X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කවියන් පැතූ සාධාරණ සමාජය කවදාවත් බිහිවුණේ නෑ

බුද්ධදාස ගලප්පත්ති කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය ඒ අසිරිමත් නොනගතය නමින් එළිදැක තිබේ. 1971 වසරේ කාව්‍යකරණයට පිවිසි ගලප්පත්ති කවියා මේ නව කාව්‍ය සංග්‍රහයත් සමඟ තම කවි දිවියේ පනස් වසර සපුරයි. දොළොස් මහේ පහන (සුනිල් ආරියරත්න-ජයලත් මනෝරත්න සමඟ), කැටපත් පවුර, පාර වසා ඇත, රැජිණක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ. නිශ්චලයි රාත්‍රිය, තුරුලිය අකුරුවිය, දවස හෙටයි, තීර්ථය අසබඩ වැනි  කාව්‍ය සංග්‍රහ ඔහුගේ කවි පොත් අතර වඩාත් කැපී පෙනේ.

ඔහු කවියකු මෙන්ම නවකතා රචකයකු, කෙටිකතාකරුවකු, තීරු ලිපි රචකයකු, ගීත රචකයකු, විචාරකයකු ලෙසද ප්‍රකටය. මෙම සංවාදය ගලප්පත්ති කවියා සමඟ පැවැත්වෙන්නේ ඔහුගේ මෙම නව කාව්‍ය සංග්‍රහයත් ඒ සමඟ බැඳුණු ඔහුගේ පනස් වසරක කවි දිවියත් නිමිති කොට ගෙනය.

 

• ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය වන ඒ අසිරිමත් නොනගතය කෘතියට බලපෑ අත්දැකීම් කවි බවට පත් කිරීමට ගත් පරිකල්පනාත්මක වෙහෙස ගැන මුලින්ම කතාකරමු.

පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් පුරා අපේ රටේ පමණක් නොව ලොව සෑම රටකම ජනයාට අත්විඳින්නට සිදු වූ කොරෝනා ව්‍යසනය මිනිසුන්ගේ ජනජීවිත දෙදරවා හැරියා. අන්තර් මිනිස් සබඳතා බිඳවැටුණා. හුදකලාව ජීවිත වසාගත්තා. මේ පසුබිමෙහි මා ලද, මා විඳි අත්දැකීම් රැසක් මේ කවිවලට විෂය වුණා. ඒවා වාර්තා ලෙස මා ඉදිරිපත් කොට නැහැ. දැනුණ අත්දැකීම් වගේම මගේ නිරීක්ෂණයට ලක්වූ සමාජ දේශපාලන සංසිද්ධීන් මගේ හිත සසල කළා. ඒ අත්දැකීම් තුළින් ජීවිතය දිහා බලන්නට මිනිසුන් ගැහැනුන්ගේ චරිත මුහුණ දුන් සංවේදී සිදුවීම් මඟේ ඇසින් මා දුටුවා.

ඒ හැරෙන්නට සොබාදහම, ආදරය, වෘත්තීය අරගල කළ පිරිස්, සරසවි ආදරය වැනි විෂයයන් කීපයක්ම මගේ කවියේ ඇතුළත්. ජීවත්වීමට අරගල කරන මිනිස් ජීවිත, ඔවුන් මුහුණ පාන අනවරත දුක්ඛ දෝමනස්ස මේ කෘතියේ පිළිබිඹු වෙනවා යැයි මම සිතනවා.

 

• 1971 දී ආරම්භ වූ ඔබේ කාව්‍ය නිර්මාණ රචනයට මේ වන විට පනස් වසරක් ගතවී තිබෙනවා. අඩ සිය වසරක කවි මතක අතරේ ඔබ කවිය හරහා පුළුල් සමාජ මැදිහත්වීමක් කරනවා. සිදුවූ සමාජ පරිවර්තන එක්ක ඔබ ඇතුළු කවියන් අපේක්ෂා කළ සමාජය නිර්මාණය වී තිබෙනවාද?

