![]() |
ධර්මදාස සිය බිරිය කමලාවතී සමග |
කිලිනොච්චිය හා මුලතිව් එදා කොටින්ගේ මහ බළකොටු වශයෙන් පැවති දිස්ත‍්‍රික්ක වේ. කොටි සංවිධානයේ ඊළාම් සිහින රාජ්‍යයේ අගනුවර බවට පත් කිරීමට නියමිතව තිබුණේ ද කිලිනොච්චිය නගරය යි.
කිලිනොච්චිය හා මුලතිව් කොටි සංවිධානයේ මහ බළකොටු වශයෙන් පැවති කාලයේ පවා එම ප‍්‍රදේශ අතහැර නොගොස් සිටි සිංහල පවුල් කීපයක් වේ.
කොටින්ගෙන් මේ තරම් හිංසා පීඩා කරදර හිරිහැර සිදුවුවත් සාමාන්‍ය දෙමළ ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳි ජීවත් වූ සිංහල ජාතික පවුල් කිහිපයක් අදටත් කිලිනොච්චියේ සහ මුලතිව් ප‍්‍රදේශයේ ජීවත් වෙති.
![]() |
සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර |
![]() |
ලොතරැයි අලෙවි කරන ධර්මදාස |
කොටි කළබල ක‍්‍රමයෙන් උත්සන්නවීමත් සමඟම බොහෝ සිංහල පවුල් ගෙවල් දොරවල් හරකාබාන අතහැර දමා දකුණේ පදිංචියට පැමිණියත් සමහර පවුල් ඔවුන් කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටි ගම්බිම්, ගෙවල් දොරවල් අතහැර දමා ඒමට කිසිසේත් කැමැති වී නොමැත.
එවැනි සිංහල පවුල් දෙකක පුද්ගලයන් දෙදෙනකු අපට මුණගස්සවනු ලැබුවේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණරත්න සහ පොලිස් සැරයන් නෙල්සන් අබේසූරිය (46883) යන මහත්වරුන් විසිනි.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මේ සිංහල ජාතිකයන් දෙදෙනා සොයා අපට මුණගැස්සවීමට ලොකු වෙහෙසක් ගත් අතර ඔවුන්ගේ ඒ උත්සාහය නොවන්නට අපට මේ සිංහල ජාතිකයන් දෙදෙනා සොයා ගැනීමට නොලැබෙනු ඇත.
එම්. ධර්මදාස මහතා ගේ වයස දැන් අවුරුදු 63කි. ඔහු පිරිමි දරුවන් හතර දෙනකුගේ හා ගැහැනු දරුවන් දෙදෙනකුගේ පියකු වන අතර ඔහුගේ මුල් ගම අලව්ව කන්දේගෙදර මහරච්චිමුල්ලයි.
දැන් ඔහු බිරිඳ කේ.එච්. කමලාවතී (65) මහත්මිය සමඟ පදිංචිව සිටින්නේ වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති කාලයේ දරුණු සටන් පැවති වෙල්ලමුල්ලි වයිකාල් ගම්මානයේ ය.
වෙල්ලමුල්ලිවයිකාල් ගම්මානයේ නැවත පදිංචි කර සිටින්නේ ද කොටින්ගෙන් වසර ගණනාවක් බැට කෑ අනේක වධහිංසාවලට ලක්වූ සාමාන්‍ය දෙමළ ජනතාවය.
ධර්මදාස ද ඔහුගේ බිරිඳ හා මේ දෙමළ ජනතාව සමග සහෝදරත්වයෙන් බැඳී ඔවුන් එක්ක දුක සැප බෙදාගෙන ජීවත් වෙති.
අලව්වේ සිට මුලතිව් දක්වා පැමිණි ගමන් මග හා අතීත තොරතුරු හෙළිකරමින් ධර්මදාස මහතා අප හා කතාවට මුල පුරමින් මෙසේ පැවසීය.
