X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


තිරප්පනේ වැව් පත්ලෙන් මතුවන භූතයා සොයා ගිය ගමන...

    23-page6-BB   

 

‘‘වැවේ සැරිසරන භූතයා කන් අඩි පැලෙන තරම් හයියෙන් දිය බුං ගහන ශබ්ද ඇසෙනවා.’’


වැව ඉස්මත්තේ තියන කළුගලක් මත කොණ්ඩය කඩාගත් අවතාරයක් දිස්වෙනවා.


කළු තඩි බල්ලෙකුගේ අවතාරයක් වැව් බැම්මේ සැරිසරනවා.


ඇඟ කිලිපොලා යන මේ කතා අපට අසන්නට ලැබුණේ තිරප්පනේ වැවේ සිදුවනවා යැයි ප‍්‍රදේශයේ ඇතමුන් පවසන අද්භූත සිදුවීම් ගැන සොයා බැලීමට එවැනි අද්භූත සිදුවීම් සම්බන්ධයෙන් ගවේශනය කිරීමේ නිරතව සිටින විද්වතෙකු වන මහනුවර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා සමඟ පසුගිය සඳුදා රාත‍්‍රියේ ගිය අවස්ථාවේදීය.


? දහවල් කියා වෙනසක් නොමැතිව සිදුවනවා යැයි කියන මේ අද්භූත සිදුවීම් මාලාව නිසා මාස 1 1/2ක පමණ කාලයක් තිස්සේ සිට ගමේ බොහෝ දෙනෙකු වැවේ නෑමට යාමද අතහැර දමා ඇති බව එහිදී හමුවූ ඇතැම් ගම්මු අප සමඟ පැවසූහ.


ඒ විතරක් නොවේ. වැවේ වේල්ල මතින් ගමන් බිමන් යාමද සමහර උදවිය නතරකර දමා විකල්ප මාර්ග භාවිතා කරන්නේ මේ අද්භූත සිදුවීම් වලට ඇති බිය නිසාය.


තිරප්පනේ වැවේ නෑමට ගිය ඇතමුන් දුටුවා යැයි කියන අද්භූත සිදුවීම් නිසා ගම්මුන් බොහෝ දෙනෙක් බියට පත්ව සිටින බව අප සමඟ කීවේ ගල්කුලම ලංකාදීප ප‍්‍රාදේශීය මාධ්‍යවේදී කුමාර ගමගේය.

SLTK_6.qxd
වැවේ සිදුවනවා යැයි කියන මේ අද්භූත සිද්ධීන් ගැන සොයා බැලීමට අවශ්‍ය බව තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්. රේණුකා කුමාරි හේරත් මහත්මියට අප දැනුම් දීමෙන් පසු ඇය විසින් අවශ්‍ය සියලූ පහසුකම් අපට සලසා දෙනු ලැබීය.


ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අප යනවිටත් රාති‍්‍ර 11.00ට ආසන්න වී තිබූ අතර කුමාරි හේරත් මහත්මිය අප එනතෙක් බලා සිටියේ ගමේ තරුණයන් හා වැඩහිටියන් 30කට ආසන්න පිරිසක්ද සමඟය.


තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ නිලධාරී අනිල් සමරසේකර මහතාද ඒ අතර විය.


ප‍්‍රාදේශීය ලේකම් කුමාරි හේරත් මහත්මිය ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්න ගැටලූ හා විවිධ අවශ්‍යතාවන් ගැන නිතර උනන්දුවෙන් සොයා බලන නිලධාරිනියකි.
ගමේ ඇතැමුන් තුළ පවතින බිය හා සැක සංකා දුරුකිරීමේ සැබෑ උවමනාවක් ප‍්‍රාදේශීය ලේකම්වරිය තුළ තිබුණු බව අපට පැහැදිලිව පෙනී ගිය කරුණක් විය.


ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේද අද්භූත දේවල් සිදුවනවා යැයි කියන වැව ආසන්නයේමය.


ප‍්‍රාදේශීය ලේකම්වරිය පදිංචිව සිටින්නේද එහි පිහිටි නිල නිවසේය.


