IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ඇය යන්න ගියා මැකිලා

 

 

 

සුනිල් සරත් පෙරේරාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීත සංරචනයෙන් ද විශාරද අමරසිරි පීරිස්ගේ සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණිරුවන සොබාදහමේ අනිත්‍ය ධර්මතාව සුවිශද කරයි.

මෙරට මහා කවිහු මෙන්ම මහා ගේය පද රචකයෝ ද සිටිති. එහෙත් මහා ගේය පද රචකයෝ සුදුර්ලභයෝය. ඔවුහු අතුල්‍ය කෞෂල්‍යයෙන් විශිෂ්ටත්වයට පත්වූවෝය. කෙනකු මහා ගේය පද රචකයකු වන්නෙ විශිෂ්ටත්වය මතම නොවෙි. මහා ගේය පද රචකයකු සතු වෙසෙස් ලක්ෂණ කිහිපයක්ම ඇත. එක් ලක්ෂණයක් නම් විවිධ අනුභූති සහ ආකෘති ඇසුරේ ප්‍රමාණාත්මක පක්ෂය මෙන්ම ගුණාත්මක පක්ෂය ද ජයගෙන ගීත ලිවීමයි. ඇතමෙක් බොහෝ ගීත ලියා ගොඩ වැඩිකර ගනිති. එහෙත් එම ගීත සක්ක පද විනා ජනකාන්ත, මනකාන්ත ගීමිණි නොවෙි. එහෙත් මුළු ජීවත කාලයටම එකම ගීතයක් පමණක් රචනා කළ විශිෂ්ට ගීත රචකයෝ ද අප අතර සිටිති.

මහැදුරු කේ.එන්. ඔි ධර්මදාස (ඔබ සුමුදු නෙත් කැලුම්  සපැමිණ) වොලි නානයක්කාර (සඳකඩ පහනක) ධර්මසේන පතිරාජ (හෙමින් සැරේ පියා විදා) මහැදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු (අහස්ගව්ව චිත්‍රපටයට ලියූ එන්න මගේ ප්‍රිය මිතුරෝ) ධර්මසිරි බණ්ඩාරනායක (පවනට සැලෙනා)  මහැදුරු සුනන්ද මහේන්ද්‍ ර(කුඩා දේවිකා) ආදීහු ඒ අතරින් කිහිපදෙනෙක් වෙති. ප්‍රවීණ රංගධරයකු වූ වොලි නානයක්කාර ලියූ "සඳකඩ පහනක කැටයම් ඔපලා" නමැති ගීතය ද සුවිශිෂ්ට ගේය කාව්‍යයකි. බහුඅරුත් දනවන ගීමිණකි.එහෙත් වොලි නානයක්කාර මහා ගීත රචකයෙක් නොවෙයි. මහා ගීත රචකයෝ එක්තරා වකවානුවක යුගකාරක මෙහෙවරක නියැළුණු, ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ගීත ගොන්නක හිමිකරුවෝය. ඔවුහු ස්වර්ණමය යුගයක සිය අණසක පැතිරවූ අප්‍රමාණ ගීත රචකයෝය.

ලංකාවෙි එබඳු ගීත රචකයෝ සිටිහුද? එසේ නම් ඔවුහු කවරහුද? ශ්‍රී චන්දරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්.රත්නායක, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබෙිසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේම කීර්ති ද අල්විස්, ලූෂන් බුලත්සිංහල, රත්න ශ්‍රී විජේසිංහ ආදීහු පෙදෙහි රසහව් සොයාගිය දහඅට රියන් මහා ගේය පද රචකයෝය. මෙි අතරින් සුනිල් සරත් පෙරේරා ද සුකීර්තිමත් මහා ගේය කාව්‍ය සිත්තරුවකු  ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවෙිද? සුනිල් සරත් පෙරේරා පරිසර හිතකාමීයෙක් ද වෙයි. ඔහු ලියූ බොහෝ ගී සංකල්පනාවලින් සොබාදහමත් අනිත්‍ය ධර්මතාවත් සුවිශද වෙයි. මෙි වූකලි ගීතය කිසියම් දාර්ශනික තලයකට ඔසවා තැබීමකි.