මඟේ කවිය ඇරැඹෙන්නේ 1971 දී. ඒ ජයලත් මනෝරත්න සුනිල් ආරියරත්න සමඟ පළකළ හවුල් කාව්‍ය සංග්‍රහය වන දොළොස් මහේ පහන’ සමඟ. කවියේ පමණක් නොව අනෙක් සියලුම සාහිත්‍ය කලා ප්‍රවර්ග තුළ නිරතව සිටි බොහෝ කලාකරුවන් මේ දශකයේ කළ නිර්මාණ තුළ ඔබ කියන සමාජ මැදිහත්වීම දකින්න තියෙනවා. සාහිත්‍යයේ, සිනමාවේ, වේදිකා නාට්‍යයේ, ගීතයේ මේ නැඹුරුව පෙනෙනවා. ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරණයක, සයිමන් නවගත්තේගම, වසන්ත ඔබේසේකර, පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, ජයසේන ජයකොඩි, ඊවා රණවීර, දයාසේන ගුණසිංහ, සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ, කරුණා පෙරේරා, සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල, ප්‍රේමසිරි කේමදාස, නන්දා මාලිනී ඇතුළු තවත් බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළින් ඉතා පැහැදැලිවම සමාජ පර්වර්තනයක් අපේක්ෂා කළ බව පෙනෙනවා. ඒත් ඒ දශකයේ සිට දශක පහක් ගෙවුණු මේ කාලය දක්වා ආපසු හැරී බලනකොට කවියන් ඇතුළු අප කිසිවකු අපෙක්ෂා කළ ඒ සමාජ දේශපාලන වෙනස, රටේ බහුතර ජනතාවගේ සිතුම් පැතුම්වල වෙනස සිදු වී නැහැ. කවියන් පැතූ ඒ සාධාරණ සමාජය කවදාවත් බිහිවුණේ නෑ.

අප හැත්තෑව දශකයේ සිටියාට වඩා දරුණු ලෙස වර්තමානයේ දේශපාලන අධිකාරියේ ගොදුරු බවට පත්ව සිටින අයුරුයි මා දකින්නේ. මේ පනස් වසර තුළම තම නිර්මාණ මඟින් යහපත් සමාජයක් ප්‍රාර්ථනා කළ කලාකරුවන්ට හැකිවුණාද ජනතාවගේ චින්තනය අවධි කරන්නට? එහෙම පුළුවන් වුණා නම් අද අප අත්විඳින මේ ජරාජීර්ණ දේශපාලන සමාජයීය අත්දැකීම් අත්විදින්නට සිදුවන්නේ නැහැ නේද?

 

• 70 දශකයේ සිට නූතන කවිය තුළ ඔබ මේ දක්වා පරම්පරා කීපයක කවි ඇසුර ලබනවා. මේ පරම්පරා කීපය තුළ ඔබ මෙරට කවියේ ඇති වූ වෙනස්කම් දකින්නේ කෙහොමද?

ඔව්. හැත්තෑව දශකයේ සිට දශක පහක් පමණ කවියේ ඇසුර මා නිරන්තරයෙන් ලබමින් සිටිනවා. වර්තමාන කවිය ආ මඟ දිහා බලනකොට මා  දකිනවා අලුත්ම කවි පරම්පරා කීපයක්ම මතුවී ඇති බව. විශේෂයෙන්ම කිවිඳියන්ගේ ආගමනය කැපී පෙනෙනවා. හැත්තෑව දශකයේම දිගුවක් ලෙස විකාශනය වූ අසූව දශකයේ කවි පරපුර වර්තමානය වන විට නිර්භීතව, බොහෝ අවස්ථාවල නිර්මාණශීලීව කාව්‍යකරණයේ නිරතවන බව පෙනෙන්නට තිබෙනවා.