මටත් පහුගිය කාලය පුරාවට රෑට වැව පැත්තෙන් අමුතු ශබ්ද ඇසුණු අවස්ථා  ඕනෑ තරම් තිබුණා. හැබැයි ඒ සමහර ශබ්ද ගම්මුන් විශ්වාස කරන අන්දමේ හොල්මන් අවතාරවල ශබ්ද එහෙම නොවේ යැයි කියමින් ප‍්‍රාදේශීය ලේකම් කුමාරි හේරත් මහත්මිය අප සමඟ කතාබහට මුල පුරමින් කීවාය.
එහෙම නම් මොනවාද ඒ රෑට ඇසෙන අමුතු ශබ්ද කියා අපට ඇතිවූයේ දැඩි කුහුලකි. ඒ නිසාම ඒ ශබ්ද මොනවාද කියා අපි ඇයගෙන් විමසා සිටියෙමු.
වැව පැත්තෙන් රෑට රෑට අමුතු ශබ්ද ඇසෙන හැම අවස්ථාවකම මම ඒ බව ටෙලිෆෝන් කරලා කියනවා. පොලිසිය ඇවිත් වැටලීම් කරලා භූතයන් අවතාර අල්ලාගෙන යනවා. ඒ භූතයෝ වෙන කවුරුවත් නොවේ, මිනිස්සුම තමා. සමහරු රෑට ඇවිත් වැවෙන් වැලි ගොඩ දානවා. එහෙමත් නැත්නම් හොරෙන් වැව් ඉස්මත්තේ තියන ගස් කපනවා. එහෙම අය තමා පොලිසියෙන් ඇවිත් අත්අඩංගුවට අරගන්නේ.


වැවේ භූතයෝ අවතාර නැහැ. මේක බොරු කතාවක්. භූතයෝ අවතාර වැවේ ඉන්නවා කියා කතා පතුරුවා හරින්නේ දැව ජාවාරම්කාරයෝ, වැලි ජාවාරම්කාරයෝ කියා තමා සැකකරන්නෙ. අවතාර භූතයෝ ඉන්නවා කියා හුඟක් මිනිස්සු හොඳටම බය වෙලා ඉන්න බව ඇත්ත. හැබැයි ඒක බොරු බියක්. අවතාරවලට භූතයන්ට බයේ හුඟ දෙනෙක් නාන්න වැවට යන්නෙත් නැහැ.

SLTK_6.qxd

SLTK_6.qxd

SLTK_6.qxd
ප‍්‍රාදේශීය ලේකම්වරිය හැටියට මේවා ගැන සොයා බලන්න මටත් වගකීමක් තිබෙන නිසා මේ ළඟදී දවසක රෑක මම වැව ළඟට ගියා බලන්න. මමනම් ඔය කියන කිසිම අවතාරයක් භූතයෙක් දැක්කේ නැහැ. වැවෙන් කණ්අඩි පැලෙන තරමේ විශාල හඬවල් ඇසෙන බව සමහර ගම්මුන් කීවත් මටනම් මේ වෙනකම් ඒ වගේ හඬවල් ඇහිලා නැහැ. කොහොම වුනත් දොස්තර මහත්තයෙක් එක්ක ඉරිදා ලංකාදීප පත්තරෙන් මේ ගැන සොයා බලා ජනතාව දැනුම්වත් කරන්න ආපු එක ගැන මා සතුටුවෙනවා යැයි කුමාරි හේරත් මහත්මිය පවසන්නීය.


ප‍්‍රාදේශීය ලේකම්වරියගේ අදහස් දැනගැනීමෙන් පසු ගම්මුන් පිරිසක් සමඟ ඒ රාත‍්‍රියේම අප ගියේ වැව ළඟටය ඒ වන විට මධ්‍යම රාත‍්‍රී 12.00 හෝරාවට ආසන්න වෙමින් තිබිණි.


අද්භූත සිදුවීම් වෙනවා යැයි කියන වැවේ වේල්ල දිගේ කිලෝ මීටර් 1 1/2ක පමණ දුරක් මා තනියම ගමන් කළේ විදුලි පන්දමක ආධාරයෙනි.


