සමග එස්මන්ඞ් වික‍්‍රමසිංහ සහෝදරයා විවාහ ගිවිස ගත්තේ කෙසේ ද යනුවෙන් ඒ සාකච්ඡුා පැවැත්වුණා.

එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතා විජයවර්ධන පවුලෙන් විවාහය කරගෙන විජයවර්ධන පවුලේ ධනය සම සමාජ ව්‍යාපාරය වෙනුවෙන් යෙදිය යුතු යැයි මොරටුව සම සමාජ පක්ෂ මන්ත‍්‍රී හර්මන් පීරිස් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව විජයවර්ධන පවුලෙන් විවාහ ගිවිස ගන්නට ඔහුට අවසර දුන්නා.

එස්මන්ඞ් වික‍්‍රමසිංහගේ සහෝදර බිෂෝප් ලක්ෂ්මන් වික‍්‍රමසිංහ වරෙක ගුණදාස අමරසේකර සමග කී කතාවක් අමරසේකර මට පැවැසුවා. ”ගුණදාස මා කිසිවිටෙක යූ.එන්.පී. එකට ඡුන්දය දී නැහැ” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කර තිබුණා. ඒ තමයි වික‍්‍රමසිංහ පවුල.

පසු කලෙක වෙන මත දැරුවත් රනිල් වික‍්‍රමසිංහට ඒ ආභාෂය හොඳින්ම ලැබුණා. රාජකීය මව එක් පැත්තකින් තබාගෙන අනෙක් පැත්තෙන් පියාගේ ඇති සරල බව තබාගන්න රනිල් කැමතියි.

70 දශකය වනවිට ඔහු නීති උපාධිය ගෙන නීති විදුහලට ගොස් නීතිවේදියකු බවට පත්වුණා. නීති පීඨ ශිෂ්‍ය සංගමයේ නායකයකු ලෙස ක‍්‍රියා කළා.

රබර් සෙරෙප්පු දෙකක් දමා සරසවියට එන රනිල් මට තවමත් මතක යැයි මා සමග ජනවේගය ව්‍යාපාරයේ වැඩ කළ දැනට  ඕස්ටේ‍්‍රලියාවේ සිටින මාවෝවාදියකු වන ශ්‍රී ස්කන්ධ රාජා මහතා මා සමග පැවැසුවා.

මා එජාපයට පැමිණි පසු ශ්‍රී ගැන විස්තර රනිල්ට කියන විට හාර හාර ඔහු ගැන තවදුරටත් විමසුවා. තද වාමාංශික මතධාරියකු පිළිබඳවත් ප‍්‍රසංශ සහගතව කතා කිරීමේ ගුණය රනිල් සතුයි.

ඔහු එක් පැත්තකින් සරසවියේ ශිෂ්‍ය සටන් පෙරමුණේ සිටිනවා. අනෙක් පැත්තෙන් රාජකීය සබඳතා අතහැරියේ නැත. රාජකීය ශාන්ත තෝමස් මහ ක‍්‍රිකට් ගැටුම නරඹන්නට ඔහු නොවරදවාම යනවා. මේ කොන් දෙකෙහි සංකලනය වී ගමන් කරන්න එතුමාට හැකිවුණා.

එකල දේශපාලන නායකයන් නායකත්වයට පත්වීම සඳහා ආගම පවා වෙනස් කරන යුගයක පැවතුණා. බොහෝ රාජකීයයන් අප වැනි ආනන්ද නාලන්දියන් අඳින ජාතික ඇඳුම පොරවා ගන්නා විට රනිල් රාජකීය විදුහලේ පුරුදු යුරෝපීය ඇඳුම කිසිදා අත් හැරියේ නැහැ. ඇඳුමින් දේශපාලන ප‍්‍රතිපත්ති මාලාව අපට කියාදෙන්න ඔහු තැත් කළේ නැහැ.

2001 රජයේදී මා රනිල් සමග ඉතා සමීපව වැඩ කළා. ඔහුගේ හොඳ ගතිගුණ මා එකල තේරුම් ගත්තා. මනුස්සකම, සරලබව මෙන්ම ඔහු රකින මිනිහා ඔහු සියලූ දේ පසෙක දමා ආරක්ෂා කළා.

මා මිත‍්‍ර මංගල සමරවීර එදා මට හතරවටින් පහර දෙන විට ශබ්ද කෝෂ, සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථ ගෙනැවිත් ඒවාට උත්තර බැඳිය යුතු ආකාරය ඉගැන්වූයේ රනිල් වික‍්‍රමසිංහයි.

