කාංචන කුමාර ආරියදාස
සීත සෘතුවෙහි අවසානය සනිටුහන් කරමින් ඇමෙරිකාවට වසන්තයේ හිරු උදාවන්නට විය. ඒ 1886 වසරේ මැයි මස මුල් දිනයයි. කාර්මික විප්ලවයෙහි ප්‍රතිඵල ලෙසින් ඇරඹී ඇමෙරිකාව පුරා ඉදිවෙමින් තිබූ කර්මාන්ත ශාලා බොහෝමයකගේ උදෑසනින්ම ඇන හිටින්නට වූයේ සුළු සේවකයනගේ සුළු වැඩ වර්ජනයක් නිසාවෙනි. හාම්පුතුන්ට එය හිසරදයක් නොවූයේ තණ බිම් මත පතිතව තිබූ තුහින කෙමෙන් කෙමෙන් දියවන්ට පටන් ගන්නා තුරු පමණි. ඔරලෝසුව උදෑසන නවයේ කණිසම පසුකරන විට චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රය අසලට එක්ව සිටි කර්මාන්ත ශාලා සුළු සේවකයිනගේ පිරිස 10,000කටත් අධික වූහ.
එකම ඉල්ලීමකි. ඉල්ලීම් ක්‍රම බොහෝමයකි. බහුතරයක් දෙනා අත් ඔසවාගෙන කෑ මොර දෙද්දී තවත් පිරිසක් ඉල්ලීම් ලියූ විසල් පුවරු ඔසවා ගනිමෙන් ප්‍රදර්ශනයෙහි යෙදුනහ. ''සේවා මුරය පැය අටකට සීමා කරනු'' එහි ලියා තිබුණි. හාම්පුතුන්ගේ තාඩන පීඩන යටතේ ගෙවූ වහල් කම්කරු දිවිය තවදුරටත් ඉවසා දරා සීටීම ඇමෙරිකානු කම්කරුවෝ ප්‍රතික්ෂේප කොට තිබුණි. මොහොතින් මොහොත හේමාකට් චතුරස්‍රය අසලට එක්වන පිරිස වැඩි වූවා මිස විප්ලවය හැරගිය කෙනකු පිළිබඳව නම් අසන්නට නොලැබුණි.
මැයි මස තෙවන දින උදාවිය. කුළුඳුල් හිරු කිරණ චිකාගෝ නුවර පුබුදු වන්නට පැමිණියද කර්මාන්ත ශාලා හිමිවරුන් වූයේ නිදි නොමැති රාත්‍රියක අසුන්දර පහස විඳිමිනි. වැඩ කටයුතු සියල්ල පාහේ ඇනහිටිමින් පවතිද්දී සුළු සේවකයන් 65,000කට අධික පිරිසක් තම අඛණ්ඩ විප්ලවයෙහි ජයග්‍රාහී තෙවන දිනය සමරමින් සිටියහ. හාම්පුතුන් නීචයෝ යැයි සනාථ කිරීමට තවත් කුමන උපහැරණයන්ද? ගිනි මද්දහනය උදාවත්ම චතුරස්‍රය අසලට පැමිණියේ කොහෙත් කොතනත් හාම්පුතුනගේ කටු කන බල්ලන් වූ පොලිස් කාරයෝය.
කම්කරුවනුත් පොලිසියත් අතර බහින්බස්වීමක් ඇතිවීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ කම්කරුවන් 4 දෙනකුට දිවි අහිමි කල් ගැටුමක ආරම්භයයි. විප්ලවයෙහි හතර වන දින උදාවන විට කම්කරුවන්ද 'ඕනෑම දෙයකට' මෙන් සූදානම්ව සිටියහ. එදිනද ගැටුම් උත්සන්න විය. බෝම්බ ප්‍රහාරයක් හමුවේ පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට දිවි අහිමි කළ දෙවන ගැටුම අවසානයේදී මියගිය කම්කරුවන් ගණන කෙතෙක් දැයි අදටද කවුරුත් ගණන් බලා නැත. හේමාකට් චතුරස්‍ර භූමිය ලෙයින් තෙත්ව යද්දී ඉරී සුණු විසුණුව ගිය පුවරු වෙනුවට විප්ලවකාරයින් අත වූයේ මියගිය සහෝදරයන්ගේ ලෙයින් තෙත්ව වර්ණ ගැන්වුණු ඉරුණු කමීස පමණි.
විප්ලවය තිඹිරිගෙයිම මරා දැමෙද්දී ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන විප්ලව නායකයින් පොලිස් අත් අඩංගුවට පත්වූහ. පසුව ඔවුන්ට එරෙහිව පැවරුණු නඩු විභාග කොට ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම කෙරුණු අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් යන නායකයින් දෙදෙනාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූහ. ඒ අතරතුර ඉතිරි විප්ලවීය නායකයින් පස්දෙනා එල්ලා මරන්නට තීරණය කෙරුණේ වැඩවසම් නීතියෙහි සාහසික භාවය මනාව පිළිබිඹු කරමිනි.