මා ඒ ගමන ගොස් එනතෙක් ගම්මුන් වේල්ල පටන්ගන්නා ස්ථානයට වී බලා සිටි අතර මම කිසිම අවතාරයක්, භූතයෙක්, අසාමන්‍ය ශබ්දයක් හෝ වෙනයම් අද්භූත දෙයක් නොදැක ආපසු පැමිණියෙමි.


මා එවැන්නක් කළේ එතැන සිටි ගම්මුන්ගේ සිත් තුළ තිබෙන බිය සැක දුරු කිරීම සඳහාය.


වැව ඉස්මත්තේ තිබෙන ගස් වල ලැග සිටින බස්සෙකුගේ මූසල හඬ, රැහැයියන්ගේ නාදය පරිසරයට එක්කර තිබුණේ අමුතුම ගුප්ත බවකි.
ඉඳහිට කෑ ගසාගෙන ඉගිළ යන කිරලෙකුගේ හඬ පරිසරයේ ඇති නිහඬතාවය බිඳ හෙළීය.


ඒ විනා වෙනත් කිසිම අද්භූත දෙයක් දැක්කෙවත් අද්භූත හඬවල් ඇසුණේවත් නොමැති බව මම රැස්ව සිටි පිරිසට පැහැදිලි කර දුන්නෙමි.


අපත් සමඟ පැමිණ සිටි ගම්මුන් අතරේ සිටි අයෙක් එක්වරම වැවට පැන පිහිනා යන්නට පටන් ගත්තේ එහි සිටි අයගේ කීම මායිම් නොකරමිනි.
කට ගොන්නක් කසිප්පු පානය කර වෙරිමර ගාතේ සිටි මේ පුද්ගලයා දිගටම පිහිනා ගිය අතර කණ්ඩායම් කිිහිපයකට බෙදී ගම්මුන් ඔහු සොයන්නට පටන්ගත්තත් සොයා ගැනීමට නොහැකිවිය.


ගම්මුන් කිහිප දෙනෙක් ගෙදරට ගොස් සොයා බැලූවත් ඔහු ගෙදරට පැමිණ තිබුණේද නැත.


වැවට පැන පිහිනා යද්දී ඔහු දියේ ගිලෙන්නට ඇතැයි සමහරුන් තර්ක කළත් පසුදා අපට දැන ගැනීමට ලැබුණේ ඔහු ජීවතුන් අතර සිටින බවය.
පසුවදා උදේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාත් මමත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේ කලින් දවසේ රාත‍්‍රියේ අපත් සමඟ ගත කළ ගම්මුන් කිහිප දෙනෙක් කීවේ හරිම අපූරු කතාවකි.


භූතයා දැක බිය වී ගමේ කෙනෙක් වැවට පැනලා කියාය. අනෙක් කතාව කොළඹින් කට්ටඩි දෙන්නෙක් ඇවිත් තෝත්තරයක් කර වැවේ හිටිය භූතයන් පලවා හැර ගොස් ඇති බවය.


කොළඹින් පැමිණි කට්ටඩින් කියා ඇත්තේ අපට බව පසුව දැන ගැනීමට ලැබිණි.


වැවේ නාන්න ගිය කාන්තාවන් ඇතුළු හත් අටදෙනෙක් විතර මීට වසර 10කට පෙර වැවේ ගිලී වරින්වර මිය ගොස් තිබෙනවා. මේ අයගෙන් කිහිප දෙනෙක් භූතයන් අවතාරවෙලා මේ විදිහට වැවේ ඉන්නවා කියා සමහරුන් තුළ විශ්වාසයක් පවතින බව අප සමඟ කිවුවේ තිරප්පනේ පදිංචි ආර්. අජිත් මහතාය.
වැව් බන්ට් එක දිගේ රෑට යද්දී කළුපාට තඩි බල්ලෙකු දැකපු අය කන් දෙක දෙදරවන තරමේ මහා හයියෙන් වැවේ බැස දිය බුම් ගහමින් නාන අවතාර, භූතයො දැකපු අය කිහිප දෙනෙක්ම ගමේ ඉන්නවා. අපි ඒ අයට එන්න කීවත් ලැජ්ජාවට ආවේ නැහැ යැයි අපි සමඟ කියා සිටියේ සඳුන් ජයසේකර තරුණයාය.


