මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් සාහිත්‍ය රත්න සම්මානය පිරිනැමුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර මහත්මියටය. ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රත්න සම්මානය මහාචාර්යවරිය වෙත පිරිනැමුණේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය මෙරට සාහිත්‍යයට සමීප කරවීමට ඇය කළ මෙහෙවර ඇගැයීමක් වශයෙනි. ඉංග්‍රීසි හා සිංහල භාෂාවලින් ඇය ලියා පළ කළ කෘති බොහොමයකි.
ග්‍රීක සාහිත්‍යයෙන් නූතන අපට, බුද්ධකාලීන ග්‍රීක චින්තන, ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්ප හා නිර්මාණ, ග්‍රීක හා රෝම සාහිත්‍ය විචාරය, ග්‍රීක දර්ශනයට පිවිසුමක්, ආදි ග්‍රීක සාහිත්‍යකරණය, ආදි ග්‍රීක ඉතිහාසකරණය, ආදි රෝම ඉතිහාසකරණය, ග්‍රීක නාට්‍යකරු ටෙරන්ස්, නිර්මාණ ආවේශය, සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍ය විචාරය, භාෂාව හා සාහිත්‍යකරණය ආදිය මහාචාර්යවරියගේ කෘති එකතුවෙන් කීපයකි. මහාචාර්යවරිය මීට පෙර ද දිවමන් ප්‍රණාම සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සම්මානය ආදී සම්මාන ඉංග්‍රීසි සාහිත්‍යය වෙනුවෙන් ලබා ඇත.
• ඕනෑම කෙනෙකුට රාජ්‍ය සාහිත්‍ය උළෙලක දී ‘සාහිත්‍ය රත්න’ සම්මානය පිරිනැමෙන්නේ ජීවිතයේ එක්වතාවක දී පමණයි. මේ ඇගැයීම ගැන මොකද හිතන්නේ?
මේ ඇගැයීම වෙනුවෙන් මම බොහෝ සතුටු වෙනවා. මම කුඩා කාලෙ ඉඳලම ග්‍රීක සාහිත්‍යයට බොහොම ඇලුම් කළ කෙනෙක්. ඒ ඇල්ම තවම එලෙසම තිබෙනවා. ග්‍රීක සාහිත්‍ය සම්බන්ධ විවිධ කෘති රචනයටත් ඒ සාහිත්‍යයේ විවිධ තැන් සොයා යෑමටත් මේ ඇල්ම බලපෑවා. ඒත් සාහිත්‍ය රත්න වගේ සම්මානයකින් එම කාර්යය ඇගැයේවි කියල හිතුවේ නෑ. මීට පෙරත් විවිධ ඇගැයීම් මා වෙනුවෙන් ලැබී තිබුණත් සාහිත්‍ය රත්න සම්මානයක් ලැබීම විශේෂත්වයක් හැටියට මට දැනුණා.
• ‘සම්භාව්‍ය සංස්කෘතිය’ විෂය ක්ෂේත්‍රය ජනප්‍රිය කරවීමටත් ඒ ගැන අධ්‍යයනය අවකාශ පුළුල් කිරීමටත් ඔබ විශේෂ කැප කිරීමක් කළ බව පෙනෙනවා. මෙබඳු විෂය ක්ෂේත්‍රයක් ජනප්‍රිය කරවීමේ සමාජ වැදගත්කම ඔබ හඳුනා ගන්නේ කොහොමද?
බටහිර සම්භාව්‍ය සංස්කෘතියේ දර්ශනය, සාහිත්‍ය විචාරය සහ නාට්‍ය යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට විශ්වවිද්‍යාලය තුළ හැකියාවක් ලැබීමත් මෙයට එක් හේතුවක්. මේ අංශ තුනම එකිනෙකට අරගෙන බැලුවොත් ඒවායේ කිසියම් ඒකාබද්ධතාවක් සමානතාවක් දකින්නට පුළුවන්. අනෙක් අතින් මගේ නිර්මාණ රචනාවලටත් ශාස්ත්‍රීය අධ්‍යයන හා පර් යේෂණවලටත් දර්ශනය, සාහිත්‍ය විචාරය සහ නාට්‍ය යන අංශ එකිනෙකට බලපෑ බව කියන්න පුළුවන්.
