ලංකාව රටක් මිස රාජ්‍යයක් නොවන බව ‘කිවි දා දැක්ම’ ලිපි පෙළේ කීප විටක් ම සඳහන් කළේ සහ පැහැදිලි කළේ ඇයිද යන්න මේ වනවිට අපගේ පාඨක සහෝදර සහෝදරියන්ට මනාව වැටහී ඇතැයි සිතමි. කලින් කලට ජනයාගේ පරමාධිපත්‍ය පැහැරගන්නා කණ්ඩායම් ආණ්ඩු පිහිටු වූ බව ඇත්තකි. එහෙත් ඒ කිසිම කණ්ඩායමක් රට රාජ්‍යයක් කිරීමට උත්සාහ ගත්තේ නැත. අසාර්ථක වුවද එවැනි ප්‍රබල සහ සවිඥානික උත්සාහයක් ගත් එකම ආණ්ඩුව වුණේ 1970-75සමඟි පෙරමුණේ ආණ්ඩුව ය.
එහෙත් 1977 දී රටේ ජනයාගේ බලය ලබාගත් කණ්ඩායම සහ එහි අසහාය නායකයා කළේ දලුලමින් තිබූ රාජ්‍ය ව්‍යුහය කුඩුපට්ටම් කොට පරිභෝජන පෙරේතවාදය විසින් වැටි වැටී නඩත්තු කරන වෙළඳපොළක් බවට රට පත්කිරීම ය.
කලක් යනවිට සියල්ලම පරිභෝජන පෙරේතවාදීන් බවට පත්කළ 77 මෙහෙයුම විසින් රට ජාතිය සහ ජාතික රාජ්‍යය යන ඒවා ජනයාගේ හිතට දෛනිකව සහ ඉබේ දැනෙන කාරණා වීම අත්හිටුවනු ලැබීය.
දෛනික ජීවිතය පරිභෝජනය තුළටම ගාල් කරගත් ජනයාත් ඔවුන් ඒ තත්ත්වයට ඇද දැමූ පාලක කල්ලිත් රට ජාතිය සහ ජාතික රාජ්‍යය යන ඒවා තම දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික න්‍යාය පත්‍රවලින් මකා දමමින් හුදු ආත්මාර්ථකාමී කල්ලි සහ පවුල් කේන්ද්‍රීය මෙහෙයුමක පමණක් නිරත විය. රට සතිපොළක් බවට පත්වුණේ සහ රාජ්‍යයක් පිළිබඳ සියලු අපේක්ෂා සුන් වුණේ බඩජහරි ජනයා පරම්පරා ගණනින් මෝඩයන් බවට පත් කරමින් සහ පාලක කල්ලිවල සුබසෙත ලෝකයේ දියුණු රාජ්‍යවලින් සලසා ගනිමිනි.
මේ මෝඩ ජනයා දිස්ත්‍රික්ක ආසන සහ වසම් මට්ටමේ ඇති ඡන්ද කූඩුවල දමා හිරකර ඇත. එසේ සිර කොට ඡන්දයක් ළං වනවිට කෑමට සහ ලෑමට යමක් කූඩුවලට සහ කූඩු අසලට එනම් දිස්ත්‍රික්ක ආසන වසම් යනාදී වශයෙන් ඇති ඡන්ද කූඩුවලට වීසි කරති. පාලකයන් සහ ඔවුන් සමඟ සහචරයන් ලෙස අත්වැල් බැඳගත් ජාවාරම්කාරයන් සහ බලවත් නිලතල දරන පාදඩයන් එසේ ක්‍රියාකරන්නේ රාජ්‍යය ගැන වගේ වගක් නොමැතිවය. මේ ක්‍රීඩාවේ වයස දැනට අවුරුදු 74 කි.
මේ තත්ත්වය වඩාත් බරපතළ වූයේ උග්‍ර වූයේ 1977 න් පසුවය. 77 න් පසු රටේ ආණ්ඩු පිහිටු වූ කිසිම කල්ලියක් රට ගැන ජාතිය ගැන ජාතික රාජ්‍යය ගැන සිතුවේ නැත. සිතුනේත් නැත. ඔවුන් කොයි තරම් මේ රට ජාතිය සහ රාජ්‍යය ගොඩනැගීම නොතකා හැරියාද කියතොත් මේ පාලක කල්ලිවලට බෙහෙත් මේ රටේ නැත. ඉස්පිරිතාල නැත. වෛද්‍ය ප්‍රතිකාර නැත.