එච්.එම්. විමලසේන (56) මහතා අප සමඟ තොරතුරු හෙළිකරමින් මෙසේ කීය.
”මම තිරප්පනේ වැවෙන් පොඩිකාලේ ඉඳලා අදටත් දවල්ට විතරක් නොවෙයි රෑටත් ගිහින් නානවා. ඒත් ඔය කියන භූතයින් අවතාර දැකලා නැහැ. අද්භූත හඬවල් ඇහිලත් නැහැ. මේක බොරුවක්. එහෙම නම් මමත් ඔය කියන අවතාර දකින්න  ඕනැ. ගමේ සමහරුන් කටකතා වලට රැවටිලා කියා තමා මට කියන්න තියෙන්නේ.


මම උදේ 10.00ට විතර වැව් කණ්ඩිය ළඟින් යන්න යද්දී වැව ඉස්මත්තේ තියන කළුගල් තලාව මත කොණ්ඩය කඩාගත් ගැහැනු කෙනෙක් වාඩි වෙලා හිටියා දැක්කා. මම ළඟට යද්දී ඒ ගැහැනු කෙනා ටිකෙන් ටික පුංචි වේගෙන යනවා දැනුණා. මේ ඉන්නේ වැවේ ගිලිලා මැරුණු කාන්තාවකගේ අවතාරයක් යැයි සිතා මම හොඳටම බයවුණා. එතැනින් පැනලා දිවුවා” කියා කිවුවේ නම හෙළිකිරීමට අකමැති වූ තරුණයෙකි.


කේ. සිරියාවතී (58) මහත්මිය අපට හමුවුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය. ඇය අපට මුණගැස්සවීමට සැලසුවේ ප‍්‍රාදේශීය ලේකම්වරියයි.
තිරප්පනේ තිත්තයාගම සිරියාවතී මහත්මිය මුහුණ පෑ බව කියන සිද්ධියක් අප හමුවේ හෙළිකරමින් මෙසේ කීවාය.


”මම උදේ 10.00ට විතර නාන්න තිරප්පනේ වැවට ගියා. මමයි මගේ මහත්තයයි තවත් දෙන්නෙකුයි නාමින් හිටියා. මම දෙවරක් ගිලිලා උඩට ඇවිත් තුන්වැනි පාර ගිලිලා උඩට එනකොටම වතුර යට හිටිය කෙනෙක් මහා හයියෙන් අල්ලා බදාගන්නවා වගේ තේරුණා. මම හොඳටම බය වුණා. වතුර යට ඉඳලා මාව බදාගත්තු කෙනා මාව වතුරට ඇදගෙන යන්න උත්සාහ කරන බව තේරුම් ගියා. මම කොහොම හරි වැවෙන් ගොඩට ආවා. කොච්චර බය වුනාද කිවුවොත් මම අදටත් වැවට නාන්න යන්නේ නැහැ. මේ සිද්ධිය වෙලා දැන් සතියක් විතර වෙනවා. ගෙදර තියන ටැප් එකෙන් තමා එදා ඉඳලා නාගන්නේ. වැවේ ඉන්නා භූතයන්ට බය වූ අය තවත් ඉන්නවා. ඒත් ලැජ්ජාව නිසා ඔවුන් විස්තර කියන්න ඔය මහත්තුරු හම්බවෙන්න ආවේ නැහැ. ඉස්සර කාලේ මේ වැවේ නාන්න ගිය සමහරු දියේ ගිලී මියගොස් තිබෙනවා. හැම අවුරුද්දකට වතාවත් බිල්ලක් ගන්නවා. ඒත් දැන් අවුරුදු ගාණකින් බිල්ලක් අරන් නැහැ. ගමේ අය කියන්නේ බිල්ලක් ගන්න තමා ඔය උත්සාහ කරන්නේ කියා.

SLTK_6.qxd

 හොල්මනක් සිටියා යයි කියන්නේ මේ ගල උඩය.

 


මම අවුරුදු ගාණක ඉඳලා මේ වැවෙන් තමා නාන්නේ. ඒත් මුල් වරට තමා කවුදෝ කෙනෙක් මාව බදාගෙන දියඹට ඇදගෙන යන්න හැදුවේ. වතුර යට හිටිය නිසා ඒ කවුද කියා මා දැක්කේ නැහැ. භූතයකුගේ වැඩක් කියා තමා විශ්වාස කරන්නේ යැයි සිරියාවතී මහත්මිය කියා සිටියේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


තවත් කාන්තාවන් කිහිප දෙනෙකු එක්ක වැවේ වේල්ල දිගේ තිරප්පනේ නගරයට යමින් සිටියදී අපට හමුවූ ඞී.සී. සිරියලතා (60) මහත්මිය මෙසේ කීවාය.
‘‘මමනම් අදටත් වැවෙන් නානවා. ගමේ සමහරුන් කියන භූතයෙක් හෝ කාන්තා අවතාරයක් අද වෙනකම් මම දැක නැහැ.  ඕවා බොරු කට කතා. වැව පතුලේ ඉන්නවා කියන භූතයෝ කවමදාවත් මාව ඇදගෙන යන්න ගිහින් නැහැ.


අනුරාධපුරයේ වන්දනාවේ යන නඩ බස් නවත්වා තිරප්පනේ මේ වැවෙන් නාගෙන යනවා. කවදාවත් ඒ අය භූතයන් අවතාර දැකලා බය වෙලා නැහැ. අද්භූත හඬවල් ඇහිලත් නැහැ” කියා ලක්‍ෂ්මන් කුමාර මහතා පවසද්දී එතැන හිටිය කිහිප දෙනෙක්ම කියා සිටියේ මේ අවතාර පෙනෙන්නේ ගමේ අයට පමණක් බවය.


”අද (19) උදේ වැඩට යන්න එද්දි කළුපාට ටීෂර්ට් ඇඳගත්තු දෙන්නෙක් බන්ට් එක උඩ හිටියා. ලඟට යද්දී නොපෙනී ගියා හැම තැනම හෙව්වත් හමුවුණේ නැති බව කියා සිටියේ අසංක කැලූම් සෙනෙවිරත්න මහතාය. ඔහු හිටපු නාවික හමුදා භටයෙකි.

SLTK_6.qxd

වෛද්‍ය ජනක ජයසූරිය මහතා ගම්මුන් සමඟ සාකච්ඡා කරමින්.

 


පෙර දින රාත‍්‍රියෙත් තමා තනියම හොල්මන් අවතාර පෙනේද කියා බලන්න වැව අසල රාත‍්‍රිය ගත කළ බවත් කිසිදු අද්භූත දෙයක් සිදු නොවූ බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.


තිරප්පනේ ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයේ අධිපති ඇහැලියගොඩ ශාන්තසිරි නාහිමියන් සමඟද මේ ගැන කතා බහ කිරීමට අපි අමතක නොකළෙමු.
ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේද වැව ඉස්මත්තේය.


”මම මේ විහාරස්ථානයට ඇවිත් අවුරුදු 9ක් විතර වෙනවා. එදා ඉඳන් අද වෙනකම් කිසිම කෙනෙක් වැවේ ගිලී මිය ගිහින් නැහැ. වැව ළඟම පන්සල තියෙන්නේ. ඔය කියන භූතයන් අවතාර මටවත් පන්සලේ වැඩ ඉන්න අනෙක් භික්‍ෂූන්වහන්සේලාටවත් මේ වනතෙක් පෙනිලා නැහැ. අද්භූත ශබ්ද ඇහිලත් නැහැ.


අපේ පන්සලේ සුනඛයෙක් හුරතලයට ඇතිකරනවා. ඌ බුරද්දී නම් ලොකු හඬක් ඇහෙනවා. සමහරු ඒ හඬට එහෙම බය වෙලා තියනවාද කියා කියන්න බැහැ” යැයි ශාන්තසිරි හිමියෝ අවසන් වශයෙන් පැවසූහ.


