X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


බැඳුම්කර ආන්දෝලනය

    දේශපාලන කරළියේ බොහෝ සිදුවීම් ගෙවී ගිය සතිය පුරා දකින්නට අහන්නට ලැබුණේය. ජනාධිපති කොමිසම නිකුත් කළ බැඳුම්කර වාර්තාව, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ ප්‍රතිචාර ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ආදී නොයෙකුත් දේශපාලන සිදුවීම් නිසා කරළිය රත්වී තිබිණ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ බොහෝ දේ වේදිකාවේ ප්‍රකාශ කළහ. ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් බැඳුම්කර වාර්තාව රටට ප්‍රකාශ කරන ලෙසය.
 
ඒ සඳහා වන ක්‍රියාමාර්ගයේ පළමු පියවර වනුයේ බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමය. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පවා මුලින් සිතා සිටියේ ඉකුත් බදාදා පැවැති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත කියාය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. බැඳුම්කර වාර්තාව පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීම සිතන තරම් පහසුවෙන් කළ නොහැකි බව නීති අංශවල මතයයි. බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට ලබාදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය සිංහල හා දෙමළ භාෂාවට පරිවර්තනය කළ යුතුය. එය නීතිමය ගැටලු මතු නොවන ආකාරයට ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි. කලබලයෙන් එවැන්නක් කළ නොහැකි බවද නීති විශාරදයෝ පෙන්වා දෙති. ඒ අනුව බැඳුම්කර වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඒ අනුව දින පහ හයක කාලයක් මන්ත්‍රීවරුන්ට එම වාර්තාව අධ්‍යයනය කළ හැකිය. විවාදයට සූදානම් වීම සඳහා එය වැදගත්ය. ඒ අනුව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ බැඳුම්කර විවාදය මේ මස විසි තුන්වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගන්නා බවය.
 
 
 
“හොඳ හොඳ කියුම් කෙරුම් විතරක් නෙවෙයි මේ විවාදයේදී ගුටකෙළිත් දකින්න ලැබේවි. අන්තිමට කෑකෝ ගහලා රණ්ඩු වෙලා කාලය නාස්ති කරගෙන විවාදය අවසන් කරාවි. ඒ ටික තමයි වෙන්නේ. ආණ්ඩුවට අවශ්‍යත් ඒ දේම කරගන්න.” යැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් රාත්‍රී භෝජන සංග්‍රහයකදී මිතුරන් සමඟ කළ කතාබහකදී කීවේය.
 
     මේ අතර පළාත් පාලන මැතිවරණයේ දිනවකවානු කෙමෙන් කෙමෙන් ළංවෙමින් තිබියදී සහ උණුසුම ඉහළ යමින් තිබියදී මැතිවරණ කොමිසමේ කාර්ය බහුලත්වයද වැඩි වී තිබේ. ඉකුත් අඟහරුවාදා තවත් කරදරයක් මැතිවරණ කොමිසමේ හිසමතට පහත් වූයේය. ඒ එක්තරා මාධ්‍යයක පළවූ පුවතක් හේතුවෙනි. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් පත්තරයක්ද අතැතිව කලබලයෙන් සභාපතිගේ කාමරයට ඇතුළු වූයේය. බැරෑරුම් කාර්යයක නිරතව සිටි සභාපති මහින්ද දේශප්‍රිය අතිරේක මැතිවරණ කොමසාරිස්වරයාගේ කලබලය දුටුවේය. “සර් මේ බලන්න. මේක සම්පූර්ණ වැරදි වැඩක් ආදී ලෙස කියමින් මොහොමඞ් සභාපතිවරයාට පත්තරය පෙන්නුවේය. එය වහා කියවූ දේශප්‍රියට තරු වීසි වූයේය. එම ප්‍රවෘත්තියේ පළකර තිබුණේ මුස්ලිම් කාන්තාවන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවය. “මම ඔය වගේ දෙයක් කීවේ නැහැ. ඕක අන්තිම වරදක්. ආගම් සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න හරිම සංවේදියි. මේකට මොනවද කරන්නේ” යැයි මහින්ද දේශප්‍රිය ඇසුවේය. ඒ අතර “ඇයි සර් මෙහෙම දෙයක් වුණේ. සර් එහෙම කිව්වදැයි” අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සංවේදී ලෙස සභාපතිවරයාගේ දෑත් අල්ලාගෙන විමසීය. ඉන් අනතුරුව මහින්ද දේශප්‍රිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු කැඳවා ඉකුත් සතියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදුකළ කතාව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයාට සම්පූර්ණයෙන්ම අසන්නට සැලැස්සුවේය. අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සෑහීමකට පත්වූයේ ඉන් පසුවය. “මේකනේ සර් මම තමයි මෙතන ඉන්න මුස්ලිම් ජාතික නිලධාරියා. උගත් මුස්ලිම් ජාතිකයන් වෘත්තිකයන් මගෙන් මේ ගැන අහනවා. මට උත්තරයක් නැහැ.” යැයි මොහොමඞ් හිත හදා ගත්තේය. ඉන්පසුව හිතවතුන් පිරිසක් හමුවේ දේශප්‍රිය තවත් කතාවක් කීවේය. “මේක අපට ලොකු ඩැමේජ් එකක්. හදාගන්න බැහැ. මට හොඳටම කළකිරුණා. ඉල්ලා අස්වෙන්න තරම් හිතෙනවා. මම දන්නෙ නැහැ මොනවද මම කරන්න ඕනෙ කියලා.” දේශප්‍රිය කීවේය.  මාධ්‍ය උපමාන ඉතා අසාධාරණ ලෙස හා පහත් ලෙස කඩකරනවා. කොමිසම තීන්දුවක් ගන්නවා. ඒ නිසා ඒ පත්තර සමඟ මැතිවරණ කොමිසම මින් ඉදිරියට ගනුදෙනු කරන්නේ නැහැ. අපි ඒවාට එරෙහිව නීතියෙන් පියවර ගන්නවා” යැයි ද මහින්ද දේශප්‍රිය කීවේය.
 
