X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඇන්ටන් චෙකෝෆ්ගේ ලංකා ගමනේ රහස් කතා

ජගත් කීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ 160 වැනි ජන්ම සංවත්සරය සහ ඔහුගේ 130 වැනි ලංකාගමන සංවත්සරය නිමිත්තෙනි.

“බෙංගාල  බොක්කේ මෙන් නෙතුරම්‍ය ලෙස සුර විමනෙහිත් හිරු බැසයන්නේ නම්, සුර විමන වනාහි අතිශය නෙතුරම්‍ය භාණ්ඩයක් බව ඔබට ඒත්තු ගැන්වීමට තරම් මම එඩිතර වෙමි.” - ඇන්ටන් චෙකෝෆ්
මෙම දකුණු ආසියාතික රාජ්‍යය නිර්මාණය වීමේ මූලාරම්භයේ සිටම රුසියාව සහ ලංකාව යන දෙරට අතර මිත්‍රශීලී දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා ඇති විය. අද දවසේදීත් එකී සම්බන්ධතා වැඩි දියුණුවට පත්වෙමින් තිබේ. අප දෙරට අතර සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව කතා කරන විට ලංකාව පළමු වරට රුසියාවට විවෘත කළ පුද්ගලයා වශයෙන් විශ්ව සම්භාවනාවට පත් රුසියානු ලේඛක ඇන්ටන් පාව්ලවිච් චෙකෝෆ් හැඳින්වීමෙහි වරදක් නොපෙනේ. සිය ආසියානු සංචාරයෙන් පසු ලේඛකයා කලක් වාසය කළ මේලිහවා නමැති මොස්කව් නුවරට නුදුරෙන් පිහිටි ගම්මානයෙහි ඇන්ටන් චෙකෝෆ් පාරිසරික රක්ෂිත කෞතුකාගාරය ද ලොව පුරා ප්‍රකටය.      

ඇන්ටන් චෙකෝෆ් ලංකාවේ ගත කළේ කෙටි කාලයක් වුවත් ‘ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්’ හෝටලයෙහි ආලින්දයෙහි ලේඛකයාගේ ලෝකඩ උඩුකය රූපයක් ද කොළඹ ‘ගාලු‍ මුවදොර’ හෝටලයේ සිහිවටන ඵලකයක් ද නංවාලමින් ඔහුගේ ලංකාගමනය සදාතනික ස්මරණයට නංවා තිබේ. පැරණි දින දර්ශනයට අනුව ඔහු මෙහි ගත කෙළේ 1890 නොවැම්බර් 10 සිට 12 (නව දින දර්ශනය අනුව 22 සිට 24) දින දක්වා රාත්‍රී දෙකක් ඇතුළු දින තුනකි.

ලේඛකයකු, වෛද්‍යවරයකු සහ පුරවැසියකු ලෙස තමන් මත පැවරී ඇති වගකීම් අනුව යමින් සහලීන් දිවයිනේදී ඔහු එහි සිටි සෑම වැසියකු සමඟම සංලාපයේ යෙදෙමින් සැබෑම ජන සංගණනයක් සිදු ‍කෙළේය. බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් විඳින වුන් සිටි සහලීන් දිවයිනෙහි චෙකෝෆ් සිදු කළ සංචාරයේ එක් ප්‍රතිඵලයක් බවට පත් වූයේ එහි වැසියන්ගේ තොරතුරු අඩංගු සංඛ්‍යා ලේඛන දත්ත අඩංගු පත්‍රිකා 10,000කට ආසන්න ප්‍රමාණයයි. “මරණ දඬුවම හැර සියලු‍ දේ...” එහිදී චෙකෝෆ් දුටුවේය. පසු කලෙක, මේලි‍හවාහි වාසය කරමින් චෙකෝෆ් දීර්ඝ කාලයක් ‘සහලීන් දිවයින’ කෘතිය ලිවීමට කැප කෙළේය. මහා ලේඛකයකු ද ශාස්ත්‍රීය පර්යෙෂකයකු ද විසින් සිදු කරන ලද ශාස්ත්‍රීය-වාර්තාමය පර්යේෂණයක් වශයෙන්ද, ඒ හා සමඟම ප්‍රබල සෞන්දර්යාත්මක-වාර්තාමය නිර්මාණයක් වශයෙන්ද පසු කලෙක එම විශිෂ්ට කෘතිය ඇගැයීමට ලක්විය. එම කෘතිය, රුසියාවේ ඈත පෙදෙස්වලට පිටුවහල් කෙරෙන වුන්ගේ තත්ත්වය කෙරේ සමාජයේ අවධානය යොමු කරවීමට උත්සාහ දැරීමකි. මානව භක්තියෙන් පිරුණු ලේඛකයකුගේ සැබෑ වෘත්තීයමය කැපවීම එවැනි පරාර්ථකාමිත්වයක් කෙරෙන් විශද නොවන්නේ වේද?

