පළාත් පාලන මැතිවරණය අද කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවකි. මෙම මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහය ද විවේචනයට ලක්වෙමින් තිබේ. මේ රටේ ඇති මහ නගර සභා ගණන 24කි. නගර සභා ගණන 42කි. ප්‍රාදේශීය සභා ගණන 275ක් පමණය. මේ පළාත් පාලන ආයතනවල නිල කාලය වසර හතරකි.
එහෙත් මේ නිල කාලය උපරිම තවත් වසරකින් දිගු කිරීමේ අභිමතය විෂය භාර ඇමැතිවරයාට අද පවතින නීතිය යටතේ ලැබී තිබේ. මින් පෙර සිටි විෂය භාර ඇමැතිවරයා එම බලය පාවිච්චි කර පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කළේය. එහෙත් ලංකාවේ පවත්නා නීතිය අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය එකී වසර පහට වඩා දීර්ඝ කළ නොහැකිය.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයෙන් කියැවුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ජනාධිපතිවරයාගේ අදහසය. එහෙත් එවැන්නකට කිසිදු ඉඩක් නැත.
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව 8000 ඉක්මවා ඇති හෙයින් මෙම සංඛ්‍යාව අඩු කළ යුතු බව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වන තවත් අදහසකි. ඒ වගේම සභාපතිවරුන්ට හිමි විධායක බලය සභාපති ප්‍රමුඛ මණ්ඩලයකට පැවරීමේ වුවමනාව ද ජනාධිපතිවරයා පෙන්නා දී තිබුණි.
ජනාධිපතිවරයා කියා සිටින මෙම කරුණු දෙකම 2016 සිට පැවත එන්නකි. මේ ක්‍රමය ආරම්භ වූ 2016 දී රටේ අගමැති වූයේ වත්මන් ජනාධිපතිවරයාය. මැතිවරණ ක්‍රමය සම්බන්ධ කමිටුවේ සභාපතිවරයා වූයේ වත්මන් අගමැතිවරයාය. ඒ අනුව බලන විට දැන් වෙනස් කිරීමට කතා කරන්නේ වසර හයක් පැවැති ක්‍රමයකි. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ හදිසි වෙනසක් අවශ්‍ය වී ඇත්තේ ඇයි ද යන්න මේ අනුව මතුවන ගැටලුවකි.
පළාත් සභා මැතිවරණයට අත්ව ඇති ඉරණම කාටවත් රහසක් නොවේ. මහජන ඡන්දයෙන් පත් වූ එකඳු මන්ත්‍රීවරයකුවත් කිසිදු පළාත් සභාවක මේ වනවිට නැත.
පළාත් සභා මැතිවරණය කල් දැමීමේ ද පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වර්තමානයේ අනුගමනය කරන වැඩපිළිවෙළ හා සමාන වැඩපිළිවෙළකිනි. ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට ඇති මූලික අයිතිය පෙන්නා දෙමින් පළාත් සභා මැතිවරණය සම්බන්ධව අපි අධිකරණයට ගියෙමු. ශ්‍රේෂ්ඨාධිකරණය එය අනුමත කළේය. එහෙත් පවත්නා මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු පෙන්නා දෙමින් නීති වෙනස් කිරීමේ වුවමනාව ආණ්ඩුව පෙරට ගෙනාවේය. පළාත් සභාවට කාන්තා නියෝජනයට අදාළ පනතක් කමිටු අදියරේ දී ඉදිරිපත් කර අපේක්ෂිත අරමුණ වෙනස් කළේය. ඒ හරහා එතෙක් පැවැති මැතිවරණ ක්‍රමය ඒ හරහා වෙනස් කළ ද ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් ආදේශ කළේ නැත.
සීමා නීර්ණ කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාව පෙන්නා දුන්නේය. එදා තිබූ නීතිය අනුව එහි වාර්තාව මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ යුතුව තිබුණි. මාසයක් තබා අද දක්වාම එවැන්නක් කර නැත. එදා තිබුණේ පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවංක වුවමනාවක් නොවේ. පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීමය. අද පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අනුගමනය කෙරෙමින් තිබෙන්නේ ඒ හා සමාන ක්‍රමවේදයක් බව කරුණු හොඳින් අධ්‍යයනය කරන විට පෙනී යන්නකි. එහෙත් ආණ්ඩුවේ වුවමනාවට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අප කිසි ලෙසකින් ඉඩ දෙන්නේ නැත.