  මනෝ ගනේෂන් අගමැතිවරයා සමගත් ආණ්ඩුව සමඟ හොඳ හිතකින් ගනුදෙනු කරන ඇමැතිවරයෙකි. එහෙත් දැන් දැන් වන විට මනෝ ගනේෂන් හා එක්සත් ජාතික පක්ෂය අතර නොහොඳ නෝක්කාඩු ස්වරූපයක් ඉස්මතු වෙමින් තිබේ. මනෝ ගනේෂන් චෝදනා කළේ එජාපයේ උප සභාපතිවරයකු වන හිටපු ඇමැති රවි කරුණානායකටය. ඔහුගේ අඩන්තේට්ටම් හා අසාධාරණකම් වලට තමන්ට යටවීමට සිදුව ඇතැයි ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය තිබුණා. අගමැතිතුමාගේ හා පක්ෂ මහ ලේකම්වරයාගෙන් මට ආරාධනා ලැබුණා. එජාපය සමඟ මම අමනාප නැහැ. මම මුහුණ එක්ක තරහ වෙලා නහය කපා ගන්නේ නැහැ. දේශපාලනයෙන් ඉගෙන ගන්න දෙයක් මට තියෙනවා.” යැයි මනෝ ගනේෂන් කියන්නේය. “කොළඹ ඉන්න එක්තරා මන්ත්‍රීවරයෙක් මට චෝදනා කරනවා. අපිත් එක්ක සුහදව ඉඳලා තරහා වෙලා දැන් මනෝ ගනේෂන්ලා වෙනම ඉල්ලන කතාවක්. ඒ මන්ත්‍රීවරයා කියනවා. මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹින් අතුගාලා දාන බවටත් ඒ එජාප මන්ත්‍රීවරයා පාරම් බානවා. ඊට පස්සේ එතුමා කියනවා මනෝ ගනේෂන් ජනාධිපතිතුමත් එක්ක ඩීල් දාලා තියෙනවා. මම කියන්න කැමැතියි මනෝ ගනේෂන් කියන්නේ ඩීලර් කෙනෙක් නෙමෙයි ලීඩර් කෙනෙක්.” යැයි මනෝ ගනේෂන් උතුරු කොළඹ වතු රැස්වීම් හා වෙනත් රැස්වීම්වල මේ දිනවල කිය කියා යන්නේය. ඔහු දිගින් දිගටම චෝදනා කරන්නේ රවි කරුණානායකටය. රවි - ගනේෂන් ගැටුම හේතුවෙන් මනෝ ගනේෂන්ට විශේෂ ආරක්ෂාවක්ද සපයා දීමට ජනාධිපතිවරයාට සිදුවූ බවය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මනෝ ගනේෂන්ගේ විශේෂ ඉල්ලීම හේතුවෙන් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවය. ඒ අනුව මනෝ ගනේෂන්ට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැලසී තිබේ.
 