මෙවැනි සංචාරයක නිරත වනු පිණිස මහත් වූ කැප කිරීමක් සිදු කළ යුතුව තිබූ බව නිසැකය. එම සංචාරය චෙකෝෆ් කෙරෙහි බලවත් මානසික කම්පනයක් ඇති කෙළේය. තවද ඔහුගේ සෞඛ්‍යය තත්ත්වයට ද එය යහපත් අන්දමින් බලපෑවේ යැයි සඳහන් කළ නොහැක. ඔහුගේ ලිපි සහ සටහන් පරීක්ෂා කරන විට පැහැදිලි වනුයේ ඔහු ආපසු පැමිණීමට පිටත් වූයේ බිඳ වැටුණු මානසික තත්ත්වයකින් බවයි. එහෙත් මව්බිමට ආපසු යන අතරවාරයේ දී ඔහුට හදිසියේම ලංකාවට පැමිණීමට ලැබේ. එකී සංචාරය සිහිපත් කරමින් පසුව ඔහු මෙසේ ලියා යැවීය. “මම අපායට ද ගියෙමි. සහලීන් දිවයින මට පෙනී යනුයේ එයාකාරයෙනි. මම සුර විමනට ද ගියෙමි. එනම් ලංකා දිවයිනටය.” (ඇන්ටන් චෙකෝෆ් විසින් ඊ. එල්. ලියෝන්තියෙෆ් (ශිග්ලෝෆ්) වෙත 1890 දෙසැම්බර් 10 වැනි දින යවන ලද ලිපියෙනි). මෙම ආශ්චර්යය-දිවයින චෙකෝෆ්ට පෙනී ගියේ එවැනි සුර විමනක් ලෙසිනි.     
           
 දින කිහිපයකට පසුව 1890 දෙසැම්බර් මස 9 වැනි දා ඔඩෙස්සා නුවර සිටිනෝවයේ ව්රේම්යා’ (‘නව යුගය’) පුවත්පතේ සංස්කාරක, තමන්ගේ විශ්වාසවන්ත සගයකු වූ ග්‍රන්ථ ප්‍රකාශක ඒ. එස්. සුවෝරින් වෙත චෙකෝෆ් මෙසේ ලියා යැවීය. “ලංකාව වනාහි ස්වර්ගය පිහිටා තිබූ ස්ථානයයි. එකී සුර විමනෙහි මම මයිල සියයකට වඩා ධූමරථ මාර්ගයෙහි ගමන් කෙළෙමි, තාල කුලයේ ගසින් සැදුණු වනයන්ගෙන්ද තඹ පැහැ කාන්තාවන්ගෙන්ද සිත් සේ තෘප්තිමත් වීමි....  පොල් රුප්පාවක.... සඳ ඇති රැයක.” (සුරඟනා ‍ලොවක් වන් මේ දිවයිනෙහි චෙකෝෆ් සමඟ එවැනි ප්‍රේමණීය හමුවක් සැබැවින්ම සිදු වීද, නොඑසේනම් එය ලේඛකයාගේ මන්‍‍:කල්පිතයක්ද යන්න අපි නොදනිමු. මෙහිලා නොදන්නා චිත්‍රයක් මවා පෑමට යෑම කෙතරම් යෝග්‍යද? ඔහුගේ නිර්මාණයන්ට පෙම් කරන, ඔහුට ගරු කරන සහ ඔහු අගයන අයට එම සිදුවීම කුඩා රහසක් වශයෙන්ම පැවතීම වඩා සුදුසු යැයි සිතමි.)       