නිවාඩු ගන්නට තැන් නැත. තම දරුවන්ට ඉගෙනගන්නට තරම් සුදුසු පාසල්, විශ්වවිද්‍යාල මේ රටේ නැත. ඇත්තේ මංපහරන්නා සේ ජනයා සතු බලය පොදු දේපොළ සහ පොදු අවකාශ පැහැර ගැනීමේ වුවමනාව අශීලාචාර ලෙස ඉටුකරගත හැකි දඩබිමක් පමණක් ය. මෙරට තුළ ජනයා කූඩු කරන සහ රාජ්‍යය ගොඩ නොනගන පාලක සුබසෙත හැම විටම නො රටක ය.
සිරගත වන අය, නිදොස් කොට නිදහස්වන අය සහ රටින් පිටවීම තහනම් වන ඇතැම් පාලකයන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස ය. ඔවුන්ගේ ඉස්පිරිතාල සහ වෛද්‍ය ප්‍රතිකාර ඇත්තේ පිට දේශවල ය. පාර්ලිමේන්තුවේ ඉන්නා අති බහුතරයකට හදිසියකටවත් රට ජාතිය රාජ්‍යය හැඟීම්බර ලෙස සිහියට එන්නේ නැත. ඔවුන් දිවා රෑ කල්පනා කරන්නේ තම පුද්ගලික බල ව්‍යාපෘතියට එන තර්ජන සහ අභියෝගවලින් ගැලවී ස්වාර්ථය සලසා ගන්නා ආකාරය ගැන ය. ඒ සඳහා රට ජාතිය ජාතික රාජ්‍යය කූටෝපායික ලෙස පාවිච්චි කරන ආකාරය ය. ඇත්තටම න්‍යායික භාෂාවකින් කියනවානම් පාර්ලිමේන්තුවේ ඉන්නා විශ්වවිද්‍යාල උගතුන්ද ඇතුළු 225න් සියයට 99 කටම ජාතික රාජ්‍යය යන්න දෘෂ්ටිවාදී පදනමක් නොවේ ය.
හැඟීම්බර සමාජ දේශපාලන සිතිවිල්ලක් නොවේ ය. එසේම ජනතාව යන්න වගකීමක් නොවේ ය. ඔවුන් රටටවත් ජනයාටවත් වග වෙන්නේ නැත. එනම් වගඋත්තර බඳින්නේ නැත. ඉතින් එහෙව් රටක රාජ්‍යයක් ශක්තිමත්ව ගොඩනගන්නට මේ කල්ලිවලට උනන්දුවක් වුවමනාවක් තිබෙන්නට විදිහක් නැත. නො තිබීම පුදුමයක් ද නොවේ ය. අද පවතින ආර්ථික සමාජ දේශපාලන අර්බුදය සහ සිඟමන වනාහි එකී ක්‍රියාවලියේ ප්‍රතිවිපාකයෝ වෙති.
අප සිතා සිටියේ දුප්පත් අප පමණක් කියා ය. දැනට වසර කීපයකට පෙර ලෝක ජල දින ජාතික උත්සවයේ ආරාධිත දේශනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ගිය මා සමඟ එවක හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු කීයේ වියලුවේ බදුලුඔය ගොවි ජනපදය අතහැර දමන ලද (a neglected colony) කොලනියක් බවය. ඒ කොලනියේ ගොවියෙක් සහ ගෙවිලියක් වූ මගේ දෙමව්පියන් කී දෙයක් සිහියට නැගේ. පාසල් යන අපට ඔවුන් කීවේ ‘ගොයම් කැපුවම, ඉරිඟු විකිණුවම, කමිසයක්, කවකටුපෙට්ටියක්, පාට පෙට්ටියක් අරන් දෙන්නම්’ කියා ය. ඉතින් අප ගොයම දෙස බලා සිටියේ ඒවා ඉක්මනට පස්සවන්නට ය. ඉරිඟු බබාලා අතගාමින් ඒවායේ කොණ්ඩා ගෙතුවේ ඉක්මනට පස්සවා ගන්නට ය, ගලවා විකුණන්නට ය. හැබැයි වාසියකට තිබුණේ ගොයමත් ඉරිඟු හේනත් ඇස් මානයේ පෙනෙන්නට තිබීමය.
