X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


අර්බුද මැද රට යන අත

“ඉපැරණි ගම” ලස්සන ය. මා මේ කියන්නේ අපෙන් ගිලිහී ගිය ඉපැරණි ගම නොව පින්නවල අලි අනාථාගාරයට මුහුණලා ඉදිකර ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පර්යේෂකයන්ගේ නැරඹීමට සහ අවධානයට ලක්වී තිබෙන ඉපැරණි ගම ආදර්ශය ගැනය. අති සුන්දර පරිසරයක ඉදිකර ඇති ඉපැරණි ගමේ එක මායිමක් වන්නේ කෑගල්ල රඹුක්කන මාර්ගය ය. අනිත් මායිම රමණීය මහඔය ය. මේ ඉපැරණි ගම මොඩලය පවත්වාගෙන යනු ලබන්නේ සබරගමුව පළාත් සභාව විසින් ය. එය පළාත් සභාව සතු සම්පතකි, දේපළකි. පළාත් සභාවේ සියලු අමාත්‍යාංශ එකතුවී ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙහි සියලු නඩත්තු කිරීම් සිදුකරනු ලබයි. එහි ඉපැරණි ගම තේමාව තවදුරටත් සංකල්පීයව වැඩිදියුණු කළ යුතු බව ඇත්තක් වුවත් පවත්නා තත්වය ද නරක නැත. කටුමැටි බිත්තිවලින් යුත් පොල් අතු සෙවිළි කළ විශාල ශාලාව සම්මන්ත්‍රණ සහ විවිධ රැස්වීම් සඳහා ය. එය ඔයට ඉතා සමීපය. ගම වැනුම සීමා කළ හැක්කක් හෝ කළ යුත්තක් නොවුණත් දැනට ඒ ඇතැයි සිතමි.   

පසුගිය බදාදා දවස පුරා එහි පැවැත්වුණේ ශ්‍රී ලංකා මුල්‍ය කොමිසමේ සාමාජිකයන් සහ සබරගමු පළාත් සභාවේ ඉහළ නිලධාරීන්ගේ හමුවක් ය. මුල්‍ය කොමිසමේ සභාපති, ලේකම් සහ තවත් සාමාජිකයන් දෙදෙනකු ද ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද ආණ්ඩුකාරයා සහ අමාත්‍යංශ ලේකම්වරු/වරියන්  ඇතුළු පළාත් සභාවේ ඉහළ නිලධාරීහු පිරිසක් මේ හමුව තුළ වූහ. පළාත් සභාවල ඉදිරි අය වැය කටයුතු සොයාබැලීම, නිරීක්ෂණය සහ උපදෙස් දීම සඳහා මුල්‍ය කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ සබරගමු හමුව යි එදා පැවැත්වුණේ.

ඒ හමුව ආරම්භ කරමින් ආණ්ඩුකාරයා ප්‍රකාශ කළේ ලැබී නැති ප්‍රතිපාදන ගැන නොව ලැබී ඇති ප්‍රතිපාදන ගැන කතා කිරීමට තමා සුදානම් බවත් ලැබී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බවත් අර පරෙස්සමින් ඒවා නිසි භාවිතාවේ යෙදවීමට කටයුතු කරන බවත් ය. එසේම දිළිඳුකම පිටු දැකීම සහ මහජන පීඩා ඉවත්කිරීම යන මූලධාර්මික පදනමේ පිහිටා එම ප්‍රතිපාදන පළාත තුළ යොදාගැනීමට ක්‍රියා කරන බව ඔහුගේ ප්‍රකාශය තුළ විය. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා ඊට දැක්වූ ප්‍රතිචාරය අපූරු එකකි. ඔහුට අනුව තම අවුරුදු දහඅටක සේවා කාලය තුළ ප්‍රතිපාදන ප්‍රමාණවත් යැයි කියූ ප්‍රකාශයක් ඇසූ පළමු අවස්ථාව මෙය ය. රටේ ආර්ථිකයේවත් පොහොසත්කම, ඇතිකම, නැතිකම, හැකිකම සහ බැරිකම ගැන මනාව දන්නා මේ නිලධාරියා එසේ කීවේ ඉතා සංවේදීව ය. ඔහු පමණක් නොව මුල්‍ය කොමිසමේ සභාපති ලේකම් ඇතුළු සෙසු සාමාජිකයෝද එවැනි කටයුත්තකටම ගැළපෙන කෘතහස්ත මහත්වරුය. 
ඉහත සියලු පැහැදිලි කිරීම සහ වැනුම වනාහි මේ රට පත්ව ඇති ඛේදවාචකය තේරුම් කර දීම සඳහා වූ ප්‍රවේශයකි. ඒකාබද්ධ ජාතික සැලැස්මක් (මාස්ටර් ප්ලෑන් එකක්) නොමැතිව ඒ ඒ වෙලාවට ඒ ඒ තැනට ගළප්පාගෙන යන මේ රට, රාශිභූත වී ඇති අර්බුද ගොඩකට තවත් අර්බුදයකින් දමා ගසයි. එවිට ඒ අර්බුද ගැලවී විසිරී සමස්ත සමාජයම විපතට හෙළන අර්බුද මාලාවක් නිර්මාණය වෙයි. රට සමස්තයක් ලෙස ගෙන ක්‍රියාකාරී ඒකාබද්ධ සැලැස්මක් මත කටයුතු කළා නම් ඒ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මය. එයත් සාර්ථක නොවූයේ ජාතික වැඩපිළිවෙළකට වඩා පාලක බල තණ්හාව පෙරට පැමිණි නිසා ය. ඉන් පසු සිදු වුණේ රටේ සම්පත් දූෂණය කිරීම සහ අවභාවිතාවේ යෙදවීමය. රට සංවර්ධනය නොවුණේ භෞතික සම්පත් හෝ මුල්‍ය සම්පත් මදිවීම නිසා නොව ඒ සම්පත් සහ මුදල් අවභාවිතාවේ යෙදවීම, සොරකම සහ නාස්තිය නිසා ය. දැනුත් එහෙමය. රටේ ඇති මුල්‍ය හිඟය සහ ආර්ථික අර්බුදය වනාහි නාස්තිය, දූෂණය සහ සොරකම පමණක් නොව පාලකයන්ගේ හිතුවක්කාරී දේශපාලන අරමුණු සාධනය සඳහා අර ඉහත කී සම්පත් අවභාවිතාවේ යෙදවීමය. නිලධාරීන්ද එසේම ය.  