එදා මෙන් නොව තාක්ෂණය දියුණු සංකීර්ණ සමාජ දේශපාලන වාතාවරණයක ජීවත්වන නව පරම්පරාවේ බොහෝ කවියක් තුළ මා දකිනවා ඔවුන්ගේ නිරීක්ෂණ ඇස. ඔවුන්ගේ යථාර්ථවාදී දෘෂ්ටිය, ආදරය, ප්‍රේමය, සමාජ සාධාරණත්වය මෙම නව කවියේ කැපී පෙනෙනවා. ලිංගිකත්වය, කාන්තා නිදහස, දෙදරායන විවාහ සංස්ථාව, ඔවුන්ගේ කවියේ නව විෂය ක්ෂේත්‍ර. මේ වෙනස්කම් සධනීය ලෙස මම දකිනවා.

 

• කොළඹ යුගයේ මුල් පරම්පරාවේ සිට මේ දක්වා සඳැස්, නිදහස්, නිසඳැස් හෙළ හවුල වැනි විවිධ අවධිවල කවියන් කවියේ ආකෘතිය ගැන වඩාත් සැලකිලිමත් වුණ බව පෙනෙනවා. ඒත් ඔබ සඳැස නිසඳැස වගේම ඉතාම ක්ෂුද්‍ර කවි පවා පළකරනවා. කවියේ ආකෘතිය තීරණය වන්නේ  අත්දැකීම් ස්වභාවය අනුවද?

මගේ කවියේ ආකෘතීන් බොහෝ වෙලාවට කවියේ අත්දැකීම් තුළින්ම මතුවුණ ඒවා. පූර්ව නිශ්චිත ආකෘතිවල පිහිටා මම කවි ලියන්නේ  නෑ. ක්ෂුද්‍ර කවි ආකෘතියක වුණත් මම භාවිතා කරන්නේ සඳැස් හෝ නිසඳැස්  ආකෘතියට වඩා කව්‍යෝචිත යැයි අත්දැකීම ඉල්ලා  සිටින ආකෘතියක්. කිසිම ආකෘතියක් තුළ සිර නොවී, කොටු නොවී අත්දැකීම් විකාශනය කිරීමට මම උත්සාහ ගන්නවා.

මගේ කවියේ ආරම්භයේ සිටම අලුත්ම කවි පොත දක්වාම මෙම වෙනස් ආකෘතීන් භාවිතය දකින්න පුළුවන්. ඇත්ත වශයෙන් කවියේ ආකෘතිකමය හැඩය තීරණය වන්නේ අත්දැකීමේ ස්වභාවය මත යැයි මම විශ්වාස කරනවා.

 

• කවර සමාජ, දේශපාලන, සංස්කෘතික වටිනාකම් මතුව ආවත් ඔබේ කවිය තුළ මතුවන මානව හිතවාදී ගුණය ඉතා ප්‍රබල බවයි බොහෝ විචාරකයන්ගේ අදහස. ඔබ මේ කාරණය ගැන මේ තරම් අවධානයක් යොමුකරන්නේ ඇයි?

මගේ බොහෝ කවි තුළින් මානව දයාව, මානව හිතවාදී ගුණය ප්‍රබලව මතුවී තිබෙන බවත් මා ඒ මානව දයාව අගය කරන කවියකු බවත් බොහෝ විචාරකයන් පෙන්වා දෙන බව ඇත්තකි.

ඊට මම මුළුමනින්ම එකඟයි. කවිය මතු නොව ඕනෑම කලා නිර්මාණයකින් මානවීය ගුණය මතුවිය යුතුය යන ආස්ථානයේයි මම ඉන්නේ. විශේෂයෙන්ම වරප්‍රසාද අහිමි, සමාජ අසාධාරණයෙන්, විසමතාවෙන් පෙළෙන චරිත දෙස කවියකු ලෙස මම මානව දයාව පළ කරනවා. එය කවියකුගේ යුතුකමක්.