2001 දී රාජකීයයන් 18 දෙනකු පාර්ලිමේන්තුව ජයගෙන හිටියා. ඔවුන් පිළිගැනීම සඳහා රාජකීය විදුහලේ උත්සවයක් තිබුණා. එහි ප‍්‍රධාන ආරාධිත වූ අගමැති රනිල් මෙසේ කියනවා. ”අපගේ පිය පරපුරට, අනගාරික ධර්මපාල, ජේම්ස් පීරිස්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, ජෝන් කොතලාවල, ජේ.ආර්. වැනි අයට මග කියා දුන්නේ රාජකීය විදුහලයි. අප සැවොම ඉතිහාසය, දේශපාලනය, සාහිත්‍ය ඉගෙන ගත්තේ මෙහිදීයි. විනය උගත්තේත් මෙහිදීයි.”

රාජකීය විදුහල ගැන මා මෙතරම් කතා කරන්නේ ඇයි? ඔහුට රාජකීය විදුහලෙන් ලැබුණු හොඳම ආභාෂය ලිබරල්වාදයයි. ඔහු ලිබරල් අන්දමින් නිදහස්ව සිතනවා. ඔහු නිදහස් චින්තනය නිසා සිංහල ජාතිකත්වයටම යටවුණේ නැහැ. සියලූ ජාතීන් නියෝජනය වන ශ්‍රී ලාංකික ජාතිය ගැන හැම විටම කල්පනා කළා. සිංහල මිනිසුන් සමග එක්ව ශ්‍රී ලාංකික ජාතිය රැුක ගන්නා ආකාරය ගැන රනිල් කල්පනා කළා.

රනිල්ට බහුතර සිංහල ජනතාව දිනා ගන්න නොහැකි යැයි චෝදනාවක් තිබුණා. එය චෝදනාවක් පමණයි. ඊට පිළිතුරු දීමට ඔහු රාජකීය පෙනුම අතහැරියේ නැහැ. එය අවශ්‍ය වන්නේත් නැහැ. අවශ්‍ය වන්නේ සිංහල සමාජය පොදු ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමේ දේශපාලනය ක‍්‍රියාත්මක කිරීමයි.

රනිල් වික‍්‍රමසිංහ දේශපාලන අනන්‍යතාව රාජකීය හැඩතලය යොදා ගැනීමට මීට වඩා සුදුසු කාලයක් නැහැ. එය මීට වඩා අත්‍යවශ්‍ය වන කාලයක් ද නැහැ. ශ්‍රී ලාංකික අනන්‍යතාව ගොඩනැගීම සඳහා රනිල් වික‍්‍රමසිංහ රාජකීය පසුතලය යොදා ගනිමු.”

මුඛ්‍ය දේශනය පැවැත්වූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කාරක සභාවේ සභාපති සම්මානලාභී ලේඛක ශෂී තරූර් මහතා

”ශ්‍රී ලංකාවේ ඇති දැඩි පරිසර නීති බොහෝවිට ඉන්දීය ආයෝජකයන්ට හිරිහැර ගෙනදෙන අවස්ථා තිබෙනවා. නමුත් චීනය ඒ නීතිවලින් ගැලවී යන බව අපේ හැඟීමයි. ඒ පිළිබඳව ලංකා රජය අවධානය යොමු කරන්න.

ජනවාර්ගික ප‍්‍රශ්නය සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාවේ මතයයි. නමුත් ඒ වෙනුවෙන් කිසිවිටෙක ඉන්දියාව ලංකාවේ ස්වාධීන බවට බලපෑමක් කරන්නේ නැහැ. ලංකාවේ ශීඝ‍්‍ර සංවර්ධන කාර්යය සඳහා ඉන්දියාවේ උපරිම සහයෝගය ලැබෙනවා. ආයෝජන වෙනුවෙන් ඉන්දීය සහයෝගය පළ කරනවා.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම දීම තමිල්නාඩුවේ සිටින මිලියන 70ක ජනතාවටත් සහනය සැලසීමක් බව කිව යුතුයි.”

ක‍්‍රිස්තියානි කටයුතු සහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.

මහා සංඝරත්නය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු සෙසු ආගමික නායකයෝ ද මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

’රටේ ගිනි නිවන්න නම් අපි කවුරුත් එක් විය යුතුයි’

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site