සුනිල් සරත් පෙරේරා සිය ජීවිතය වටා රොක්ත වූ සමාජ හා පුද්ගල අනුභූති ඔහුට රිසි ආකාරයට කපාකොටා ගළපා, සකසා මැණික්කරුවකු ස්වකීය මැණික් ඔපමට්ටම් කොට එහි ප්‍රහර්ෂය හා විශෝධනීය බව උත්ප්‍රේරණය කරන්නා සේ සුභාවිත ගීතය උත්කර්ෂයට නැංවූයේය. මෙරට අතළොස්සක් තරම් වූ මහා ගීත රචකයන් අතර ඔහු ඉහළින්ම වැජඹෙන්නේ ද මෙකී කරුණු කාරණා හේතු කොටගෙනය. කලාකරුවන් මොනතරම් ආකෘතික හරඹ කළ ද මිනිස් හැඟීම් නමැති කේෂ්ත්‍රය මගහැර නොයා යුතුය. මානව හැඟීම් යනු ආලය, ක්‍රෝධය, වෛරය, ශෝකය, ජුගුප්සාව, සන්තාපය යනාදියයි. මෙි හැඟීම් මිනිසා තුළ උපදින්නේ  ඔහු බැහැරි ලෝකය සමඟ බද්ධ වන ආකාරය අනුවය. කලාවෙි සාරය වන යට කී ලක්ෂණ නොවෙි නම් එය කලාකෘතියක් හෝ ගීතයක් නොවන්නේය. ඔිනෑම කලාකෘතියක කර්තව්‍යය නම් එය සමඟ සම්පර්කයට සම්ප්‍රාප්ත වන රසිකයා තුළ මානව හැඟීම් හෝ හැඟීමක් පෝෂණය ද ශික්ෂණය ද කිරීමය.

සුනිල් සරත් පෙරේරා සූරීන්ගේ බොහෝ රචනා තුළ ද මෙකී මානව හැඟීම් ඉගැඹුරුවූත් ඉසියුම්වූත් ආකාරයෙන් විද්‍යමාන වෙි. ඔහුගේ බොහෝ ගී සංකල්පනා විශිෂ්ට සාහිත්‍ය රචනා බව කීම අතිශයෝක්තියක් නොවෙි. ජනප්‍රිය සංස්කෘතියත් සම්භාව්‍ය සංස්කෘතියත් අතර පාලමක් තනන්නට ඔහු අනවරතයෙන්ම වෙහෙසෙයි. සුනිල් සරතුන් ලියූ බොහෝ ගීතවල "කාලය " නමැති ප්‍රපංචයට වැඩි ඉඩක්  ලැබී ඇත. පණ්ඩිත් අමරදේවයන් ගැයූ "පෙරදිනයක මා පෙම් කළ යුවතිය " සහ "ඔබ මා සමඟ අතිනත ගන්නා දවස" වැනි ගීත මෙකී කාල සංකීර්ණ සංකල්ප රචනා වෙයි. සුනිල් සරතුන් ලියූ අමරදේව සහ අමිතා වැදිසිංහ ගැයු "එරන්දතිය එනවා" වැනි ගීත තුළින් විදග්ධ සංස්කෘතියේ වින්දනීය පරිසරය  ගෙනහැර පෑව ද එය ජනප්‍රිය සංස්කෘතිය ද සංස්පර්ශ කළ ගීමිණිරුවනකි. විධුර ජාතකය තේමා කොටගත් මෙකී ගීතය ලියා ඇත්තේ පැරැණි කාව්‍යෝක්ති ආභාසයෙනි. ගීතයට උචිත බසක් මෙන්ම වාග්කෝෂයක් ද ඇත. මෙනයින් ගීත ලිවීමෙිදී වචන තෝරාගැනීම ද පරෙස්සමෙන් කළ යුතුය. ගීතයේ ආකෘතියට සුදුසු වචන තෝරාගැනීමෙහිලා සුනිල් සරත් පෙරේරා අතිදක්ෂයෙකි. ඔහු ගීත ලිවීමෙිදී ඖචිත්‍ය පිළිබඳ වාඩත් සැලකිලිමත් වෙයි. නිදසුනක් ලෙස ඔහු පණ්ඩිත් අමරදේවයන්ට ලියූ පෙරදිනයක මා පෙම් කළ යුවතිය නමැති ගීතය ගිනිය හැකිය. මෙහිදී පෙරදිනයක මා පෙම්කළ යුවතිය වෙනුවට "පෙරදවසක මා පෙමිකළ තරුණිය" යනුවෙන් වචන යෙදුවෙි නම් ගීතයේ රස භංග වෙයි.