ඇත්තටම මේ ක්ෂේත්‍රය මෑතක් වන තුරුම ඉංග්‍රීසි භාෂා මාධ්‍යයට සීමාවී තිබුණ බව කියන්න පුළුවන්. ලාංකික සිංහල සමාජය තුළ එය එතරම් ජනප්‍රිය වූ බවක් පෙනෙන්නට තිබුණේ නෑ. ඒත් එය අවශ්‍යතාවක් බව දැනෙන්නට වුණා. ඒ නිසා තමයි මම පුළුවන් තරම් සිංහල භාෂාවෙන් කෘති පළ කළ යුතුය යන අදහසේ සිටියේ. මොකද මේ විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවුණු පොත පත තිබුණේ ඉතාම අඩුවෙන්.
• සිංහල ශාස්ත්‍රීය – පාඨක සමාජය මෙම කෘති පිළිගත් බවක් පෙනුණා ද?
ඔවුන්ගේ උනන්දුවක් තිබෙනවා. විශේෂයෙන් විද්‍යාර්ථීන්ට මේ විෂය ක්ෂේත්‍ර ගැන සොයා බැලීමේ යම් ඕනෑකමක් ඇති බව පෙනෙනවා. ඇත්තටම මීට කලකට පෙර ‘බටහිර සම්භාව්‍ය සාහිත්‍යය’ කියන විෂය අපේ රටේත් එක්තරා පැලැන්තියකට සීමාවෙලා වගෙයි තිබුණේ. ග්‍රීක නාට්‍ය ආදිය වුණත් එහෙමයි. සාමාන්‍ය පාඨක රසික සමාජය අතරට මෑතක් වනතුරුම මේ නිර්මාණ පැතිරී ගිය බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
විශ්වවිද්‍යාලය තුළත් මේ විෂය ඉගැන්වීමේ අවශ්‍යතාව මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ඇතුළු විද්වතුන් පෙන්වා දුන්නා. හඳුන්වා දෙන කාලයේ ඒ තරම් ජනප්‍රිය නොවුණත් දැන් මේ විෂය සාහිත්‍යය අධ්‍යයනය කරන අය අතර පමණක් නොව නාට්‍ය හා රංග කලා විෂයයන් අධ්‍යයනය කරන අය අතරත් බොහෝ සේ ජනප්‍රියව ඇති බව පෙනෙනවා.
• පැරැණි ග්‍රීක නාට්‍ය හා සාහිත්‍ය නිර්මාණ අදටත් සමාජයේ සම්භාවනාවට ලක්වන්නේ කවර හේතු මත ද? ඒවායේ ඇති සර්වකාලීන ගුණය කුමක් ද?
ඒක වැදගත් කාරණයක්. ග්‍රීක නාට්‍ය හා සාහිත්‍ය නිර්මාණ මොන තරම් පැරැණි වුණත් දවසින් දවස ඒවාට ලැබෙන වටිනාකම වැඩිවෙමින් තිබෙනවා. ග්‍රීක නාට්‍ය ගත්තොත් ඒවායේ පොදු හැඟීම දුක නම් නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වාම දුක මතුකරනවා. සතුට නම් නාට්‍යයේ මුල සිට අග දක්වාම සතුට. ඒ ප්‍රහසනය තුළ මුල සිට අග දක්වාම කොක් හඬලා සිනාසෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඉතාම ඈත කාලයේ ග්‍රීක සමාජයේ සමාජ තත්ත්වයන් තේරුම් ගැනීමට මේ නාට්‍යවල භූමිකාවන් මනා පිටිවහලක් වෙනවා. අනෙක පොදු මානව හැඟීම් තේරුම් ගන්න මේවා ආධාරක වෙනවා. ක්‍රි:පූ: 6 වැනි සියවසේ තරම් කාලයේ සමාජයක බිහිවූ ඇතැම් ග්‍රීක නිර්මාණ ගැන මේ දක්වා කතා කරන්න ලැබෙන්නෙ අර සර්වකාලීන ගුණය නිසා. එදා සමාජයේ අපි කතා කරපු දේ අදත් අපි කතා කරනවා. ඒ හැඟීම් කාලයකට සීමා නොවන බව පෙන්වනවා. ඒ මානුෂීය බැඳීම්, ඇදහීම්වලට කාලය සීමාවක් ලෙස සලකන්න නොහැකි වී තිබෙනවා.
• සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි පඬිවරු එදා කළ කී දෑ අදටත් අලුත්වන්නේ මේ හේතුව නිසාද?
ඇත්තටම ඒ තමයි සර්වකාලීන ගුණය. සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් තිදෙනා පිළිබඳවම කතා කරනවිට සාහිත්‍යය අතිනුත් විචාරය අතිනුත් දර්ශනය අතිනුත් පුදුමාකාර අදහස් හා චින්තනයන් දවසින් දවස අලුත් වෙමින් තිබෙනවා. විශේෂයෙන් සාහිත්‍ය විචාරයේ දී මේ තත්ත්වය ඉතාම වැදගත්. ඇයි මිනිසා වාරණයක් ඇති කරගන්නෙ? ඇයි පාලකයන් වාරණය කරන්නෙ? ප්ලේටෝ විශේෂයෙන්ම කියා තිබෙනවා ඔහුගේ සාහිත්‍යය වැදගත් වෙන්නෙ ඔහු සාහිත්‍යයට වාරණයක් කළ නිසා බව.
බය ඇතිවෙන්නෙ කොතනද? ඇයි ඒක පැන නැඟුණෙ? ඔහු ඒක මතු කරනවා. ඇරිස්ටෝටල් පෙන්වනවා හදවතේත් බුද්ධියේත් සත්‍ය දෙකම අපි පිළිගත යුතුම බව. සොක්‍රටීස් පැන නැඟෙන්නෙ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තයටම ගිහින් හැමදෙනාගෙන්ම මමයි හරි කියපු සමාජයට එරෙහිව තමයි ඒ පැන නැගීම සිද්ධ වෙන්නෙ. ‘සත්‍යය’ කියන දේ පොදු දෙයක් මිස පෞද්ගලික දෙයක් නොවන බව එහිදී අවධාරණය කෙරුණා.
සොක්‍රටීස් කිසිම දෙයක් ලියා තැබුවේ නැති වුණත් ප්ලේටෝ ඔහුගේ සංවාද අතරින් උත්සාහ කළා සොක්‍රටීස්ගේ චරිතය මොන වගේ ද කියල පෙන්වන්න. ඒ තුළ ගොඩනැගෙන්නෙ දර්ශනය කේන්ද්‍ර කොටගත් සංවාද. යම් කිසි ප්‍රශ්නයක් ගන්නවා. ඒ ගැන කතා කරනවා. අනෙක් අයට ප්‍රශ්න කරන්න අවස්ථාව ලබා දෙනවා. අවසානයේ සත්‍යය කුමක් ද යන්න හෙළි කරනවා. සමහර සංවාද අවසානයක් දක්වා රැගෙන නොයන අවස්ථාත් තිබෙනවා. හරියට වර්තමාන කෙටිකතාවක් වගේ.
• මේ සංවාදවල හරය වර්තමානයට ගලපාගත්තොත් ප්‍රබුද්ධ සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් මේ දර්ශනවාදවල අධ්‍යයනයන් අදට අවශ්‍ය වන්නේ ඇයි?