”මා ඉපදිලා තියෙන්නේ 1950 අගෝස්තු මාසෙ 27 වැනිදා. සහෝදරයෝ හය දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා මම. 1968 දී විතර මම අලව්වේ ඉඳලා කරවල ගේන්න මාන්කුලම්වලට කෝච්චියෙන් සතියකට වරක් දෙකක් ගියා. මේක සතිපතාම කළා. ඒ කාලේ මාන්කුලම්වල සිංහල පවුල් පදිංචිව සිටියා. මාන්කුලම්වල ඉඳලා මුලතිව්වලට ඇවිත් කරවල අලව්වට රැුගෙන ගොස් විකිණුවා. මේ රස්සාවෙන් මා එදා හොඳ ආදායමක් ලැබුවා.
අලව්වේ ඉඳලා කෝච්චියෙන් මාන්කුලම්වලට එන්න එදා ටිකට් එකට ගාණ කීයද? මා ඔහුගේ කතාවට බාධා කරමින් ඇසූ ප‍්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ මගේ මතකයේ හැටියටය රුපියල් හතයි ශත පනහක් විතර වුණා” යැයි පවසමිනි.
ධර්මදාස මහතා තව දුරටත් තොරතුරු හෙළිකරමින් මෙසේ කීය.
‘‘මුලතිව් පොලිසිය ළඟ දික්වැල්ලේ ඉඳලා ආපු සිංහල කට්ටියක් කඩයක් දාගෙන හිටියා. දික්වැල්ලේ සිල්වා මහත්තයා ගේ කඬේ කිව්වාම එදා මුළු මුලතිව් දිස්ත‍්‍රික්කයේම ප‍්‍රසිද්ධයි. කරවල ගන්න මුලතිව් ආපුවහම මොනවහරි දෙයක් කාලා තේ එකක් බොන්න දික්වැල්ලේ සිල්වා මහත්තයාගේ කඩයට මම නොවරදවාම ගොඩවදිනවා. එහෙම ගොඩවැදුණු අවස්ථාවල සිල්වා මුදලාලිගේ කමලාවතී කියන දුව දැනහඳුනා ගත්තා. පස්සේ මේ දැනහැඳින ගැනීම කෙළවර වුණේ මා ඇයත් සමගම 1974 වසරේ විවාහ වීමෙන් පසුවයි.
විවාහයෙන් පස්සේ මාත් මුලතිව්වල පදිංචි වුණා. මුලතිව් මනල්කුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ගෙයක් හදාගෙන පස්සේ ඒ ගෙදර අප දෙදෙනා පදිංචියට ගියා. බෝට්ටු දෙකක් මිලදීගෙන මිනිස්සු දාලා ධීවර රැුකියාව කරන්න පටන් ගත්තා. අල්ලාගත් මාළු කොළඹට අරන් ගිහින් විකුණන්න පටන් ගත්තා. මේකෙන් අතමිට හොඳට සරු වුණා. පස්සේ මම ලොරියකුත් ගත්තා මේ වැඬේට.
දරුවෝ හය දෙනෙක් අපට ඉන්නවා. ඒ කාලයේ මේ දරුවෝ ගියේ මුලතිව් ඉස්කෝලෙට. පිරිමි දරුවෝ හතර දෙනෙක්, ගැහැණු දරුවෝ දෙදෙනෙක් මට ඉන්නවා.
‘‘කොටි මුලතිව් පැත්තේ මුලින්ම කලබල ඇති කළ හැටි එහෙම මතකද?’’ මම ඔහුගෙන් විමසුවෙමි.