එහෙත් දැන් අප පමණක් නොව රටම දුප්පත් ය. අප බලාකියාගන්නට ආරක්ෂා කරන්නට පරිස්සම් කරන්නට රාජ්‍යයක් නැත. ඇත්තේ අපට වගනොකියන නිලතල දරන්නන් නොව නිලය ඇඳගෙන ඉන්නන් ඉන්නියන් සහ පාලකයන් පමණය. ඔවුන් අපට පෙන්නන්නේ මුහුද මැද තිබෙන නැව් සහ එනවා යැයි කියන එහෙත් තවම දියඹේ නොපෙනෙන නැව් ය. ලැබෙනවා යැයි කියන නොව ලැබෙනවා යැයි හිතන ඩොලර් ය. රටම දැවැන්ත අසහනයක ය, කාංසාවක ය, බියකය, අසරණකමක ය, අපේක්ෂා භංගත්වයක ය. කලක් අප සතුටු වුණේ අප දුප්පත් වූවාට රට දුප්පත් නැත කියා සිතාගෙනය. එහෙත් දැන් පෙනෙන්නේ අපටත් වඩා රට දුප්පත් බවය. අප බොහෝ දෙනකුට අඩුම තරමින්ට හැප්පෙන්නට පොළොවක් සහ රස්සාවක්වත් තිබේ. දැන් රටට රස්සාවක් නැත. රාජ්‍යයක සේයාවක්වත් නැත.
රට රාජ්‍යක් වී තිබුණානම් ආණ්ඩු කුමන විකාර නැටුවත් නටන්නට ගියත් එය රාජ්‍ය යාන්ත්‍රණ විසින් හික්මවනු ඇත, නියාමනය කරනු ඇත. එහෙත් වසර 74 ක් තිස්සේ වැඩි වාරයකම සිදු වුණේ රාජ්‍යය අඩපණ කොට ආණ්ඩු බලවත් කරන අත්තනෝමතික කල්ලිවලට ජන අනුමැතිය ලැබීමය. ඒ ආණ්ඩුවලට රටක් ගැන හිතක් නැත. රාජ්‍යයක් ගොඩනගනවා තබා ඒ ගැන බලාපොරොත්තුවක්වත් නැත. වැඩවලට ණය ගත්තා මිස ඒ ගත් ණය රාජ්‍යය ගොඩනැගීමේ කටයුත්තක් අරමුණු කොටගත් මුල්‍ය විනයක් සහ අරපරෙස්සමක් යටතේ කළමනාකරණය කළේ නැත. වැය කිරීමේ ප්‍රමුඛතා මිස ආයෝජනය කිරීමේ ප්‍රමුඛතා හෝ විධිමත් ඒකාබද්ධ ජාතික සැලැස්මක් දකින්නට ලැබුණේ නැත.
වාර්ෂික අයවැය ඉදිරිපත්කිරීම් වනාහි බොහෝ දේ සඟවන ලද දේශපාලන අරමුණු සඳහා සම්පාදනය වූ ඒවා ය. එක්කෝ තනි පුද්ගල මනාපය බලවත් විය. නැතහොත් ගෝලීය ආර්ථික දේශපාලන සහ ආරක්ෂක මූලෝපායවලට අනුව සම්පාදිත ඒවා ය. අපට රාජ්‍යයක් වුවමනා නැති ගානට සම්පාදිත ඒවා ය. බොහෝ දෑ නාස්තිකාර වියදම් ය. බොහෝ දෑ දූෂිත අරමුණු මුල් කරගත් වැය කිරීම් මිස රටට යහපතක් වන ආයෝජන නොවේ ය.
