X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


අයියෝ සර්.. අයියෝ සර් කියලා මම විජය සර්ව උස්සගන්න හැදුවා

20_SLMA_P14     

ගඟ දිය රැලි
ඔබ නාඩන්
කිසි දවසේ
ගඟ දිය සුලි මැද
උණුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා සැඟවේ පායා


ජනප්‍රිය කලාකරුවකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 28 වැනි ගුණ සමරුව පසුගිය 16 වැනිදාට යෙදී තිබිණි. කලාකරුවකු වශයෙන් ගඟ අද්දර චිත්‍රපටයේ රඟපාමින් ගයන ලද ගීතයක කොටසක් මෙහි ප්‍රථමයෙන් සටහන් කළෙමි. කලාකරුවකු හා දේශපාලකයකු වූ මේ අපූරු මිනිසා ඝාතනය කරන ලද්දේ නාඳුනන තුවක්කුකරුවකු විසිනි. ඔහුට වෙඩි තැබූ මොහොත ඉතා බිහිසුණුය.


මානව හිතවාදී අපූරු මිනිසකු වූ විජය කුමාරතුංග ඝාතනය කරනු ලැබූ අවස්ථාව වන විටත් ඔහු අසල සිටි එදිරි නම් වූ හිතවතා සොයා අප ගියේ ඒ බිහිසුණු මොහොතේ විජය ඝාතනය කෙරුණු අන්දම අසා දැන ගැනීම පිණිසය.


ඔහු නමින් විමලරත්න එදිරිතිලක නම් විය. විජයගේ රියැදුරාය. ඒ වනවිට ඔහු වයස අවුරුදු 21ක කොලු ගැටයෙකි.

20-Page-22-M-01
විජය කුමාරතුංගයන් සිනමාවෙන් දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවනු ලබන අවස්ථාව වන විට ඔහු වටා අතිවිශාල පිරිසක් රොක්වී සිටියහ. මුදලට වාසියට නොව විජයගේ අපූරු මානව හිතවාදී ගතිගුණවලට ඔහුගේ වැඩ පිළිවෙළට හදවතින්ම එකඟ වූ පිරිසකි. ඇති නැති භේදයකින් තොරව සිටි මේ පිරිස අතර එදිරි ද සිටියේය. දේශපාලන කටයුතුවල දී විජය කුමාරතුංගයන් වටා සිටි මිනිස් පවුර අතර එදිරි ද වූයේය. විජයගේ රියදුරා වූ එදිරි ඔහුට සමීප හිතවතෙක් විය. විශ්වාස වන්තයෙක් විය. එදිරි සිය නායකයාට දැඩි ගෞරවයක් භක්තියක් දැක්වීය. ඒ නිසාම සර් අදටත් නැතැයි කියල මට හිතෙන්නෙ නැහැ. කඳුළු පිරි දෙනෙතින් ඔහු ප්‍රකාශ කළේය.


එදිරි විජයගේ රියදුරා බවට පත්වූයේ ද අහම්බෙනි. එදිරිගේ සොහොයුරා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයාව සිටියේය. ඔහු හැඳින්වූයේ ලොකු එදිරි නමිනි. පොඩි එදිරි නමින් හැඳින්වූ ඔහු දේශපාලන කටයුතුවලට උදව් කළ අතර චන්ද්‍රිකාගේ වාහනයේ රියදුරාද වූයේය. ලොකු එදිරිත් පොඩි එදිරිත් චන්ද්‍රිකා සෙවනේ සිටි අතර විජය කුමාරතුංග මහතා ද දැන හැඳිනගෙන සිටියේය.


එදිරි විජයගේ රියදුරා වූයේ අහම්බෙනි. මහියංගනය අතුරු මැතිවරණයක් පැවැති කාලයේ චන්ද්‍රිකා විජය යුවල දේශපාලන කටයුතුවල ප්‍රබල ලෙස යෙදී සිටියහ. කොළඹත්, මහියංගනයත් අතර නිතර එහා මෙහා ගමන් කළහ.


