X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


එදා රත්නපුරේ මැනික් වසන්තය බිහිවූ හැටි

පැය ගණනක් එක දිගට හැඬූ රෝහිත මිරිස් මෝලේ ඇඹරුම් යන්ත‍්‍රය එකවර නතර වන්නේ හදිසියේ පණගිය ලෙඩකු මෙනි. එම නිහැඬියාව තුළ පල්ලිය පාරේ නොයෙකුත් මැණික් කඩවලින්, මැණික් කපා ඔපලන පැරණි හන පෝරුවල ඒකකාරී කංකරච්චල් හඬ ඇසේ. මේ මැණික්වලට පරසිදු රත්නපුර නගරයයි. මේ සටහන හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකයේ මුල් භාගයෙන් යුතු රත්නපුරයට මැණික් වසන්තය විලිලමින් පැවති වකවානුව ගැනය. අප එකල ඉගෙනුම ලැබුවේ රත්නපුර නගරයේ පිහිටි එකම මිෂනාරි පාසල වූ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේය. පාසල පිහිටි පල්ලිය පාර දෙපස මෙන්ම නගරයේ ප‍්‍රධාන වීදිය ද අතුරු මංමාවත්වල යන එන්නන්ට මග දෙපස පිහිටි යෝනක වෙළෙඳුන්ට අයත් මැණික් කඩවලින් නිකුත්වූ හනපෝරු හඬ අහඹු හෝ ආගන්තුක නොවිණි. මේ කියන වකවානුවේ රත්නපුර නගරයේ පෙනුම බෙහෙවින් පැරණිය. එසේම නොම රමණීය ද විය. කඩ සාප්පු බොහොමයක් පල දෙකේ වහල සහිත පැරණි පන්නයේ ගොඩනැගිලිය. ඉනුත් බොහොමයක පියස්ස වැසී තිබුණේ සිංහල උළු වලිනි. රත්නපුර මහ වීදිය, ෂාවියා මාවත, උසාවිය මාවත ඇතුළු ලොකු කුඩා මාවත් අතුරු මාවත් දෙපස වැඞී ගොඩනැගිලි සංඛ්‍යාවක් මැණික් මිලදී ගැනීමේ කඩ සාප්පු වලට වෙන්ව තිබිණි. එම කඩ සාප්පුවල මුහුණතම පිවිසුම් දොර විය. මනාකොට බිම ඔපලූ ඒවායේ ඉදිරි ආලින්දවල ගෘහ භාණ්ඩ ද ඉතා සීමිතය. ඇඳි පුටුවක් දෙකක් තේක්ක දැවයෙන් කළ පැරණි පන්නයේ අල්මාරියත් එකී ගෘහ භාණ්ඩ ස්වල්පයට ඇතුලත්ය. විවෘත ආලින්දයට ඔබ්බෙන් ඇති කුටිවල කුමන ගුප්ත කරුණක් සිදුවේදැයි නිනව්වක් කුඩා අපට තබා එදා රත්නපුරයේ වැඩිහිටියන්ටවත් නොවිනි. ඉදිරි ආලින්දයේ තැබූ ඇඳි පුටුවල කල්පනා සහගත පෙනුම ඇති යෝනක මැණික් වෙළෙන්දකු දෙදෙනකු අසුන්ගෙන සිටී. ඔවුන්ගේ ඉතා පිරිසිදු දෙපා පුටු උඩම වකුටුකරගත් ගමන්ය. ඔවුන්ගේ තියුණු ඇස් ආලින්දයේ පසෙක ක‍්‍රියාත්මක වන හනපෝරු වල රැුඳිලාය. රත්නපුර අනාධිමත් කලක පටන් මැණික් නිසා ලෝකප‍්‍රකට විණැයි ඒ සන්ධියේ අපේගම ගැන පාසල් රචනාවකට මුල පුරමින් අප නොවැරදීම සඳහන් කළෙමු. ඒ එසේ වූවද හැත්තෑව දශකයේ ආරම්භ වන තෙක්ම මැණික් සම්පත්තියෙන් රත්නපුරයට හෝ රත්නපුර කේන්ද්‍ර කරගත් සබරගමුව වාසීන්ට