‘‘ඔව්, මට හොඳට මතකයි. 1982 වසරේ විතර මුලතිව්වල ධීවර රස්සාවේ හිටපු ධීවරයින්ට කොටි ඇවිත් කීවා බෝට්ටු දැල් ආම්පන්න අරගෙන මෙහෙන් පිටවෙලා යන්න කියලා. කොටින්ගේ තර්ජනවලට බයේ හුඟ දෙනෙක් යන්න ගියා. තවත් සමහරු ගියේ නැහැ. පස්සේ කොටි සිංහල අයගේ බෝට්ටු හොරකම් කළා. මුහුදේ එලා තිබෙන දැල් කපා දැමුවා. මේ විදිහට කොටි සිංහල ධීවරයන්ට හරියට හිරිහැර පීඩා කළා. මුස්ලිම් ධීවරයන්ටත් කොටි මේ විදිහටම හිංසා පීඩා තර්ජනය කළා. මේ නිසා ඉතිරි වෙලා හිටපු තවත් සමහර සිංහල හා මුස්ලිම් ධීවරයන් යන්න ගියා.‘‘මුලතිව් වෙරළේ දී කොටි 1983 වසරේ දී සිංහල ධීවරයන් 08 දෙනෙක් මැරුවා. මේ සිද්ධියෙන් පස්සේ හොඳටම බය වුන ඉතිරිවෙලා හිටපු සිංහල ධීවරයෝ ටික දෙනත් මුලතිව් අතහැර දාලා යන්න ගියා. ඒත් මා කොටින්ට බයේ මුලතිව් දාලා ගියේ නැහැ. වෙන දෙයක් වෙච්චදෙන් කියලා හිටියා. මම විතරක් නෙවේ මගේ බිරිඳයි දරුවොයි ගියෙත් නැහැ.
මුලතිව් අපේ දරුවන්ගේ උපන් ගම්බිම්. මේවායේ අයිතියක් අපටත් තියෙනවා කියන හැඟීම තදබල ලෙස තිබුණ නිසා තමා ගෙවල් දොරවල් දේපොළ අතහැරලා එක පාරටම යන්න අකමැති වුණේ”ධර්මදාස මහතාට කොටි ක‍්‍රියාකාරකම් ආරම්භ කළ මුල් කාලයේ තොරතුරු ගැනද හොඳ මතකයක් ඇත. ඔහු ඒ අතීත සිද්ධීන් ගැන තොරතුරු ගෙනහැර දක්වමින් කී කතාවයි මේ.
මුලතිව් හා කිලිනොච්චි පැත්තේ හිටපු තරුණ කොල්ලෝ 300ක් විතර 1982 වසරේ දී තමිල්නාඩුවට බෝට්ටුවලින් හොරෙන් ගියා ධීවරයන් විදිහට. වෙස්වලාගෙන තමා මේ තරුණයන් 300 දෙනා තමිල්නාඩුවට ගියේ. අපේ ගෙවල් පැත්තේ හිටපු කොල්ලෝ කට්ටියක් ද මේ 300 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වුණා. හුඟක් අය ඒ ගොල්ලන්ගේ ගෙවල් වලටත් හොරෙන් තමා ගිහින් තිබුණේ. සමහර අම්මලා තාත්තලා දරුවෝ හිටි හැටියේ අතුරුදන් වීම ගැන හැඬුවා මට මතකයි. පස්සේ තමා දැන ගත්තේ මේ කොල්ලෝ ගිහින් තියෙන්නේ තමිල්නාඩුවට බව.
මේ කොල්ලෝ කට්ටිය තමිල්නාඩු ප‍්‍රාන්තයේ දී ගිනි අවි පරිහරණය හා ගරිල්ලා සටන් ක‍්‍රම ගැන පුහුණුවීම් ලබාගෙන ආයෙත් මෙහාට ආවා. මාස 03ක් පමණ කාලයක් තමිල්නාඩුවේදී ඔවුන් පුහුණුවීම් ලබාගෙන ඇති බව පසුව අපට දැන ගැනීමට ලැබුණා.
තමිල්නාඩුවේදී පුහුණුවීම් ලබාගෙන ආපු මේ කොල්ලෝ කට්ටිය කණ්ඩායම්වලට බෙදිලා තවත් කොල්ලෝ හම්බවෙලා කතාබස් කරලා රහසිගතව පන්ති පැවැත්තුවා. පස්සේ මුලතිව් කැලේ කුඩා ටෙන්ට් රෙදිවලින් කූඩාරම් හදාගෙන ඔවුන්ට අවි ආයුධ පුහුණුව දෙන්න පටන් ගත්තා. මේ පුහුණුවීම් කළේ තමිල්නාඩුවෙන් මාස 03ක විතර කාලයක් පුහුණුවීම් ලබාගෙන ආ කොල්ලෝ කට්ටිය තමා. රෑට තමා මේ පුහුණුවීම් ලබා දෙන්නේ. මේ පුහුණුවීම් ලබාදෙන ටෙන්ට් රෙදි ගසා තනාගත් කූඩාරම මමත් ඒ කාලේ දැක තිබෙනවා.