   පළාත් පාලන මැතිවරණයට තරග කරන මෛත්‍රී ගුණරත්නගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉකුත්දා එළිදැක්වීය. කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති එම උත්සව අවස්ථාවට ගිහි පැවිදි පිරිසක්ද ආධාරකරුවෝද පැමිණ සිටියහ. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න එම අවස්ථාවට සහභාගි වන්නැයි විශේෂ අමුත්තෙකුටද ආරාධනා කර තිබිණ. ඒ එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකටය. ඔහු මෛත්‍රී ගුණරත්නගේ ආරාධනය පිළිගෙන තිබිණ. ඒ අතර ආණ්ඩුවේ එජාප මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක්ද මෛත්‍රී ගුණරත්නට එදින දුරකතනයෙන් කතා කර සුබ පැතූහ. එහෙත් තිස්ස අත්තනායකට එම අවස්ථාවට පැමිණිමට හැකි වූයේ නැත. ඔහු මෛත්‍රීට දුරකතනයෙන් දන්වා තිබුණේ එදින තමාට නඩු කටයුත්තකට සහභාගි වීමට තිබෙන හෙයින් පැමිණිය නොහැකි බවය. 
 
    පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගන්නා බවට ප්‍රධාන දේශපාලන පක්ෂ හතරම පාරම්බාමින් සිටින බවක් පෙනෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග අදහසක් කීවේය. මේ වතාවේ අපේ පක්ෂය උඩින්ම දිනනවා. ඇතැම් අය කියන්නේ අපි දිනුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කරගෙන ඒ ඒ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවාය කියලයි. අපි ස්ථිරවම කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි තීන්දුවක් අරගෙන නැහැ. අරගන්නෙත් නැහැ. අපට කවුරුත් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දීපු කිසිම මැතිවරණයක් ලේසියෙන් පැරදුනේ නැහැ. අපේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙ සුබලකුණු මේ වනවිට පහළවී ඉවරයි. යැයිද ප්‍රසන්න රණතුංග කීවේය. ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද අදහසක් කීවේය. ‘තමන් පත් කරපු කොමිසමේ වාර්තාව තමන්ම මාධ්‍යයට ඇවිත් කියවන ජනාධිපතිලා නම් අපි ලෝකේ කොහේවත් දැකලා නැහැ. වාර්තාව ලැබුණ නම් ඒක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැතිව වාර්තාවේ තෝරාගත් කොටස් ටිකක් පමණක් කියවලා වැඩක් නැතැයි’ ප්‍රසන්න රණතුංග කීවේය. ප්‍රසන්නගේ අදහසට එජාපය වෙනුවෙන් පිළිතුරු බැන්දේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්ය. ‘ඔව් ඔව් මේ වගේ ජනාධිපතිවරු ලංකාවේ හිටියේ නැහැ තමයි. අපි දැකපු ජනාධිපතිවරු හැමදාම කළේ වාර්තා හංගගන්න එකයි. එහෙම නැතිව මොන වාර්තාවද එළියට දැම්මේ මොන වාර්තාව ගැනද නීති ක්‍රියාමාර්ග ගත්තේ’ යැයි මුජිබර් කීවේය.
 
     මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් එජාප දේශපාලනඥයන් අතර නෝක්කාඩුවක් හටගෙන තිබෙන බවය. විශේෂයෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන අර්බුද රැසක් මතුවෙමින් තිබෙන අතර එහි බලපෑම ආණ්ඩුව දෙසටද එල්ලවී ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුවේ ඉකුත් බදාදා පැවැති ගුටිබැට හුවමාරුවෙන් පසුව එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් කිසියම් තද තීන්දුවකට එළැඹී සිටින බවද තවත් ආරංචියකින් කියවුණේය. ඒ යහපාලන ආණ්ඩුවේ සම්මුතීන්ට පටහැනිව හෝ අවශ්‍ය සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාග් ප්‍රහාර එල්ල කිරීමටය. ඒ සම්බන්ධයෙන් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සංවිධානාත්මක ලෙස කටයුතු කිරීමේ වාචික එකඟතාවයකට පැමිණ සිටින බවද සඳහන් වේ.
 
     අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති වජිර අබේවර්ධන ඉකුත් සෙනසුරාදා උදෑසනින්ම මහනුවරට ගියහ. ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු අගමැතිවරයාත් වජිර අබේවර්ධන ඇමතිවරයාත් මල්වතු විහාරයට ගොස් මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්හ. නව වසරේ වැඩ කටයුතු සඳහා මල්වතු මහනාහිමියෝ අගමැතිවරයාටත් ඇමතිවරයාටත් ආශිර්වාද කළහ. එහිදී අගමැතිවරයා    අලුත් අවුරුද්දේ ආණ්ඩුවේ සැලසුම් හා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මහ නාහිමියන් හමුවේ කරුණු කීය. විශේෂයෙන් මහනුවර නගරයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා මධ්‍යම අධිවේගී මාර්ග පිළිබඳවද අගමැතිවරයාත් ඇමති වජිර අබේවර්ධනත් මල්වතු  මහනාහිමියන් වෙත කරුණු කීහ. 
 
  මෙවර පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වෙන හෙයින් ඡන්දදායකයන්ට මෙන්ම ඡන්ද අපේක්ෂකයන්ටත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එතරම් දැනුමක් නැති බව පැහැදිලිය. මැතිවරණ කොමිසමට මෙන්ම ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ටද රජයේ නිලධාරීන්ගෙන් මෙන්ම උනන්දුවක් දක්වන්නන්ගෙන්ද ලැබෙන දුරකතන පැමිණිලි ප්‍රමාණය විශාලය. ඡන්දය ගණන් කිරීම හා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඉකුත්දා මැතිවරණ නිලධාරීන් කරුණු දැක්වූහ. ඒ අනුව මෙවර ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කරන අතර එහිදී ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා විසින් ඡන්ද ප්‍රතිඵලය ප්‍රථම වරට ප්‍රකාශ කිරීමට නියමිතය. ඒ ඒ කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගත් දේශපාලන පක්ෂයේ අපේක්ෂකයා  ජයග්‍රහණය කර තිබෙන බව ඡන්ද පොළේදීම හෙවත් ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදීම ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු බවද මැතිවරණ නිලධාරීහු පැවසූහ. ඉන් අනතුරුව එම ප්‍රතිඵල ලේඛනය ෆැක්ස් මගින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවෙන අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ඒවා මැතිවරණ කොමිසමට යැවීමට කටයුතු යොදා තිබේ. ජනමාධ්‍ය වෙත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරෙන්නේ ඉන් අනතුරුවය. එහෙත් ඡන්ද ප්‍රතිඵලය කොට්ඨාසයෙන් කොට්ඨාසයට ප්‍රකාශ කිරීමේ ගැටලු මතුවන්නේ ඡන්ද කොට්ඨාස හාරදහස් නවසිය දහඅටක් තිබෙන හෙයින් මැතිවරණයට පසුදින ඒ ඒ කොට්ඨාස මට්ටමේ ප්‍රතිඵලය හෝ ඒ ඒ කොට්ඨාසයට විවිධ දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශ කිරීමට නියමිතය. 
 
     මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මේ වන විට නියෝජනය කරනුයේ ඒකාබද්ධ විපක්ෂයය. මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට ඉහතදී කොළඹ ඩාලි පාර ඔස්සේ ගමන් කළේය. ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටින් ගමන් ගන්නා අතර මන්ත්‍රීවරයාගේ රථය ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිට එකවරම නතර වූයේය. මහින්ද යාපා වාහනයෙන් බැස ශ්‍රීලනිප මූලස්ථානය දෙසට දෑත් ඔසවා වැඳ නමස්කාර කළේය. මහින්ද යාපා ශ්‍රීලනිප මූලස්ථානයට නමස්කාර කරන ආකාරය ඒ අවස්ථාවේදී ශ්‍රීලනිප මූලස්ථානයේ සිට එළියට එමින් සිටි ජනමාධ්‍යවේදීන් පිරිසක් දැකගත්හ. එම ජනමාධ්‍යවේදීන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වී එළියට එනු ඇතැයි එම අවස්ථාවේදී මහින්ද යාපාට නොහිතෙන්ට ඇත. මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් දුටු විගස ඔවුන්ට කිසිවක් අසන්නට ඉඩ නොතබාම වාහනයට නැග ඉක්මනින් පිටත් වීය.
 
 
 
 



අදහස් (1)

බැඳුම්කර ආන්දෝලනය

Rohana Saturday, 13 January 2018 01:15 PM

අගමැතිතුමාගේ හැසිරීම නම් ලාමකයි. ජනාධිපතිතුමා අපහසුතාවට පත්කළා...

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site