අත් පත් වූ සමාජ ආර්ථික හෝ වෙනත් සුවිශේෂ ප‍්‍රතිලාභ නොවිණි. නගරයේ පවත්වාගෙන ගිය මැණික් වෙළෙඳසැල් හිමි යෝනක බහුතරය පදිංචිව සිටියේද බේරුවල අලූත්ගම දර්ගා නගරය වැනි සබරගමුවෙන් දුර බැහැර ප‍්‍රදේශවලය. එබැවින් ඔවුන් රැස් කරන ධනය රත්නපුරයෙන් බැහැරට ගලා ගියා මිස සංකේතවත් ප‍්‍රතිලාභයක් හෝ රත්නපුරයේ නොරැඳිනි.එදා මැණික් වෙළෙඳාම සිදුවූයේ ද ගන අන්ධකාරයේ සිදුවූ ගනුදෙනුවක් සේය. ගෙඟ් මුහුදේ දැමුවා වැනි එම ගනුදෙනු ගැන වංහුං කටකතා පුරසාරම් පැතිර ගියා මිස ගෙන හැර පෑමට දත්තයක් සංඛ්‍යා ලේඛනයක් ඇසූ දුටුවකුවත් එකල නොවිණි. වඩා වටිනා මැණිකක් ලැබුණු විට එය විකිණීමට බේරුවල බලා යාමේ පුරුද්දක් රත්නපුරයේ මැණික් පතල්කරුවන්ට තිබිණි. බේරුවල ගියෝ ආපසුවිත් කී කයිකතන්දර රත්නපුරයේ අපට අරාබි නිසොල්ලාසය සිහිපත් කළේය. විසල් මැදුරු සුවපහසු යාන වාහන ගැන පමණක් නොව රත්නපුරයේ මැණික් කඩවල තනිකඩයන්සේ විසූ යෝනක මැණික් වෙළෙන්දන්ගේ රහසිගත ඇවතුම් පැවතුම් පිළිබඳව ද එම කථා සමන්විත විය. බේරුවල වෙසෙන ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ රූසොබා මැණික් වෙළෙඳාමට බේරුවල ගිය අපේ ඇත්තෝ ආපසු රත්නපුරයට ඇවිත් කීවේ රහ කර කර ය. ඒවා ඇසූ අපට හැඟුනේ බේරුවල යනු මහේශාක්‍ය ඉසුරුමතුන් ජීවත්වන තව්තිසාවම බවය. පල්ලිය පාරෙන් ආරම්භ වී අප පාසලේ මුව විට දක්වා දිවෙන දිගු පිය ගැට පෙළේ රැඳී සිටින අපට හැම උදෑසනම දකින්නට ලැබෙන්නේ දිය නෑමට ගිය හෝ දිය නා ආපසු එන යෝනක මැණික් වෙළෙඳුන්ය. ඔවුන් පැමිණියේ තනි තනිව නොව රංචු පිටිනි. පොම්ප කැලේ ජලාශයෙන් උතුරා විත් දුම්රිය පොළ ආසන්නයේ පිලී කටකින් ඇද හැලෙන සීතල දියෙන් නා පිරිසිදු වීම මේ යෝනක වෙළෙඳුන්ගේ දෛනික කටයුතුවල මුල්ම කටයුත්තය. ඔවුන් ඇඳ සිටියේ කොටු අල්ලි සහිත පලේකාට් සරොම්ය. ඒවා ද සිංහල මිනිසුන්ට වඩා මඳක් කොටටය. උඩුකය අත්දිග මේස් බැනියමකින් වැසිලාය. පය ලෑවේ කට්ට කෑලි ලෙස හැඳින්වූ සැහැල්ලූ ලී අඩියකින් හා සරල හංකඩකින් යුත් මිරිවැඩි වෙසෙසකි. ඒවා පැළඳ තාර ඇතිරූ පාර දිගේ ඔවුන් ඇවිද යන විට කුමක්දෝ මෝගල් වාදනයක සැඟවුණු හඬක් නිම්නාද වේ. උන්හිටිවනම මේ සුපුරුදු ඒකාකාරී සියල්ල වෙනස්වන බවක් හැඟී ගියේය. එක්තරා ඉරිමා උදෑසනක රත්නපුර බණ්ඩාරනායක මාවතේ පුංචි ටවර් වීව් හෝටලය නමින් හැඳින්වූ තේ කඩ පොඞ්ඩ නව සළු පිළියෙන් සැරසී බලා හිඳී. රත්නපුර නගරයේ ටවර් වාසගමින් යුතු ආපන ශාලා දෙකක් විය. පානදුරේ සුප‍්‍රකට සල්ගාදු බේකරි පවුලට හිමි ලොකු ටවර් එක නමින් හැඳින්වූ ආපන ශාලාව ලිපිකරුවන් ඇතුළු මධ්‍යම පන්තිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රියව තිබූ තිප්පොළකි. ඒ හැරුණුවිට පුංචි ටවර් හෝටලය ලෙසින් හැඳින්වූ පල දෙකේ පියස්ස සහිත පැරණි පන්නයේ තේ කඩය පහළ මධ්‍යම පාන්තික මිනිසුන්ට ඇරුණකි. පුංචි ටවර් හෝටලය නව සළුපිළියෙන් සැරසී එකවර මල්වරවීමේ පිටුපස පැවතියේ මේ රටේ සමාජ ආර්ථික පෙරැළියක සමාරම්භක සටහන නොවේදැයි දැන් මට සිතේ. ටවර් වීව් හෝටලය සහ බේකරිය යන දුඹුළු ගැසුනු නාම පුවරුව වෙනුවට රත්නාලෝක හෝටලය සහ බේකරිය යන විචිත‍්‍ර නාම පුවරුව, කඩියන්සේ ඔබ මොව දුවන සේවක මඩුල්ල රසවත් ආහාර පාන සාධාරණ මිල ගණන් පමණක් නොව වාසනාව උතුරන මුහුණක් සහිත පසුකාලීනව රත්නාලෝක මුදලාලි ලෙසින් ප‍්‍රකට වූ නව අර්ථපතියාගෙන්ද එම විසිතුරු කඩපොඞ්ඩ සමන්විතය. ඒ සමගම මැණික් වෙළෙඳාම සමග බැඳුනු රත්නපුර පොළවේ උපන් නව මැණික් ව්‍යාපාරිකයන් පිරිසක් කරළියට පැමිණියේ පෙරහැරක් ගානටය. එතෙක් අඳුරේ සිදුවූ මැණික් වෙළෙඳාම අලූත් සංස්කෘතියක් ලෙස මතුවූයේ එහි විවිධ හැඩතල රත්නපුරයේ මිනිසුන්ගේ පියවි ඇසට දැකගත හැකි අයුරිනි. එතෙක් අඳුරේ සිදුවූ මැණික් වෙළෙඳාම අලූත් සංස්කෘතියක් ලෙස මතුවූයේ එහි විවිධ හැඩතල රත්නපුරයේ මිනිසුන්ගේ පියවි ඇසට දැකගත හැකි අයුරිනි. රත්නපුර නගරයේ පැරණි වලව් සහ බංගලා කීපයක්ම තිබිණි. මේ කියන අලූත් මැණික් පරපුර ඒවායෙන් බොහෝමයක් මිලට ගත්තේ එකල සිතීමටවත් බැරි තරම් ඉහළ මිල ගණන්වලටය.කුරුප්පු දොස්තර මහතා සතු බණ්ඩාරනායක මාවතේ පිහිටි දැවැන්ත බංගලාවද ඉන් එකකි. ඔහුගේ තුරුණු දියණියන් තිදෙනාගේ ඇඟිලි තුඩුවලින් පෙරී ආ දුක්මුසු පියාණෝ හඬ ප‍්‍රතිකාර ගැනීමට කුරුප්පු මහතා වෙත එදා පැමිණි අප තුළ සංවේදී හැඟීම් ජනිත කළේය. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් රත්නපුරයෙන් බිහිවූ වියත් පඬිරුවනකි. උන්වහන්සේ අතින් ලියවුණු පොත් පත් රැසක්ම මුද්‍රණය වූයේ කුරුප්පු දොස්තර මහතාගේ බංගලාවට මඳක් දුරින් පිහිටි සුප‍්‍රකට ශාස්ත්‍රෝදය මුද්‍රණාලයේය. එය පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිල්ලේ සිට එදා හේලියන්ස් පාර