?ට තමා මේ පුහුණුවීම් ලබා දුන්නේ. අපේ ගමේ හිටපු කොල්ලොත් මේ පුහුණුවීම් ලබාගන්න ගියා. බොහොම රහසිගතව තමා මේ පුහුණුවීම් මුලතිව් කැලෑවේ කළේ. පාරේ යන ලොරි බලෙන් නවත්වාගෙන ලොරිවල ගසා තිබෙන ටෙන්ට් රෙදි පැහැර ගත්තා. මේ වගේ සිද්ධීන් එදා බහුල වශයෙන් සිද්ධ වුණා. මම මාළු අරන් යන ලොරිය පවා නවත්වලා කොටි එදා ටෙන්ට් රෙද්ද පැහැරගෙන ගියා. මේවායෙන් තමා උන් එදා පුහුණුවීම් වලට කඳවුරු තනා ගත්තේ.
කොටි සාමාජිකයන් එදා මුලතිව් ප‍්‍රදේශයේ ගෙවල්වලින් බලහත්කාරයෙන් බත් පැකට් අරගෙන යාමට හේතු ධර්මදාස මහතා හෙළි කළේය.කොටි එදා අපේ ගමේ ගෙවල්වලට උදේ වරුවට එනවා. රෑට බත් පාර්සල් පහක් ලක ලැහැස්ති කරලා තියන්න කියා නියෝග කරනවා. හැම ගෙදරකින්ම එදා බත් පාර්සල් පහක් කොටින්ට දෙන්න ඕනෑ. උන් රෑට එනව බත් පාර්සල් එකතු කරගෙන යන්න. මෙහෙම බත් පාර්සල් එකතු කරගෙන යන්න එන්නේ මුලතිව් කැලේ පුහුණුවීම්වල යෙදෙන කොල්ලන්ට රෑට කෑමට ගිහින් දෙන්නයි. මේ වැඬේ අපේ ගමේ විතරක් නොවේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ හැම ගමකම වගේ සිද්ධවෙලා තිබෙන බව පස්සේ අපට දැනගැනීමට ලැබුණා.
බත් පාර්සල් නොදුන්නොත් එහෙම ඒ පවුලේ අයට කොටි පහරදීමේ සිද්ධීන් ගැන ද අපට එදා දැන ගැනීමට ලැබුණා. කවුරුත් බයට බත් පාර්සල් හදලා දුන්නා. මෙහෙම බලහත්කාරයෙන් අරගෙන ගිය බත් කාලා තමා උන් මුලින්ම පුහුණුවීම් කළේ යැයි ද ඔහු පැවැසීය.
1991 වසරේ දී විතර රෑ අපි මුලතිව් ඉඳලා කොළඹට මාළු අරන් එද්දි එක් මාළු පෙට්ටියකින් රුපියල් 25ක කොටි කප්පම් ගත්තා. ඊට පසු කාලයක දී මුලතිව් ඉඳලා කොළඹට මාළු ප‍්‍රවාහනය කරන ලොරියකින් මාසෙකට වරක් රුපියල් 10,000ක විතර මුදලක් කොටි කප්පම් වශයෙන් ගත්තා.
