X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ආර්ථික අපරාධ චෝදනා

එ.ජා. මානව හිමිකම් කවුන්සිලය කතා කරන්නේ ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේ දී ආරක්ෂක හමුදා අතින් උල්ලංඝනය වූවා යැයි කියන මානව අයිතීන්  සම්බන්ධයෙන් පමණකැයි ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල පොදුවේ මතයක් පවතී.

එහෙත් තත්ත්වය ඊට වෙනස්ය. මේ වනවිට ආණ්ඩුව හා මානව හිමිකම් කවුන්සිලය අතර  ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද කවුන්සිලය පවසන්නේ යුද්ධයට සම්බන්ධ දෙපාර්ශවය අතින්ම සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවය.

අනෙක් අතට කවුන්සිල කතා කරන්නේ යුද්ධය පැවැති කාලයේ සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නොවේ. යුද්ධය අවසාන වීමෙන් පසු සිදුවූ සිදුවීම් ද සෑම වසරකම අලුතෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වේ. ඒ අනුව  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී කටුනායක, හලාවත, රතුපස්වල හා වැලිකඩ යන ස්ථානවල ඇතිවූ උද්ඝෝෂණවලදී සිදුවූ මිනිස් ඝාතනද, 2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු කරන ලද ඇතැම් අත්අඩංගුවට ගැනීම් ද කවුන්සිලයේ අවධානයට ලක්වී තිබේ.

අලුත්ම තත්ත්වය නම් මේ වනවිට ශ්‍රී ලංකාව වෙලාගෙන ඇති ආර්ථික අර්බුදයට හේතු කාරක වූ කරුණු ද මානව හිමිකම් උල්ලංඝනය කරන අපරාධ ලෙස මානව හිමිකම් කවුන්සිලය විසින් සලකනු ලැබීමයි. පසුගිය 13 වැනිදා මානව හිමිකම් පිළිබඳ එ.ජා. වැඩ බලන මහ කොමසාරිස් නද්‍ා අල් නෂිෆ් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳව මහ කොමසාරිස් වාර්තාවේ එම කරුණු හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘ආර්ථික අපරාධ’’ යනුවෙනි. එපමණක් නොව ආර්ථික අර්බුදයේ මූල් හේතුව ලෙස සැලකිය හැකි ක්‍රියාවලට වගකිව යුත්තන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි ද එම වාර්තාවේ කියවේ.

ශ්‍රී ලංකා රජය ‘‘ආර්ථික අපරාධ’’ යනුවෙන්  මහ කොමසාරිස්වරිය භාවිත කළ යෙදුමට සිය විරෝධය පළ කොට ඇත. එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු දිනයේම කවුන්සිලය ඇමතු විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා එම යෙදුම අපැහැදිලි වනවා සේම මහ කොමසාරිස්ගේ විෂය ක්ෂේත්‍රය ඉක්මවා යන්නතැයි ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ එම යෙදුම ස්ථාන හතක දක්නට ලැබේ. ‘‘2020 හා 2022 අතර කාලය තුළ සිදුවූ දූෂණ  ඇතුළු ආර්ථික අපරාධ පිළිබඳ නඩු ගණනාවක් පවත්වා ගෙනයාම නතර කරනු ලැබ ඇත’’යනුවෙන් එම යෙදුම එක් තැනෙක භාවිත කරනු ලබ ඇත.

වගවීම තහවුරු කිරීම සඳහා වැඩිදුරටත් ගත හැකි විකල්ප යන අනුමාතෘකාව යටතේ ද ‘‘දූෂණය හා බලය අවභාවිත කිරීම ඇතුළු ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වූ ජනතා ඉල්ලීමට නව පාලනය ප්‍රතිචාර දක්වනු ඇතැයි මහ කොමසාරිස්වරිය අපේක්ෂා කරයි’’ යනුවෙන් සඳහනක් දැකගත හැකිය.

