X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


තිරප්පනේදී ඝාතනය වූ එස්.එෆ්. බණ්ඩාට අපරාධ චෝදනා හතළිහක්

5  

 

තිරප්පනේ පොලිසියේ දුරකථනය එක දිගට නාද දෙන්නට පටන් ගත්තේය. පොලිසියේ දුරකථන ක්‍රියාකරුට (ටී.ඕ.) එම ඇමතුම ලැබෙන විට වේලාව සවස 3.45 ට පමණ ඇත. ඇමතුම ලැබුණේ පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින්ය.


“තිරප්පනේ තුරුවිල පාරේ වෙට්ටන්කුලම කැලෑවේ කාර් එකක් ඇතුළේ තුන් දෙනෙක් වෙඩි තියලා මරලා දාලා ඉන්නවා කියා අපිට පණිවිඩයක් ලැබුණා. සෝදිසි කර බලන්න”


පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු පණිවිඩයෙන් කියවුණේ එහෙමය.


මේ පණිවිඩය පොලිසියට දැනුම් දුන්නේ පසුගිය 30 වැනිදාය.


සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක් කාර් එකක් ඇතුළේ තුන් දෙනෙක් වෙඩි තබා මරා දමා සිටින අන්දම දැක ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුම්වත් කර තිබිණි.

07_page_8-M
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් පිඤ්ඤෝ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් පණිවිඩය ලැබුණු සැණින් අපරාධය සිදුවූ ස්ථානය බලා පිටව ගියහ.


රියදුරාට වෙඩි වැදී මිය යාමත් සමගම ඔහුගේ පාලනයෙන් ගිලී ගිය කාර් එක පාරෙන් ඉවතට පැන ගසක ගැටී නැවතී ඇති බව පොලිසියට පෙනී ගොස් ඇත.


පොලිස් කණ්ඩායම එහි යන විටත් කාර් රථයේ එන්ජිම ක්‍රියාත්මක වෙමින් තිබිණි.


කාර් එක පිටුපස අසුනේ එක පුද්ගලයකු වෙඩි වැදී මියගොස් සිටි අතර ඔහු සරමක් පමණක් ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය.


වෙඩි කා මිය ගොස් සිටි අනික් දෙදෙනා ඉදිරිපස අසුනේය.


මේ තුන් දෙනාගේම සිරුරු ලෙයින් නැහැවී ගොස් තිබිණි.


රියදුරාගේ හිසට වෙඩි වැදී තිබූ අතර ඊට යාබද අසුනේ සිටි පුද්ගලයාගේ පපු ප්‍රදේශයට වෙඩි උණ්ඩ දෙකක් පමණද පිටුපස අසුනේ සිටි පුද්ගලයාගේ පපු ප්‍රදේශයට වෙඩි උණ්ඩ තුනක් පමණද වැදී ඇති අයුරු පොලිසියට පෙනී ගොස් ඇත.


අපරාධය සිදුවූ ස්ථානයේ තිබී ටී. 56 හිස් උණ්ඩයක්ද ජංගම දුරකථන තුනක්ද තිබී පොලිසිය බාරයට ගෙන තිබේ.


කාන්තා යට ඇඳුම් කිහිපයක්ම මෝටර් රථයේ තිබී පොලිසියට හමුවී ඇත.


උතුරු මැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ මෙහෙයවීම යටතේ මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කරනු ලැබුණු අතර වෙඩි කා මියගොස් සිටි තිදෙනාගෙන් දෙදෙනකු හඳුනා ගැනීමට පොලිසියට වැඩි වේලාවක් ගත වූයේ නැත.


සරමකින් පමණක් සැරසී උඩුකය නිරුවත්ව සිටි කෙනා අනුරාධපුරය නොච්චියාගම හා මිහින්තලේ ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක සිදුවූ මිනීමරුම් හා කොල්ලකෑම් හා විවිධ අපරාධ 40 කට පමණ සම්බන්ධ දරුණු ගණයේ අපරාධකාරයෙකි.


මොහු මුළු පළාතටම කාලයක් තිස්සේ මහත් හිසරදයක්ව සිටි අයෙක් බවද කියති.