ඒක අවශ්‍යයි. අවලංගු කරන්න බෑ. අවසානයේ අපි කොතැනට ද එන්නෙ? සත්‍යයට, යථාර්ථයට මුහුණ දිය යුතුය කියන තැනට අපට එන්න වෙනවා. සංස්කෘතියේ, භාෂාවේ, ජාතිකත්වයේ නාමයෙන් අපි සත්‍යය, යථාර්ථය සඟවා ගන්නට උත්සාහ කළත් අපට එය සඟවාගෙන දිගු කාලීනව රැඳෙන්න බෑ කියන කාරණය මේ දර්ශනය තුළ මතුවෙනවා. අපි විවිධ කඩතුරාවන්ගෙන් සත්‍යය සඟවා ගත්තාම ඇත්ත කතා කරන්න බය වෙනවා. හැබැයි මේ කඩතුරාව ඉරා දැමුවට පස්සෙ සත්‍ය මතුවෙනවා. ඇත්තට මුහුණ දෙනවා. එතකොට පටු භේද බින්න අවසන් වෙනවා. මනුෂ්‍යත්වය ඉතිරි වෙනවා.
වර්තමාන සමාජයේ බොහෝ දෙනා ඉතා කුඩා දේවල්වලට පවා කම්පා වෙනවා. හැබැයි මේ කියපු දර්ශනය තේරුම් ගත්තොත් සත්‍යය, යථාර්ථය නිවැරැදිව දැක්කොත් ඔවුන් තුළ කම්පාවක්, ශෝකයක්, බිඳ වැටීමක් ඇතිවෙන්නෙ නෑ. යථාර්ථය මේකයි කියල හිතලා ජීවිතය තේරුම්ගන්න ඔවුනට අවස්ථාව ලැබෙනවා.
• ඔබ ‘නිර්මාණ ආවේශය’ නමින් අගනා කෘතියක් ලියා පළ කළා. ඇත්තටම ආවේගයක් නැතිව නිර්මාණයක් බිහි කරන්න බැරි ද?
මම හිතන්නෙ නිර්මාණයක් කරන විට තමන් තමන්ට අවංක විය යුතුයි. තමන් ලියන දේට තමන් පූර්ණ වශයෙන් අවංක වෙන්න බොහෝ කාලයක් සමහරවිට ගතවෙන්න පුළුවන්. ඔහු ඒ කාලය ගත කරන්න ඕනෑ. නැත්නම් ලියැවෙන්නෙ වංක දෙයක්. ඒ අවංකකම ඇති වුණාම අපට ලියන්නම හිතෙනවා. නැත්නම් හිතට අමාරුයි. දරාගෙන ඉන්න බෑ.
කාලයක් තිස්සෙ හිතේ තෙරපි තෙරපි තියෙන අදහස් එක පාරටම අවේශයකින් වගේ එළියට එන්න පුළුවන්. ඒ වෙලාවට ලියන්න ඕනෑ. ඒකට නිදහස් නිස්කලංක පරිසරයක් හොය හොයා ඉඳීමෙන් වැඩක් වෙන්නෙ නෑ. සමහරවිට වාහනේ යන අතරමගදි වෙන්න පුළුවන්. ඒක ආවේශයක් තමයි. ආවේශයක් නැතුව ලියන්න බෑ. පුළුවන් වෙයි. ඒත් ඒ ලියැවිල්ල සාර්ථක නිර්මාණයක් බවට පත්වෙන්නෙ නෑ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිවීම ආවේශයක්
නිව්ටන් රත්නසිරි Tuesday, 15 November 2022 04:01 PM
හැමදාමත් ඔබතුමිය කළ සේවයට ආදරය කළ 91/94 සිසුවෙක්මි. සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍ය තුළ බුදුදහම කෙසේ ක්‍රියාත්මක වේ දැයි අදටත් මා සොයා බලන්නේ ඔබතුමියට පින්සිදුවීමටයි. බුදුදහම හා බුදුසිරිත මතු වන අයුරින් ඊඩිපස් රජ නාට්‍ය පරිවර්තනය කිරීමෙන් (ලබන වසරේ) මා ඔබතුමියගේ සේවයට කෘතවේදීත්වය පුදකරන්නම්.
Nimal Monday, 21 November 2022 02:41 AM
වර්තමාන සමාජයේ සමස්ත පරිහානියට මුලික හේතුවක් නම් යථාර්තය අතහැර මිත්‍යාව පසුපස යාම සහ සත්‍ය වෙනුවට බොරුව විස්වාසකිරීමට පෙළබිම වේ.