 ‘‘අතීතය සහ වර්තමාන මානව හිමිකම් අපයෝජන, ආර්ථික  අපරාධ හා දූෂණ  ක්‍රියා වැනි සිද්ධි සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමේ ආවේණිකත්වය ඇතුළු මෙම අර්බුදයට දායක වූ මූලික සාධක  ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම වැදගත්ය’’ යනුවෙන් වාර්තාවේ නිගමනය ඇතුළත් කොටසේ සඳහන් වේ.

 වාර්තාවේ නිර්දේශ ඇතුළත් කොටසේ මෙසේ එක් තැනෙක සඳහන් වේ. ‘‘වගවීම හා සංහිඳියාව සම්බන්ධයෙන් වූ ප්‍රගතිය හා මානව හිමිකම් කෙරෙහි බලපා ඇති ආර්ථික අපරාධ නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග ඇතුළු කාරණා සම්බන්ධයෙන් වැඩියෙන් අධීක්ෂණය කිරීම හා වාර්තා කිරීම තවදුරටත් කරගෙන යන ලෙස කවුන්සිලය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි’’

මීටත් වඩා වැදගත් නිර්දේශයක් එම කොටසේ අවසානයට සඳහන් වේ.‘‘ මානව හිමිකම් කෙරෙහි බලපා ඇති ආර්ථික අපරාධ පිළිබඳව පරීක්ෂණ කිරීම  සඳහාත් සොරා ගන්නා ලද ධනය සොයා ගැනීම සඳහාත් මහ කොමසාරිස් කාර්යාලය  ශ්‍රී ලංකාවට සහාය විය යුතුය.’’ මෙම නිර්දේශය දැනට කොතරම් දුරට ප්‍රායෝගික ද යන ප්‍රශ්නය මෙහි දී මතුවේ. මන්දයත් දූෂිත දේශපාලනඥයන් හා නිලධාරීන් විසින් ‘‘සොරා ගන්නා  ලද’’ ධනය සොයා ගැනීමටත්  අර්බුදයට බලපෑ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් උනන්දු වේද යන්න අතිශයින්ම සැක සහිත වන හෙයිනි.

 කෙසේ වෙතත් මීට පෙර ලිපියක අප සඳහන් කළා සේම ශ්‍රී  ලංකාවේ ආර්ථික අර්බුදය යනු මෙරට දේශපාලනඥයන්ගේත් නිලධාරීන්ගේත් දූෂිත ක්‍රියාවල සෘජු ප්‍රතිඵලයකැයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ද දැඩි ස්ථාවරයක සිටින බව මෙම කරුණුවලින් පැහැදිලිව පෙනේ.

 එය කෙසේවත්  පදනමක් නැති ස්ථාවරයක් නොවේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය කෙසේවත් ස්වභාවික විපත් නිසා හෝ ලෝක ආර්ථික අවපාතයක් නිසා හෝ ඇති වූවක් නොවේ. එය පැහැදිලිවම දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පාලනය කළ දේශපාලනඥයන් හා නිලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හා ඔවුන්ගේ දූෂණවල සෘජු ප්‍රතිඵලයකි. ඊට වඩා වෙනස් කාරණයක් බලපෑවේ නම් ඒ පසුගිය වසර දෙකේ බලපෑ කොවිඩ් 19 රෝගයයි. එහෙත් ඒ කාරණය අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද පාලනය කර ගත්තේය.

 ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එ.ජා. මානව හිමිකම් කවුන්සිලය හා වෙනත් ජාත්‍යන්තර ආයතන හා සංවිධාන ශ්‍රී ලංකාවේ අර්බුදය දූෂණයේ හා වැරැදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස දුටුව ද ශ්‍රී ලංකාවට වඩා මෙවැනි ප්‍රශ්න නිසා ආර්ථික වශයෙන් පීඩා විඳින සිම්බාබ්වේ හා ලෙබනනය වැනි රටවල තත්ත්වය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම ගැන මානව හිමිකම් කවුන්සිලය කතා කරනු දකින්නට නැත.