ඇන්ටන් චෙකෝෆ් කොළඹ සිට රුසියාවට පැමිණෙන අතරවාරයේ ‘පීටර්ස්බර්ග්’ දුම්නැවේ බරාඳයේ සිට නොයෙක් අවස්ථාවන්හිදී ගන්නා ලද ඡායාරූප තුනක්ද සුරැකිව පවතී. ඒ අතරින් වඩාත්ම ප්‍රකට වූයේ චෙකෝෆ් සහ උපලු‍තිනන් ග්‍රිගෝරි ග්ලීන්කා සුදු පැහැ ඇඳුමින් සැරසී, සුදු පැහැති හිස් වැසුම් පැළඳ, කළබලයෙන් දඟලන මුගටින් අතින් ගෙන සිටින ඡායාරූපයයි. එඩිතරබව, කුතුහලයෙන් පිරුණු ස්වභාවය සහ මිනිසා කෙරේ දක්වන ළෙන්ගතුභාවය යන විශේෂ ගුණාංග නිසා, මුහුණට මුහුණ “තර්ජනාත්මකව සටනට පිවිසෙන සර්පයා සමඟ සටනට බැස සැමවිටම ජය අත්කර ගන්නා, කවරකුට හෝ ද කිසිවකට හෝ ද බියක් නොදක්වන” එකී නිර්භීත කුඩා සතුන් කෙරේ සුවිශේෂී හැඟීමෙන් ලේඛකයා සත්‍ය වශයෙන්ම පිරී ගොස් සිටියේය. එවැනි සතුන් දෙදෙනකු මොස්කව් නුවරට ‍රැගෙන ඒමට ඔහු තීරණය කරනුයේ එහෙයින්මය.     

දෙවැනි දිනයේදී ඔවුහු දුම්රියෙන් කිලෝමීටර් 120ක දුරක් ගෙවා කොළඹ සිට, බෞද්ධාමික රටක් වන ලංකාවේ, පැරණි බෞද්ධ වෙහෙරවිහාරවලින් වටවුණු ආධ්‍යාත්මික අගනුවර වන මහනුවර දක්වා ගියහ. මහනුවර යනු ලංකා දිවයින මධ්‍යයෙහි පිහිටි සිංහල රජවරුන්ගේ අවසාන බලකොටුවයි. ඒ නගරයේ මහත්ම අභිමානය වන්නේ ශ්‍රී දළදා මාළිගාවයි. පුරාවෘත්තීන්ට අනුව, එහි සුරැකිව තිබෙන ශුද්ධ වූ පූජ්‍ය වස්තුව වනාහි බුදුන් වහන්සේගේ චිතකයෙන් ලබා ගත් උන් වහන්සේගේ දන්ත ධාතුවයි. මහනුවරදී ලංකාවේ ගැලවීමේ හමුදාවේ පෙරහැරක් නිරීක්ෂණය කිරීමට ඔහුට හැකි විය. “‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඉන්දියානු ගවොම් හැඳ කණ්ණාඩි පැළැඳගත් ලලනවෝය. බෙරයකි, ඇකෝඩියනයකි, ගිතාරයකි, පතාකයකි. පශ්චාත් භාගය නිරුවත් කාළ පැහැ ගැටවුන් පෙළක් ඊට පිටුපසිනි. රක්ත වර්ණ ජැකට්ටුවකින් සැරසුණු කාපිරියෙකි.... කන්‍යාවියෝ ම්ලේච්ඡ යමක් ගයති. බෙරයිබූ! බූ!’ හඬ නඟයි. මෙය විල් තෙරෙහි අන්ධකාරයේදීය.”      
මෙහිලා ගෙන හැර දැක්විය යුතු කුතුහලය ජනිතකරවන කරුණක් වන්නේ ඇන්ටන් චෙකෝෆ් ‘පාල්කින් මහත්මයා’ (Palkin Exq) යන තමන් විසින් පරිකල්පනය කරන ලද නමක් උපයෝගී කොටගෙන මහනුවර ‘රැජිණ’ හෝටලයෙහි (Queen's Hotel) එක් රාත්‍රියක් නවාතැන් ගැනීමයි. නොවැම්බර් 23 සිට 24 දින දක්වා කාලය සඳහා පාල්කින් මහත්මයා වෙත නිකුත් කරන ලද හෝටලයේ බිල්පත මොස්කව්හි සාහිත්‍ය සහ සෞන්දර්ය කලා ලේඛනාගාරයේ 549 ගොණුවේ සුරක්ෂිතව පවතී. ඒ ‍කෙරෙන් ලේඛකයාගේ චරිත‍යේ තවත් කුතුහලය දනවනසුලු‍ පැතිකඩක් විවර නොවන්නේ වේද? එනම් දිනුම් ඇදීම්, සූදු කෙළීම් වැනි දේ කෙරේ ලෝලයක් දක්වන්නකු ද තරුණ වියේ මෙන් ත්‍රාසය මුසු වික්‍රමාන්විත ක්‍රියා කෙරේ ඇලීසිටියකු ද වශයෙනි. ඔහුගේ බාල සොහොයුරු මිහායිල් විසින් ලියන ලද ‘චෙකෝෆ් වටා’ නමැති කෘතියෙහි ලේඛකයාගේ ජීවිතයේ තවත් එක් සිද්ධියක් පිළිබදව මෙසේ ලියයි.