ඔහු විසින් විරචිත "මගේ රටට දළදා හිමි සරණයි" ගීතය ද මෙරට දනන් තුඩ පිළිරැව් දෙන අතිශය ජනප්‍රිය ගීමිණකි. මෙයට අමතරව ඔහු  ලියු අතිශය ජනප්‍රිය ගීත රාශියක්ම ඇත. 

යටකී  ජනප්‍රිය ගීතවලට අමතරව, රා රා රා බොම්බියේ ( සුනිල් එදිරිසිංහ) අම්මෙ පෙම්බරා  (සුනිල් එදිරිසිංහ) සැන්දෑ කළුවර ගලා (සංගීත නිපුන් සනත් නන්දසිරි) ඈත එපිට ගම්මානෙන්  (සනත් නන්දසිරි) සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්  (දයාරත්න රණතුංග) පාන්කිරිත්තෝ  (සනත් නන්දසිරි) මහවැස්සට පෙර (සෝමතිලක ජයමහ) ආදී සුභාවිත ගීත සමූහයක්ම ඇත.

ඔහුගේ බොහෝ ගේය පද රචනා තුළ කවියට වෙසෙසි වූ අන්‍යාලාපය, ධ්වනිය, අර්ථ සංකෝචනය, සංක්ෂිප්තතාව, ශ්‍රැති රම්‍යත්වය, රූපකාර්ථවත් බස, ව්‍යඤ්ජනා ගුණය හා ශ්ලේෂාර්ථය ⁣නොඅඩුව පවතී.ශ්ලේෂාර්ථය යනු එකම පද පෙළකින් එකිනෙකට වෙනස් අර්ථ ගෙනහැර පෑමයි. මෙබඳු ආකෘතික හරඹ කළ හැක්කේ බුහුටි කවියකුට පමණි. මෙවර ගී විනිස හැඩගැන්වනුයේ  සුනිල් සරත් පෙරේරාගේ  ශ්ලේෂාර්ථ සහිත ගීතයකිනි. ඒ සුනිල් සරතුන් ලියූ විශාරද  අමරසිරි පීරිස් ගැයූ "ඇය යන්න ගියා මැකිලා" නමැති ගීමිණයි. කාව්‍යාලංකාරයක් වන "රූපක " සපිරි බස සුනිල් සරත් පෙරේරා සූරීහූ මෙි ගීමිණ ඔපමට්ටම් කිරීමට මැනවින් යොදා ගනිති. ගීතයේ ස්ථායි කොටසෙන් කවියා ශ්ලේෂාර්ථ ප්‍රභාව මොනවට සුපැහැදිලි කරයි.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු හෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා 

මේ ගීතයේ රචක සුනිල් සරතුන් දිනක් වස්ගමුව වනෝද්‍යානයේ සෞන්දර්ය චාරිකාවක නියැළුණේය. බිං කළුවර ළංවෙත්ම මුළු පරිසරයම පාළුවට ගොස් තිබිණි.කුරුලු කූජන, වනසිවුපා හඬින් තොර වටපිටාව කථකයා ලැගුම් ගෙන සිටි නවාතැන්පළට ගෙන දුන්නේ හුදෙකලා බවකි. එහෙත් එකවරම දුටු දසුනින් ඔහු අමන්දානන්දයටත් විස්මයටත් පත්වූයේය. මුළු පරිසරයටම සඳඑළිය පතිතවී තිබිණ. මෙි අරුම පුදුම පාරිසරික සෞන්දර්ය දුටු මතින් රචකයාට කවි සිතුවිලි පහළවිය. එහෙත් තත් ක්ෂණයකින් ඔහු දුටු සුන්දරත්වය මීදුමකින් වැසී ගියේය. ජීවිතය වගේම ස්වභාව ධර්මයත් අනිත්‍ය බව ඔහුට පසක් විය. රචකයා ඇය යනුවෙන් මෙහිදී අමතන්නේ පෙම්වතියකට හෝ බිරිඳට  නොව සොබා සොඳුරු සඳවතියටය. ප්‍රේමයෙන් පරාජිත වූ පෙම්වතකුගේ ළසෝගිනි, විප්‍රලමිබ ශෘංගාරයට නගා ඇති අයුරු මොනතරම් අපුරුද? සාර්ථක ගීත රචනයක් අනවරතයෙන්ම බහුඅරුත් දනවයි. මෙි ගීතය අසන ශ්‍රාවකයාට විවිධ ප්‍රහේලිකා ප්‍රශ්න මතුවීමට පුළුවන. මෙි තැනැත්තිය කථකයාගේ පෙම්වතිය දැයි ඇතමකුට සිතෙන්නට බැරි නැත. එබඳු  විසංවාද ඇතිවීම ස්වභාවිකය. එහෙත් මේ වුකලි කථකයාගේ ජීවනානුභූතියකි. රචකයාගේ සිත වසඟයට පත්කළ සොබා සොඳුරු සිතුවම වාග්චාතුර්යයෙන් පොහොණි කලාත්මක ගීතයකට නැගීමකි.

