X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඔබාමාගේ යුද අපරාධ වහන්න ඇමෙරිකාවේ ත‍්‍රස්ත බියක් ඇතිකළ බවට චෝදනා

ඇමෙරිකාවේ බොස්ටන් නුවර ඉකුත් 15 වැනිදා පැවැති මැරතන් තරගයට බෝම්බ එල්ල කළ බවට ඇමෙරිකානු ආරක්ෂක අංශ සැක කළ තරුණයන් දෙදෙනා සෙවීම ඇරැඹුණේ ඉකුත් 18 වැනිදා සවස සිටය. තරුණයන් ගැන ආරක්ෂක අංශ නිලධාරීන් සැක පළ කළේ බෝම්බ පිපිරුණු අවස්ථාවේ දී, ඔවුන් හැසිරුණු ආකාරය හේතුවෙනි. බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ එතැන සිටි පිරිස ඉවක් බවත් නැති ව හිස් ලූ ලූ අත දුවද්දී මේ තරුණයන් දෙදෙනා පමණක් බොහොම සන්සුන්ව එම ස්ථානයෙන් ඇවිද යනු ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණි.

 

නගරය වට කරමින් මාර්ග බාධක.

 

සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ පදිංචි චෙච්නියානු ජාතික 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් සහ 19 හැවිරිදි සොහාර් සර්නෝව්ය. මොවුන් දෙදෙනා සොහොයුරන් බව ද අනාවරණය විය.

ඉකුත් 18 වැනිදා රාතී‍්‍ර 10 ට, කේම්බි‍්‍රජ්හි පිහිටි මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යායතනයේ සිදුවූ කලබලයකින් එහි අනුයුක්තව සිටි පොලිස් බලකායේ එක් පොලිස් භටයකු මියගිය බව වාර්තා විය. වෙඩි ප‍්‍රහාරයකට ලක් වී මියගොස් සිටියේ 26 හැවිරිදි ෂෝන් කොරියර්ය.

බොස්ටන් සැකකරුවන් දෙදෙනා ගැන ඔහුට හෝඩුවාවක් ලැබී තිබුණු බව ආරක්ෂක අංශ දැන ගත්තේය. ඒ අනුව කේම්බි‍්‍රජ් හා බොස්ටන් පොලිස් නිලධාරින් සමග එක් වූ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ එම තාක්ෂණික විද්‍යායතනය තුළ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. පොලිස් නිල සුනඛයන් ද ඒ සඳහා යොදා ගැනිණ. පොලිස් නිලධාරීහු නේවාසිකාගාරවලට ගොස් විද්‍යායතනයේ සිසුන්ට ඒවායේ රැුඳී සිටින්නැයි උපදෙස් දුන්හ. ඔවුහූ එම විද්‍යායතන පරිශ‍්‍රය පමණක් නොව ඒ අවට නිවාස, ගොඩනැගිලි සහ මාර්ග ද සෝදිසි කරන්න වූහ. මාර්ග බාධක දමා වාහන සෝදිසි කිරීම ද ඇරැඹුණි.

විශේෂ කාර්ය සාධක පොලිස් බළඇණි, ‘ස්වොට්’ භටයන් මෙන්ම බෝම්බ නිෂ්කී‍්‍රය අංශ ද එම විද්‍යායතනයේ සිදුවූ වෙඩි තැබීම ගැන ඇරැඹුණු පරීක්ෂණවලට එක් විය. පොලිස් නිලධාරියාට වෙඩි තැබුවේ සර්නෝව් අයියා මලෝ බව ආරක්ෂක අංශ එම අවස්ථාවේ දී දැන සිටිය ද ඔවුන් ඒ බව මාධ්‍ය වෙත හෙළි කළේ නැත.

රාතී‍්‍ර 12 ට පමණ බොස්ටන් නුවර සිට සැතපුම් 6 ක් දුරින් පිහිටි වෝටර්ටවුන් නගරය අසල ඉන්ධන පිරවුම්හලක දී වාහන කොල්ලයක් සිදු විය. තරුණයෝ දෙදෙනෙක් මර්සිඞීස් වර්ගයේ එස්.යූ.වී. මෝටර් රථයක් පැහැර ගෙන නගරය දෙසට යමින් සිටියහ.