“‍දුම්නැවේ පිටුපසින් මුහුදට හෙළන ලද කඹයකි. යාත්‍රාව සිය උපරිම ‍වේගයෙන් ගමන් කරමින් තිබියදී එහි ඉදිරිපසින් ඇන්ටන් පාව්ලවිච් වතුරට පැන්නේය. ඔහු කඹයේ අග අල්ලා ගත යුතු විය. වතුරට පැන්න පසු ‘මඟ පෙන්වන්නන්’ යන විරුදය ලත් මසුන් රැලක්ද ඔවුන් වෙත ළඟාවන්නා වූ මෝරකුද ඔහු සිය දෑසින්ම දුටුවේය.” (චෙකෝෆ් වටා. මොස්කව්, ‘ප්‍රව්දා’ ප්‍රකාශනායතනය, 1990. පිටුව 281) එයින් අදහස් වන්නේ කුමක්ද? සිතා බැලීමෙන් තොරව තරුණයකු නියැලෙන විනෝදකාමී කටයුත්තක්ද? නොඑසේනම් තම දිවි පරදුවට තබා ලෝක සාගරයට අභියෝගයක් එල්ල කිරීමට තිබෙන අපේක්ෂාවක්ද? එසේත් නැතිනම් මුහුද පතුළ කරා ගිලා බසින්නා වූ මළ මිනියක හැඟීම් විඳ ගැනීමට ලේඛකයා විසින් ගන්නා ලද උත්සාහයක්ද?     
     
අවසාන උපකල්පනයේ දැක්වෙන පරිදි සියලු‍ දේ සිදු වන්නට ඇත. පැරණි දින දර්ශනයට අනුව 1890 නොවැම්බර් 12 වැනි දා, කතුවරයාගේම වචනවලට අනුව, නැවේ පිහිටි රෝහලේදී මියගිය නිවාඩු ලබා යන සොල්දාදුවාගේ මරණය පිළිබඳ ‘ගූසෙෆ්’ නමින් ලියැවුණු කෙටිකතාව “පිළිසිඳ ගත්තේය.” ඉවාන් බූනින්ගේ ඇගැයුමට අනුව, ඒ වනාහි “පළමු පෙලේ හොඳ” කෙටිකතාවකි. “ඔබ වෙත කෙටිකතාවක් එවමි...... එම කෙටිකතාව ලංකා දිවයිනේදී පිළිසිඳ ගත් හෙයින් ඔබගේ කැමැත්ත වේ නම් ‘කොළඹ, නොවැම්බර් 12 වැනි දා’ යැයි පුරසාරමට මෙන් එහි යටින් සඳහන් කළ හැකිය.” රුසියාව බලා එන අතරවාරයේ චෙකෝෆ් විසින් එකී කෙටිකතාව ලියා අවසන් කරනු ලැබිණි. එය 1890 දෙසැම්බර් 25 වැනි දා ‘නෝවයේ ව්රේම්යා’ (‘නවයුගය’) සඟරාවේ 5326 අංක දරන නත්තල් කලාපයේ පළ කරනු ලැබිණ. හොංකොං නුවරින් පිටත්ව දකුණු චීන මුහුදේ යාත්‍රා කරන අතරවාරයේ සිදුවූ දුක්බර සිද්ධීන් දෙකක් විසින් මෙම කෙටිකතාව ලිවීම සඳහා ඔහු පොළඹවාලන ලද්දේ යැයි බොහෝ දුරට කල්පනා කළ හැකිය. “සිංගප්පූරුවට යන අතරවාරයේ මිය ගියවුන් දෙදෙනකු මුහුදට විසිකරනු ලැබිණ. හණ රෙදි කඩක ඔ‍‍තන ලද මිනිසා කරණම් ගසමින් දිය කඳ කරා ඉගිලී යන අයුරු බලා සිටින විටත් පත්ල දක්වා මයිල කිහිපයක් ඇති බව සිහිපත් කරනා විටත් ඇතිවනුයේ බියකරු හැඟීමකි. එවිට කුමක් නිසා දෝ තමාමැ මියෙනු ඇති බව ද සාගරයට විසි කර දැමෙනු ඇති බව ද හැඟී දැනී යෑමට පටන් ගැනේ.” එකී සිදුවීම් දෙක විසින් ලේඛකයාගේ මනසෙහි අඳුරු චින්තාවන් පතිත නොකරනු ලැබ සිටිනු නොහැකි බව නම් නිසැකය.     

