X Advertisement
IMG-LOGO

2025 මැයි මස 26 වන සඳුදා


කළ යුත්ත නොකළ යුත්ත නොදැනීම

පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා මේ ආණ්ඩුවේ ඇතිවූ ‘පැල්ම’ හෙවත් ‘අර්බුදය’ තවමත් සමහන් වී නැතිවා ගානය. එපමණක් නොව එදිනෙදා සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඒ අර්බුදය දිනෙන් දිනම තව තවත් වර්ධනය වන බවය. අනෙක් අතට ආණ්ඩුවේ මේ අර්බුදය හේතුවෙන් රටේ පාලනයේ ඇතිවී තිබෙන කඩා වැටීම සමහන් කරගන්නට ඒ අය යෙදූ කිසිදු උප්පරවැට්ටියක් වත් හරියට වැඩ කළේ නැති බව කාටත් හොඳින් පැහැදිලිය.

එජාපයට යම්තමින් වත් පණක් ලැබුණේ ඒකාබද්ධයේ පැත්තෙන් යැවුණ ‘වැරැදි පන්දුවක්’ වූ  විශ්වාසභංගයෙන් ඒ අය ලැබු ජයග්‍රහණය නිසා බව සැබෑය. එහෙත් ඒ ජයග්‍රහණයවත්  ‘මාකට්’ කරගන්නට  ඉඩක් නොදෙන තරමට මහින්ද පැත්තේ මාධ්‍ය හැසිරවීම් ශක්තිමත් කරන්නට හැකිවීම ගැන මහින්ද බලවේගයේ හැමෝම සතුටට පත්විය යුතුය. ඒ සියල්ලත් සමගින් දැන් මහින්ද යළිත් දකිමින් සිටින්නේ විශ්වාසභංගය ගේන්න පෙර පටන්ම පැවති ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයේම දිගුවක් යැයි කීමේ වැරැද්දක් නැත. රටක රාජ්‍ය පාලනය වසර කීපයක් තුළ මෙච්චර අවුලක් බවට පත් කරන්නේ කෙසේදැයි මුළු ලෝකයටම ටියුෂන් දිය හැකි ගානට ආණ්ඩුවේ කඩා වැටීම හැම පැත්තෙන්ම පෙන්නුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ආණ්ඩුව පැමිණියාට පසුව කඩා වැටෙන්නේ නැතිව ඉහළටම යන්නේ ඩොලරයට සාපේක්ෂකව ඇති රුපියලේ අගය පමණක්ය. එය දිනපතාම ඉහළ යන බව අප හැමෝම දන්නා කාරණයකි. එමගින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබෙන බවත් ඒ වගේම  සැබෑවක්ය.

මේ සතියේ සටහනින් ලියන්නට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුවේ ඇති මේ කඩා වැටීම ගැන හෝ මේ අයගේ ආර්ථික කෙරුවාවේ ඇති භයානකත්වය ගැන නොවේ. මේ ලිපියෙන් විශේෂයෙන්ම සාකච්ජා කරන්නේ ආණ්ඩුවට විරුද්ධ පැත්තේ දේශපාලනය කරන අය අතර මේ දිනවල ඇති වී තිබෙන සමහර අපහැදිලිතා හා ගැටලුකාරීත්ව කීපයක් පිළිබඳවය. මහින්ද බලවේගය අතර ගොඩනැඟෙන විරසක කීපයකට හේතු වන කරුණු කීපයක් පිළිබඳව යම් විමසීමක් කරන්නටය. ඒ හරහා එම අපැහැදිලිතාවලට යම් ආකාරයක පිළිතුරක් ලබා ගන්නට ඇති හැකියාව සොයා බලන්නටය.