උතුරු මැද පළාතේ පාතාල කල්ලි නායකයෙක් බවට සැලකෙන මොහු ඒ පළාතේ ප්‍රසිද්ධව සිට ඇත්තේ එස්.එෆ්. බණ්ඩා යන අන්වර්ථ නාමයෙනි.


එස්.එෆ්. බණ්ඩා කියන නම ඇසූ පමණකින් පළාතේ බොහෝ ව්‍යාපාරිකයන් පමණක් නොව ජනතාව ද බියෙන් සලිත වී ගියේ වෙන කිසිවක් නිසා නොව ඔහු ඇතුළු ඔහුගේ සහචරයන් කප්පම් ගැනීම්, කොල්ලකෑම් හා මිනීමැරුම් ඇතුළු අපරාධවල නිරතව සිටි නිසාය.


මෙම පාතාල කල්ලිය පොලිසියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ අවස්ථා ගැනද පොලිසියට පැමිණිලි ලැබී තිබුණේය..


එස්.එෆ්. බණ්ඩා කියන නම මොහුට බට බැඳී ඇත්තේ යුද හමුදා විශේෂ බළකායේ (එස්.එෆ්) වසර හතක පමණ කාලයක් සේවය කළ අයෙක් නිසාය.


යුද හමුදා විශේෂ බළකායේ දක්ෂ ඉලක්ක වෙඩික්කරුවකු වන එස්.එෆ්. බණ්ඩා නොච්චියාගම බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


විවාහ දෙකක් කරගෙන ඇතැයි කියන මොහුට ඒ විවාහ දෙකෙන්ම දරුවෝ පස් දෙනෙක් සිටිති.


දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයින්ගේ ලයිස්තුවේ (අයි.ආර්.සී.) සිටින එස්.එෆ්. බණ්ඩා එසේ ලියාපදිංචි අපරාධකරුවකු වී සිටින්නේ දිවුලපිටිය පොලිසියේය.
ඒ 93712 යන අංකය යටතේය.


අපරාධ සම්බන්ධයෙන් වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතරවාරයේ එස්.එෆ්. බණ්ඩා 2010 වසරේදී බන්ධනාගාර කැරැල්ල මෙහෙයවීමට නායකත්වය ලබාදීමේ චෝදනාවට වසර 2 ක් පමණ කාලයක් වැඩිපුර සිර දඬුවමක්ද ලබා නිදහස් වී පැමිණි අයෙකි.


මොහු සමහර ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගෙන ඇත්තේ ම්ලේච්ඡ ක්‍රමයක් අනුගමනය කරමින්ය.


ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් පාළු නිවාස හා හෝටල් කාමරවලට ගෙන ගොස් නිරුවත් කර නිරුවත් කරන ලද කාන්තාවන් සමග එකට තබා ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර වරින් වර ව්‍යාපාරිකයින් බියකර කප්පම් මුදල් ලබාගැනීම එස්.එෆ්. බණ්ඩා නමැත්තා විසින් සිදුකරගෙන ගොස් ඇත.


ව්‍යාපාරිකයන් රැසක්ම ලැජ්ජාව හා මොහුට ඇති බිය නිසා පොලිසිවලට මේ ගැන පැමිණිලි කිරීමට නොගොස් ඉල්ලන ගාණක් ලබාදී නිහඬව සිට ඇත.
එස්.එෆ්. බණ්ඩා ඔහුගේම සහෝදරයකුට ද මේ වැඬේම සිදුකර ඇත්තේ කිසිම හිරිකිතයකින් තොරවය.


ගල්වළක් පවත්වාගෙන යන එස්.එෆ්. බණ්ඩාගේම සහෝදරයකු සහචරයන් යොදවා පැහැරගෙන අනුරාධපුරයේ හෝටලයකට ගෙනවිත් සහෝදරයා නිරුවත් කර ඇඟේ නූල් පොටක්වත් නොමැති කාන්තාවක ළඟ තබා ඡායාරූප ගෙන ඔහුගේ අතේ ඒ වෙලාවේ තිබූ රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන මුදාහැර ඇත.


සහෝදරයාගේ මේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බවට තර්ජනය කර ඔහුගෙන් පසුව ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.