මැතිවරණ ක්‍රම විටින් විට සංශෝධනය කළ යුතුය. එහෙත් එවැන්නකට මුවා වී මැතිවරණ කල් දැමීමට කිසිදු හැකියාවක් නැත. මැතිවරණ කල් දැමීම සාර්ථක නම් මේ ආකාරයටම මහ මැතිවරණත් කල් දමන්නට පුළුවන. මේ යන ක්‍රමයට මැතිවරණයට මාස කීපයකට පෙර ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර එහි වාර්තාව සම්මත වනතෙක් මැතිවරණය කල් දැමිය හැකිය. දින නියමයක් නැතිව මේ කල් දැමීම කළ හැකිය. මෙවැන්නක් සම්බන්ධ ඉඟියක් ද ජනාධිපතිවරයා කළේය. ඉදිරි කාලයේ දී මෙවැන්නක් සිදුවන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මැතිවරණවල අභාවය සනිටුහන් කරන්නකි. එවැනි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තැබීම පුරවැසි වගකීම නොවේ.
මැතිවරණ කල් දැමීම සම්බන්ධ නඩු තීන්දු ගණනාවක් ද තිබේ. මැතිවරණ, ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වශයෙන් ඒවායෙන් පෙන්නා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය 14 (1) වගන්තිය යනාදිය අර්ථ නිරූපනයට භාජන වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ද මෙහිදී විශේෂිතය. ජනමත විචාරණයකින් තොරව එය වෙනස් කළ නොහැකිය. මේ අනුව බලන විට නීතිමය තත්ත්වය ඉතාමත් පැහැදිලිය. එනිසා මැතිවරණ කල් දැමීමකට ඉඩ තියන්නේ නැත. ක්‍රමය වෙනස් කරනවාය කීමේ සද්භාවයක් නැත.
මේ මොහොතේ කුමන මැතිවරණයක් පැවැත්වුව ද පරාජයට පත්වන බව ආණ්ඩුව හොඳින්ම දන්නා කරුණකි. ආණ්ඩුවට ඇති ජනතා අප්‍රසාදය අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් ද නොවේ. මේ ගැන හොඳින්ම අවබෝධ කරගෙන සිටින ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට දක්වන්නේ මැලිකමකි. එනිසා අඛණ්ඩව බලය පවත්වාගෙන යාමට ආණ්ඩුව කූට උපක්‍රම යොදමින් සිටී. මැතිවරණ කල් දැමීම එක් උපායකි. යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළොත් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අප පසුබට වන්නේ නැත. ඒ මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්ෂා කර දීමටය. විරුද්ධ පක්ෂයේ සියලු පක්ෂ මේ ස්ථාවරයේ පසුවන බවට ද කිසිදු සැකයක් නැත. අපේ උත්සාහය විපක්ෂයේ සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට ගෙන ඒමය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ආරම්භ වූයේ සැප්තැම්බර් 20 වැනිදාය. මැතිවරණය පැවැත්වීමේ දිනය නියම කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබුණේ ඉකුත් 20 වැනිදායින් පසුවය. ඔක්තෝබර් මාසය අවසන් වන විට 2022 ඡන්දය නාම ලේඛනය සම්පූර්ණ කළ යුතුය. නොවැම්බර් මැදභාගය වනවිට ඡන්ද නාම ලේඛනයේ වැඩ අවසන් කර මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට තිබේ. මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට වෙනතක හැරවීමට අපේ නීතිය යටතේ කිසිදු ඉඩක් නැත.