දුෂණය සහ නාස්තිය තරම්ම අවභාවිතාව රටේ අර්බුදයට හේතුවී තිබෙන ආකාරය සරල උදාහරණ කීපයකින් තේරුම් ගනිමු. රටේ සියලුම පාසල් ළමයින්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබා දෙයි. එසේ කළ යුතුද? එම නිල ඇඳුම් ආධාරය ලබා දිය යුත්තේ අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක්ය යන්න මගේ අදහසය. මන්ද නිල ඇඳුම් මිලට ගැනීමට හැකියාවක් ඇති අයට එය ලබා දිය යුතු නැත. පාසල් පොත් නොමිලේ ලබා දීම ද කළ යුත්තේ අඩු අදායම්ලාභී දරුවන්ට පමණක්ය. එවැනි ප්‍රතිපත්තියකට අප එළඹුනහොත් රටට ඉතිරිවන මුල්‍ය ප්‍රමාණය, අඩුවන ක්ෂයවීම් ප්‍රමාණය සහ ශ්‍රම වැඩ පැය ගණන සුළුපටු නැති බව ඔබ පිළිගන්නවා ඇති. පාසල කොළනිකරණයට සහ මුඩුක්කුකරණයට ලක් නොකොට වැසී යන සහ දුෂ්කර පාසල් ආරක්ෂාවන පරිදි ගුරු නිවාස සහ මනා පහසුකම් ලබා දීමට ක්‍රියා කරන්නේ නම් රටේ අධ්‍යාපනයේ ඇතිවන ප්‍රගතිය සුළුපටු නැහැ නේද? මෙසේ නොකිරීම සම්පත් මුදල් පමණක් නොව ජනයාට අයිති අනෙකුත් සියලු ක්ෂේත්‍ර අවභාවිතාවේ යෙදවීමක් ය.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගම් අණසක, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් සහ ඖෂධ ජාවාරම් මාෆියාවේ අණසක නිසා අවභාවිතාවේ යෙදවෙන මහජන සෞඛ්‍ය අවකාශය ඉන් නිදහස් කරගත්තොත් එකී අංශවල ඇතිවන ප්‍රගතිය සුළුපටු නැත. එවිට සියලු කාර්යමණ්ඩලය නිවාඩු දමා රෝගීන් පමණක් තනිකොට මඟුල් ගෙවල්වල  යන ප්‍රාදේශීය රෝහල් රට තුළ දකින්නට නොලැබෙනු ඇත. නගරයේ මහ රෝහල්වල වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරී ඉතිරී යද්දී ප්‍රාදේශීය සහ ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන් නොමැතිවීම වැළකෙනු ඇත. අයි සී යූ නොවැසෙනු ඇත. එසේම මුදල් යහමින් ඇති අයට යා හැකි රෝහල්වල තත්වයට රාජ්‍ය රෝහල් ද පත්කරගත හැකිය. අවශ්‍ය වන්නේ තම රස්සාව ගැන පමණක් නොව රට සහ පොදු ජනතාව කෙරෙහි වූ ස්වදේශික සහ මානවීය හැඟීම ය. නැත්තෙත් ඒකම ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් ඇත්තේ සම්පත් නැතිකම නොව තිබෙන සම්පත් සාධාරණව සහ නිසිලෙස භාවිතාවේ නො යෙදීම ය.