ලෙස හැඳින්වූ අද ධර්මපාල මාවත බවට පත් පරාසය පුරා පැතිර ගිය බොහෝ පැරණි ගේ දොර දෝරේ ගැලූ මැණික් වස්සාන ගංවතුරට හසුවිය. සිංහලයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලද රුක්මණී දේවියගේ සමීපතම ඥාතිවරයකු විසූ පැරණි පන්නයේ බංගලාවක් රත්නපුර ලංකා බැංකු ශාඛාව ඉදිරිපිට පැවතිනි. දශක හතර පහකට පෙර යුරෝපයෙන් ආනයනය කළ පැරණි ටොෆි ටින්වල දක්නට ලැබූ පිටිසර බංගලාවක රූ සටහන් සිහිපත් කළ එනිවස මැණික් වසන්තය හමුවේ යළි පුනරුත්පත්තිය ලැබුවේ නිලානි සංචාරක හෝටලය ලෙසිනි. රත්නපුරයේ මැණික් වසන්තය හා බැඳී පුරෝගාමී වෙළෙඳ සන්නම් නාමය වූයේ රත්නාලෝක යන්නය. ඊට සමකාලීන නිමල් පතිරණ මහතා නිලානි සංචාරක හෝටලයේ හිමිකරුවාය. නිලානි එකෙන් කාලා එන ගමන් යනුවෙන් පැවසීම වසර තිහ හතළිහකට පෙර මැණික් සංස්කෘතියට අනන්‍ය වූ පුරාජේරුවකි. සබරගමුවේ තරු ගණයට වැඩෙන ප‍්‍රථම සංචාරක හෝටලය ඇරඹෙන්නේද මේ කියන වකවානුවේදීය. එවක අප පදිංචිව සිටියේ පානදුර පාර අද්දර කුඩා කුලී නිවසකය. පැයකට වරක් ප‍්‍රධාන පාරේ රත්නපුරයේ සිට කහංගම දක්වා නොවරදවාම උඩ පහළ ගිය 22 ශ්‍රී 3521 දොරටු දෙකේ ලේලන්ඞ් බස් රථයට ටවුන් සර්විස් එක නමින් ගම්වාසීන් අපර නමක් පට බැඳ තිබිණි. එදාටත් වඩා නාගරීකරණය වූ මෙකල ටවුන් සර්විස් යන අන්වර්ථ නාමය අප වෙතින් ගිලිහී ගොසිනි. ඒ මන්ද යන්න මට මහත් කුහුලකි. ටවුන් සර්විස් එකට අමතරව පානදුර රත්නපුර අතර බස් රථ රැසක් ධාවනය විය. ඉන් එකක් හැඳින්වූයේ පරගල පාන් බාගය ලෙසින්ය. කිරිඇල්ල හැරනියාවකදි කළු ගඟ හරහා පාලම් පාරුවකින් එගොඩ කෙරෙන පාන් බාගය කුකුළු කෝරලයට අයත් පරගල දක්වා ධාවනය විය. මෙම රථ වාහනවලට අමතරව එදා ළමා වියේ සිිටි අපේ නෙත් සිත් ඇදගත් තවත් අපූරු රථයක්ද විය. ඒ සැප පහසු බෙන්ස් රථයකි. කොකෝ ජයතිලක නමින් ප‍්‍රසිද්ධව සිටි වතු හිමි ප‍්‍රභූවරයකු එම කාල වර්ණ බෙන්ස් රථයේ හිමිකරුවාය. රථය පදවන ඔහුගේ ප‍්‍රතාපවත් බව දෙගුණ තෙගුණ කරමින් නිතර මුවග රැුඳි දුම් පයිප්පයකි. පනස් විය ඉක්මවූ බර්ගර් ජාතික ජයතිලක මහත්මිය රථයේ ඉදිරි අසුනේ නොමැති අවස්ථාවක් නොතිබුණු තරම්ය. එහි පිටුපස අසුන ප‍්‍රභූ බලූ පවුලකට අයත් සුනඛ පතිපතිනියන් දෙදෙනෙකුට වෙන්විය. ඩඞ්ලි සේනානායක අගමැතිවරයා සමග ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අකුරු  කළ කොකෝ ජයතිලක මහතාගේ මනරම් බංගලාව පිහිටියේ කහංගමට නොදුරු කොස්ගල වතුයාය මැද පිහිටි මනරම් බිම් කඩකය. හුදෙකලාව පිහිටි එම මන්දිරය දුටුවෝ විරල වූව ද නොදුටු හොල්මන් ගැන කයිවාරු සහ මුසාබස් දොඩන අයුරින් ඒ මන්දිරය බොහෝ කරුණු ගොතා කියන්නන්ට නිමිත්තක්ම විය. ඩඞ්ලි සේනානායක මහතා රත්නපුරයට පැමිණ රැයක් ගත කළේ නම් ඒ සඳහා තෝරාගත්තේද කොකෝ ජයතිලක මහතාගේ කොස්ගල හුදෙකලා බංගලාවය. කොකෝ ජයතිලක මහතාට අයත් කොස්ගල බංගලාව හා වතු යායම රත්නාලෝක මුදලාලි මිලට ගෙන ඇති බව එක්තරා දිනයක මුළු රත්නපුරයම සිසාරා පැතිර ගිය ආරංචියකි. එපුවත රත්නපුරයේ ඇතැම් සමාජ ආර්ථික පන්තිවල උදවියට ලොමු දැහැ ගන්වන පුවතක් විය. අදීන සාමාන්‍ය මිනිසුන් අතරින් මතු වූ රත්නාලෝක මුදලාලි වැනි පුද්ගලයකු එය මිලට ගැනීම සමාජ කම්පනයකට වඩා මෙරට සමාජ ආර්ථික වෙනසක සමාරම්භයකි. එහෙත් එකල අපි එම සංසිද්ධිය විග‍්‍රහ කිරීමට තබා සිතා බැලීමට තරම්වත් මෝරා නොසිටියෙමු. කඩතුරාවකින් වැසී පැවතී මැණික් වෙළෙඳාමේ අනුහස් සහ එහි ප‍්‍රතිලාභ මෙසේ රත්නපුරයේ සිංහල මැණික් වෙළෙඳ පරපුරක් විසින් දැන හෝ නොදැන සමාජයට නිරාවරණය කරන ලද්දේ  තවත් විශාල පිරිසකට ද එමග පැමිණෙන්නැයි විවෘත ආරාධනයක්ද සමගිනි. මේ කියන වකවානුවේ පෞද්ගලික බස් රථ සේවා ආරම්භව නොතිබිණි. රත්නපුර ලංගම බස් නැවතුම්පොල වත්මන් කාර්ගීල්ස් සුපිරි වෙළෙඳසල් භූමියේ පවත්වාගෙන ගියේය. පුංචි කෝච්චියද මේ කියන දවස්වල  ඕපනායක ගියේ රත්නපුර හරහාය. එදා රත්නපුර දුම්රියපොල අද රත්නපුර මධ්‍යම බස් නැවතුම්පළ ලෙසින් මුළුමනින්ම උඩු යටිකුරු වෙලාය. යුරෝපයේ හුදෙකලා ගම්මානයක මැද පිහිටි පැරණි දුම්රිය නැවතුම්පොළක් සිහි ගන්වන රත්නපුර දුම්රිය නැවතුම්පොළ පිහිටියේ අප පාසල ඇසෙන පෙනෙන මානයේය. ඇලෝසියස් පිරිමි විදුහලේ දරුවන් වූ අපට එකල දිවා කල හුරුපුරුදු නාද මාලා කිහිපයක්ම තිබිණි. මේ සටහන මුලදී සඳහන් කළ රෝහිත මිරිස් මෝලේ ඇඹරුම් හඬ පළමුවැන්නය. එම හඬට සිඟිති මිරිස් කුඩු සුවඳකුත් මුහුවෙලාය. මිරිස් කුඩු සහ ලූණු කුඩු ඇබිත්තක් සමග පාසලේ පිය ගැට පෙළ පාමුලේ මහලූ අත්තම්මකු පොතු රැහැ විකුණන ඇඹරැල්ලා ගෙඩියක රසය ද සිහිපත් වේ. එම අග‍්‍ර භෝජනයේ මතකය දශක හතරකට පසුව ද අද දවසේ අපේ කටට කෙල උනවයි. දෙවැනි හඬ පිල්ලිය පාර දෙපස මැණික් කඩපිල්වල හනපුවරුවලින් නික්මෙන