X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වඩු වැඩෙන් දිවි රකින ශ්‍රියානි

සොඳු රූ

  • මුලදි මගේ මහත්තයත් එක්ක වහල ගහන්න ගියා  

 

ගතේ සවියට වඩා හිතේ සවියෙන් දිවිය ජයගත් කාන්තාවෝ අප සමාජයේ ඕනෑ තරම් සිටිති. ගැහැනිය පිරිමින් හා සමතැන ඉල්ලන සටන් පාඨ තවදුරටත් වලංගු නොවන්නේ යැයි බොහෝ දිරිය කාන්තාවන් අද ඔප්පු කරදී ඇත.  


අද ‘සොඳුරූ’ වෙන්වන්නේ ජීවත්වීම සඳහා දැව කඳන් සමග ඔට්ටු වෙමින් වඩු වැඩෙන් දිවි රකින දිරිය මවක් වෙනුවෙනි.  


කොළඹ වැල්ලම්පිටිය ග්‍රාමයේ උපන් ශ්‍රියානි සිරියලතා වයස අවුරුදු විස්සේ පටන්ම ලී කඳන් හා යන්ත්‍ර සූත්‍රවලට සියුමැලි දෑත යොදවමින් ඇඳන්, පුටු, මේස නිපදවීමට උපන් හපන්කමක් ඇත්තියක් වූවාය.  
 “මගේ පවුලේ අයියලා තුන්දෙනයි, මමයි, අම්මයි, තාත්තායි. මම පවුලේ එකම ගැහැනු දරුවා වගේම පවුලේ බාලයා. මගේ තාත්තා වැඩ කළේ නවලෝක මුදලාලිගේ ලී මෝලේ. නවලෝක මුදලාලි කියන්නේ මගේ නැන්දගේ පුතා. ඒ නිසා මගේ තාත්තයි, අයියලා තුන්දෙන්නයි වැඩකළේ නවලෝක ලී මෝලේ. තාත්තගෙන් පස්සේ මමත් පුංචි කාලේ ලී මඩුවට යනවා. ඒවා නිතර දෙවේලේ දකිද්දි ඒවට මට ආස හිතුනා. ඒ කාලේ ලී මෝලේ වැඩට යන්න හරිම ආසයි. ඒත් කෙල්ලෝ ලී මඩු අස්සේ යන්න ඕනෑ නෑ කියලා අයියලා මට ලී මෝලට යන්න දුන්නේ නෑ. ඒත් මට වඩු කර්මාන්තය ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇතිවුණා. පුංචි ව්‍යාපාරයකින් ජීවිතේ පටන් ගත්ත නවලෝක මුදලාලි දවසින් දවස දියුණු වෙනවා දැක්කම මමත් ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා. මගේ ජීවිතේට වාසනාව උද‌ාකරගන්න පුළුවන් මේ ලීයෙන්මයි කියලා හිතුණෙත් අවුරුදු විස්සෙදිමයි.”  


ගෙදර ආර්ථික ගැටලුත් සමඟ අ.පො.ස. සාමාන්‍ය පෙළින් අධ්‍යාපනයට ආයුබෝවන් කී ශ්‍රියානි යතුකැටයත්, අතකොලුවත්, කැටයම් කටුවත් අතට ගන්නට දෙවරක් සිතුවේ නැත. වඩු මඩුවේ අහුවන ලී අතපත ගාමින් වඩු කර්මාන්තය උගන්නට හැකි සෑම විටම ඇය උත්සාහ කළාය. තරුණියක වුවත් ඇය මහා ලොකුවට ජීවිතේ සිහින මාලිගා තැනුවේද නැත. ජීවිතේ පිළිබඳ වෙනත් විදිහට සිතූ ශ්‍රියානි මහා ලී කඳන් සමඟ පොර බඳිමින් කෙසේ හෝ තමාගේම වඩු මඩුවක් ආරම්භ කරන්නට මැවූ හීනය කෙතරම් බාධක ආවත් අත්නොහැරියාය.  