 

• කවියාගේ ප්‍රධාන මෙවලම භාෂාවයි. කොළඹ යුගයේ මුල් පරපුරේ සිට මේ දක්වා කවිය ගත්තොත් එතෙක් මෙතෙක් කවියන් තම නිර්මාණ රචනාවලදී භාෂාව, විරිත, අලංකාර හා සංකල්ප රූප භාවිතයට ගත් අන්දම විවිධයි. කවියක භාෂාව ඇත්තටම තීරණය වෙන්නේ කොහොමද?

කවියාගේ ප්‍රධාන මෙවලම භාෂාව බව ඇත්ත. එසේම භාෂා දැනුමකින් තොරව ප්‍රතිභාන්විත නිර්මාණශීලී කවි රචනයක් දකින්න ලැබෙන්නේ නෑ. කවියේ භාෂාව වාර්තාකරණයේ භාෂාව නොවෙයි. වාර්තාකරුවකුගේ භාෂාවෙන් පාඨක සිත් සසලවන්නේ නෑ. තොරතුරු පමණයි ලැබෙන්නේ. ඒත් කවියාගේ භාෂාව තුළින් ඔහු මතු කරන ජීවිතානුභූතියට ප්‍රාණයක් ලැබෙන්නේ භාෂාවේ මහිමය නිසයි. අලංකාර, සංකල්ප රූප, නිර්මාණය කිරීම අපහසුයි භාෂා ඥානය නැත්තෙකුට. පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ භාෂාව වගේම නවීන තාක්ෂණික ලෝකයේ ව්‍යවහාර භාෂාවත් කවියකු විසින් ප්‍රගුණ කළ යුක්තක්.

 

• කවිය වගේම කාව්‍ය විචාරයද කවියේ වර්ධනයටත් රසික සමාජයේ වින්දනය පුළුල් කිරීමටත් ඉතාම වැදගත්. ඒත් වර්තමානයේ කවිය පිළිබඳ සාධනීය මැදිහත් විචාරයක් සිදුවෙනවාද?

කවියේ වර්ධනය උදෙසා කාව්‍ය විචාරය අතිශයින් වැදගත්. ඉන් කවියාටත්, කවිරස විඳින පාඨක රසික සමූහයාටත් ලැබෙන ඵල අපමණයි. හැබැයි මේ විචාරය නිර්මාණකරුවාගේ හැකියාව විනාශ කරන, ද්වේශ සහගත, අගතිගාමී විචාරයක් නොවිය යුතුයි. වර්තමානයේ මධ්‍යස්ථ සාහිත්‍ය විචාර හරිම අඩුයි. විචාරය බොහෝ අවස්ථාවල, කල්ලි කණ්ඩායම්, ගුරුකුලවලට සීමාවී ඇති බවයි පෙනෙන්න තියෙන්නේ. එවැනි පූර්ව තීන්දු, තීරණ මත පිහිටලා තමන්ගේ කල්ලියේ කණ්ඩායමේ ගුරුකුලයේ නිර්මාන පමණක් විචාරය කිරීමෙන් සාහිත්‍යයට හෝ නිර්මාණකරුවාට වන සෙතක් නෑ. විනාශකාරී විචාරණ වෙනුවට උත්පාදක, ආධාරක විචාරයක් අපට අවශ්‍යයි. එවැනි නිර්භීත විචාරකයන් අප දැක තිබෙනවා. 1956 දී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය ගැන කළ විචාරය මේ කරුණට අපූරු නිදසුනක්. එය ආදර්ශ විචාරයක් ලෙස මා අදත් පිළිගන්නවා. එවැනි විචාරකයන් අද හිඟයි.

(***)
සංවාද සටහන
ගාමිණි කන්දේපොළ

 

 



අදහස් (0)

කවියන් පැතූ සාධාරණ සමාජය කවදාවත් බිහිවුණේ නෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site