විසි දෙවැනි සංශෝධනය තවත් කරුණකි. විපක්ෂයේ සහය ඇතිව එම සංශෝධනය සම්මත කරගත්තේය. ඒ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවාගේ විරෝධය මැද සහ සහාය නැතිවය. මේ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයක් ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව මහජන නියෝජිතයන් සූදානම් වූයේ ඒ සඳහාය. එහෙත් සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා අනපේක්ෂිත ලෙස ආර්ථිකය සම්බන්ධ කතාවක් කළේය.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වචනයක්වත් කතා කළේ නැත. මේ ආණ්ඩුව ගෙන යන්නේ කවරාකාරයේ වැඩ පිළිවෙළක් ද? න්‍යාය පත්‍රයෙන් පිටපැන මේවා සිදුවූයේ ඇයි ? 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනපති අගමැති ඇමැති මණ්ඩලය සමූහික තීරණයක් ගෙන තිබුණි. කාලය ද වෙන් කළේය. එහෙත් එම සංශෝධනය පොදුජන පෙරමුණේ සහය නොලැබෙන බව පසුව ප්‍රකාශ විය. ඒ පසුබිම යටතේ එකී දිනවල 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට නොගත් බව අපගේ අදහසය.
මෙය එක ආණ්ඩුවක් ද ආණ්ඩුව ඇතුලේ තවත් ආණ්ඩු තිබේද? යන ප්‍රශ්නය ඒ අනුව මතුවන්නකි. 22 වැනි සංශෝධනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන ආකාරය එහි කාලෝචිත භාවය ජනාධිපතිවරයා විටින් විට පෙන්නා දී තිබුණි. එසේ තිබිය දී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා එහි කකුලෙන් ඇදීම අනුමත කළ නොහැක. රටේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලබන ආණ්ඩුවක් ද එසේ නැතිනම් අදෘෂ්‍යමාන හස්තයක් විසින් ජනාධිපතිවරයා මෙහෙවනු ලබන තත්ත්වයක් ද යන ප්‍රශ්නය මේ කාරණ හමුවේ මතුවන්නකි.
විසි දෙවැනි සංශෝධනයට විරෝධය පෑමේ කේන්ද්‍රීය සාධකය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කරුණයි. 22 වැනි සංශෝධනය සම්මත වීම නිසා ද්විත්ව පුරවැසියකුට මේ රටේ ජනාධිපතිවරණයකට තරග කළ නොහැක. පාර්ලිමේන්තුවේ අසුන් ගන්නට නොහැක. මේ වගන්තිය තිබීම හේතුවෙන් රටට වැඩදායී ව්‍යවස්ථා සංශෝධනයක් පරාජය කිරීමට ඇතැම් අය උත්සාහ කළේ ඇයිද යන්න ජනතාව අවබෝධ කරගත යුතුය. එසේ නම් මේ වැඩ සිදුවූයේ කාගේ වුවමනාවට ද යන්න ප්‍රශ්නයකි. කාගේ යහපත අරමුණු කරගනිමින් මේ කටයුතු සිදුවූවාද? ජනතාවගේ යහපත මේ තැන්වල දී අදාළ සාධයක් නොවූ බව පැහැදිලිය.
රාජ්‍ය ඇමැතිවරු 38 දෙනෙක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. මේ ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට පමණක් වාහන 320කට වැඩි ගණනක් වෙන් කිරීමට සිදුව තිබේ. ජනතාවට තුන්වේල කෑමට නොහැකි ලෙඩට බෙහෙත් නැති රැකියා අහිමිවන පසුබිමක ආණ්ඩුවේ අරමුණ ඇමැතිවරු පත්කරමින් ඒ අය නඩත්තු කිරීමය. ජනතාවට සේවය කිරීමට කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මුදල් නැත. එනිසා මේ පිරිසෙන් ජනතාවට කිසිදු සේවාවක් නොවන බව පැහැදිලිය. දැන් ඉටුවෙමින් යන්නේ ජනාධිපතිවරයා පත්කර ගැනීමට දුන් පොරොන්දුය. මෙයින් පෙනෙන්නේ ජනතාවගේ අවශ්‍යතාව හෝ රටේ අවශ්‍යතාව ඉටුවන ආකාරයක් නොවේ.