 “ඇත්තටම මේ සමාජයේ ගැහැනියක් තනියම ඔළුව උස්සනවා කියන්නේ හරිම අමාරු වැඩක්. මම ඉස්කෝලේ ගියේ සාමාන්‍ය පෙළට විතරයි. මම ඉගෙනගත්තේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ. එතැනින් එහාට ඉගෙන ගන්න මගේ ගෙදර ලොකු ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ ඉවර කරලා අවුරුදු 19 වෙද්දිම මම විවාහ වුණා. සැමියාගේ රැකියාව වුණේ වඩු කර්මාන්තය. සැමියා වඩු කාර්මිකයෙක් වීම මගේ හීනෙට යන්න තවත් පහසු වුණා. හරියටම මම වඩු කර්මාන්තයට යොමු වෙන්නේ විවාහයෙන් පස්සේ.  
 කසාද බැන්දට පස්සේ මමයි මහත්තයි ගෙවල්වල වඩු වැඩ කරන්නයි, වහල ගහන්නයි ගියා. පඩි ගෙවලා ගෝලයෝ වැඩට ගන්න තරම් ආර්ථික ශක්තියක් අපිට තිබුණේ නැති නිසා මහත්තයා වඩු වැඩවලට යනකොට ගෝලයා විදිහට එක්කගෙන ගියේ මාව. ඒ විදියට ගිහින් මාත් ටික ටික වැඩ ඉගෙන ගත්තා. හැමද‌ාම එක වගේ වැඩ ලැබෙන්නේ නැති නිසා අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තිබුණා. ඒ ටික යොදවලා වැල්ලම්පිටියේ අපි පදිංචිවෙලා හිටපු මහගෙදර සුළුවට වඩු මඩුවක් පටන් ගත්තා. අපේ වඩු මඩුව ටික ටික ප්‍රසිද්ධ වෙන්න ගත්තාම සතියකට වැඩ හය හත ලැබුණා.”  


ගෙදර දොරේ කොස්ස, ඉඳල, හැඳි, වළං මුට්ටි විතරක් නොව යතුකැටයට, කියතට පෙම් බැන්ද  ශ්‍රියානි මහා ලී කඳන් දෙබෑ කරන (චේන්සෝ) යන්ත්‍ර ඒ දෑතින් බදා ගන්නේ ගැහැනියකට මේ ලෝකයේ කළ නොහැකි දෙයක් නැති තරම් යන ආත්ම ශක්තියෙනි.  


“ලී ඉරන්න චේන්සෝ මැෂින් එක අතට ගද්දි මුලදි පොඩ්ඩක් බයක් දැණුනා. ඒත් වැඩ කරන අය වැඩ අතපසු කරනකොට, එයාලා පරක්කු වෙනකොට මට බලා ඉන්න බැරි නිසා ටිකෙන් ටික ඒවට පුරුදු වුණා. මැෂින්වලට බය නැති වුණේ වැඩ කරලම තමයි. දැන් මම බය නැහැ. මැෂින් එක්ක හදිසි නොවී වැඩ කරන්න දැන් මම දන්නවා.  


 ඔහොම වැඩ කරගෙන ඉන්නකොට සුනාමියෙන් පස්සේ නුගේගොඩ ව්‍යාපාර ආයතනයකින් මගෙන් ඇහුවා හික්කඩුවේ අලුතින් හදන සුනාමි ගෙවල්වල වඩු වැඩ තියෙනවා කොන්ත්‍රාත්තුව භාරගන්න පුළුවන් ද කියලා. මම දෙපාරක් හිතන් නැතුව ඒ වැඩේ භාරගත්තා. තෙල්වත්තේ ගෙවල් 61ක වහල ගැහුව්වා. ඒ ගෙවල් හදන කාලේ ගාල්ලේ වඩු අක්කා කියලා මිනිස්සු අතර මාව ටිකක් ප්‍රසිද්ධ වුණා. එතැනින් පස්සේ මට ගාල්ලේ කොන්ත්‍රාත්තුව ලැබුණා. ඊට පස්සේ ගාල්ල මහා බෝධි විද්‍යාලය, ගාල්ල කොන්වන්ට් එකේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලේ උළුවහු, ජනේල සියලුම වඩු වැඩ ටික ලැබුණා. ගාල්ල සංඝමිත්තා බාලිකාව, ඇලෝෂියස් විද්‍යාලය, මහින්ද රිච්මන්ඩ් විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය, අනුලාදේවි විද්‍යාලය වගේ ගාල්ලේ සියලුම පාසල්වල වඩු වැඩ කරන්න මට ලැබුණා. ඇත්තම කියනව නම් වැල්ලම්පිටියෙන් ආපු මට වාසනාව ගෙනාවේ ගාලු පුරවරයයි.” ඇය සතුටු කඳුළු දෑස්වල පුරවා ගනිමින් සිනාසුනාය.  

