X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇමැතිවරුන්ගේ කාරිය ජනතා ප්‍රශ්න විසඳීම මිස දුක කීම නොවේ

සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය පසුගිය 18 වැනිදා නතර කරනු ලැබීමත් සමඟ රට ඉදිරියේ යළිත් විදුලිය කප්පාදුවක බරපතළ අනතුරක් මතුව තිබේ. විදුලිය කප්පාදුවක් සිදු නොවන බවට විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ජනතාව ඉදිරියේ මාධ්‍ය හරහා ලබාදුන් සහතිකය මේ නිසා තුට්ටු දෙකට වැටී තිබේ. දැන් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය තරමට තෙල් තොග නොලැබුණොත් විදුලිය කැපීමට සිදුවන බවය. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කාලසටහනක් සකස් කරනු ඇති බවය.

තෙල් අර්බුදය හේතුවෙන් විදුලිය කැපීමට සිදුවන බව මේ රටේ නියතයකි. ජල විදුලිය සහ ගල්අඟු‍රු බලාගාර හරහා නිෂ්පාදනය වන විදුලියට අමතරව ඩීසල් බලාගාරවලින් සැපයෙන විදුලිය මේ රටේ ජාතික විදුලිබල අවශ්‍යතාවේ වැඩි ප්‍රතිශතයකට වග කියයි. මෙතෙක් පැවැති තත්ත්වය වූයේ කොතරම් අපහසුතා උද්ගත වුවත් තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ඩීසල් අඛණ්ඩව ලබා දීමය. මේ නිසා අධික නියං කාලයකදී හැර විදුලිය කප්පාදුවකට අවශ්‍යතාවක් නොතිබිණි. ඩීසල් බලාගාරවලින් නිෂ්පාදිත විදුලියේ පිරිවැය අධික වුවද ජල විදුලිය සහ ගල්අඟු‍රු බලාගාර විදුලිය මත පමණක් රැඳී සිටීමට අපේ රටට හැකියාවක් නැත. මේ නිසා තෙල් නැත්නම් විදුලියක් නැති තත්ත්වයට රට පත්වීම විස්මයට කරුණක් නොවේ.

විස්මයට හේතුවන කරුණ වන්නේ විදුලිය අර්බුදය සම්බන්ධයෙන් ඇමැතිවරුන් මාධ්‍ය හරහා ජනතාවට ප්‍රකාශ කරන කරුණුය. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සැමවිටම ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දෙන්නේ තමන්ට විදුලිබල අමාත්‍යාංශයෙන් ඩොලර් ලබා දුන්නොත් පමණක් යනුවෙනි. විදුලිබල මණ්ඩලය ඩොලර් උපයන ව්‍යාපෘතිවල නිරතව සිටින්නේදැයි අපි නොදනිමු. එය රටේ ජනතාවට ද අදාළ නැත. මෙතෙක් කාලයක් රුපියල්වලින් ගනුදෙනු කළ මේ රටේ අමාත්‍යාංශ ඩොලර්වලින් ගනුදෙනු කරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවක් වාර්තා වූයේ ද නැත. එසේ නම් අමාත්‍යවරුන් මාධ්‍ය ඉදිරියේ ඩොලර් ප්‍රශ්න ඇදගෙන රටේ විදුලිය කප්පාදු කිරීම පිළිබඳ එකිනෙකාට අභියෝග කර ගැනීම ජනතාව දකිනු ඇත්තේ විහිළුවක් හැටියටය.