වසර ගණනාවක් මුළුල්ලේ ඉඳලා ගමේ කරමින් ආ වත් පිළිවෙත් කිහිපයක් වසර ගණනකින් ඉටු කරලා නැහැ. ඒ හින්දා මේ වගේ අද්භූත දේවල් සිදුවන බවට කතාවක් ගමේ සමහරුන් තුළ තිබෙන බව කියා සිටියේ තිරප්පනේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති යූ.බී. කිරි බණ්ඩා මහතාය.


වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසුවේ පවතින බිය සැක සංකා දුරු කිරීම සඳහා බොහොම සරලව ඔවුන්ට කරුණු කාරණා පහදා දුන් අතර ඒ ගැන වෙනම පළ කර ඇත.

 

sfgh

හොල්මන්වලට බියවීම අනුවණකමක්

 

SLTK_6.qxd
අනවශ්‍ය ලෙස බියට පත්වීමක් මිනිසා විසින්ම නිර්මාණයකරගනු ලබන දෙවිවරුන් හොල්මන් අවතාර, භූතාත්ම ආදි වූ අදෘශ්‍යමාන බලවේග ලෙස හඳුන්වන මේ මනඃකල්පිත නිර්මාණවලට මිනිසා බියවූයේ අනාදිමත් කාලයක පටන්ය. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේ විශ්වාසයන් හෝ කල්පිත එකවර බැහැර කිරීමේ අපහසුකමක් ඇති බව පැහැදිලියි.


තිරප්පනේ ප‍්‍රදේශයේ අප කළ මේ සංචාරයේදී අප හා කතා කළ ඇතැමකු ද මේ හොල්මන් අවතාර කතා විශ්වාස නොකළත්, ඒවා එකවර ප‍්‍රතික්ෂේප කිරීමේ අපහසුතාවයෙන් පෙළෙන බව අප දුටුවා. මියගිය අයකුට කවර හෝ වේශයකින් මෙලොවට පැමිණිය හැකි යැයි සිතීම මිථ්‍යාවක්. එහෙත් මේ විශ්වාසයන් කරපින්නාගෙන සිටීම නිසා මේ ගම්මුන්ද අනියත බියකට පත්වී සිටිනවා. වසර දහයකටත් එපිට මියගිය අයට බියවීම අපගේ බුද්ධියට කරන නිගාවක් බව මා ඒ ගම්වැසියන්ට පහදා දුන්නා.


ගඟක් හෝ වැවක් හෝ කිසිවිටකත් ජීවිතයක් -බිලි ගන්නේ” නැහැ. සිදුවන්නේ ඇතැමුන් අමනෝඥ ලෙස ක‍්‍රියා කිරීම නිසා දියේ ගිලී මියයාමයි. සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප‍්‍රදේශවල මේ තත්ත්වය වඩාත් බහුලයි. එසේම දියේ පිහිනමින් සිටිය දී අපස්මාරය හෝ හෘදයාබාධ හෝ හටගැනීම වැනි රෝගාබාධයක් නිසාද කෙනෙකු මියයන්න පුළුවන්. මේවා අහඹු සිදුවීම් විනා ඒ වැව ඊට වගකිව යුතු නැත.


බාහිර පරිසරයේ උත්තේජනයක් නොමැතිව අපට විවිධ රූප පෙනීම, ශබ්ද ඇසීම හෝ ගඳ සුවඳ දැනීම සිදුවෙන්න පුළුවන්. ඒවා සිදුවන්නේ මොළය තුළ සිදුවන උත්තේජනයක් නිසයි. මනෝභ‍්‍රාන්ත ලෙස හඳුන්වන මේවා අත්විඳින්නට රෝගියකු වීම අවශ්‍ය නැහැ. මේවා පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා පැරැුන්නන් ඒවා අදෘශ්‍යමාන බලවේග ලෙස නම් කළත්, අප ඒවාට බියවීම අනුවණ කමක්. නොඑසේ නම් අපේ විද්‍යාත්මක දැනුමට කරන නින්දාවක්. එහෙත් අන්ධභක්තියෙන් වසඟයට පත්වීම නිසා මේ දෙවිවරුන්, හොල්මන්, අවතාර ආදිය තරයේම විශ්වාස කරන විද්‍යාවේදීන් ද සිටීම කනගාටුවට කරුණක්.