 


දෙදරු මවක් වන ඇය දිවා රෑ නොබලා හරි හැටි කුසට අහරක් නොගෙන මහා ලී කඳන් සමඟ පොර බැදුවේ තමාට ලබාගන්න නොහැකි වූ අධ්‍යාපනය දරුවන්ට ලබා දී සමාජයේ ඉහළම තැනකට රැගෙන යන්නටය.  
 “විශේෂයෙන් මම වැඩ කරපු හපුගල ඉස්කෝලේ මට ගොඩක් විශේෂයි. කොළඹින් ආවට පස්සේ මගේ දරුවෝ දෙන්නව බාරගත්තේ හපුගල ඉස්කෝලෙන්. දුවයි පුතයි දෙන්නම ඒ පාසලේ හොඳින් ඉගෙන ගත්ත. දුව අරුන්දිකා සෙව්මිණි. එයා හපුගල ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වෙලා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට ගියා. දුව එතැනින් ‘ඒ’ සාමර්ථ 3ක් අරන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වුණා. දැන් දුව කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නේ. පුතත් ඉගෙන ගන්න හරි දක්ෂයි. පුතා 2021 උසස් පෙළට සූදානම් වෙලා හිටියේ. ඒත් හදිසි අනතුරකින් 2020 දෙසැම්බර් මගේ පුතා නැති වුණා.” දෑසින් කඳුළු කැට කඩා හැලෙද්දී ඇයගේ හඬ බිඳී ගියේය.  


“ලී මඩුවෙ සද්දෙ එක්ක පාඩම් කරන්න බැරි නිසා මම දරුවෝ දෙන්නටම ඉගැන්නුවේ බෝඩිං කරලා. පහුගිය කොරෝනා කාලේ දරුවෝ දෙන්නවම ගෙදර එක්ක ආවා. ඒ ඇවිල්ල ඉද්දි තමයි 2020 මැයි මාසේ 3 වැනිද‌ා පුතා අනතුරට ලක්වුණේ.  


 එදත් මම ගස් කපන තැනකට පුතාට මම වතුර බෝතලේ ගෙනත් දෙන්න කිව්වා. එයත් ඒ වැඩේට උදව් වෙවී හිටියේ. කඹේ ඇද්දට ගහේ අත්ත ගියේ පුතා ඉන්න පැත්තට. ගහ වැටෙනකොට පුතා දිව්වාට පුතා ලිස්සුවා. ඒත් එක්කම ගහේ අත්තක් එයාගේ ඔළුවේ වැදුනා. මාස 9ක් එක තැන හිටියා. කරන්න පුළුවන් හැමදේම කළා. දරුවව බේරගන්න ශල්‍යකර්ම ගොඩක් කළා. කැම්පස්වලින්, පාසල්වලින්, මගෙන් සේවය ලබාගත්ත නෝනා මහත්තුරු දරුවව බේරගන්න මට හරියට උදව් කළා. ඒත් මගේ දරුවව බේරගන්න බැරිවුණා. 2020 දෙසැම්බර් 30 පුතා සදහටම අපිව දාලා ගියා. තාම මට හීනයක් වගේ. මට දැන් එක බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ තමයි දුවට උගන්නලා සමාජයේ හොඳ තැනකට යවන එක.  