මීට අමතරව හාල් මෝල් ව්‍යාපාරිකයකු ද පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් ඔහු නිරුවත් කර නිරුවත් කාන්තාවක් ළඟ තබා ගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීමක් හා තවත් ව්‍යාපාරිකයකුද පැහැරගෙන ගොස් මෙවැනිම ආකාරයට ඡායාරූප ගෙන එම ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර වරින් වර කප්පම් මුදල් ලබාගෙන එස්.එෆ්. බණ්ඩා හා ඔහුගේ සහචරයන් විසින් සිදුකරනු ලැබ ඇත.


මේ පැමිණිලි තුනම ලැබී තිබුණේ තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක මහතාටය.


මීට අදාළ නඩු අධිකරණයේ විභාග වෙමින් පවතී.


පොලිසිය පවසන්නේ මේ අනුව මොහු කිසියම් විකෘති කාමාශාවකින් පෙළුණු අයෙක් බවයි.


මෝටර් රථයේ තිබි කාන්තා යට ඇඳුම් සොයා ගැනීමද එයට කදිම සාධකයක් බව කියති.


උතුරු මැද පළාතේ සිටින දේශපාලනඥයින් හතර පස් දෙනෙක් සමගම මොහු කිට්ටු සම්බන්ධතා ගොඩ නගා ගෙන තිබී ඇත.


ඒ අතර උතුරු මැද පළාතේ හිටපු ප්‍රබල දේශපාලඥයෙක් ද විය.


මෙකී ප්‍රබල දේශපාලනඥයා සමග එස්.එෆ්. බණ්ඩා වසර ගණනාවක් යනතෙක්ම සමීපව ඇසුරු කළේය.


සමහර දේශපාලනඥයින් හා මොහු අතර තිබූ සම්බන්ධතා ඒ පළාතේ ප්‍රසිද්ධ රහසකි. ඒ ගැන නොදන්නා කෙනෙක්ද නොමැත.


පසුගිය ජනාධිපතිවරණ සමයේදී එස්.එෆ්. බණ්ඩා එක්තරා අපේක්ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු සමග එක් වී දිවා රෑ නොබලා ඇප කැපවී ක්‍රියාකර ඇතැයි කියන්නේ ඔහුගේ සහචරයන් ද සමග එක්වය.


උරෙන් උර ගැටී දේශපාලනය කළ ව්‍යාපාරිකයාටද එස්.එෆ්. බණ්ඩා අවසානයේ කළේ කාන්තාවන් සම්බන්ධකර ඒ ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලීමය.


මේ සිද්ධීය මුල්කරගෙන දෙදෙනා අතර දැඩි විරසකයක් හටගෙන තිබූ බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇත.


අනුරාධපුරය පොලිස් වසමේ 4 ක්ද නොච්චියාගම පොලිස් වසමේ 02 ක්ද තලාව, මිහින්තලේ, ජා-ඇල, මැනික්හින්න, මුන්දලම, අවිස්සාවේල්ල, වැලිකඩ, වාරියපොල, පිංදෙණිය, දිවුලපිටිය, බලපිටිය, අහංගම සහ ගාල්ල යන පොලිස් ස්ථානවල සිදුවූ රන් භාණ්ඩ ඇතුළු දේපොල කොල්ලකෑම් 12 ක් සම්බන්ධයෙන් නඩු එස්.එෆ්. බණ්ඩාට එරෙහිව අධිකරණවල විභාග වෙමින් පවතී.


පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම, මන්නයකින් කොටා පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීම, පුද්ගලයකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදු කිරීම, පුද්ගලයකුට පහර දී තුවාල සිදු කිරීම, පුද්ගලයකුගේ බෙල්ල මිරිකා තුවාල සිදු කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නඩු අනුරාධපුර අධිකරණයේ මොහුට එරෙහිව විභාග වෙමින් පවතී.


මේ සියල්ලම නොච්චියාගම පොලිස් වසමෙන් වාර්තා වූ සිද්ධීන් විය.


මීට අමතරව අනුරාධපුරය සහ නොච්චියාගම යන පොලිස් වසම්වලදී බෝම්බ හා ගිනි අවි සමගද මොහු පොලිසියට කොටුවී ඇත.