පිනි කඳුළක් මල්පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

මෙි නම් මොනතරම් රමණීය කාව්‍යෝක්තියක්ද? සොබා සොඳුරු සඳවතිය මොහොතකට පෙර කැටුව ආ සුන්දරත්වය දැන් රචකයා අසල නැත. ඇය යන්න ගියාය. එහෙත් ඇය යන්න ගියේ නිකම්ම නොව මල්පෙති අග පිනි කඳුළක් ද තවරාය. එපමණක්ද නොව මීදුම් සළුවෙන් මුහුණ වසාගෙනය. වැස්ස අවසන් වූ පසු පිනි බිඳු මල්පෙති අග සුදිළෙයි. ඒ පිනි බිඳු කඳුළු සේ ඔහුට පෙනෙයි. මෙි රාත්‍රියේ දුටු සොබාසිරි විසිතුරු අහිමිවී යෑම පිළිබඳ රචකයා  තුළ ශෝක වෙිදනා, සන්තාප උපදී. විකසිත සිත මුකුලිත වෙයි.

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා

නීල කඳුවැටි අතරට සඳඑළිය පතිතවී මංපෙතක් සේ දිසෙයි. කථකයා මෙහිදී කියන්නෙ විවිධ බාධක හැලහැප්පීම් මැද දිවෙන තම අඳුරු විජිතය ඇය සිසිකිරණින් එකලු කොට නව මාවතක් සොයා පාදා දුන් බව නොවේද? ජීවිතයේ සුන්දරත්වය මෙන්ම එහි අනිත්‍ය බව ද රචකයා මෙි ගීතයෙන් සුවිශද කරයි. වියෝ දුක සංයමයෙන් ඉදිරිපත් කළ හැක්කේ මනා ඉවසීමක් ඇති ගේය පද රචකයකුට පමණි.

යළි කවදාවත් හමුනොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

මේ අතිවිශිෂ්ට පද සංයෝජනය ද නාද සංයෝජනය ද හඬ මාධුර්ය ද සමග්‍රව අතිශය, අසාමාන්‍ය, පරමාදර්ශී ගීමිණිරුවන සහෘද රසිකයා සංකල්ප රූප මංජරියක් තුළට කැටි කරයි. මෙි රචකයා වක්‍රෝතියෙන් පවසන්නේ තම ජීවිතය සෞන්දර්යයෙන් සුපුෂ්පිත කළ මෙබඳු වස්සාන සඳවතියක්  ජීවිතයේ සැඳෑසමයට පෙර දක්නට නොලැබෙන බවය. මඳ පවනක් පවා ඔහුගේ හිස පිරිමදිමින් කියන්නෙ මෙි යථාර්ථය නොවෙිද? ඇය යළි දැකීමෙි නොතිත් ආසාවෙන් පෙළෙන රචකයා ඒ පිළිබඳ සැක සංකා මතු කරයි. ආදරයට නිශ්චිත අර්ථකථනයක් නොවූව ද ආදරය, ප්‍රේමය, සෙනෙහස විවිධ වෙිශයෙන් ලොව පවතී. කෙනකුට විරහව වහවන විට තවකකුට රහවිය හැකිය. ඇතමකුට ⁣වියෝගය විප්‍රලමිබ ශෘංගාරය දනවන  මහෝඝයකි. තතු එසේ නම් ශෝකයත් රසයක් නොවෙිද?

මෙි ගීතයේ වචන සමුහයෙහි නිශ්චිතාර්ථ නැත. එහෙත් ඒ වචන සමස්තය රසිකයා තුළ කිසියම් අද්භූත හැඟීමක් ජනනය කරයි. මෙකී අද්භූතයෙන්, කුතුහලයෙන් විස්මය උපදී. විස්මය වූකලි චමත්කාරයේ පදනමයි. චමත්කාරය නම් සිත සතුටින් පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. රචකයාගේ විස්මයට හේතුවූයේ සොබාදහමේ අනිත්‍ය ධර්මතාවම නොවෙිද?
 