 වඩු කර්මාන්තය කරලා තමයි මගේ දරුවන්ට මම උගන්වන්නේ. මේ දෑතේ රැකියාව මම දුවටත් පුරුදු කරල තියෙන්නේ. දුවත් කැම්පස් නිවාඩු දවසට වඩු මඩුවේ වැඩ කරනවා. දුව කැම්පස් එකේ වියදම හොයා ගන්නේ වඩු මඩුවේ වැඩ කරලා.”  


දරුවන් දෙදෙනකු සමඟ ජීවිතේ තනියම ගොඩ නගද්දී ඇයටත් එල්ල වූ බාධක, ප්‍රතික්ෂේප වීම් සුවිශාලය. ගැහැනියක් ලෙස ඒ සියලු අභියෝග ඇය සතුටින් භාරගත්තාය.  


“ගාල්ලට ඇවිත් දරුවෝ දෙන්නත් එක්ක තනියම දේවල් ගොඩ නගාගනිද්දී විඳින්න ඕන හැම දුකක්ම මට විඳින්න වුණා. මම කාටවත් අතපාලා ජීවත් වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. ගාල්ලට ආවාට අපිට ඉන්න හරිහමන් තැනක් තිබුණේ නැහැ. හරියට අතපය හතරවත් හරවගන්න බැරි පුංචි ගේක තමයි අපි කුලියට නතර වුණේ. මුලදි මම වඩු වැඩ සොයාගෙන ගියා. වඩු මඩුවක් පටන්ගන්න ඕනෑ වුණත් ඒකට අවශ්‍ය ප්‍රමාණයේ භූමියක්වත්, මුදලක්වත් මා ළඟ තිබුණේ නැහැ. දිවා රෑ නොබලා වැඩ කරලා සල්ලි ටිකක් හොයාගත්තා. පොඩි ඉඩම් කෑල්ලක් හොයාගන්න පුදුම දුකක් වින්ද‌ා. පුදුම දුකක් වින්දා මුල් කාලේ වඩු මඩුවක් දාගන්න.  


 ලොකු ඉඩමක් බද්දට අරන් වත්තේ අයිනක පුංචි ගෙයක් හදාගෙන ලී මඩුව දාන්න අවශ්‍යය ලියකියවිලි හදාගත්තා. ලී මෝල සද්දෙයි කියලා ගමේ මිනිස්සු මට බැනලා එළවගත්ත වෙලාවල් ඕන තරම් තියෙනවා. මම ඒවට සැලුනේ නැහැ. ලී මඩුව දාන්න බලපත්‍ර ගන්න හරියට අමාරු වුණා. ඒ ආයතනවල අය මාව රස්තියාදු කෙරෙව්වා හරියට. වැඩපළ කරගෙන යන්න විදුලිය ගන්න ගියාම මට විදුලිය දුන්නේ නැහැ. මම විදුලිබල මණ්ඩලයට ගිහින් ඇහුවම ලී ඉරන්න එහෙම කරන්ට් දෙන්නේ නෑ කියලා මාව එළවගත්තා. ලී ඉරන්න නෙමෙයි මම කරන්ට් එක ඉල්ලුවේ වඩු මැෂින් එකට. හරිම අමාරුවෙන් කරන්ට් එක ගත්තා. ලී ඉරන්න ඩීසල් එන්ජින් එකක් මම ගත්තා. සටන අතෑරියේ නෑ. ලී ඉරන්නයි, වඩු මඩුවටයි දෙකටම මම බලපත්‍රය අරගෙන තමයි පස්ස බැලුවේ. දැන් මගේ ළඟ සේවකයෝ නව දෙනෙක් වැඩ කරනවා. මම මේක කරන්න, අරක කරන්න කියලා කිසිම කෙනකුට වැඩ පවරන්නේ නෑ. එයාලත් එක්ක මාත් වැඩ කරනවා. මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ පරණ වඩු මැෂින් එකකින්. අද වෙද්දි මගේ ළඟ වඩු කර්මාන්තයට අවශ්‍ය කරන නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර සියල්ලම තියෙනවා.  