මෙහිදී මුලින්ම කිව යුතු කාරණය වන්නේ ආණ්ඩුවේ සමහරුන් විසින් මේ මොහොතේ අටවන උගුල්වල ඒකාබද්ධය නොවැටිය යුතු බවත් ඒ පැත්තෙන් එන ‘හැම බෝලයකටම බැට් එක අල්ලන අලස දේශපාලන’ ක්‍රීඩාවලින් ඒකාබද්ධය ඉවත් විය යුතු බවත්ය. විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ රටේ විශාල වශයෙන්  ගොඩ නැඟී ඇති ප්‍රධානතම දේශපාලන ව්‍යාපාරය බවට ශ්‍රී ලංකා පොදුජන පක්ෂය හෙවත් පොහොට්ටු බලවේගය පත්වී ඇති තත්ත්වයක් තුළ විරුද්ධවාදීන්ගේ බොරුවළවල් වලින් බේරී සිටින්නට විශේෂයෙන්ම උත්සාහ විය යුතුය. මේ වන විට ඒ පක්ෂයේ ගාස්තු ගෙවා සාමාජිකවී ඇති සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා තිබෙන අතර ශාඛා සමිති 12000 පිහිටුවා හමාර කර ඇත. එයට අමතරව රටේ පළාත් පාලන ආයතන තුන්සිය ගණනකින් 220 බලය ඒ පක්ෂයට ලැබී ඇතිවා පමණක් නොව මුළු කාලයම පක්ෂයේ දේශපාලනය කරන 3500 ෆුල් ටයිමර්ලාගේ සංචිතයක් ද ඒ පක්ෂයට ලැබී ඇත. අනෙක් කාරණය වන්නේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ මේ වගේ ශක්තියක් පරණ ශ්‍රීලනිපයටවත් කවමදාවත් ලැබී තිබුණේ නොතිබූ බවය. පක්ෂය වටා ගොඩ නැඟී ඇති මේ බලය නිසාම එම  දේශපාලන ව්‍යාපාරය සහ මහින්ද බලවේගයේ අනෙක් අය අතර විරසකයක් හදමින් ඒ අය එකිනෙකා කෙටවීමට සමහරුන් උත්සාහ දරන බව ඉතාමත් පැහැදිලිය.  ඒකාබද්ධය මේ උගුලේ හසු නොවිය යුතුය. මේ කාරණය සිදුවීම් කීපයක් හරහා වඩාත් පැහැදිලිව තේරුම් කර ගත හැකිය. 

පළමුවෙන් ම ජවිපෙ ඉදිරිපත් කිරීමට සූදානම් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීම සම්බන්ධ කාරණය මත ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පක්ෂය අතර ගැටුමක් හදන්නට සමහරුන් උත්සාහ කරන බව පසුගිය සති කීපයේ මාධ්‍ය තුළ වාර්තා වූ දේවල්වලින් පෙන්නුම් කළ බව බොහෝ අයට මතක ඇත. ජාතික ව්‍යාපාරයේ සමහරුන් කියන්නේ 13 වැනි සංශෝධනය සහ විධායක ජනාධිපතිධුරය අතර ඇති සම්බන්ධතාව නොසලකා හරිමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දිය යුතු නැති බවය. මේ ප්‍රශ්නය  සම්බන්ධව බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් විශාල ආන්දෝලනයක් බවට පත් වූයේ මේ කාරණය නිසාය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒකාබද්ධයේ එක් පක්ෂයක නායකයකු විසින් තරමක බරපතළ ප්‍රකාශයක්ද කර තිබුණේ බන්දුලගේ මේ ප්‍රකාශයට පිළිතුරක් විධියටය. ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වන්නේ පක්ෂයකට නොව පක්ෂ සමූහයකට නිසා ඒ ඒ පක්ෂවල අදහස් විභාග කොට එක තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව කවුරුත් පිළිගන්නා මතයය. අනෙක් අතට ඒකාබද්ධ විපක්ෂයේ වාසු, තිස්ස සහ කොමිනියුනිස්ට් පක්ෂය වැනි අය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වුවන් වන අතර දිනේෂ්, විමල් වැනි අය එයට විරුද්ධ වූවෝ වෙති. එවැනි තත්ත්වයකදී ඒකාබද්ධ විපක්ෂයේ මතය විය යුත්තේ බන්දුලගේ තනි මතය හෝ විමල්ගේ තනි මතය නොවන බව කවුරුත් පිළිගත යුතු කාරණයක්ය. ඒත් ඒ මත දෙක මාධ්‍ය සංදර්ශන හරහා එකිනෙකට ගැටෙන විට පාක්ෂිකයන් අතර ඇති වෙන්නේ යම් අපැහැදිලිතාවක්ය. ජනාධිපතිධුරය අහෝසි කරන්නට යන ඕනෑම උත්සාහයකදී පළාත් සභා ක්‍රමයට ජනාධිපතිධුරයේ ඇති සම්බන්ධතාව ගැන යළි සිතිය යුතු බවට හැමෝටම එකඟ විය හැකි නිසා එවැනි මූලික පිහිටීමක සිට උපක්‍රම තේරීම ඒකාබද්ධය පැත්තෙන් ඉතාමත් වැදගත්ය. අහක යන ජවිපෙ බෝලයකට බැට් එක දමන්නට ගොස් අභ්‍යන්තර අවුල් හදා ගැනීමෙන් කිසිම සෙතක් ඒකාබද්ධයේ පාක්ෂිකයන්ගේ පැත්තෙන් සිදුවන්නේ නැති බව සිහියට ගැනීම ඒකාබද්ධයේ හැමෝගේම වගකීමකි. අනෙක් අතට මේ සිද්ධිය අල්ලාගෙන තමන්ට විරුද්ධ හැමෝටම ‘රෝ කාරයෝ’  යැයි හංවඩු ගැසීම වැනි දේවල්වලට යොමුවීමෙන් සිදු වන්නේ අවුලක් හැදීම පමණක් නොව  නායකයන් වශයෙන් තම තමන්ගේ දේශපාලන  පරිණතභාවය ගැන අනෙක් අය තුළ සැකයක් ගොඩ නැඟීමක් පමණක් බව විද්වත් අදහසය. ජවිපෙ විසින් 20 වැනි සංශෝධනය ගේන්නේ තව කාගේ හෝ වුවමනාවකට බව ඉතාමත් පැහැදිලි තත්ත්වයක් තුළ ඒ වුවමනාවට ප්‍රතිචාර දක්වන්නට ගොස් තවත් පිරිසක් අවුල් හදා ගැනීමට අවශ්‍යතාවක් නැත. 