ටී. 56 අවියක් පතරොම් තුවක්කුවක්, ජීව අත්බෝම්බ 03 ක්, පීඩන බෝම්බයක් සහ රිවෝල්වරයක් හා ජීව උණ්ඩ තොගයක්ද ළඟ තබාගෙන සිටිය දී පොලිසිය සොයාගෙන තිබූ අතර මේවාට අදාළ නඩුද අනුරාධපුර අධිකරණයේ විභාගවෙයි.


ගංජා කිලෝ 1 ක් ළඟ තබා ගෙන සිටියදී මොහු කොටුවී ඇත්තේ තඹුත්තේගම පොලිසියටය.


එස්.එෆ්. බණ්ඩා සමග ඝාතනයට ලක්වූ අනෙකා නොච්චියාගම කුකුල්කටුව රණෝරාව ප්‍රදේශයේ පදිංචිව සිටි උඩගෙදර සමන් කුමාර (24) නමැති විවාහකයෙක් වන අතර ඔහුට එරෙහිවද අපරාධ සම්බන්ධ චෝදනා ඇති අයෙක් බව පොලිසිය කියයි.


මොවුන් දෙදෙනා සමග මැරුම් කෑ තුන්වැන්නා ගාල්ල ගිංතොට පදිංචිව සිටි මකුන්ද ගමගේ ප්‍රදීප් කුමාර (30) නමැත්තෙකි.


පොලිසිය පවසනුයේ මොහුටද මිනී මැරුම් චෝදනාවක් තිබෙන බවය.


වෙඩි කා මියගිය ප්‍රදීප් කුමාර ඇඳ සිටි කලිසම් සාක්කුවක තිබී හෙරොයින් පැකට් කීපයක්ද පොලිසිය සොයාගෙන ඇත්තේ ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදීය.


පාතාල නායකයා සහ ඔහුගේ සහචරයන් දෙදෙනා ගමන්ගත් කාර් රථයේ අංකය ඔස්සේ පොලිසිය පරීක්ෂණ කිරීමේ දී දිය මැදිරිගිරිය අභයපුරගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියකුගේ බිරිඳට අයත් එකක් බව තොරතුරු අනාවරණය විය.


ඇය එම මෝටර් රථය පසුගිය මාර්තු මාසයේ දී ඇත්තේ කෑගල්ල නාගොල්ල ප්‍රදේශයේ පිහිටි කුලී පදනම මත වාහන සපයන ආයතනයක් වෙත රුපියල් 50,000 ක මාසික කුලියකටය.


නාගොල්ල ප්‍රදේශයේ අය විසින් මෙම මෝටර් රථය මාසයකට රුපියල් 70,000 ක පමණ කුලියට ලබාදී ඇත්තේ ගම්පොළ ගෙලිඔය ප්‍රදේශය් පදිංචි අයෙකුටය.


ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා එම රථය මාසයකට රුපියල් 1,30,000 ක පමණ මුදලකට එස්.එෆ්. බණ්ඩාට ලබා දී ඇත්තේ මීට මාස 3 කට පමණ ඉහතදී බව දැන ගැනීමට ඇත.


මේ පාතාල නායකයා සහ සහචරයන් දෙදෙනා ගමන්ගත් මෝටර් රථය හඹා ආ කණ්ඩායමක් වෙඩි තබා මොවුන් ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.


කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇත්තේ ගිනි අවි පරිහරණය පිළිබඳව මනා පළපුරුද්දක්  හැකියාවක් ඇති අය බව පොලිසියට පෙනී ගොස් ඇත.


අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.පී. ශානක හර්ෂණ මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.එම්.එච්.එම්. සේනානායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.


උතුරු මැද හා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අනුරාධපුරය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් පිඤ්ඤෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත, පොලිස් සැරයන් සිරිවර්ධන (48453) සහ කොස්තාපල් ලාල් (20200) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

m



අදහස් (0)

තිරප්පනේදී ඝාතනය වූ එස්.එෆ්. බණ්ඩාට අපරාධ චෝදනා හතළිහක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site