X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


නිමාවක් නොපෙනෙන ‘අරාබි වසන්තය’

එය වසන්තයක් වන්නේ නම් මීට වසර දෙකකට පෙර ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, ඊජිප්තුව හා පසුව සිරියාවට හා යේමනයට පැතිරී ගිය ජනතා උද්ඝෝෂණ රැල්ල තවම නිමවී නැත. ටියුනීසියාව, ලිබියාව හා ඊජිප්තුව යන රටවල දශක ගණනාවක් පාලන බලය හිමිකර ගෙන සිටි කුරිරු පාලකයන් පන්නා දමා හෝ මරා දමා අලූත් පාලක පන්තියක් බිහි වුවද ජනතා නැගිටීමෙන් සංකේතවත් වූ අපේක්ෂා තවම මිරිඟුවකි. ඊට එක්වූ අලූත්ම නිදසුන වන්නේ පසුගිය සතියේ බදාදා ටියුනීසියාවේ විපක්ෂ නායකයා වූ චොක්රි බෙලේඞ් ටියුනීස් අගනුවර සිය නිවස ඉදිරිපිටම වෙඩි තබා මරා දැමීමයි. දශක දෙකක් තිස්සේ පාලන බලය හිමි කර ගෙන සිටි ඒකාධිපති සිනෙ අල් අබිසන් බෙන් අලි ජනතා උද්ඝෝෂණ හමුවේ රටින් පලා යෑමෙන් පසුව 2011 ඔක්තෝබර් මාසයේ පැවැති ඡන්ද විමසීමෙන් ආසන 217 කින් යුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ආසන 89 ක් දිනා පාලන බලය අත්කරගත් එන්නහ්ඩා පක්ෂයට මෙම ඝාතනය ගැන චෝදනා එල්ල වුවත් එහි වගකීම මෙතෙක් කිසිවෙක් භාර ගෙන නැත. මීට පෙර ආගම්වාදී නොවන සංවිධාන හා පුද්ගලයන්ට එන්නහ්ඩා පක්ෂයේ අන්තවාදී කණ්ඩායම් හා සලෂිස්ට් ආගමික අන්තවාදීන් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ මෙන් මෙම සිද්ධියේදීද නිසි පරීක්ෂණයක් හෝ වරදකරුවන්ට දඬුවම් පැමිණවීමක් සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය.

ඝාතනයට ලක්වූ චොක්රිගේ බිරිය බස්මා බ්ලේයිඞ්


එහෙත් විපක්ෂ නායක චොක්රි ඝාතනයෙන් කෝපයට පත් ජනතාව දහස් ගණනින් වීදි බැස උද්ඝෝෂණ දැක්වීමත් රට පුරාම එන්නහ්ඩා පක්ෂ කාර්යාලවලට මෙන්ම පොලිස් ස්ථානවලට පහර දීමත් තවත් වසන්තයක උදාවක් දැයි සිතේ. ඝාතනයට ලක්වූ නායකයා අගමැති හමීඞ් ජබාලි ගේ පාලනයත් ඔහුගේ අනුගාමිකයන්ගේ ක‍්‍රියා කලාපයත් දැඩිව විවේචනයට ලක් කරමින් ඔවුන් නැවතත් ටියුනීසියාව ඒකාධිපති පාලන ක‍්‍රමයක් කරා ගෙන යන්නේ යැයි චෝදනා කළේය. ආගම්වාදී නොවන දේශපාලනයක් හා මතවාදයක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්ට සලෂිස්ට්වාදීන් පහර එල්ල කළද ඒවා වැළැක්වීමට හා නැවත්වීමට පියවර නොගැනීමෙන් අගමැති ජබාලි විප්ලවයේ අපේක්ෂා බිඳ දමා ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් පාලන බලයේ රැඳී සිටීමට සදාචාරමය අයිතියක් නැති බවද ශිෂ්‍ය කාලයේ සිටම ජනතා අරගලයට සම්බන්ධවී සිටි චොක්රිගේ ස්ථාවරය විය. එම නිසාම මුස්ලිම් සහෝදරත්වයේ ටියුනීසියානු ශාඛාව වූ එන්නහ්ඩා පක්ෂයට චොක්රි වැනි නායකයන් දැඩි හිසරදයක් වූ බැවින් ඔවුන් දේශපාලනයෙන් මෙන්ම ජීවිතයෙන්ද ඉවත් කිරීමේ වුවමනාවක් තිබිණ.


2011 ජනවාරි මාසයේදී ප‍්‍රාන්ත නගරයක් වූ සිසි බවුසිඞ්වලින් ආරම්භවී රට පුරා පැතිර ගිය ජනතා විරෝධය සිහිපත් කරමින් චොක්රි ඝාතනයට එරෙහි විරෝධය රාජ්‍ය පාලනය හිමිකර ගෙන සිටින එන්නහ්ඩා සභාග රජයට එරෙහි ව්‍යාපාරයක් බව පෙණින. මේ නිසාම අගමැති ජබාලි කැබිනට් මණ්ඩලය හා රජය විසුරුවා හැර ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි යෝජනා කළේය. නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගන්නා තෙක් දේශපාලන පක්ෂවලින් බැහැරවූ තාක්ෂණවේදීන්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමද ඔහුගේ යෝජනාවකි. එහෙත් වීදි බැස උද්ඝෝෂණය කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප‍්‍රබල ඉල්ලීම වූයේ එන්නහ්ඩා පක්ෂයේ රජය වහාම ඉවත් විය යුතුය යන්නයි. ඝාතනය කරන ලද නායකයාගේ අවමගුල පැවති පසුගිය සතියේ සිකුරාදා ටියුනීසියාවේ ප‍්‍රබල වෘත්තීය සමිති එකමුතුව වන ටියුනීසියානු පොදු කම්කරු සංගමය මහා වැඩ වර්ජනයකට එකතු වන්නැයි කළ ඉල්ලීමට ලැබුණු ප‍්‍රතිචාරය ඉමහත්ය. නිරීක්ෂකයන් පවසන ආකාරයේ වසර 35 කට පසුව දියත් වූ මෙම මහා වර්ජනයෙන් සමස්ත ටියුනීසියාවම අකර්මන්‍ය විය. ඉන් පැහැදිලි වන්නේ එන්නහ්ඩා හා සලාෂිස්ට් කණ්ඩායම ක‍්‍රියාත්මක කරන අන්තවාදී ආගමික දේශපාලන ක‍්‍රියාමාර්ගවලට එරෙහි දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පැවතීම බව බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.


ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ පාලනයට එරෙහිව මතුවූ ජනතා පෙළගැසීම සිහිපත් කරමින් ටියුනීසියාවේද විපක්ෂය මෙම සිද්ධියත් සමඟ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කළහ. පාලක සභාගයේ හවුල්කරුවෙකු වන ජනාධිපති මොන්සෙෆ් මර්සුකීගේ පක්ෂය සභාගයෙන් ඉවත්වී ඔවුන්ට පිරිනමා තිබූ ඇමැතිධුර තුනෙන්ද ඉල්ලා අස්වූහ. ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වන්නේ දැනට විදේශ කටයුතු සහ අධිකරණ ඇමැති තනතුරුවල සිටින එන්නහ්ඩා පාක්ෂිකයන් ඉවත්කර ඒ සඳහා ස්වාධීන පුද්ගලයන් පත් කරගත යුතුය යන්නයි. අගමැති ජබාලි මෙම ඇමැති තනතුරු සියල්ල වෙනස් කිරීමට සූදානම් වුවද ඊට ඔහු ද අයත්වන එන්නහ්ඩා පක්ෂය සූදානම් නැත. රජය විසිරුවා හැරීමටද ඔවුන් එකඟ වන්නේ නැත. මෙම ප‍්‍රශ්නය නිසා එන්නහ්ඩා පක්ෂය තුළ බෙදීමක් හටගෙන ඇති අතර මේ සතිය අවසන් වීමට පෙර තම යෝජනාවට පක්ෂයේ අනුමැතිය ලබා නොදෙන්නේ නම් අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන බවට හමාඞ් ජබාල් තර්ජනය කරයි. කෙසේ වුවත් මෙම බෙදීම් නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ එකඟතාවයක් ලබා ගැනීම දුෂ්කර වීමෙන් නියමිත ආකාරයට ලබන ජුනි මාසයේදී නව ව්‍යවස්ථාව අනුව ඡුන්ද විමසීමක් පැවැත්විය හැකිද යන්න සැක සහිතය.

ටියුනීසියාවේ විරෝධතා


ජනප‍්‍රිය නායකයකු වන චොක්රි බෙලාඞ් ඝාතනය කිරීමත් සමග පැන නැගී තවමත් සන්සුන්වී නැති ජනතා උද්ඝෝෂණයට තුඩු දුන් තවත් හේතු ගණනාවක් පවතින බවද අමතක කළ යුතු නැත. ඇත්තෙන්ම එන්නහ්ඩා පක්ෂයේ නායකත්වයෙන් යුත් මෙම සභාගයට එරෙහිව ජනතා උද්ඝෝෂණ පසුගිය දෙසැම්බර් මාසයේද උත්සන්න වී තිබිණ. නව පාලනයක් ස්ථාපිත වුවද බෙල් අලිගේ මර්දනකාරී පාලන තන්ත‍්‍රය ඒ අකාරයෙන්ම පැවතීමට අමතරව 2011 ජනතා නැගිටීම තුළින් අපේක්ෂා කළ වෙනස සිදුවන බවක් දක්නට නැත. එම නැගිටීමට මූලික හේතුව වූ තරුණ විරැකියාවට සාර්ථක විසඳුමක් නොවූ නිසාම විරැුකියා අනුපාතය සමහර ක්‍ෂේත‍්‍රවල වැඩිවී ඇතැයි වාර්තා වේ. විශේෂයෙන්ම ගම්බද ප‍්‍රදේශවල උගත් තරුණයන් අතර විරැුකියා අනුපාතය පෙරටත් වඩා වැඩිය. ඊට අමතරව ජීවන වියදමේ පහත වැටීමක් සිදුව නැත. යුරෝපා සංගමයේ ආර්ථික අවපාතය නිසා අපනයන පහත වැටීමෙන් උද්ගතවී ඇති විදේශ විනිමය අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ රාජ්‍ය වියදම් කපා හැරීමය. වත්මන් පාලකයන්ද පලවා හරින ලද ජනාධිපති බෙන් අලි මෙන් විදෙස් ණය ලබා ගැනීම සඳහා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කොන්දේසිවලට අවනත වීමට සූදානම්ය. සිරියාවේ අසාඞ්ගේ පාලනයට එරෙහිව සටන් කරන කණ්ඩායම්වලට ටියුනීසියාවේ සහයෝගය ලැබෙන්නේ එම නිසාය. රට තුළින් නැගෙන විරෝධයට පිළිතුරු දක්වන්නේද ඒකාධිපති පාලක බෙල් අලි ප‍්‍රතිචාර දැක්වූ ආකාරයටය.