 මුලදි ගෑනු කෙනෙක් වඩු වැඩ කරනකොට, වහල උඩ නැගලා වහල ගහනකොට ගස් කපාගෙන ඇවිල්ලා ලී ඉරනකොට මිනිස්සු පුදුම වෙලා බලා හිටියා. ගෑනුන්ට පුළුවන්ද ඕවා කරන්න කියලා මූනිච්ඡාවට හිනා වෙච්ච මිනිස්සු අනන්තයි. අද ඒ අය මාව හොයාගෙන එනවා වඩු වැඩ කරගන්න.”


ගාල්ල, හපුගල ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක අද ඇය පවත්වාගෙන යන වඩු කර්මාන්තශාලාව කරගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ අභියෝග ජයගෙන ඇය ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය.  
 “මුලදි ගස් කපාගෙන ඇවිල්ලා, ලී ඉරලා, වඩු වැඩ කරන එක දක්වා මම කළේ තනියම. අද මගේ ළඟ සේවකයෝ වැඩ කරනවා. මේ ඉඩමට මාසිකව කුලියක් ගෙවාගෙන, සේවක පඩිත් ගෙවාගෙන මාත් ලාබයක් ලබනවා. මට කොයිතරම් කරදර ආවත් ඒවා මම පොඩ්ඩක්වත් හිතට ගත්තේ නැහැ.  


මම යන්න තියෙන ගමන මම ආවා. මට ආපු අභියෝග ප්‍රශ්න එක්ක මේවා අතෑරලා දාන්න තිබුණේ ගොඩක් ඉස්සර. මම මගේ දුවටත් කියලා දීලා තියෙන්නේ ජීවිතේ කොච්චර කරදර ආවත් තමන් යන ගමන නවත්වන්න එපා කියලා. වඩු වැඩ කරනවා කියන්නේ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. මම අනෙක් කාන්තාවන්ටත් කියන්නේ දෑතේ කර්මාන්තයක් කරලා ජීවත් වෙන්න කවදාවත් ලැජ්ජ වෙන්න එපා. ඒ වගේම කිසිම දවසක පිරිමියෙක් නැතිවුණා කියලා ගැහැනියක් වැටෙන්න ඕනෑ නැහැ. මම හිත ශක්තිමත් කරගෙන හැමදෙයක් දිහාම සුබවාදීව බැලුවා. මගේ අවසාන ආසාව තමයි මගේම කියලා ලී බඩු සාප්පුවක් පටන් ගන්න එක. ඒකටත් මේ වෙද්දී මගේ අතින්ම ලී බඩු හදාගෙන යනවා.” ඇය කීවාය.

  
 වඩු කර්මාන්තයේ වසර 25ක පළපුරුදුකාරියක් වන ශ්‍රියානි මහත්මිය අභියෝග මැදින් ජීවිතය ජයගත් අපට හමුවූ තවත් දිරිය ගැහැනියකි.

 

 

 

නදීශා අතුකෝරළ 



අදහස් (1)

වඩු වැඩෙන් දිවි රකින ශ්‍රියානි

Mangala Tuesday, 25 January 2022 02:09 PM

ඇත්තටම හොද කතාවක්. සමහර වැඩ ගැහැනුන්ට කරන්න බැහැ කියලා හංවඩු ගහලා තියෙන එක මුලු ලෝකෙම තිබිච්ච දෙයක් නමුත් බටහිර රටවල් දැන් ඒ ආකල්පයෙන් ගැලවිලා කාන්තාවන්ට කැමති හැම වැඩක්ම කරන්න දෙනවා ඒ අයට උදව් කරනවා. තවම ආසියානු රටවල පසුගාමී තත්වයක් තියෙන්නේ. මේ වගේ සාර්ථක ජීවිත ගැන පුවත් දමන එක හොදයි. කකුලෙන් අදින නිළධාරින්ගේත් ඇස් ඇරෙයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site