X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


විසි එකේ හොඳ නරක

පසුගියදා පාර්ලිමේන්තුව විසින් එහි බහුතර ඡන්දයෙන් සම්මත කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් යහපත් හා අයහපත් අංග පිළිබඳව ආචාර්ය අතුල විතානවසම් මහතා දක්වන අදහස් ඇසුරින් සකස් කළ ලිපියකි මේ.

ප්‍රස්තුත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ ව්‍යවස්ථා සංශෝධනයක් පැනවීමට සුදුසු පරිසරයක් රටේ නොමැති අවස්ථාවකය. රට දරුණු ආර්ථික අර්බුදයකට සහ එයින් උද්ගත වූ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වඩාත් බලගතු තත්ත්වයට පත් කළ විධායක ජනාධිපතිවරයාට සිය ධුරය අත්හැර රටින් පලා යෑමට සිදු වූ තත්ත්වයක මෙය ගෙන එන ලදී.

එබැවින් මේ අවස්ථාව සමනය කිරීමට සුදුසු ප්‍රතිකර්මයක් හැටියට මම මෙම සංශෝධනය නොස ලකමි. ඒ, රටම ඉල්ලා සිටියේ සහ සිටින්නේ හුදු ව්‍යවස්ථා සංශෝධනයක් නොවන නිසාය. සමස්ත ක්‍රමය දැවැන්ත වෙනසකට බඳුන් කරන ආකාරයේ ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් රට ඉල්ලා සිටියි. එම ඉල්ලීම මෙතෙක් පහව ගොස් නැත. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකිද යන ප්‍රශ්නය මතු වේ.

රටේ දැවෙන ප්‍රශ්නවලට මෙම ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් නොවන බව මගේ අදහසයි. 21 වැනි සංශෝධනයට සාපේක්ෂව වඩාත් හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් 2015 දී අපි සම්මත කළෙමු. එනම්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. 19 හි ඇතුළත් හරය මෙම 21 වැනි සංශෝධනය ඇතුළත දැකිය නොහැකිය.

එය මෙම සංශෝධනයෙහි දක්නට ලැබෙන ප්‍රබල දුර්වලතාව හැටියට සැලකිය හැකිය. 21 වැනි සංශෝධනයෙහි මුඛ්‍ය අරමුණ බව පෙනෙන්ට තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලය අඩුකර යම් ප්‍රමාණයකට පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමය. එහෙත් සමස්ත ක්‍රමයේ ඔඩු දුවමින් තිබෙන ගැටලුවලට එයින් පිළියම් ලැබෙන්නේ නැත.

ජනතා අරගලයෙන් මතු වූ ප්‍රශ්න මෙම සංශෝධනයෙන් නොසලකා හැර තිබේ. ඊට දැක්විය හැකි එක් උදාහරණයක් නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමාජයේ ගොඩනැගී ඇති අප්‍රසාදයට මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආමන්ත්‍රණය කර නොතිබීමය. එම ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධනයකින් විසඳුම් සැපයීමේ හැකියාවක් ද නැත. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කරන එකකි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැවැන්ත වෙනසක් කිරීමට නම්, ඉන් ඔබ්බට ගොස් ජනමත විචාරණයකට යා යුතුය.

එවැනි ජනමත විචාරණයකට යා යුතු තරමේ සංශෝධනයක් නම් පමණි අපට මෙහි යහපත් අංගලක්ෂණ පිළිබඳ සාකච්ඡා කළ හැක්කේ. දැනට ආණ්ඩු බලය දරන කණ්ඩායමේ එකඟත්වය සහිත හුදු ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැලකීමට සිදු වේ. එබැවින් මෙම සංශෝධනයෙන් පිළිබිඹු වන්නේ ජනතා අභිලාෂ නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිලාෂයන්ය.

ජන අරගලයේදී ජනතාව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරන ලදී. ජනතාවගේ චෝදනාව වූයේ සියලු මන්ත්‍රීවරුන් දූෂිත බවය. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ආකාරයෙන් ද ඒ බව ගම්‍ය වේ. රට ප්‍රජාතාන්ත්‍රීයකරණය කිරීම ගැන වුවමනාවක් මන්ත්‍රීවරුන්ට තිබෙන්නේ ද යන ප්‍රශ්නය එයින් මතු විය. එසේම ඔවුන්ට හෘද සාක්ෂියක් තිබෙන්නේ ද යන්නත් පැනනැගිණි.