වෝටර්ටවුන් නගරයට ඇතුළු වූ බව දැනගත් පසු ආරක්ෂක අංශ සාමාජිකයෝ නගරය මුළුමනින්ම වටලා, නගරවැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස අණ දී නගරය පීරන්නට වූහ. බොස්ටන් සහ කේම්බි‍්‍රජ් පොලිස් නිලධාරීහු 9,000ක් එම සෝදිසි මෙහෙයුමට එක් වූහ.පසුගිය 19 වැනිදා අලූයම 1:30 පමණ සැකකරුවන් දෙදෙනා කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අවස්ථාවේ ඔවුහු පොලිසියට වෙඩි තැබීමටත් අත්බෝම්බවලින් පහර දීමටත් පටන් ගත්හ. සැකකරුවන්ගේ ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරී රිචඞ් ඩොනහියු (33) තුවාල ලැබුවේය.

 

සොහාර් සර්නෝව් සැඟවී සිටි බෝට්ටුව ගුවනට දිස්වූ අයුරු.

 

පැය කිහිපයක වෙඩි හුවමාරුවකින් පසු වැඩිමල් සොහොයුරු ටැමරන්ලන් සර්නෝව් පොලිසියට යටත් වීමට කැමත්ත පළ කරමින් ඉදිරියට ආවේය. ඔහු පොලිස් නිලධාරීන් වෙත පැමිණ ඇත්තේ බෝම්බ කබායක් පැළඳගෙනය. ස්වේටරයකින් සැරසී සිටි නිසා පොලිස් නිලධාරීන්ට මුලින් එම කබාය නොපෙනුණු අතර, එය දුටු විගස ඔවුහූ ඔහුට වෙඩි තැබූහ.

මේ අතර පලා යමින් සිටි සොහාර්ට පොලිසිය වෙඩි තැබූ නමුත් ඔහු ඔවුන්ගෙන් බේරුණේය. එහෙත් ඔහුට නගරයෙන් පිටවීමට නොහැකි විය. සැකකරුවන් දෙදෙනාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත හෙළි කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ එම අවස්ථාවේදීය.

19 වැනිදා සවස් වනතුරු සැකකරු සොයා මෙහෙයුම් සිදු කෙරුණත් ඔහු ඉන්නා තැනක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණි. වෝටර්ටවුන් නිවැසියන්ට නිවෙස්වලම රැඳී සිටින ලෙස අණ කරමින් නිවෙස් සෝදිසි කෙරිණ.

මේ අතර රුසියාවේ ජීවත්වන සර්නෝව් සොහොයුරන්ගේ පියා අන්සෝර් සර්නෝව් සහ මව සුබිදා සර්නෝව් රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම පුතුන් දෙදෙනා ‘ත‍්‍රස්තවාදීන්’ නොවන බවත් බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්ය.  

සොහාර් සර්නෝව් වයස අවුරුදු අටේ සිට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටි අයකු බවත් ඔහු වෛද්‍ය ශිෂ්‍යයකු බවත් අනාවරණය විය. වයස අවුරුදු 8 දී සොහාර් ඇමෙරිකාවේ බොස්ටන් නුවර පදිංචියට පැමිණ අධ්‍යාපනය ලැබුවත්, ටැමරන්ලන් ඇමෙරිකාවට පැමිණ ඇත්තේ වයස අවුරුදු 21 දීය. ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ගී‍්‍රන්කාඞ් ක‍්‍රමය හරහාය. මොවුන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයෝය.

ඇමෙරිකාවේ පදිංචියට පැමිණි ටැමරන්ලන්, කැතරින් රසල් නමැති 24 හැවිරිදි තරුණිය සමඟ ආදර සම්බන්ධයක් මත විවාහ වී ඇත. කැතරින් මධ්‍යම පන්තික පවුලක තරුණියකි. මොවුන් දෙදෙනා දැන හඳුනාගෙන ඇත්තේ අධ්‍යාපනය හදාරද්දීය. දැන් මොවුන්ට සහාරා නමැති අවුරුදු 3 ක් වයසැති දියණියක ද සිටී. ටැමරන්ලන් සහ කැතරින් අතර ඇති වූ විවාහ සම්බන්ධතාව නිසා කැතරින් සහ ඇගේ පවුලේ අයට ද ඉස්ලාම් දහම වැළැඳ ගැනීමට සිදු වී ඇති බව ද වාර්තා විය.

 

තුවාල ලබා සිටි සොහාර් සර්නෝව් පොලිසියට කොටු වූ අවස්ථාව.