අපේ හමුදාව හා කොටින් අතර පසුගිය තිස් වසර පුරාවට වරින්වර යුද්ධය ඇවිලී ගිය කාලවලට අපි සරණාගත කඳවුරුවල දෙමළ මිනිස්සු එක්ක හිටියා. මේ පාර යුද්ධය පටන්ගත්තායින් පස්සේ ඒ කියන්නේ වන්නි මානුෂීය මෙහෙයුම පටන් ගත්තාට පස්සේ මමයි බිරිඳයි අපේ උපන් ගම් පළාතට ගියා. යුද්දෙ ඉවර වුණාට පස්සේ ආයෙත් අපි දෙන්නා මෙහේ පදිංචියට ආවා. දැන් මේ පැත්ත වේගයෙන් දියුණු වේගෙන යනවා. වෙල්ලමුල්ලිවෛකාල්වල අප දෙන්නා පදිංචි වෙලා ඉන්නවා. අපි දෙන්නා විතරයි සිංහල පවුලකට මේ ගමේ පදිංචි වී සිටින්නේ. මේ ගමේ දෙමළ ජනතාව එක්ක බොහොම සුහදව ජීවත්වෙනවා. හමුදාවේ හා පොලිසියේ මහත්වරුත් අපි දෙන්නාගේ දුකසැප බලනවා. ෆාරා නැව බලන්න හැමදාම වාගේ හුඟක් සෙනඟ එනවා. මම එතැනට ඇවිත් ස්විප් ටිකට් විකුණා ජීවිකාව ගෙනියනවා යැයි ධර්මදාස මහතා පැවැසීය.
මාළු ව්‍යාපාරිකයෙක් ලෙස යමක් කමක් යහමින් හම්බකරගෙන ජීවත්වූ ධර්මදාස මහතා අද ජීවිකාව ගෙනියන්නේ ලොතරැුයිපත් අලෙවි කිරීමෙනි.
දෛවයේ හැටි එහෙමයි. එහෙත් ඒ කිසිවකින් ඔහු කම්පා වන්නේ නැත. ගම් පළාතේ දුවා දරුවන් සමඟ ජීවත්වීමට ඕනෑ තරම් හැකියාවන් තිබියදිත් ධර්මදාස බිරිඳත් කැටිව යුද්ධය නිමවූ පසු මුලතිව්වලට පදිංචියට පැමිණියේ ප‍්‍රදේශයට පමණක් නොව දෙමළ ජනතාවට ද ආදරය කරන නිසා ය.
දෙමළ ජනතාව ද ඔහුට හා බිරිඳට සිංහලයන් කියා කිසිදු වෙනසක් දක්වන්නේ නැත. ඔවුනොවුන් එක බත් පත බෙදාගෙන කන අවස්ථා ද ඇත.
ධර්මදාස මහතාගේ බිරිඳ වන කේ.එච්. කමලාවතී මහත්මිය පවසන්නේ ද දෙමළ ජනතාව සමඟ සහෝදරත්වයෙන් එකිනෙකා සමඟ දුකසැප බෙදාගෙන ජීවත්වන බවයි.
උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා, මුලතිව් කොට්ඨාස බාර පොලිස් අධිකාරි ජනක ගුණතිලක සහ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර යන මහත්වරුන්ට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එදා කොටි සමයේ මුලතිව්හි දිවි ගෙවූ සිංහලයෝ
සෙනරත් Sunday, 20 October 2013 08:27 PM
අයියෝ දැන් මේ මනුස්සයට ඉන්න හම්බ වෙන්නේ නෑ ප්‍රවාත්ති වල දැම්ම නේ (නදී)
සිරානි Monday, 21 October 2013 08:52 AM
එතකොට මෙයාගේ දරුවෝ මොකද කරන්නේ. කොහොද ඉන්නේ. (ස)
සිරියලතා Monday, 21 October 2013 07:20 PM
අහිංසක මිනිසුන්,ලබා උපන් හැටි කියන්නේ ඕක තමයි (නි)
හර්ෂනි Thursday, 24 October 2013 01:33 AM
දිරිමත් මිනිස්සු.(අ)
මනෝජ් Thursday, 24 October 2013 04:37 PM
සැබවින්ම දහිරියවන්ත මිනිසුන්. සුබ අනාගතයක් පතමි....... (ස)
ගාමිණී Thursday, 24 October 2013 08:34 PM
කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක වල තව සිංහල මිනිසුන් පදිංචි කරන්න එතකොට තමා අයෙත් යුද්ද එතුවෙන්නේ නැත්තේ..(නදි)