රටේ රාජ්‍ය සේවය ලක්ෂ පහළොවකට වැඩි වුණේ ආර්ථික හේතු හෝ පරිපාලන හේතු නිසා නොවේ. එනම් ආර්ථික අවශ්‍යතා හෝ පරිපාලන අවශ්‍යතා නිසා නොවේ. රටට අවශ්‍ය නිසා ද නොවේ. ඒ සා විශාල නිලධාරීන් සහ සේවක ප්‍රමාණයක් දක්වා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි ගණන වැඩි වුණේ පාලකයන්ගේ පෞද්ගලික සහ කණඩායම්වාදී බල දේශපාලනචර්යා සහ වුවමනා නිසා ය. රටේ රාජ්‍ය සේවය ලක්ෂ පහකින් කළ හැක්කකි. අනිත් අයට රැකියා වෙනුවට ලබා දී ඇත්තේ සන්තෝෂම් ය. සමෘද්ධිලාභීන්ගේ ප්‍රමාණය ආණ්ඩුවෙන් ආණ්ඩුවට දහස් නොව ලක්ෂ ගණනින් වැඩිවන්නෙත් ඒ නිසා ය. කොච්චර ලැබුණත් මදියි මදියි කියන රාජ්‍ය ආයතන මේ රටේ ඇත්තේ ඒ ආකාරයේ අවභාවිත රාජ්‍යකරණ සංස්කෘතියක් රට තුළ මුල්බැසගෙන තිබීම සහ ඉන් රට ගලවා ගැනීමට කිසිදු ආණ්ඩුවකට වුවමනාවක් නැති නිසා ය.

මේ ආකාර අවුල්  තිබෙනතුරු රට සංවර්ධනයකොට මහජන සුබසාධනය ඇති කළ නොහැක. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ හුදු ආණ්ඩුවක් හෝ හුදු පාලකයන් හෝ නොව රට සංවර්ධන මාවතකට ගෙනයන වැඩපිළිවෙළක් සහ ඒ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කිරීමට හැඟීමක්, උනන්දුවක් සහ කැපවීමක් ඇති වැඩකරුවන් ය. එහෙත් එහෙම අය නිකම්ම බිහිවන්නේ නැත. ඒ සඳහා හේතුවන දෘෂ්ටිවාදීමය සංස්කෘතියක් නැතහොත් විලාසිතා සංස්කෘතියක් එහෙමත් නැත්නම් මානුෂික කලාපයක් පළමුව ගොඩ නඟා ගත යුතුය.

එය කළ හැක්කේ ස්වදේශික විරෝධී දක්ෂිණාංශික නව ලිබරල් බලවේගයකට නොවන බව අප පළමුව වටහා ගත යුතුය. එසේම වාමාංශික සන්නාම දාගත් නිකායවාදී නැතහොත් රංචුවාදී විනෝදකාමී නන්නත්තාර මුදල් උපයා ගැනීමට විරෝධතා පවත්වන කට්ටල්වලට ද එය කළ නොහැකිය. එය කළ හැක්කේ ස්වදේශිකවාදී නුතනවාදී වාමාංශික ජනප්‍රිය බලවේගයකට ය. රටේ ප්‍රධාන පෙළ ගැසීම් අතර එකක් හොඳටම දෘෂ්‍යමාන ය. ඒ  ස්වදේශික විරෝධී දක්ෂිණාංශික නව ලිබරල් බලවේගය ය. එම බලවේග රටට සිදුකරමින් සිටින  මහා විනාශය බිහිසුණු ය. 

ඊට විකල්පව ගොඩ නැඟිය යුතු ස්වදේශිකවාදී නුතනවාදී වාමාංශික ජනප්‍රිය බලවේගය තවමත් පෙනෙන්නට නැත. එහෙත් එය මතුවිය යුතුමය. ඒ බලවේගය නම් සඟ වෙද ගුරු ගොවි කම්කරු නම් වූ පොදු මහජනයා බලමුළු ගන්වන වාමාංශික ජනප්‍රිය සංස්කෘතිය සහිත පංච මහා බලවේගයමය. ඒ බලවේගය නැතිකම් නොව ඇතිකම් මත තියෙන දේවල් මත සියල්ල කළමනාකරණය කරනු ඇත. එවිට මේ රටේ සියලු ආයතන මදියි මදියි නොකියන, තියෙන දේවල් මගින් මහා සංවර්ධනයක් අත්පත් කර ගැනීමට පෙරමුණ ගනු ඇත. ඉපැරණි ගමෙන් මා උගත්තේ එය ය.

ධම්ම දිසානායක

 



අදහස් (1)

අර්බුද මැද රට යන අත

jaya Saturday, 13 April 2019 02:07 PM

අනෙක් අදහස් ගැන 100% එකගයි. 6% වන අධ්‍යාපන වියදම ගැන කතා කරන්න එපා. මුළු අධ්‍යාපනයටම බිලියන 120. පාර්ලිමේන්තුව රැස්වන දවසකට මිලියන 10. අවුරුද්දකට බිලියන 1. පළාත් සභා මන්ත්‍රී බලපත්‍රය මිලියන 10. මන්ත්‍රීලා 1000 විතර ඉන්නවා. එතන බිලියන 10. පුටුවක් ලක්ෂ 6. තව කතා ඕනද

:       14       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site