ශ්‍රී ලංකාවේ ඇන්ටන් චෙකෝෆ්ගේ නිර්මාණ ජනප්‍රියකරවීමෙහිලාත් අධ්‍යයනය කිරීමෙහිලාත් වැදගත් දායකත්වයක් සුප්‍රකට ලාංකික ලේඛක මාර්ටින් වික්‍රමසිංහ (1890-1976) විසින් ලබා දී ඇත. 1970 දී ඔහු විසින් නිකුත් කරන ලද, වැදගත් තොරතුරු රාශියක් ඇතුළත් ‘චෙකෝ‍ෆ් සහ ලංකාව’ නමැති පර්යේෂණ කෘතිය රුසියානු සම්භාව්‍ය ලේඛකයාගේ නිර්මාණ කලාව පිළිබඳ සිංහල භාෂාවෙන් කළ විමර්ෂණයකි. එහි පෙරවදනෙහි චෙකෝෆ්ගේ ලංකා සංචාරය පිළිබඳ කෙටි හැඳින්වීමක්ද ඇතුළත්ය. තවත් ලාංකික සාහිත්‍ය පර්යේෂකයකු වන රන්ජන දේවමිත්‍ර සේනාසිංහ විසින් මෑතකදී, එනම් 2010 දී ඇන්ටන් චෙකෝෆ්ගේ ලංකා සංචාරය පිළිබඳ තොරතුරු සහ ලියැවිලි සංග්‍රහයක් නිකුත් කොට තිබේ. සම්භාව්‍ය රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ් පිළිබඳ මතකය ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත කිරීමට කැපවන සියලු‍ දෙනා වෙත කෘතවේදිත්වය පළ කරමින් මෙම ලිපිය අවසන් කරමි.


(***)

මේලිහොවා ඇන්ටන් චෙකෝෆ් පාරිසරික රක්ෂිත කෞතුකාගාරයේ  
සංස්කෘතික-අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක
මිහායිල් ඉවානවිච් ගලවාන්

කොළඹ රුසියානු කේන්ද්‍රය ආශ්‍රිත
රුසියානු සාහිත්‍ය කවය වෙනුවෙන් සිංහලයට නඟන ලද්දේ
රන්ජන දේවමිත්‍ර සේනාසිංහ විසිනි.

 



අදහස් (2)

ඇන්ටන් චෙකෝෆ්ගේ ලංකා ගමනේ රහස් කතා

Ruwan Wednesday, 02 December 2020 07:28 AM

හරිම ලස්සන වචන හැසිරවීමක්.. ලංකාව ගැන ආඩම්බරයක් දැනෙන සටහනක්... ස්තුතියි.

:       0       26

Raveendra Sunday, 06 December 2020 12:10 PM

ඉතාමත්ම රසවත් ලිපියක්.. "මම සුර විමනට ද ගියෙමි. එනම් ලංකා දිවයිනටය.” එදා ඔහු විසින් දුටු සුර වීමනක් වූ මාගේ මාතෘ භූමියට අද වෙනවිට සිදුවී ඇති හානිය පිළිබඳව සිතීමේදී අප කොතරම් කණගාටුවට පත්වන්නේද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site