මින් පැහැදිලි වන්නේ 2011 ජනවාරි මාසයේදී සිසි බවුසිඩ නගරයෙන් ආරම්භ වූ ජනතා පිබිදීමේ අරමුණු මෙතෙක් ඉටු නොවීම හා නව පාලකයන්ටද ඒ සඳහා නිසි වැඩ පිළිවෙළක් නොමැතිවීමය. නව පාලකයන්ද පැරණි මර්දනකාරී පාලන තන්ත‍්‍රය ඒ ආකාරයෙන්ම යොදා ගැනීමටත් පැරණි පාලකයින් ගොඩ නගා ගත් විදේශ සම්බන්ධතා මතු පිටට පමණක් සීමා වූ වෙනස් කිරීම් සහිතව ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමටත් සූදානම්ය. වෙනසකට ඇත්තේ ආගම්වාදී කඩතුරාවකින් ආවරණය වීම පමණි. එහෙත් මෙම ක‍්‍රමය මැද පෙරදිග අනෙක් රටවල මෙන්ම ටියුනීසියාවේද තවත් කොපමණ කලක් පවත්වාගත හැකිද යන්න විවාදයට තුඩු දෙන කාරණයකි. බහුතර ජනතා අපේක්ෂාව වන ජනතාවාදී පාලනයක් ඇති කිරීමත් ඒ තුළින් ඔවුන්ගේ ආර්ථික බලපෑම වැඩි කිරීමත් ආගම්වාදී පාලකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය. නව දේශපාලන ක‍්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින චොක්රි වැනි නායකයන් ඝාතනය කිරීමෙන් එම අරගලය තාවකාලිකව පසුදැමිය හැකි වුවද ඉන් සමාජ සාධාරණත්වය හෝ සාමය ළඟා කර ගත නොහැකි නිසා අවුල් වියවුල් හා ගැටුම් අඩුවන්නේ නැත. ලිබියාව ඊජිප්තුව හා යේමනය වැනි රටවල සිදු වෙමින් පවතින ක‍්‍රියාදාමය කිසියම් ඉඟියක් වන්නේ නම් අරාබි වසන්තය නොයෙකුත් ආකාරයෙන් තවත් බොහෝ කලක් ක‍්‍රියාත්මක වන බවට සැකයක් නැත. ඒ සඳහා වැය වන මිනිස් ජීවිත හා දේපළ පෙරටත් වැඩිවීම කිසිසේත් සුභදායක නොවේ.

 

සටහන: මහින්ද හත්තක

 

ඝාතනයට ලක්වූ චොක්රි බ්ලෙයිඞ්

 

අගමැති හමාඩි ජබාලි

 

විරෝධතාවක්

 

චොක්රි බ්ලේඞ්ගේ මරණයට ශෝකය පළකරන පිරිස

 

ජනාධිපති මර්සූකි

 



අදහස් (0)

නිමාවක් නොපෙනෙන ‘අරාබි වසන්තය’

තුවාන් Friday, 15 February 2013 04:14 PM

මුලු අරාබියටම එක් කලීපාවරයෙක් පැමිනෙන තුරු එය එසේමමමයි.(නදී)

:       0       0

සේන Friday, 15 February 2013 05:02 PM

කොන්ද පන ඇති මිනිසුන්.(නදී)

:       0       0

සම්පත් Friday, 15 February 2013 07:57 PM

මේ වගේ රටවල ආගමිවාදී පාලනයෙන් ඉවත් වෙලා ජනතා පාලනයක් ඇතිවීම අගේ කළයුතුයි. මිනිසුන්ට නිදහසේ සිටීමට ඉඩ දිය යුතුයි.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 18 February 2013 03:35 AM

ඊසා අලෙස්සලාමි පැමිණි පසුව සාමය ස්ථාපිත වනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site