මහියංගන අතුරු මැතිවරණය සඳහා විජය කල් ඇතිව ගොස් සිටියේය. චන්ද්‍රිකා එදිරි සමග මහියංගනයට ගියේ පසුවදාය. ගමන් මහන්සිය නිසා එදිරිට විවේක ගන්නා ලෙස දැන්වූ චන්ද්‍රිකා වෙනත් රියදුරකු සමග බැහැරට ගියාය. පැය කීපයක් නිදාගත් එදිරි කාමරයෙන් එළියට පැමිණ අනිත් අය හා කතා බහ කරමින් සිටියේය. ඒ අවස්ථාවේ එතැනට පැමිණි විජය එදිරි මොනවා හරි විශේෂ වැඩක ඉන්නවාද? යැයි විමසුවේය.නැහැ සර්. මම මැඩම් එක්ක ආවෙ. මට ටිකක් රෙස්ට් කරන්න කියල. මැඩම් එළියට ගියා, එදිරි කීවේය.


“ඔව් මම දන්නවා එදිරිට මහන්සි නැත්නම් මාත් එක්ක කොළඹ ගිහිල්ල එන්න පුළුවන්ද?”


‘පුළුවන් සර් මම එන්නම්‘එදිරි ප්‍රථම වතාවට විජය සමග කොළඹට ආවේය. පසුව දා යළි මහියංගනයට ගියේය.


“එදිරිට බැරිද මගේ වාහනය එළවන්න. මට ෂූටිං යන්නත් තියෙනවා. දේශපාලන වැඩත් තියෙනවා.” පසු දා විජය කීවේය.“අපෝ පුළුවන් සර්” එදිරිගේ පිළිතුර විය.

20-Page-22-M-04

දරු සෙනෙහස

 


එදා සිට එදිරි විජයගේ රියදුරා වශයෙන් සේවය කළේය. විජයගේ සහායකයන් වූ ප්‍රේමතිලක, අමරසිරි ජයසිංහ (පොඩි අමරේ), වෝල්ටර් ඩයස් ආදී සියලුදෙනා ද මේ පත් කිරීමට බෙහෙවින් සතුටුවී එකඟතාවය ද දැක්වූහ.


“මහත්තයට එදිරිව අල්ලල ගිහිල්ලා. අපිත් සපෝට් එක දෙන්නම්. හැබැයි පුතෝ සිගරැට් බීල එහෙම අහුවෙන්න එපා. මහත්තයට සිගරැට් බොනව පෙන්නන්න බැහැ.” විජයගේ හිතවත්තු කීහ.


ඉඳහිට හොරෙන් දුම්පානය කළ එදිරිට ඉබේම තහංචියක් ද පැනවිණි.


එදිරි, විජේ ළඟට සේවයට ආවේ ඒ ආකාරයටය. එදා සිට ඝාතනය වන අවස්ථාව දක්වාම එදිරි විජයගේ රියැදුරු විය.


ඒවනවිට භීෂණ සමය උදාවී තිබිණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ ආණ්ඩුව නොනවතින අරගලයක පැටලී සිටියහ. විජය කුමාරතුංග සිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එරෙහි ස්ථාවරයකය.


විජය කුමාරතුංගයන්ට ජීවිත තර්ජන ඇති බව රහස් පොලිසියෙන් දැනුම් දී තිබිණි. පොලිසිය පැමිණ මේ බව දැනුම්දුන් පසු ආරක්ෂාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව එදිරි ඇතුළු සියලු සගයන්ට තදබල අවශ්‍යතාවක් තිබුණත් විජය එය එකහෙලාම ප්‍රතික්ෂේප කළේය.


මේ පිළිබඳව කතා කිරීමට එදිරි හොඳම අවස්ථාවක් ලබා ගත්තේය. ඒ විජය සමග ගමන් බිමන් යන අවස්ථාවන්ය.


සර්... අපි ආරක්ෂාවට කවුරු හරි හොඳ දෙතුන් දෙනෙක් දා ගත්තොත් හොඳයි නේද?


“ඕනැ නෑ.. අයිසෙ කවුද මාව මරන්න ඉන්නෙ. අනික මම මරල ඇති වැඩක් තියෙනවද?” විජය කීවේ සැහැල්ලුවෙනි.


“නැහැ සර්.. අපි දන්න අය කීපදෙනෙක් දා ගමුද?”

 

20-Page-22-M-05

විජය චන්ද්‍රිකා

 


“පිස්සුද, මම මඟුල් ගෙදරකට ගියා කියන්න. මම හොඳට කාල බීල එනවා. මා ළඟ ඉන්න මිනිස්සුන්ට වතුරවත් නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක්ද? මට ඒක කරන්න බැහැ. ආරක්ෂකයො ඕනැ නැහැ. නිකම් මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට වැඩ කරන්න මම කැමැති නැහැ.” විජයගේ පිළිතුර විය.