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (4)

ඇය යන්න ගියා මැකිලා

randil Monday, 14 November 2022 10:42 AM

මහ සංගීතවේදී අමරසිරි පීරිස්ගේ විශිෂ්ඨතම සුගායනයක්..., මාලිනි බුලත්සිංහලයන්ගේ හදිසි වියෝව සම්බන්ධව ගොඩ නැගුණු නිර්මාණයක් කියා තමයි පෙර අසා තිබුණේ.. එච්.එම් ජයවර්ධනයන් සම්බන්ධ වූ නිසා ඒක විශ්වාස කළා... කොහොම වුණත් අපූර්ව සෞන්දර්ය චාරිකාවක්...

:       0       4

ABFriday, 18 November 2022 06:40 PM

මේ වනවිට ස්වභාව ධර්මය මිනිසාට වර්ධනය වීමට, වෙනස්වීමට අවශ්‍ය සියලුම සලකුණු ලබාදී තිබේ. එය අප සියලු දෙනා හොඳින් තේරුම් ගත යුතුව තිබේ. අනාගතය සඳහා පොදු දැක්මක් සහිතව කටයුතු කිරීම සඳහා අපි මෙම පණිවිඩය හොඳින් ග්‍රහණය කර සහ දැන් සිටම ක්‍රියාකළ යුතුව තිබේ. රජයයන්, පාසල්, පුද්ගලයින් සහ ව්‍යාපාර සියලු දෙනා සමඟ එක්ව පරිසර සමග බද්ධව තිබෙන්නා වූ ගැටළු හඳුනාගෙන විසඳීමට කටයුතු කළයුතුව ඇත. පරිසරයට හානිකරන සහ විනාශ කරන්නා වූ සියලු දෙනා එම විනාශයන් නවතා නොදැමුවහොත් ස්වභාවධර්මය මිනිසා විසින් කරන්නා වූ විනාශයේ අර්බුදය මිනිසා විසින් විසඳන තෙක් "සොබාදහම" බලා නොසිටිනු ඇත. මෙම ගීතයෙන් කියන පරිසරයේ, සොබාදහමේ අපූර්වත්වය, වටිනාකම මිනිසා විසින් ආරක්ෂා නොකළහොත් මෙවැනිම ගීතයන් වෙනත් ආකාරයකින් ලියැවෙනු ඇත...

:       0       0

මැක්ස් Monday, 14 November 2022 11:35 AM

සුපුරුදු ලෙසම, රණසිංහ මහතාණෙනි, ඔබගේ වචන සමුදාය නම් විශ්මය ජනකයි. ශ්ලේශාර්ථය! මොනතරම් ගැඹුරු තේරුමක් ඇති වචනයක්ද? එය ඉගෙන ගත්තේ ඔබෙන්...! එවැනි හැඩකාර වදන් කොච්චර නම් මේ තීරුව හරහා අපගේ වචන ගබඩාවට අප ඇතුළු කර ගන්නවාද? සුනිල් සරතුන්ගේ ගී මිණි පිළිබඳ මෙපමණටම මනෝරම්‍ය වූ විග්‍රහයක් අපට නම් මින් පෙර හමු වී නැත. එසේම මේ ගීයට සොබාදම හා යා වුණු මෙවැනි තේරුමක් ඇති බව දැන සිටියේ කීයෙන් කී දෙනාද? ඒ කෙසේ වෙතත්... ඔබතින් ගිලිහුණු මතක් කිරීමකුත් කරමින් අපගේ මෙම නොගෙනිය හැකි තරමේ වූ ප්‍රශංසාව සමථයකට පත් කරන්නම්... ඔබතුමා ඉතා නිවැරදිව සඳහන් කළ "දහ අට රියන් ගෙය පද රචක" නාම ලේඛනයේ තිබිය යුතුම නමක් - කලුඅරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන, කේ. ඩී. කේ. ධර්මවර්ධන - කිසියම් හෝ අතපසු වීමක් නිසා එහි සදහන් වී නැහැ. එළඹෙන දිනෙක එතුමා අතින් විරචිත ගීයක් "ගී විනිස" තුළින් දකින්න, රස විඳින්න අපට අවස්ථාව දෙන්න.

:       0       7

රනේ Wednesday, 16 November 2022 06:57 PM

සෑම සුන්දර ගීතයක් විසින්ම අපව මංමුලා කරවයි. මේ විග්‍රහය ඔබට විශ්වාස කළ හැකිද? මට නම් අරුත් රැසක් ගෙනේ. මම ඒවා මතම සිටීමට උත්සාහ කරමි.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site