අනෙක් අතට අද රට මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ ආර්ථිකය හා ඒකීයභාවය පිළිබඳව එකක් නම් ඒ ප්‍රශ්නය විසඳිය හැක්කේ ජනාධිපති ඡන්දයකින් නොවන බවද  අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මහින්ද බලවේගය ලෙසින් උපක්‍රම තේරිය යුත්තේ තම පැත්තේ අවශ්‍යතා හා හැකියා යන පැති දෙකම රටේ අවශ්‍යතාව සමඟ එකට ගළපමින් මිස විරුද්ධවාදියාගේ අවශ්‍යතා හා හැකියා උඩට ඉස්සෙන පරිද්දෙන් නොවන බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය. ඒකාබද්ධයේ බලවේගයේ තියෙන ශක්තිය හා හැකියා පැත්තෙන් බැලුවත් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පැත්තෙන් බැලුවත් අංක එකේ අවශ්‍යතාව වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගැනීම බව කාගේත් පිළිගැනීමයි.

දෙවැනිව ඒකාබද්ධ කණ්ඩායම් අතර ආරවුලක් බවට පත්වෙමින් තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවරෙක්ද යන කාරණයය. සමහරුන් කියන්නේ සිංහල සමාජයේ බහුතරය කැමැති නායකයා වන්නේ ගෝඨාභය බවයි. තවත් සමහරුන් කියන්නේ ජනාධිපතිවරණයකදී සිංහල සමාජයේ බහුතරයේ ජන්දය මහින්ද ජනාධිපතිතුමන් කියන ඕනෑම අයකුට ලබා ගත හැකි බවත් අනෙක් ජනවර්ගවල සාමාන්‍ය ප්‍රතිශතයක්වත් ලබන්නට නොහැකි වුවහොත් ජනාධිපතිවරණය යළිත් වටයකින් සුළු ජනතාවගේ ඡන්දයෙන් තමන්ට විරුද්ධ අපේක්ෂකයකුට තීරණය විය හැකි බවත්ය. ඒකාබද්ධය සිටිය යුත්තේ මේ සාකච්ජාවම මේ මොහොතේ සේවය කරන්නේ ජනාධිපතිවරණයක් දිනා ගැනීමේ දිසාවට නොවන බවයි. ජනාධිපතිවරණයට ඒකාබද්ධයට  අපේක්ෂකයකු සිටිය යුතු බව සැබෑවක් වුවත් ඒ කාරණය ප්‍රශ්නයක් ලෙසින් මේ මොහොතේ මතු කිරීමෙන් සිදුවන්නේ ‘තුරුම්පු’ අනෙකාට පෙන්නීමක් සහ තමන්ට ඉන්න අපේක්ෂකයන් අනවශ්‍ය අනතුරකට විවෘත කිරීමක් යැයි සිතීමේ වැරැද්දක් නැත. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් බලවේගයේ අය අතර ‘කා කොටා ගැනීම්’ නවත්වන්නට කාලය පැමිණ ඇති බව මගේ යෝජනාවය.