විජය කුමාරතුංගයන්ට ආරක්ෂාව සැපයීමේ කතාව එතැනින්ම නිමාවට පත්විය. ආරක්ෂක භටයන් යොදා ගන්නවාට කිසිසේත් එකඟ කරගත නොහැකි විය.


“අපේ සර්ට කීවට හරියන්නෙ නෑ. අපිවත් අවධානයෙන් ඉන්නවා කියලා. මේ වගේ සීදේවි මනුස්සයෙක් මරාදාන්න කාට ද පුළුවන්.” මම එහෙම හිතලා වෙනදාටත් වඩා විමසිල්ලෙන් වාහනය එලෙව්වා.


වාහනයේ යන අතරතුර දී යතුරුපැදිකරුවන් පසුපසින් එනවා යැයි විමසිලිමත් විය. වෙනත් වාහන සම සමව ධාවනය වන අවස්ථා අවම කර ගැනීමට උත්සාහ කළේය. රියදුරා ලෙසින් තමන්ගේ තරමට ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් එදිරි එදා සිට වාහනය පැදවූයේය. නමුත් ඔහුට ප්‍රශ්නයක් වූයේ ඇතැම් අවස්ථාවල විජය කුමාරතුංග තනිව වාහනය පදවාගෙන යාමයි. නිවස අසල ගමන් බිමන්වලට ඔහු රියදුරා සහභාගි කරගත්තේ නැත.


“සර්, පොල්හේන්ගොඩ නිවසේ සිටින විට සාමාන්‍ය වශයෙන් උදේ 5.00 ට පමණ අවදි වෙනවා. දරු දෙදෙනා සමග බිරිඳ චන්ද්‍රිකා සමග උදේ 6.30 පමණ වනතුරු උඩුමහලේ රැඳී ඉන්න අතරතුර දී විජය දරුවන් හිනා ගස්වමින් විහිළු තහළු කරනවා. වාහනය සෝදන අතරතුරදීත් මට ඇහෙනවා.


අපේ සර් උඩුමහලේ සිට පහළට බසින්නේ බොහෝ විට දරු දෙදෙනා දෙපැත්තට වඩාගෙනය. ඒ වනවිට දියණිය යශෝධරා කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. පුතු විමුක්ති ඉතා කුඩායි. අපේ සර්ගෙ මේ දිනචරියාව අපිට ඉතා හුරුයි.” එදිරි කියයි.


දිනය 1988 පෙබරවාරි 16 වැනිදාය.

 

20-Page-22-M-03

විජයගේ දේහය අසල වැළපෙන චන්ද්‍රිකා

 


ඒ තීරණාත්මක දවස උදාවී තිබිණි. යක්ෂයාගේ වරම ගත් භීෂකයෝ විජය කුමාරතුංග නමැති සොඳුරු මිනිසා තම වසඟයට ගැනීම පිණිස මෙහෙයුමක් අරඹා සිටියහ. එහෙත් විජය ඒවගක් දැන සිටියේ නැත. කළු පැහැති කලිසමකින් සහ කොටු සහිත කමිසයකින් සැරසී සිටි විජය දරු දෙදෙනාත් වඩාගෙන උඩුමහලේ සිට පහළට ආවේය.


පිය ගැටපෙළත් ප්‍රධාන දොරටුවත් අසල දී දරුවන් බිම තැබූ විජය සර් දියණියගේ අතින් අල්ලාගෙන වාහනය අසලට ආවා. මම ඒ වනවිට වාහනය සෝදා පිරිසිදු කර දොරටුව ඉදිරිපිට අඹගහ යට ගාල් කර තිබුණේ.


“එදිරි මම බේබිව බස්සල ෆීලික්ස්ගෙ ගෙදර ගිහිල්ල එයාගෙ වාහනේ ඉල්ලගෙන ආනමඩුවටත් ගිහිල්ල තමයි එන්නෙ. එදිරි ඩබල් කැබ් එකෙන් කොටහේනට ගිහිල්ලා එතැන කඩදාසි රීල් වගයක් ඇති ඒකත් අරගෙන ආපසු ගෙදර එන්න.”