මේ වැවේ නාමින් සිටිය දී කවුදෝ තමන්ව දියට අදින්නට හැදූ බව සිරියාවතී මහත්මිය කීවා. සීතල දියේ සිටියදී සිදුවූ මස්පිඩුවල ගැස්මක් දිය පහරක් වැදීම හෝ වැවේ සිටිනවා යයි කියන විශාල මාළුවකු ඇෙඟ් වැදීම හෝ එවැනි  ඕනෑම දෙයක් මේ සඳහා හේතු විය හැකියි. මෙවැනි අවස්ථාවල දී එකවර බියට පත්වී දිව යනවා වෙනුවට වඩාත් විමසිලිමත්ව සිදුවුණේ කුමක්දැයි බලන්නට අප, විශේෂයෙන්ම තරුණ පරපුර පුරුදු විය යුතුයි. හොල්මන් අවතාර ආදී ඊනියා බලවේග පලවා හරින හොඳම ක‍්‍රමය නම් විමසිලිමත් වීම බව මම ඒ තරුණ පිරිසට පහදා දුන්නා.


ගමේ ප‍්‍රධාන පුද්ගලයන් වන නායක ස්වාමින් වහන්සේත්, ප‍්‍රාදේශීය ලේකම් තුමියන් හොල්මන් අවතාර පිටුදැකීම සතුටට කරුණක්. ප‍්‍රාදේශීය ලේකම් තුමිය ප‍්‍රදේශයේ ජනතාව සමග ඉතාම සමීපව කටයුතු කරන බවත් ඒ නිසාම ගම්මුන් තුළ ඇති අනියත බිය තුරන් කිරීමේ සටනේ පෙරමුණ ගැනීමට එතුමියට හැකි බවත් අපට පෙනී ගියා.


මේ සඳහා පළමුවෙන්ම කළ යුත්තේ වැව් බැම්මේ කපන ලද කොටස සකස් කර, වැව් බැම්ම උඩින් කුඩා වාහනයකට යා හැකි පරිදි පාර සකස් කිරීමයි. එවිට වැව වටා ජනාකීර්ණ බවක් ඇතිවන්නට ඉඩ තිබෙන අතර පාළු ගතිය ද මග හැරී යාවි. එසේම වැව වටා මදක් එළිපෙහෙලි කිරීමද කළ යුතුයි. සඳුන් ජයසූරිය ඇතුළු මේ තරුණ පිරිසට මා පැවසුවේ හැකි පමණ වැව යළි දියනෑම සඳහා භාවිත කරන්නට ගමේ සෙසු තරුණ පිරිස දිරිමත් කළ යුතු බවයි. ඒ තුළින් ගමේ වැඩිහිටියන්ගේද බිය සැක දුරුවී යාවි. තිරප්පනේට ආභරණයක් වන් මේ වැව යළිත් ජනයාගෙන් පිරී යාම එවිට වැළැක්විය නොහැකියි.


වන්දනාවේ යන පිරිස් ඇතැම් විට මෙම ස්ථානයේ තම වාහන නවත්වා දිය නාන බවත්, මේ දක්වා ඒ කිසිවකුත් මේ ආකාරයේ -හොල්මන්” දැක නැති බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඊට මූලික හේතුව ඔවුන් මේ වැව වටා ගෙතුණු හොල්මන් අවතාර ගැන වූ කටකතා නොදැන සිටීමයි.


ගම තුළ කටකතා පැතිරෙන ආකාරය ගැන අපූරු අත්දැකීමක් අපටත් ලැබුණා. වැව අසල කවුදෝ දෙදෙනෙක් සිටින බව දුටුවා යයි කියූ තරුණයා එය අපට විස්තර කළේ වැවේ ඉන්න හොල්මන් එළවන්න කොළඹ ඉඳලා කට්ටඩියෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා කියලා අපටත් ආරංචි වුණා යනුවෙනි.

M

 

 



අදහස් (0)

තිරප්පනේ වැව් පත්ලෙන් මතුවන භූතයා සොයා ගිය ගමන...

