“ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බයයි” යනුවෙන් පැවසුවේ අතීතයේදීය. දැන් මිනිසා බිහිසුණු මරණීය අත්දැකීම් දෙවසරක් පුරා අත්විඳිමින් සිටියද එයින් ඉගෙන ගන්නා බවක් නොපෙනේ. දෙවසරක් තුළ පහළොස් දාහකට ආසන්න ප්‍රමාණයකගේ මළ කඳන් දැක දැක එයින් නික්මෙන අනතුර හඳුනා ගැනීමට අසමත් වේ නම් විනාශය වළක්වා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත.
කොවිඩ් පළමු රැල්ල පැමිණි අවස්ථාවේ පෙර අත්දැකීම් නොමැති වුවද රට වසා දැමුණි. එහෙයින් තත්ත්වය පාලනය කිරීම අසීරු නොවීය. රට සන්සුන් සංහිඳියාවට පත්වූ සැණින් රට විවෘත විය. අවුරුදු සමය එළැඹුණේ ඉන් අනතුරුවය. අනතුර අමතක කළ මෙරට ජනයා යළිත් කෙදිනක හෝ අලුත් අවුරුද්දක් උදා නොවෙනු ඇතැයි සිතා මෙන් අලුත් අවුරුදු සවාරි ගියහ. නියත ප්‍රතිඵලය වූයේ අලුත් අවුරුදු පොකුරක් නිර්මාණය වීමය. ඉන් අනතුරුව රටට වූ වින්නැහිය අමුතුවෙන් මතක් කර ගත යුතු නැත. රට තවමත් මේ ගෙවා දමමින් සිටින්නේ එම වන්දියම වේ.
අතීත ස්මරණය, එළැඹෙන උත්සව සමය වෙනුවෙනි. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ “බූස්ටර් එන්නත ලබා නොගෙන විනෝද සවාරි ගියහොත් මේ මාසයේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්තිවීමට සිදුවනු ඇති” බවය. එළැඹෙන උත්සව සමයේ ගමන් බිමන් යාමට පෙර කොවිඩ් මර්දන තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම අනතුරු ඇඟවීම් එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය. ඉදිරියේදී හමුවීමට නියමිත වන්නේ මරු කපොල්ලකි. මෙම මරු කපොල්ල පසුකර යාමට අප සමත් වුවහොත් එය රට ලබන අනගිතම ජයග්‍රහණය වනු ඇත. එබඳු ජයග්‍රහණයක් වෙනුවට වේදනාබර පරාජයක් රටට උරුමකර දීමේ හැකියාව ද පුරවැසියා සතුය. බුද්ධිමත් පුරවැසියා ජයග්‍රහණයේ මාවත වෙනුවට පරාජයේ මාවත තෝරා නොගනිනු ඇත.
අප ගෙවා දමමින් සිටින්නේ ඉතා අමිහිරි හා කටුක කාල පරිච්ඡේදයකි. කොවිඩ් වසංගතය අප රටට ඒමට පෙර අපගේ ජීවිතවලට අසීමිත නිදහසක් තිබිණි. එම නිදහස තුළින් අපි ජීවිතය වින්දෙමු. අපි උත්සව සාදවලට සහභාගි වීමු. දවස් ගණන් සවාරි ගියෙමු. අපට අනියත බියක් දැනුණේ නැත. එහෙත් දෙවසරක කාල පරාසය තුළ ජීවිතය විඳීම වෙනුවට විඳවීමට අපට සිදුවී තිබේ. විශේෂයෙන්ම දූ පුතුන්ගේ ජීවිතවලට අත්ව ඇති ඉරණම හමුවේ මවුපියන් මෙන්ම වැඩිහිටියන් පසුවන්නේද කම්පනයෙනි. දරුවාට ඔහුගේ ළමා ලෝකය අහිමි වී තිබේ. බිත්ති හතරකට කොටු වූ ජීවිතයක් ගෙවීමට සිදුවී තිබේ.
ඉහත පරිසරය තුළ එළැඹෙන උත්සව සමය ප්‍රීතියෙන් ගෙවා දැමීමට සැලසුම් සකස් වීම අරුමයක් නොවේ. සවාරි යාමට සූදානම් වීමද එසේමය. එහෙත් රටේ තත්ත්වය යහපත් නැත. එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් ඇතැම් පුරවැසියන් එන්නත සම්බන්ධයෙන් අනිසි බියක් දක්වන බවක් පෙනේ. බොර දියේ මාළු බාන්නෝ විවිධ වැරැදි මත සමාජගත කරමින් සිටිති. විවිධ ඇදහිලි මත පිහිටා කටයුතු කරන්නෝද එන්නතට එරෙහි වෙති. කෙසේ වෙතත් සමාජයේ සාතිශය බහුතරයක් එන්නත්කරණ මෙහෙයුමට සක්‍රීයව දායක වූහ.
සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේ එන්නත කොවිඩ් වසංගතයට පූර්ණ ආරක්ෂාවක් නොවන බවය. එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඇතැම් පිරිස්වලට කොවිඩ් වැළඳුණ බව ද වාර්තා විය. එහෙයින් එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වූයේයැයි කියා දරු පැටවුන් සමඟ සවාරි යාම නොකළ යුතුය. එය තමන් පණ මෙන් ආදරය කරන දරු පැටවුන්ගේ ජීවිත අනතුරට හෙළීමක් බව තේරුම්ගත යුතුය.
දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා තිබේ. එමෙන්ම දෛනිකව වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව විස්ස අගය ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. එමෙන්ම මතක තබාගත යුතු වඩාත් වැදගත්ම කාරණාව වන්නේ කොවිඩ් වසංගතය තුළ තනි රටකට විමුක්තියක් නැත. අපට සැනසුම් සුසුමක් හෙළිය හැකි වනු ඇත්තේ මුළු ලෝකයෙන්ම කොවිඩ් වසංගතය තුරන් වී ගියාට පසුවය. එම දිනය දිනෙන් දින ඈතට යන්නේ මිනිසුන්ගේ වැරැදි හැසිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය.
තම දරුවන්ට අවංකවම හා අසීමිතව ආදරය කරන්නේ නම් මේ මොහොතේ කළ යුතු වන්නේ උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව ජීවත්වීමය. එසේ නොවන්නේ නම් මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කී පරිදි කොවිඩ් සුනාමියකට අපට මුහුණදීමට සිදුවනු ඇත. එබඳු පරිසරයක අප කිසිවකුගේ ජීවිතවල පැවැත්ම සුරක්ෂිත නොවනු ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනතුර නිමාවී නොමැත! පරෙස්සමෙන් වැඩ කරමු