ඒ විජය අවසන් වරට කතා කළ වචන විය.


තම ස්වාමියා මේ කතා කරන්නේ අවසන් වචන ටික යැයි එදිරිට නිකමටවත් හිතුණේ නැත. වෙනදත් සතියේ දිනවල දියණිය පාසලට බස්සවා ඒ එන අතරතුර තලකොටුවේ පිහිටි සිය මව පදිංචිවී සිටි ගෙදරට ගොස් මවගේ දුක සැප බලා වචන කීපයක් කතා කර ඒම ඔහුගේ දින චරියාවේ එක් අංගයක්වී තිබිණ.


කොළඹ සිටින විට අනිවාර්යයෙන්ම කෙරෙන මේ වැඩපිළිවෙලේ අමුත්තක් ද නොවීය. ඒ දිනය මේ තරම් අවාසනාවන්ත ලෙසට උදෑසන ආරම්භ වන බවට කිසිදු අසුභ ලකුණකින්වත් කියා පෑවේ නැත.


“පැවරූ රාජකාරිය ඉටු කළ මම දහවල් එකොළහ පමණ වන විට ඇවිත් නිවස පිටුපස පිහිටි කාමරයට වී සිටියා. ඒ වනවිට චන්ද්‍රිකා මැතිනියත්, විමුක්ති පුතාත්, චන්ද්‍රිකා මැතිනියගේ රියදුරු දයාරත්නත් පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිත්, පිටරට යාමට සූදානමින් චන්ද්‍රිකා මැතිනියට බුලත් දී කථා කර යාමට පැමිණ සිටි වේයන්ගොඩ තරුණයකුත් නිවසේ සිටියා.


“චන්ද්‍රිකා මැතිනිය වේයන්ගොඩින් පැමිණි පුද්ගලයා සමග කතා කරමින් සිටියා. මම සිටියේ කාමරයේ මට වාහනයක ශබ්දයක් ඇසුනා. මහත්තයා එන්නට ඇතැයි සිතා කාමරයෙන් එළියට ඒමට සූදානම් වනවාත් සමගම රතිඤ්ඤා පුපුරන ශබ්දයක් ඇසුණා. මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. මොකද අසල නිවසක මංගල උත්සවයක් තිබුණා. මනාල ජෝඩුව පිටත්වෙනවා ඇති සිතමින් මම ගෙයි පිටුපස සිට ඉදිරිපසට ඒමට හැරෙනවාත් සමගම දයාරත්න කලබලයෙන් ඉදිරියට දුවගෙන ආවා.


“මහත්තයට වෙඩි තිබ්බා. මහත්තයට වෙඩි තිබ්බා.” දයාරත්න කෑගසමින් නිවස පිටුපසට දිව යද්දී එදිරි නිවස ඉදිරිපිටට දිව ආවේය.
එය විජයගේ සමීපතමයන්ට දැකීමට අපහසු දසුනක් විය. රටම ආදරය කළ කලාකරුවා නිවස ඉදිරිපස මිදුලේ ඇලයකට හැරී බිම වැටී සිටියේය. ඔහුගේ පපුවෙන් හා මුහුණෙන් ලේ වැගිරෙමින් තිබිණි.


“අයියෝ සර්... අයියෝ සර්” කෑගසමින් පැමිණ මම විජය සර් ඔසවා ගත්තා. මට එකපාරටම මතක් වූයේ රෝහලයි. මට තනිවම සර් උස්ස ගන්න බෑ. මැඩම් වාහනේ යතුර වාහනේ යතුර මම විජය සර්ව අල්ලා ගෙනම කෑගැසුවා.


ඒ වන විට චන්ද්‍රිකා මැතිනිය දරුවන් දෙදෙනා සමග කෑගසමින් නිවස ඇතුළේය. එදිරි නැගිට ගෙට දුවගොස් වාහනයේ යතුර රැගෙන විදුලි වේගයෙන් ආපසු පැමිණියේය. පෝස්ටර් ඇඳීමට පැමිණ සිටි රත්ගම උපාලිගේ බඩටත් වෙඩි වැදී තිබිණි. විජයගේ සිරුර ඔසවා ගන්නට එදිරි උදව් ඉල්ලා කෑ ගැසුවේය.