ලෝක බැංකුවේ දත්ත අනුව  ශ්‍රී ලංකාවේ අහාර මිල උද්ධමනය මේ වනවිට පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කි. එය ලෝකයේ සිව්වැනි වැඩිම උද්ධමනයයි. සිම්බාබ්වේ, ලෙබනනය හා වෙනිසියුලාව යන රටවල පසුගිය වසරට සාපේක්ෂව එම උද්ධමනය පිළිවෙළින් සියයට 353, 240 හා 141 වශයෙන් දැක්වේ. එහෙත් ඒ  රටවල ප්‍රශ්නය ද මානව හිමිකම් ප්‍රශ්නයක් සේ  සැලකුව ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු යැයි මානව හිමිකම් කවුන්සිලය අදහස් දක්වා නැත.

ඉන් අදහස් කෙරෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳව සොයා නොබැලිය යුතු බව නොවේ. එසේම මෙම අර්බුදයට හේතුව දූෂණය හා වැරැදි කළමනාකරණය නොවේ යන්න ද නොවේ. අර්බුදයේ ප්‍රධාන වග උත්තරකරුවා දූෂණයෙත් දූෂණය ඉලක්ක කොටගත් වැරැදි ආර්ථික කළමනාකරණයත්ය යන්නෙහි සැකයක් නැත.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ද පසුගිය අඟහරුවාදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ 2019 සිට සිදුවූ ‘‘ආර්ථික  අපරාධ’’ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සන්දේශයක් භාර දුන්හ. එම තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරුන් 12 දෙනකු පත් කරන ලෙසත් එම සභාවේ පළමු රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත එම තේරීම් කාරක සභාවේ වාර්තාව භාරදිය යුතු බවත් ඔවුන් එම සන්දේශයේ සඳහන් කොට තිබිණි.

මෙහිදී ඔවුන් ‘‘ආර්ථික අපරාධ’’ යන පදය හා ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුය යන අදහස මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ වාර්තාවෙන් ගන්නට ඇති බව පෙනේ. එහෙත් රට මේ තත්ත්වයට පත්කළ පාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුය යන මතය මෑතක දී ප්‍රබල ලෙස  ඉස්මතු වූයේ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කොටගත්  මෑතක පැවැති අරගලය නමින් පොදුවේ හැඳින්වුණු ස්වාධීන ජනතා නැඟිටීමේදීය.

පාලකයන් හා නිලධාරීන් විසින් සොරා ගන්නා ලද ධනය යළි සොයා ගැනීම පිළිබඳ මතය ද මනාව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට කාන්දු වන්නට ඇත්තේ අරගලයේ ක්‍රියාකාරිකයන් වෙතින් විය යුතුය. මන්දයත් එම මතය ද අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වූ හෙයිනි. එම ඉල්ලීම අරගලයට සමාන්තරව විදේශවල ශ්‍රී ලාංකියන් පැවැත් වූ උද්ඝෝෂණවල දීද ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

සමඟි ජන බලවේගය ඉල්ලා සිටින්නේ 2019 සිට කරන ලද ආර්ථික අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුය කියාය. එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ආර්ථික අපරාධ සිදු නොවූ බවක් නම් එය අතිශයින්ම වැරැදි ප්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී ආරම්භ කරනු ලැබ මේ දක්වා සුදු අලින් ලෙස පවතින මෙගා යෝජනා ක්‍රම මෙන්ම සමඟි ජන බලවේගයේ පිරිස් ද එක්සත් ජාතික පක්ෂය වශයෙන් සිට රට පාලනය කරද්දී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව ද  වත්මන් තත්ත්වයට බලපෑ කාරණාය.

එහෙත් 2019 න් පසු වත්මන් ආණ්ඩුව විසින්  ගන්නා ලද ඇතැම් ක්‍රියා මාර්ග  මෙම අර්බුදයේ ආසන්න හේතුව මෙන්ම අසාමාන්‍ය ලෙස ආර්ථිකය කඩා වැට්ටවීමට හේතුවිය. එහෙයින් 2019න් පසු ගන්නා ලද ක්‍රියාමාර්ග වත්මන් අර්බුදයේ ප්‍රධාන වග උත්තරකරුවා වීම වැළැක්විය නොහැකිය.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මානව හිමිකම් කවුන්සිලය ද ඒ අනුව වත්මන් අර්බුදයේ හේතුව වශයෙන් දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් කරන ලද බදු කප්පාදු කිරීම්, රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හා ඩොලරයට නිත්‍ය රුපියල් වටිනාකමක් දීම වැනි මුග්ධ ක්‍රියාමාර්ග හා මහා පරිමාණ දූෂණයි.