සමාප්ත වූ විප්ලවයට ගරු බුහුමන් ලැබූනේද තුන් වැනි පන්තියේ ජනතාවගෙන් පමණක් වුවද ඒ වන විටත්, එතුවක් කල් හාම්පුතුන්ගේ කෘරත්වය හමුවේ පෑගි සිටි කම්කරුවන්ගේ කොඳු නාරටි විප්ලීවීය අත් දැකීමෙහි ආභාෂයෙන් සෘජුව ශක්තිමත් වී හමාරය. එම ශක්තිය හමුවේ විප්ලවයෙහි තෙවන වසර සමරන 1889 වර්ෂයේ ජුනි මාසයේ, 'ෆෙඩ්රික් එංගල්ස්' ගේ නායකත්වය හමුවේ පැරීසියේදී පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සෑම වසරකම මැයි මස පළමු දින 'හේමාකට්' විරුවන් සැමරීමට තීරණය කෙරිණි.
ඉදින් පසු වර්ෂයේ එනම් 1890දී පංශ නියෝජිත 'ලැව්ටනි' විසින් ජාත්‍යන්තර කම්කරු සමුවවේදී යෝජනා කළ 'ලෝක කම්කරු දිනය'ද සමුළු සාමාජිකයන් අතින් ඒකමතිකව සම්මත කොට ගත්තේ මැයි මස පළමු දිනට බැවින් ලොව ප්‍රථම කම්කරු දිනය එම වසරෙහිදීම පැවැත්විණි. නමුදු සිරිලකට මෙම ජාත්‍යන්තර රැල්ල ආගමනය වූයේ 1900න්ද පසුවය. ඒ අනුව අප රට තුල පැවති ප්‍රථම කම්කරු දින සැමරුම 1927 වර්ෂයේ දී එවකට කම්කරු නායකයකුව සිටි ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැළියක් ද සහිතව පැවැත්විණි. තවද රැළිය අවසානයේ කම්කරුවනට ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් පැවැත් වීමත් එම උත්සවය මුළු මනින්ම මත්පැනින් තොර වීමත් සුවිශේෂී කරුණකි.
ඒ ආභාෂයෙන් ඇරඹි ලාංකීය කම්කරු ව්‍යාපාරයද 1947 පමණ විට ඉතා බල සම්පන්න වූ අතර වැඩ වර්ජන සහ උද්ගෝෂණ හමුවේ නෙරපූ කම්කරු නායකයින් බවට පත් වූහ. මැයි දිනයට අනන්‍ය වූ රතු වර්ණයට නිල් වර්ණය මුසු වූ ඉතිහාසයක්ද අප සතුව ඇත. ඒ 1956 දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිලිප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රථම කම්කරු දිනයයි. පක්ෂ දෙකෙහිම වර්ණයන් කැටිව පැවැත්වුණු මෙම කම්කරු දිනයත් සමඟ මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය. ඒ එවකට කම්කරු ඇමතිව සිටි ටී. බී. ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
නමුදු ඊට ප්‍රථම 1940 වර්ෂයේදී විජයානන්ද දහනායක මහතා ගාල්ල නගර සභාවෙහි නගරාධිපතිව සිටියදී, මැයි පළමු දින ගාල්ල නගර සභාව තුළ නගර සභා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරමින් පැවැත් වූ කම්කරු දිනය වර්තමාන නිවාඩු දිනයෙහි පූර්වතම ආදර්ශය බැව්ද නිසැකවම කිව යුතුය. 1933 වර්ෂයේදී පැවැත්වූ කම්කරු දිනය ඉතිහාස ගත වූයේ මැයි පෙළපාලියක් ගමන් කළ සිරිලක ප්‍රථම කම්කරු දින සැමරුම ලෙසිනි. එය ගුණසිංහපුර ප්‍රයිඩ් පිටියෙන් ආරම්භ ව ගාලු මුවදොර පිටියෙන් අවසන් වූ තරමක් කුඩා පාගමනක් විය.
කෙසේ වුවද අදටත් කැනඩාවෙහි සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි කම්කරු දිනය සමරුනුයේ සැප්තැම්බර් මස මුල්ම සඳුදා දිනයෙහි දීය. එය යුරොපීය සහ ඇමරිකානු රටවල් තුළ ගිම්හාන සෘතුවෙහි අවසානය සනිටුහන් කිරීමක් ලෙසින්ද සලකනු ලබයි. මෙලෙසින් වන කම්කරු දිනයෙහි ජාත්‍යන්තර 130වැනි කම්කරු දිනයත් අපගේ ම වූ 88 වැනි කම්කරු දිනයත් සමරන එළඹෙන සති අන්තයේ එදා 'හේමාකට්' විප්ලවයේ ලේ හැලූ විරුවන් හටද නිසි ගරු බුහුමන දැක්වනුයේ නම් එය නිතැතින්ම ආදර්ශවත් අවංකත්වයක් වනු නිසැකය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හේමාකට් විරුවනි මැයි දිනය සමරන්න වැළළුන තැනින් නැඟිටින්න