ඒ වෙනකොට පිටරට යාමට පෙර චන්ද්‍රිකා මැඩම්ට බුලත්දී කතා කිරීමට පැමිණ සිටි කෙනා දුවගෙන ආවා. මම එයාගේ සහායෙන් විජය සර් වාහනයේ පිටුපස අසුනට දමා ගත්තා. උදව් කළ පුද්ගලයාටත් නගින්න කීවා. වෙඩි වැදී සිටි උපාලිත් ඉදිරිපස අසුනට දමාගෙන මහ රෝහල කරා පැදෙව්වා.” එදිරි කියයි.


අවාසනාවකට ඇල්විටිගල මාර්ගය වාහන වලින් පිරී විශාල වාහන තදබදයකි. වාහනයේ නළාව එකදිගට හැඬෙව්වත් මාර්ගයේ වාහන ධාවනය වූයේ සෙමිනි. තමන් ඉදිරියට පොලිස් යතුරුපැදියක් එමින් තිබෙනු දුටු එදිරි වාහනයෙන් හිස එළියට දමා උදව් කරන්න.. උදව් කරන්න විජය කුමාරතුංග මහත්තයාට වෙඩි වැදිලා, ඉස්පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න.” එදිරි කෑ ගැසුවේය. පොලිස් යතුරුපැදිය නොනවත්වා ඉදිරියට ගියේය.
පවතින මාර්ග තදබදයට තව පැයකටවත් රෝහලට යා නොහැකිය. එදිරි පිටුපස බැලීය ලේ පෙරෙමින් විජය පිටුපස අසුනේ වැතිරී සිටී. ඉක්මනට රෝහලට ගියොත් මහත්තය බේරගන්න පුළුවන්.


ඉක්මනට යමු ඉක්මනට යමු අමාරු ලෙඩෙක් ගෙනියන්නෙ. මම හිස එළියට දමාගෙන කෑගැසුවත් වැඩක් වුණේ නෑ. දෙවියනේ දැන් මොනව කරන්නද? මට මහා බියකරු බවක් දැනුණා. ඒ සමගම පිටුපසින් පැමිණි පොලිස් බයිසිකලය වාහනය ඉදිරියට අවුත් නළාව හඬවමින් ඉදිරියෙන් යන වාහන ඉවත් කරමින් සහාය දක්වන්න පටන් ගත්තා.”


වාහනය කෙතරම් වේගයකින් ධාවනය වූවාදැයි එදිරිගේ මතකයේ නැත. මහ රෝහලේ හදිසි අනතුරු අංශයට රිය පදවාගෙන ආ එදිරි හෙදියන්ට හා කාර්ය මණ්ඩලයට කෑ ගසා කතා කළේය.


“විජය කුමාරතුංග මහත්තයට වෙඩි වැදිලා, ඉක්මනට මොනව හරි කරන්න.” ඒ සමගම විජය ඔසවා ට්‍රොලියක දමාගත් රෝහල් සේවකයෝ ඔහු ඇතුළට ගෙන ගියහ.


“වැඩක් නැහැ... පරක්කු වැඩියි.. කවුදෝ කියනු ඇසුණි.


එදිරි කෑ ගසන්නට වූයේය. මහත්තය කොහොම හරි බේරල දෙන්න. ඔහු වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් බැගෑපත් වූයේය.


කනගාටුයි දරුවා.. දැන් ප්‍රමාද වැඩියි.. වෛද්‍යවරයෙක් එදිරිගේ පිටට තට්ටු කරමින් කීවේය.


නැහැ.. වෙන්න බැහැ. අපේ මහත්තයට මොකවත් වෙලා නැහැ.. එදිරි කෑගසමින් යළි ට්‍රොලිය වෙතට දිව ගියේය.


ඒ වනවිට විජයගේ සිරුර මුළුමනින්ම සුදු රෙද්දකින් වසා තිබිණි. එම සුදු රෙද්දට රතු පැහැයෙන් ලේ උරා ගනිමින් තිබිණි. සුදු රෙද්ද ඉවත් කළ එදිරි තම ස්වාමියාගේ මුහුණ බැලීය. මුහුණක් නැත. එකම ලේ විලකි.අනේ බුදු සර්... එදිරිට මතක එපමණයි.