 

2011 වසර අවසානයේ ටැමරන්ලන් තනිව ම රුසියාවේ සංචාරයක යෙදී ඇත. සති කිහිපයකට පසු ඔහු යළි ඇමෙරිකාවට පැමිණියේය. ඔහුගේ එම සංචාරය ගැන රුසියානු බුද්ධි අංශවලට සැක පළ වූ අතර, ඒ බව ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට දන්වා ඇත. ඉන්පසු අවස්ථා කිහිපයක දී එෆ්.බී.අයි. පරීක්ෂකයන් ටැමරන්ලන්ගෙන් දිගට හරහට ප‍්‍රශ්න කළ බව ද පසුව හෙළි විය. සොහාර් සර්නෝව් සොයා ගැනීමට තමන්ට නොහැකි බව වෝටර්ටවුන් නගරය පීරූ පොලිස් නිලධාරීන් පවසද්දී වේලාව සවස 5 පමණ විය. මේ අතර ෆ්රැන්ක්ලින් නමැති වීදියේ පදිංචිකරුවකුගෙන් ආරක්ෂක අංශවලට සවස 5:45 ට ඇමැතුමක් ලැබුණි. ඒ, ඔහුගේ ගෙවත්තේ බෝට්ටුවේ කිසියම් අයකු සැඟවී සිටින බව පවසමිනි. සවස 6 වන විට ආරක්ෂක අංශ නිලධාරීහු බෝට්ටුව තිබූ ගෙවත්ත වට කළහ. ගුවනේ සිට සැකකරු සෙවූ පොලිස් හෙලිකොප්ටරය විදුලි පහන් බෝට්ටුවට එල්ල කළා පමණක් නොව, අධෝරක්ත කිරණ කැමරාවකින් බෝට්ටුව පරීක්ෂා කරන්නටද විය. සැකකරු බෝට්ටුවේ සැඟවී සිටිනු දක්නට ලැබුණි.

සවස 7:05 ට, ආරක්ෂක නිලධාරීන් සහ සැකකරු අතර වෙඩි හුවමාරු විය. අවසානයේ දී බෝට්ටුවට කඩා වැදුණු ‘ස්වොට්’ භටයෝ සොහාර් සර්නෝව් ජීවග‍්‍රහයෙන් අල්ලා ගත්හ. රාතී‍්‍ර 8:43 ට, සොහාර් පොලිස් අත්අඩංගුවට පත් විය. වෙඩි වැදී බරපතළ ලෙස තුවාල ලබා සිටි නිසා ඔහු වහා ගිලන් රථයකින් විශේෂ ආරක්ෂක රැකවල් මැද රෝහල් ගත කරනු ලැබීය. ඔහු ගෙන යනු ලැබුවේ බෙත් ඊශ‍්‍රයල් ඩෙකොනෙස් රෝහලටය. ‘අපට ඔහු හසුවුණා. සෙවිල්ල අවසන්.’ යැයි ආරක්ෂක අංශ පවසද්දී වෝටර්ටවුන් නගර වැසියෝ පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූහ. පොලිසිය කීවේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් බේරීමට සොහාර් සියදිවි හානි කර ගැනීමට ද උත්සහ කර ඇති බවය.

 

වෙඩි හුවමාරුවේ දී තුවාල ලැබූ රිචඞ් ඩොනහූ
මියගිය පොලිස් නිලධාරියා ෂෝන් කොලියර්
ටැමරන්ලන් සර්නෝව්ගේ බිරිඳ කැතරින් රසල්

 

වොෂින්ටන් නුවර නිල නිවසේ සිට පුවත් සේවා ඔස්සේ සිදු වූ සියල්ල සජීවී ව නැරැඹූ ජනපති ඔබාමා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වූයේ රාතී‍්‍ර 10ට පමණය. ”සැකකාර තරුණයන් ඇමෙරිකාවට පැමිණ හොඳ ජීවිත ගත කළ දෙදෙනෙක්. ඔවුන් හොඳින් අධ්‍යාපනය හැදෑරූ දක්ෂ සිසුන් දෙදෙනෙක්. ඔවුන් මේ අයුරින් ප‍්‍රචණ්ඩකාරී වුණේ කොහොමදැයි සිතා ගන්න බැහැ. ඒත් ඔවුන්ට ජය අත්වුණේ නැහැ. ඇමෙරිකාවේ ත‍්‍රස්තවාදයට ඉඩ නැහැ. හේතුව ඇමෙරිකාවේ හැමෝම එකමුතුයි. දුකේදීත් සැපේදීත් හැමෝම එකට ඉන්නවා. ඇමෙරිකාව තුළ ත‍්‍රස්තවාදයට කිසිදාක ජය ගන්න ලැබෙන්නේ නැහැ. සැකකරුවන් මෙලෙස ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට යොමු වුණේ කොහොමද ? ඔවුන් මෙහෙයවූයේ කවුද ? යන්න අප සොයා ගන්නවා.” යැයි ජනපති ඔබාමා එම අවස්ථාවේ දී කියා සිටියේය.

බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සහ ඊට සම්බන්ධ සැකකරුවන් සොයා සිදු කළ ත‍්‍රාසජනක මෙහෙයුම ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ගේත් වත්මන් ජනපති ඔබාමාගේත් යුද අපරාධ වසං කිරීමට ගත් ඉතා අපූරු ‘රංගනයක්’ යැයි ඇමෙරිකානු ජාතික යුද විශ්ලේෂක ඇලෙක්ස් ජෝන්ස් පවසයි.

මේ අතර බරපතළ ලෙස තුවාල ලබා අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරු සොහාර්ගෙන් ඉකුත් 22 වැනිදා කට උත්තරයක් ලබා ගත් බව බොස්ටන් පොලිසිය සහ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවැසූහ.

මාරක තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි සොහාර් එම අවස්ථාවේදී කඩිනමින් රෝහල් ගත කෙරුණි. වෛද්‍යවරු ඊයේ කියා සිටියේ සිහිසුන්ව සිටි ඔහු සිහිය ලැබූ බවත් පොලිසියට ලිඛිත කට උත්තරයක් ලබා දුන් බවත්ය.

 

මරා දැමුණු වැඩිමල් සොයුරු ටැමරන්ලන් සර්නෝව්
අල්ලා ගත් සැකකරු සොහාර් සර්නෝව්

 

 

ලූසිත ජයමාන්න  - ඬේලිමේල් ඇසුරිනි

 



අදහස් (0)

ඔබාමාගේ යුද අපරාධ වහන්න ඇමෙරිකාවේ ත‍්‍රස්ත බියක් ඇතිකළ බවට චෝදනා

ලසන්ත Saturday, 27 April 2013 03:41 PM

ඉතින් කොහොමද මේක ඔබාමාගේ යුද අපරාධ වහන් කරන්න පාවිච්චි කරන්නේ... (නි)

:       0       0

රූපා Saturday, 27 April 2013 03:42 PM

මෙන්න අපේ ඊනියා ඇමරිකන් විරෝධී අල්කයිඩා ගැත්තන්ට හොද පුවතක්. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 30 April 2013 10:35 PM

කවුරු මොනවා කිවුවත් මේවා ඇමරිකන් වැඩ... හා නැද්ද? (නි)

:       0       0

උදය Wednesday, 01 May 2013 03:27 AM

බෝම්බ වැඩි ප්‍රමාණයක් පිපිරෙනවා නම් ඇමෙරිකාව කියන ආත්මාර්ථකාමියාට තේරෙයි ලංකාව කියන රට කොච්චර දුරට සාධාරණද දෙමල ප්‍රශ්නය විසදපු ක්‍රමය කියලා (නි)

:       0       0

ජයන්ත Wednesday, 01 May 2013 11:39 AM

ඇමෙරිකාව වැනි ත්‍රස්තවාදියෙක් තවත් නැහැ නේද ? එහෙත් ලෝකෙට පෙන්නන්න හදන්නේ තමන් සුදනා කියලා. කවුරුත් දන්නවා හැටි . කොහොම වුණත් ඔය වගේ වැඩකට මුස්ලිම් සම්බන්ධ බව කිවුවට පුදුම වෙන්න දෙයක් නැහැ. බංගලාදේශය වගේ රටවල් , අප්‍රිකාව වුණත්, බලන්න. උදාහරණ ඕනෑ තරම්. (නි)

:       0       0

යොහාන් Wednesday, 01 May 2013 02:38 PM

ලසන්ත, මෙහෙම ලස්සනට සියල්ල ගලාගෙන යනවිට ජනතාවට අනෙක් කෙරුවාවන් අමතක වෙනවා (නි)

:       0       0

පාලිත Friday, 03 May 2013 03:07 PM

වැරදි කාරයා වෙන්නේ මොකටද මේවාට එක එක දේවල් කියන්න ගිහිල්ලා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site