ලෝක බැංකුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යාපන යෝජනා කිසිදු විචාරයකින් තොරව පිළිගන්නා මේ රටේ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන පද්ධතිය ද පාසල් අධ්‍යාපන පද්ධතියද ධනයම ආත්මය කොටගත් කොම්පැනි නාලිකා ද නිලතල දරනවාට වඩා ඒවා ඇඳගෙන සිටින මේ රටේ රාජ්‍ය සේවය ද මේ සිදු වී ඇති විනාශයට දේශපාලකයන් තරමටම වගකිව යුතු ය. රට හිල් වී රාජ්‍යය කාන්දු වී ගියේ ඒ සියලු අංශවල එනම් රට ජාතිය ජාතික රාජ්‍යය යන්න ගැන හැඟීමක් නැති පුද්ගලයන් සහ කල්ලිවල අකටයුතුකම් නිසා ය. ජාතික රාජ්‍යය යන්න දෘෂ්ටිවාදයක් නොවුණේ 77 වෙනස දිගටම නඩත්තු කරමින් පරිභෝජන පෙරේතවාදය සමාජ ආර්ථික දේශපාලන දෘෂ්ටිවාදයක් නැතහොත් මනෝභාවයක් බවට පත්කිරීමට ක්‍රියා කළ ඒ බලවේග නිසා ය.
එවැනි පසුබිමක මේ අර්බුදකාරී ව්‍යසනයට වගකිවයුතු වගඋත්තර බැඳිය යුතු පාලක කල්ලි එකිනෙකාට චෝදනා කරගැනීම මාරාන්තික විහිළුවකි. 1947 පාර්ලිමේන්තු නියෝජිතවරණයේ සිට මේ දක්වා බලයට පත්වූ එහෙත් 1956 සහ 1970 ආණ්ඩු දෙක හැර අනෙක් සියලු ආණ්ඩු, නායකයන් සහ ඔවුන්ගේ වර්තමාන අනුප්‍රාප්තිකයන් සහ ඔවුන්ට උඩගෙඩි දුන් මෝඩ ජනයා මේ ව්‍යසනයට වගකිව යුතු ය. යේසුස් වහන්සේගේ ප්‍රකාශයක් වෙනස්කොට කීමට අවසර ඉල්ලමි. එනම් ‘ව්‍යසනයට වගකිව යුතු නැත්තෙක් වේ නම් පළමු ගල ගසන්න’.
එසේනම් දැන් කළ යුත්තේ මේ ජාතික අර්බුදයට සහ ජාතික ව්‍යසනයට මුහුණදීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සැකසීමය. එය කළ යුත්තේ නිල උගතුන් වියතුන් නොව මේ රට ගැන ජාතික රාජ්‍යය ගැන හැඟීමක් සහ හෘද සාක්ෂියක් ඇති අර්බුදයෙන් මිදීමේ මඟ, රාජ්‍ය ශිල්පය සහ රාජ්‍ය කළමනාකරණය දන්නා ප්‍රාමාණිකයන් ය. පාලකයන් සහ නිලධාරීන් ඊට නම්මවා ගැනීමේ වගකීම සමාජය බාරගත යුතුය. ඒ සඳහා ජන සමාජයට නව සිතීමක් අත්‍යවශ්‍යයය. ඒ සිතීම් විශ්වය තැනීම අප වැන්නවුන්ගේ වගකීමක් ය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපත් රටත් දුප්පත්ද?
චන්දිම Wednesday, 16 March 2022 12:34 PM
යුද්දෙන් පස්සේ හොඳට හිතලා බලලා වැඩකළා නම් අපිට ගොඩ යන්න තිබුණා. දරාගන්න බැරිතරම් ණය අරගෙන ඒවායිනුත් පිල්ලි ගහගෙන වරායවල්, ගුවන් තොටුපලවල්, නෙළුම් කුළුණු වරාය නගර හැදුවාට ඒවා කළමනාකරණය කරගෙන ආදායම් උපයන විදිය ඔය මොන යකෙක්වත් දන්නේ නැහැ. හැම කෙනාම බැලුවේ අතයට ගහගන්න. අන්තිමේදී අපි පරාජය වුණා. හැමදේම අනුන්ට අයිති වුණා. විකුණපු සල්ලිත් කාට කොහේ ගියාද දන්නෙත් නැහැ. දැන් කරන මහම තක්කඩි වැඩේ තමයි එක එක්කෙනා එක්ක එකඑක ගිවිසුම් ගහනවා. මොනවා තියෙනවද කියලා රටේ ජනතාව දන්නෙත් නැහැ. රට විකුණනවා වගේ තමයි...