මැතක දී ඇමෙරිකානු සෙනෙට් සභාවට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවක මෙය තවත් පටු කොට කෙළින්ම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරනු ලැබ තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තාවකාලිකව විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට  තීරණය කළ විට මෙරට ස්වෛරී බැඳුම්කර  මිලට ගත් සෙන්  කීට්හි හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාව තමන් හට ගෙවිය යුතු ණය ගෙවන ලෙස ඉල්ලා ඇමෙරිකාවේ නිව්​ෙ‌යා්ර්ක් නුවර අධිකරණයක නඩුවක් පැවරීය. එම පැමිණිල්ලේ පැමිණිලිකරුවෝ රාජපක්ෂවරුන්ගේ දූෂණ ගැන සටහන් කරති.

වර්තමාන ආර්ථික අර්බුදය නිසා රට තුළ මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනය වේය යන්න විමසා බැලිය යුතු තරම් කාරණයකි.

 පාසල්වල ළමයින් ආහාර නැතිකම නිසා ක්ලාන්ත වීමේ සිද්ධින් ගණනාවක් මේ දිනවල පුවත්වල පළ වේ. ඇතැම් ළමයින් රාත්‍රි හා පසුදින උදය ආහාර වේල් දෙකම ලබාගෙන තිබුණේ නැතැයි එම පුවත්වලින් කියවිණි. රටේ බොහෝ දෙනකු මෙසේ ආහාර වේල් එකක් හෝ දෙකක් මඟ හරින බව ලෝක ආහාර වැඩ සටහනත් යුනිසෙෆ් සංවිධානයත්  පවසයි. රටේ ළමයින් අතර මන්දපෝෂණය බරපතළ ලෙස වර්ධනය වී ඇතැයි එම සංවිධාන පවසයි.

ආර්ථික අර්බුදය නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි වී ගොස් තිබේ. තවත් පිරිසකට ලැබෙන්නේ වැටුපෙන් කොටසකි. නිවාස ඉදි කරන්නට බලා සිටි මධ්‍යම පන්තියේ බොහෝ දෙනකුගේ එම අපේක්ෂා සුන් වී ගොසිනි. වෙනකක් තබා  සනීපාරක්ෂක තුවා හිඟකම නිසාද පාසල්වලට හා විශ්වවිද්‍යාලවලට යන වයසේ ගැහැනු ළමයින් දින ගණන් නිවෙස්වලටම වී සිටින්නට සිදු වී ඇතැයි ද වාර්තා පළවේ. කොටින්ම රටේ අති බහුතරයකගේ ජීවිත අවුල් වී ගොසිනි. මේ උල්ලංඝනය වී ඇත්තේ ඔවුන්ගේ මානව හිමිකම්ය. එය ඔවුන්ගේ වරදින්න වූවක් නොවේ. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් රටේ උද්ධමනයක් ඇති නොවන බවට තර්ක කළ මහ බැංකුවේ ප්‍රධානීන් සිටි රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම පුදුම වීමට කරුණක් නොවේ. මේවා ස්වාභාවික විපත් නිසා නොව මිනිසුන්ගේ වරදින් ඇති වූ තත්ත්වයක් නම් ඒවා අපරාධ යැයි හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය. එසේම ඒවාට වගකිව යුත්තන් සොයා බැලීම ද කළ යුත්තකි. එහෙත් මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවම එම සොයා බැලීම් කළ යුතු යැයිද අපේක්ෂා කරයි.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (1)

ආර්ථික අපරාධ චෝදනා

සැපායි Wednesday, 05 October 2022 02:21 AM

සැපායි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site