රටම අපේක්ෂා කළේ ‘‘සිස්ටම් චේන්ජ්’’ එකකි. දේශපාලන ව්‍යුහයේ මූලික විපර්සායකි. මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට ධූරය අතහැර යාමට සිදුවූ පසු වූ වෙනස කුමක් ද? ගෝඨාභය ජනාධිපතිවරයා වෙනුවට රනිල් ජනපති වූවේය. ජනාධිපති පුටුවේ ඉඳගන්නා පුද්ගලයා වෙනස් වුණි. කළුතර ජන හමුවේ දී හෙළි වූ කරුණු අලුතෙන් කීමේ අවශ්‍යතාවක් නැත. එසේ නම් සිදු වූ වෙනස කුමක්ද? ජනපති පුටුවේ ඉඳගන්නා පුද්ගලයාගේ වෙනස හැරුණු කොට වෙනත් වෙනසක් සිදුව නැති බව පැහැදිලි කරුණකි. එහෙත් රට බලාපොරොත්තු වූයේ මෙවන් වෙනසක් නොවේ.
ජීනීවා මානව හිමිකම් සමුළුවේ දී ලංකාවට එරෙහිව සම්මත වූ දරුණුම යෝජනාවලිය ඉකුත්දා සම්මත වූවේය. 2012 සිට සම්මත වූ යෝජනා අනුව බලන විට මෙවර යෝජනාවේ කැපී පෙනෙන වෙනසක් දැකගත හැකිය. ප්‍රථම වරට ආර්ථික අපරාධ සම්බන්ධයෙන් එල්ල කෙරෙන චෝදනා එම කැපී පෙනෙන වෙනසයි. මෙහි භායානක පැත්තක් තිබේ. රට බංකොළොත් කළ අය සහ ආර්ථික අපරාධ කළ අය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිගමනවලට එළැඹ වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමේ බලය ජාත්‍යන්තර පාර්ශවලට පැවරී තිබේ. ජාත්‍යන්තර ආයතනවලට එවැනි කටයුත්තක් පැවරීමේ අවශ්‍යතාවක් නැති බව ලංකාවේ ප්‍රතිචාරය වී තිබේ.
අවශ්‍ය කටයුතු කිරීමට බොහොම ප්‍රබල දේශීය යාන්ත්‍රණයක් සකස් කරන බව ආණ්ඩුවේ ස්ථාවරයයි. දූෂණ විරෝධී පනතක් සකස් කර පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් දැන් තිබෙන අවශ්‍යතාව සැලසුම්, යෝජනා නොවේ. ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයයි.
මූල්‍ය ක්ෂේත්‍රයේ මහජන අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රධාන කමිටු දෙකක් තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව එකී කමිටු දෙකයි. මේ කමිටුවල නායකත්වය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දීම පොදු රාජ්‍ය මණ්ඩලයේ මුල් බැසගෙන තිබෙන සම්ප්‍රදායකි. එයට පැහැදිලි හේතු ද තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මේ කාරක සභා වල බලතල හා වගකීම් පැවරීමෙන් අපේක්ෂිත අරමුණු කිසි ලෙසකින්වත් ඉටුවන්නේ නැත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු එම පක්ෂයේම ඇමැතිවරයකුට අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වාවි යැයි සිතිය නොහැක. එවන් පසුබිමක මෙවන් වැදගත් කමිටු දෙකකින් රට අපේක්ෂා කරන අරමුණු ඉටුකර ගැනීමට අවකාශ ලැබෙන්නේ නැත.
ජනතාව අසීරුතාවට පත්ව සිටියත් මහ පරිමාණ වංචා ප්‍රෝඩා සම්බන්ධ කරුණු හෙළිදරව් වෙමින් තිබේ. මේවා සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා ඇත්ත අනාවරණය කරගත යුතුය. වගකිවයුතු අයට දඬුවම් දිය යුතුය. එපමණක් නොව රටට අහිමිකර ඇති ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුය. බදු පනවා ජනතාව තව තවත් පීඩාවට පත්කරනවා වෙනුවට කොල්ලකා ඇති ධනය යළි ගැනීමේ ශක්තිමත් වැඩ පිළිවෙළක් රටට අවශ්‍යය. ඒ වෙනුවෙන් අප කැපවෙන බව ද කිව යුතුය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්
සටහන - චමින්ද මුණසිංහ
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපේක්ෂිත වෙනස වුණාද?