සමහරවිට මහත්තයට වෙඩි වදිනකොටම ජීවිතය අහිමි වෙන්න ඇති. මහත්තයගෙ පපුවට වෙඩි තියල. ඊට පස්සෙ ටී 56 තුවක්කුවකින් මූණට වෙඩි තියල. යතුරුපැදියකින් ආපු දෙන්නෙක්ගෙන් පිටුපස්සෙ හිටිය පුද්ගලයා තමයි වෙඩි තියල තියෙන්නෙ. මහත්තයගෙ ලස්සන මූණටමයි වෙඩි තියල තියෙන්නෙ.
ඒ වනවිට විජයගේ මාමා කෙනෙකු වූ දොස්තර කාලෝ ෆොන්සේකා මහතා රෝහලට පැමිණියේය. චන්ද්‍රිකා මැතිනියත් ඒ එක්කම රෝහලට පැමිණියාය. ක්‍රමයෙන් එක්කෙනා දෙන්නා බැගින් දහස් ගණනක පිරිසකගෙන් රෝහල පිරී ගියේය. ඒ අසල බංකුවක වාඩිගත් එදිරි යම් වෙලාවක් අසිහියෙන් බලාගත් අතේ බලාගෙන සිටියේය.


මිනිස්සුන්ට මේ තරම් ආදරය කළ මිනිසෙක් මරා දැම්මේ ඇයි? රෝහලේ දී ඇතිවූ සිතිවිල්ල අදටත් එදිරිගෙන් ඉවත්වී නැත.


දේශපාලනය මුදල් ඉපයීම කරගෙන සිටින මේ සමාජයේ විජය සතුව මුදල් නොතිබූ බව එදිරි කියයි.


සල්ලියක් ලැබුණොත් ඒකත් කාට හරි දෙනවා. ඒකත් දෙන්නෙ, ගන්න පුද්ගලයගෙ ආත්ම ගරුත්වයට හානියක් නොවෙන්න. ඔහුට පැත්තකට කතා කරල අනිත් අයට හොරෙන් මිට මොලවලා සල්ලි දෙන්නෙ.


කවදාවත් තරහ වෙලා ඉන්නව දැකල නැහැ. හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නෙ.


කිසිදු පුද්ගලයකුට හිරිහැරයක්, පීඩාවක් සිදු නොකරන ඔහු තමන්ගේ සේවකයන් අතින් වුවත් නොදැනුවත්ව හෝ සිදුවන පීඩාවක් දරාගෙන සිටියේ නැත. ඒ සඳහා එදිරි ලැබූ අත්දැකීමක් ප්‍රකාශ කළේය.


මම දවසක් සර් එක්ක යද්දි වැස්ස තිබුණා. පාසල් ඇරිල ගැහැණු ළමයි ටිකක් පාරේ ගමන් කළා. වාහනය වතුර වළකට වැටුණා. ගෑණු ළමයකුගෙ ඇඳුමට වතුර වීසි වුණා.


“මොකක්ද එදිරි කළේ. කල්පනාවෙන් වාහනය එලවන්න. අර ගෑණු ළමයට තියෙන්නෙ එකම ගවුම නම් හෙට ඉස්කෝලෙ ඇඳගෙන එන්නෙ මොකක්ද? ඔහොම කරන්න එපා” සර් කීවා.


එදිරි අද සිහිපත් කරයි.


මේ වගේ උතුම් පුරුෂයෙක් ජීවිතයේ කවදා හමුවේවිද?

m



අදහස් (0)

අයියෝ සර්.. අයියෝ සර් කියලා මම විජය සර්ව උස්සගන්න හැදුවා

මොහමඩ් Wednesday, 24 February 2016 12:33 PM

මා කුඩාකල හමුවූ මේ සුන්දර මිනිසාගේ මතකය අමරණීයයි. ඔහුගේ මරණය මේ ශාපලත් දේශය අඳුරු දිශාවකට යොමුකරවීය (නි)

:       0       0

උපුල් Friday, 04 March 2016 09:42 AM

කොහොම වුණත් විජය පව්

:       0       0

සමන්තිකා Thursday, 03 March 2016 10:14 PM

රටකට අත්‍යවශ්‍ය හොඳ උතුම් මනුස්සයෙක් නැතිවුණා. රටේ අවාසනාව (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 01 March 2016 07:59 AM