මෙම සංශෝධනයට අදාළ දෙවැනි වර කියැවීමේ ඡන්දයේදී පක්ෂව ඡන්ද 174 ක් ලැබිණි. එහෙත් මන්ත්‍රීවරු 40 කට අධික පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා ගෙන එන ලද සංශෝධන අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් සභාවට නොපැමිණ ඡන්දය දීමෙන් වැළකී සිටි අවස්ථාව හැටියට මෙය ඉතිහාසගත වේ. මහජන නියෝජිතයන්ට පැවරෙන ප්‍රමුඛ කාර්යය වන නීති සම්පාදනය මෙම මන්ත්‍රීවරුන් විසින් පැහැර හරිනු ලැබ තිබෙන බව එයින් පැහැදිලි වේ. ඔවුන්ට එදින පාර්ලිමේන්තුවට පැමිණ මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාද කර පක්ෂව හෝ විපක්ෂව හෝ කතා කළ හැකිව තිබිණි.

වඩාත් හොඳ සංශෝධනයක් ගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳවත් කතා කළ හැකිව තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් ද 21 වැනි සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. එය බරපතළ කාරණයකි. මේ සියල්ලෙන් පාර්ලිමේන්තුවේත් එය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේත් තත්ත්වය ගැන සිතා ගත හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කරන ජනතා මතයෙහි යුක්තිගරුක බවක් තිබෙන බව ද පැහැදිලි වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයෙහි අන්තර්ගතය පිළිබඳ දැනට ප්‍රකාශ වන සහ අප අවබෝධ කරගත් කරුණුවලට අනුව, ජනතාව නොමග යවන තත්ත්වයක් තිබේ. ආණ්ඩුවේ ප්‍රබලයන් ප්‍රකාශ කරන්නේ මෙම සංශෝධනය 19 වැනි සංශෝධනයෙහි සාරය වැළඳගත් බවය. 19 වැනි සංශෝධනයෙහි අන්තර්ගත ඇතැම් යහපත් අංග මෙහි ඇතුළත්ව තිබුණ ද තවත් ඒවා හිතාමතාම නොසලකා හැර ඇති බව පැහැදිලි වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් 19 හි සඳහන් වූයේ වසර හතරහමාරක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැකි බවය. එහෙත් ප්‍රස්තුත 21 වැනි සංශෝධනයෙහි දැක්වෙන්නේ වසර දෙකහමාරක් ගත වූ පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවය. එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහිද ඇතුළත් ව තිබිණි. මේ විධිවිධානය මගින් පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යයට හා ගෞරවයට හානි වේ.

19 වැනි සංශෝධනයේදී එය සම්මත වන අවස්ථාව වන විට ජනාධිපති ධුරය දරන තැනැත්තාට යම් අමාත්‍ය ධුර සංඛ්‍යාවක් දැරිය හැකි වුවද ඉන්පසු පත්වන ජනාධිපතිවරුන්ට අමාත්‍ය ධුර දැරීමේ හැකියවක් නොතිබිණි. එහෙත් 21 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට තමා යටතේ අමාත්‍ය ධුර තබා ගැනීමට ද හැකිය.

මෙම සංශෝධනයෙහි දැකිය හැකි යහපත් ලක්ෂණයක් නම්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණයට සෘජුව ආමන්ත්‍රණය කර තිබීමය. ඒ අනුව, ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නොහැකිය. එය ඉතාම හොඳ දෙයකි. එසේම එය පෞද්ගලික අරමුණුවලින් ඔබ්බට ගොස් ජාතික අරමුණක් වෙනුවෙන් ඇති කළ ප්‍රතිපාදනයක් ලෙස අප සැලකිය යුතුය.

ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කර තිබීම ද මෙහි ඇතුළත් යහපත් අංගයක් වශයෙන් සැලකිය හැකිය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා දුර්වල කළ අතර ජනාධිපතිවරයාගේ බලය වර්ධනය කළේය. එම තත්ත්වය රටේ ආර්ථික හා දේශපාලන අර්බුද ඇති කිරීමට ද ඉවහල් විය. එහෙත් මෙම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරමින් ජනාධිපතිවරයාගේ බලතල විශාල ප්‍රමාණයකින් අඩුකර තිබේ. එසේ වුවත් අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයාට තවදුරටත් ඇති බලතල නිරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ එම ධුරයෙහි බලය දැඩි ලෙස අඩුකර නැති බවය.

මෙහිදී අප තේරුම්ගත යුතු කාරණයක් ද තිබේ. එනම්, මෙවැනි සංශෝධනයකින් මීට වඩා ඉදිරියට යාමේ හැකියාවක් නැති බවය. මා ඉහතදීද පෙන්වා දුන් පරිදි, මෙම සංශෝධනය සම්මත කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් මගපෙන්වූ සීමාව ඇතුළතය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අදාළ සීමාවලට යටත්ව මෙය ඉදිරියට ගෙන යෑමට සිදු වේ. එහිදී සිදුවන දෙය නම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අභිලාෂවලට මුල් තැන දෙමින් මෙම සංශෝධනය සම්මත වීමය. එබැවින් මේ සංශෝධනයෙන් සිදු වූයේ ජනතාව ඉල්ලා සිටින දෙයට වඩා මන්ත්‍රීවරුන්ට කැමති දේ ඉස්මතු වීමය.

 

සටහන - උපුල් වික්‍රමසිංහ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අතුල විතානවසම්



අදහස් (2)

විසි එකේ හොඳ නරක

sisira Thursday, 27 October 2022 05:47 PM

බොහෝ දෙනෙකුගේ මතයක් වනුයේ යම් හෙයකින් වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් පුද්ගලයකු දිවුරුම් ලබාදී තිබෙනුයේ එමරට යම් හෙයකින් යුද්ධයට ගියහොත් ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හටද යුද්ධයකට යාමට / කැඳවීමක් සිදුවිය හැකි බවකි. එය එසේ සිදුවුවහොත් ඇමෙරිකානු පුරවැසි භාවය හිමි බැසිල් හෝ ගෝඨාභයට ඇමෙරිකාව ලෝකයේ වෙනත් රටවල් සමග යුද්ධය ගිය අවස්ථාවන්හිදී කැඳවීම් කර නොතිබිණි. ලංකාවේ පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයින් රටට කළ සේවය කුමක්ද? ඔවුන් කිසිඳු දුෂණ ක්‍රියාවකට සම්බන්ද නොමැතිද? ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් දුෂණ කර ඇත්නම් අධිකරණය ඉදිරිපත් නොකරන්නේ මන්ද? ලංකාවේ සිටිනා දේශපාලකයින් මේ වනවිට ලංකාව වවුලන් කා දමනලද කජු පුහුලමක් බවට පත්කර තිබේ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලද බොහෝ පිරිසක් ලෝකයේ වෙනත් රටවල සේවය කරනු ලබන්නේ ලංකාවේ ඔවුන්ට සුදුසු අවස්ථාවන් නොමැති නිසා සහ පවතින දේශපාලනයේ ක්‍රියාකාරකම් මිස උපන් රට ගැන කලකිරිම නිසා නොවේ. පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු හැර රටේ පුරවැසියන් කිසිඳු අවස්ථාවක ලංකාවේ උපන් වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයින් පිළිබඳ කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් කර නොමැත...

:       3       1

Vithana Saturday, 29 October 2022 07:13 AM

21 වෙනි සංශෝධනයට මන්ත්‍රීලා කැමතියි කියන කතාව නම් විහිළුවක්. මෙහි වැදගත්කම තියෙන්නේ රටේ ජනතාවටයි. දැවෙන ප්‍රශ්ණ ඇති වෙලා තියෙන්නෙත් මින් පෙර හිටපු ජනාධිපතිලාගේ ඒකාධිපති මෝඩ තීරණ නිසා. එහෙම තීරණ ගන්න තියෙන බලය නැති කිරීම කොච්චර වැදගත් දෙයක්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site