ගැටලු‍ව ඩොලර් නම් ඒ ගැටලු‍ව විසඳාගත යුත්තේ ජනතාව ඉදිරියේ නොව කැබිනට් මණ්ඩලය තුළදී බව පුන පුනා පැවසිය යුතු නැත. එසේ සිදු නොකර ජනතාව ඉදිරියට පැමිණ තමන්ගේ ප්‍රශ්න කතා කරනවා නම් එවැනි ඇමැතිවරුන් ඇමැති පදවි දරන්නේ කුමකටද යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත. ඇමැතිවරුන් දෙදෙනා තෙල් ගැටලු‍ව ජනතාව ඉදිරියේ වෙන්දේසි කිරීම ප්‍රශ්නයෙන් පැන යාමක් හැටියට ද කෙනකුට දැකිය හැක. පසුගිය කාලය තුළදී රට තුළ උද්ගත වූ ප්‍රශ්න ගණනාවකදී සිදු වූයේ එයයි. ගෑස් පිපිරීම එයට එක් උදාහරණයක් පමණි.

මේ අතර මේ වසර පුරා තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 04ක් අවශ්‍ය බවට ගණන් බලා තිබේ. මේ බිලියන 04 සොයා ගැනීමට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද සඳහන් විය. විදුලිබල සහ ප්‍රවාහන ක්ෂේත්‍රවලට අඛණ්ඩව තෙල් සැපයුම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසට තෙල් සංස්ථාව මගින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මේ සාකච්ඡාව කැඳවීමට හේතුව බවද ප්‍රකාශ වී තිබේ. එසේම තෙල් ආනයනය සඳහා ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500ක ණය ආධාරය ඉහත කී ඩොලර් බිලියන 4ක මුදලට ඇතුළත් නොවන බවද සඳහන්ය.

තත්ත්වය මෙසේ නම් රටේ විදුලිය සැපයුම අන් සියල්ලටමත් වඩා ඩොලර් සැපයුම මත රැඳී ඇති බව තහවුරු වෙයි. කෙසේ වුවද මේ දිනවලදී සිදුවිය හැකිව තිබූ විදුලිය කප්පාදුව වරායේ තිබූ තෙල් නැව් දෙකක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව මගින් ඩොලර් මුදාහැරීම නිසා දින කිහිපයකට අවශ්‍ය තෙල් තොග රටට ලැබීම හේතුවෙන් වැළකී ගිය බවද වාර්තා විය.

එහෙත් මෙය තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. රටට තෙල් ගොඩබාන තුරු විදුලිය කැපීමක් සිදුවේද නැද්ද යන්න අවිනිශ්චිත නම් රටේ සෙසු කටයුතු ද අවිනිශ්චිත තත්ත්වයකට වැටීම වළක්වාගත නොහැක. රටේ කර්මාන්ත, සංචාරක හෝටල්, කාර්යාල, මේ සියල්ලම ඊළඟ තෙල් නැව බානතුරු බකංනිලාගෙන සිටින තත්ත්වයකට පත්වීමට හේතු සාධක කවරේදැයි වහාම සොයා බැලිය යුතුය. ඒ වෙනුවට අමාත්‍යවරුන් අතර සිදුවන වාද විවාද ජනතාවට ඇසෙන්නට දකින්නට සැලැස්වීමෙන් පලක් නැත. ඒවා ජනතාව අතරට යාමෙන් සිදුවනු ඇත්තේ ඔවුන්ගේ කෝපය, කලකිරීම සහ අසහනය තවත් වැඩිවීම පමණි.

රටේ විදුලිය උත්පාදනය තවදුරටත් ඊළඟ තෙල් නැව එනතුරු බලා සිටීමේ ප්‍රතිපත්තියෙන් වහාම බැහැර විය යුතුය. ඒ ගැටලු‍වට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ විධිමත් සාකච්ඡාවක් සිදුවිය යුතුය. ජනතාව දැනගත යුත්තේ ඒ ගැටලු‍ව විසඳීමට ගනු ලබන සැබෑ ක්‍රියාමාර්ගය කුමක්ද යන්න මිස අමාත්‍යවරුන්ගේ වාද විවාද පිළිබඳ තොරතුරු නොවන බව කිව යුතුය.



අදහස් (0)

ඇමැතිවරුන්ගේ කාරිය ජනතා ප්‍රශ්න විසඳීම මිස දුක කීම නොවේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site