සමහරට අයට අමතක උන අපේ රටේ මෙහමත් යුගයක් තිබුනනේ. කොච්චර සුන්දර මිනිස්සු අපට නැති උනාද. කොහමත් හොද මිනිස්සුන්ව දෙවියන්වහන්සේ අප අතරේ තියන්නේ නැ කිලිටි වෙන්න ඉස්සර එයා ලගට ගන්නවා.(දේශපාලනය නැමති මඩ වලේ එරිලා ජරා වෙන්න ඉස්සර) විජය ගැනත් මට හිතෙන්නේ ඒ විදියට. (ර)

:       0       0

තුසිත Monday, 29 February 2016 12:19 PM

රටට අවශ්‍ය උදාර මිනිසෙක්. (ර)

:       0       0

සෑම් Sunday, 28 February 2016 07:09 PM

මට මේ ලොව දුටු එකම ලස්සන උතුම් මිනිසා විජයයි.(අ)

:       0       0

කමල් Thursday, 25 February 2016 05:53 AM

විජේ යනු උතුම් මිනිසෙකි ආදරණිය හදවතක් හිමිවිය.(ම)

:       0       0

සන්තුෂ් Thursday, 25 February 2016 02:49 AM

හරිම කණගාටුයි (නි)

:       0       0

රවී Thursday, 25 February 2016 01:19 AM

රතු අලි පැටියා විජයගේ ඝාතනය ගැන මොකුත් කියනවා අහලා තියනවද? විජය වගේ සුන්දර මිනිහෙක් අද වගේ කාලෙටයි අවශ්‍ය. රටට ආදරය කළ අවංක නිරහංකාර අපුරු මිනිස්සු කොච්චර නිකරුනේ මැරුවද? අද ඉන්න මුහුණු පොතේ පරම්පරාව මේවා දන්නේ නැහැ. (නි)

:       0       0

සොපි Wednesday, 24 February 2016 05:40 PM

විජය මියගිය බව අදටත් අදහන්න බැහැ නේද ? හැබෑම සුන්දර මිනිසෙක් ... (අ)

:       0       0

රොෂේන්- රියාධ් Tuesday, 23 February 2016 01:40 PM

හරිම දුකයි විජේ කුමාරතුංගයන් ගැන මේ කතාව කියවද්දී. මෙවන් සංවේදී පුද්ගලයෙක් මරා දැමීමට තරම් යක්ෂාවේශයෙන් ආවේශ වූ පුද්ගලයන් කොටසක් අපේ රටේ හිටියා කියලා හිතත්දිත් හරිම පිළිකුලක් දැනෙන්නේ. මොහුව මරා දමපු අය අද කිසියම් පක්ෂයක පුටු රත්කරමින් රටේ ජනතාව රවටමින් ඇති කියා සිතනවා. (නි)

:       0       0

රෝහණ Wednesday, 24 February 2016 10:39 AM

මේ දේවල් අද කාටවත් මතක නැහැ. අද ඔක්කොම සුදනෝ (නි)

:       0       0

කපිල Wednesday, 24 February 2016 10:35 AM

මේ වැනි උතුම් මිනිසුන් අද සිටින්නේ කීදෙනාද? (නි)

:       0       0

චන්දික Wednesday, 24 February 2016 09:35 AM

මොනතරම් සංවේදී ඛේදවාචකයක්ද ..? රටට අවශ්‍ය උදාර මිනිසෙක්.. (නි)

:       0       0

උපාලි Wednesday, 24 February 2016 09:35 AM

මොනතරම් ශ්‍රේෂ්ඨ චරිතයක්ද? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 24 February 2016 03:34 AM

ඔය අර උතුම් ලේ තියෙන අයගේ කෙරුවාව තමයි.(බ)

:       0       0

නොයෙල් Tuesday, 23 February 2016 08:25 PM

ලංකාවේ තියා පිටරටකවත් මේතරම් සුන්දර මිනිසෙකු මම කිසිදා දැක නැත (නි)

:       0       0

පෙරේරා Tuesday, 23 February 2016 08:18 PM

මේ ජරාජීර්ණ දේශපාලනය ඒ සුන්දර මිනිසාට ගැළපුනේ නැත (නි)

:       0       0

මහේෂ් Tuesday, 23 February 2016 07:01 PM

මේ උතුම් මිනිසාට කළදේට ජාති ජාතිවත් සමාවක් නැහැ. වෙන දෙයක් කියන්න බැහැ හිතේ දුක, වේදනාව, කළකිරීම, ආවේගය, කේන්තිය මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site