ඊළඟ වැදගත් කාරණය වන්නේ පසුගිය විශ්වාසභංග යෝජනාවත් සමග මහින්ද බලවේගයට එහා පැත්තෙන් ‘රිංගවන’ අය පිළිබඳව පොදුජන පක්ෂයේ ග්‍රාමීය නායකයන් හා පාක්ෂිකයන් අතර ගොඩ නැඟී ඇති විරෝධය කළමනාකරණය කරගැනීමයි. මේ දක්වාම ආණ්ඩුවේ සිටි සහ තවමත් ශ්‍රීලනිපය ශක්තිමත් කරන්නට පොහොට්ටුවේ ඡන්දදායකයන් ගේ සහාය පතන මේ කණ්ඩායම කරන්නේ මහින්ද බලවේගයට ශක්තිය වැඩිම දිස්ත්‍රික්ක (ගාල්ල මාතර රත්නපුරය කුරුණෑගල ආදී) වලින් ඒ බලවේගයට ඇති ජන ආකර්ෂණය විසුරුවා හැරීම විය හැකි බව තේරුම් ගැනීම මෙහිදී අවශ්‍යම කාරණයකි. එසේ වුවත් දේශපාලනයේදී තේරුම් ගන්නා සියල්ල ඒ ආකාරයෙන්ම සමාජගත කිරීම සුදුසු නොවන තත්ත්වයක් තුළ මේ අර්බුදය සමහන් කළ හැක්කේ ඒකාබද්ධ විපක්ෂයේ මේ විශ්වාසභංගය දක්වාම සිටි මහින්ද බලවේගයේ ස්ථාවර කණ්ඩායම් එක ගොඩකටත් තමන්ගේ පෞද්ගලික දේශපාලන වුවමනා වෙනුවෙන් නායකයන් හා ජනතාව විසින් ‘පාවිච්චි’ කරමින් දේශපාලන සංචාරයේ යන කණ්ඩායම් :ඡදකසඑසජ්ක එදමරසිඑ ටරදමච* තවත් ගොඩකටත් බෙදා කටයුතු කිරීමය. ඒ බෙදීම කොහොමටත් ජනතාව තුළ මේ වන විටත් ගොඩ නැගී අවසන් නිසා නායකයන් ඒ තත්ත්වය හිතේ තියාගෙන කටයුතු කිරීම මහින්ද බලවේගයේ අභ්‍යන්තර අර්බුද ඇති නොවීමට හේතුවක් වනු ඇත.



අදහස් (3)

කළ යුත්ත නොකළ යුත්ත නොදැනීම

duminda Saturday, 28 April 2018 04:22 AM

ආණ්ඩුවට තියෙන ලොකුම අපලය හා එය උලාකන කෙනා තම එකේම ප්‍රධානියා වන ඒ ගැන වගේ වගක්ම නැති ජනපතියි... එයා හිතන් ඉන්නේ එයාගේ එකම ජොබ් එක පක්ෂය කියලා. නමුත් තමන්ට යහපාලන අපේක්ෂිත ජනතාව දුන්න ජනපතිකම නැතිනම් පක්ෂයේ කවුරුවත් මිනිහව පදෙකට ගණන් නොගනී. හැබැයි එකක් ඔප්පු කර ඇත. දියරෙද්දෙන් බෙල්ල කැපීමට, කන්න දුන්නු ඇත හපාකෑමට, තමා තරම් හපනෙක් නොමැති බව...

:       0       113

Ravendra Saturday, 28 April 2018 10:02 AM

මෙම අම්බරුවන් 225දෙනාම කළ යුත්ත, නොකළ යුත්ත නොදැනීම රටවැසියන් වන අපට තිබෙන ප්‍රධානම ගැටළුවයි. නමුත් තම තමාගේ "සුඛවිහරණයට, විශ්‍රාම වැටුප් ලබාගැනීම, උපරිම පහසුකම් "පිනටම " ලබාගැනීම, විශේෂයෙන් පිනට තුන්වේල ගිල දැමීම වැනි කරුණු වලදී මෙම "පින්ගුත්තරයන් 225 දෙනාටම" සියලුම දේවල් හොඳින් වැටහෙන්නේය. තවද මෙම අම්බරුවන් 225 දෙනා අඳුරේ අතපත ගාන අකාරයටම දවාලෙත් අතපත ගානා අයයි. මීටත් වඩා විග්‍රහයක් මේ අය ගැන කීමට නොමැත.

:       2       108

manju Sunday, 29 April 2018 11:30 AM

මොනවා වුනත් මේ ලියුම ලියපු කෙනා මහින්ද පිල... කළයුතු, නොකළයුතු දේවල් ලිවීමෙන් පැහැදිලි ලෙස කඩේ යනබව පෙනෙයි.

:       76       247

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site