සුපුන් Tuesday, 26 May 2015 12:36 PM

මේ දොස්තර මහතාව අර වෙනස වැඩසටහනින් පෙන්වපු බෝතල් වලට දාපු භූතයෝ,ඇවිදින කනප්පුව වගේ දේවල් ගැනත් දැනුවත් කරලා ඒවා පිළිබඳ ලිපියක් මෙතන පළ කරන මෙන් ඉල්ලා සිටිනවා (බ)

:       0       0

විජිත Tuesday, 26 May 2015 05:55 PM

හරිම රසවත් කතාවක් (නි)

:       0       0

රූපවතී Thursday, 28 May 2015 05:39 PM

මම නම් කවදාවත්ම හොල්මන් භූතයෝ විශ්වාස නොකරමි.මිනිසුන්ගේ පුහු බය, මෝඩකම, දෙක මිශ්‍රවුණාම හොල්මන් බලන්න පුළුවන් ඕනෑම වෙලාවක තම නිවසේ දොරකඩ ඉඳගෙනම..? (නි)

:       0       0

රාජා Friday, 29 May 2015 05:02 AM

සුපුන්, ඇවිදින කනප්පුව කොහොමද ඇවිදින්නේ කියා ඒබ්‍රහම් ටී. කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ පොතේ පැහැදිලිව විස්තර කරල තියෙනවා. කනප්පුව ඇවිදින එක තනිකරම මිථ්‍යාවක් බව එම පොත කියවූ විට පැහැදිලි කර ගන්න පුළුවන් බොහොම ලේසියෙන්.(ම)

:       0       0

සුපුන් Friday, 29 May 2015 08:13 AM

රාජ,මට ඔය කියන පොතෙන් නැතුව මෙම දොස්තර මහතාගේ පිළිතුර තමා අවශ්‍ය!(හේ)

:       0       0

චමිලා Friday, 29 May 2015 03:11 PM

හොල්මන් පෙන්නේ ඕව විස්වාශ කරන අයට විතරයි . උතුරේ දකුණේ මිනිස්සු යුද්දයෙන් මරුන විදිහට හරිනම් දැන් ලංකාව හොල්මන් ගුහාවක් වෙන්න ඕන .(හේ)

:       0       0

පහන් Friday, 29 May 2015 08:59 PM

කනප්පුව ඇවිදීමේ මිත්‍යාව මේකේ ලියන්නකෝ රාජා පොත් බලන්න ලංකාවට යන්න එපාය .(ම)

:       0       0

ජයන්ත Sunday, 31 May 2015 01:45 PM

මටත් හොල්මන් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයන්ත Sunday, 31 May 2015 01:55 PM

දැකපු නැති කෙනා විශ්වාස කරන්නේ නැහැ,දැක්කොත් එයා විශ්වාස කරනවා. බය මෝඩකම කියන්න එපා. මොකද දොස්තරලා පවා පිළිගන්න අය ඉන්නවා පරීක්ෂණ කරලා (නි)

:       0       0

අනේ මන්දා Monday, 01 June 2015 06:46 AM

මම නං අහල, කියවල තියෙන්නේ එංගලන්තේ මිනිස්සුත් අවතාර ගැන විශ්වාස කරනවා කියලයි. හැම දේම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. එහෙනම් ගුවන් විදුලි තරංග , විදුලිය , චුම්බක ශක්තිය වගේ ඒවා ඇහැට පේනවද? අනේ මන්දා! (ස)

:       0       0

සුජිත් Monday, 01 June 2015 02:37 PM

විශ්වාසයට වඩා අවබෝධයට තැන දුන්නොත් ඕවා විසඳෙයි (නි)

:       0       0

කුමාර Tuesday, 09 June 2015 05:22 PM

මං නම් බුතයෝ, හොල්මන් දැකල නැ. එත් මං විශ්වාස කරනවා එහෙම දේවල් අපි අවට ඉන්නවා කියලා. බුදු දහමේත් දේශනා කරලා තියෙනව බුතයෝ, පෙරේතයෝ, කුමභාන්ධයෝ ඉන්නවා කියල. නමුත් ඒ දේවල් වලට බිය විය යුතු නැහැ, ඒ දේවල් වලට බැහැ අපිට හානි කරන්න. (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site