මැණික් ගලගානා හඬය. අනෙක නොවරදාවම දහවල් 12ට පාසල යාබද ඇසෙන දෙව් මැදුරේ යෝධ සීනුවලින් නිකුත්වන හඬය. පාසල් රජයට පවරාගන තිබුණ ද මිෂනාරීවරු ලෙස පැමිණි ඉතාලි පූජකවරු තවමත් පාසල් වැටෙන් එහා ශාන්ත පාවුලූ සහ පෝල් දෙවස්ථානයේ පුළුල් ගෙමිදුලේ සක්මන් කරනු අපට පෙනේ. ඔවුනගේ මුහුණු ගුප්තය. එහෙත් සිනාසෙන විට කරුණාව පෙරේ. ඊටත් අමතරව ඒ දිනවල අප විදුහලේ අකුරු කරමින් සිටි ඇනස්ලි මාලේවන, සුනිල් මාලේවන සහ පිටතින් පැමිණි ක්ලැරන්ස් විජේවර්ධන ඇතුළු පිරිස පාසල අහල පහළ කොතැනක හෝ සිට ගිටාරයක තත් පිරිමදින හඬය. පසුකාලීනව මුන්ස්ටොන් සංගීත කණ්ඩායම ලෙස ප‍්‍රකට වූ ඔවුන් සිය මූලික පුහුණුවීම් කළේ එසේය. රත්නපුරයේ පසුකරමින් ගිය අඟුරු කෝච්චියක හඬ ද එදා අපේ ජීවිතයේ කොටසකි. ජෝර්ජ් ස්ටීවන්සන් යුගය සිහිපත් කරමින් පැමිණි දුම්රිය එන්ජිමක් දුම්රිය ගැල් එකිනෙක මූට්ටු කරමින් හැම උදේකම කරන හරඹය හැඳින්වූයේ ෂන්ටින් කරනවා ලෙසින්ය. ස්ටේෂන් මාස්ටර්ගේ පුත‍්‍රයා වීස් බෝලයක් බඳු කීත් වැන්ඩර්වත් අකුරු කළේ අපේ පන්තියේය. ඔහුට අමතරව ඇන්ටන් නාසරත්, රොබින් කීගල් වැනි අපේ දිවට නුහුරු නම් සහිත අපට වඩා හුරු බුහුටි කොලූ කුරුට්ටෝද එදවස අප පන්ති සගයන් අතර වූහ. අපේ පාසලේ සීනුව නාද කළේ සෙබස්තියන් සොන් හැඳින්වූ මහළු දමිළ කිතුණුවෙකි. එහෙත් පාසලේ බහුතරයට ඔහු සෙබ්බාය. රාජමනී සර් අපේ ගණිත ගුරුවරයාය. සෙබ්බා නැති කළ සීනුවේ කාර්ය පැවරුණේ අන්තෝනිටය. විදුහල්පති නිවසේ රැුඳී සිටි අන්තෝනි අප විද්‍යාලයේ දමිළ අංශයේ ඉගෙනුම ලැබීය. මිෂනාරි හැඩරුව ගුණ මුළුමනින් මැකී නොගිය හැටේ දශකයේ අග භාගයේ අප විදුහල්පතිවරයා ද ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයෙන් පැමිණියෙකි. එතුමන්ගේ බිරිය බර්ගර් ජාතික කාන්තාවකි. මේ ආත්මයේ පමණක් නොව මතු ආත්මවල පවා අපට ඉංග‍්‍රීසි වහකදුරු කීරීමට එතුමියගේ සැර පරුෂ ඇවතුම් පැවතුම් කරුණු කාරනා විණැයි මට සිතේ. මේ කියන වකවානුවේ වන්දනා හා අධ්‍යාපන ගමන් සඳහා රත්නපුර නගරයටම තිබුණේ පෞද්ගලික බසර් රථ දෙකකි. එම බස් රථවල බඳෙහි බුලත්සිංහල සංචාරකයෝ යැයි පොල් ගෙඩි අකුරින් සටහන් කරලාය. බුලත්සිංහල සංචාරකයෝ සංචාරය කරන අවස්ථාවලට වඩා ගරාජවල කොට උඩට වී ගිමන් නිවන අවස්ථා සුලභය. මොරගහයට පියදාස ගරාජය, පුළුඟුපිටියේ පියසේන ගරාජය එසේ ඔවුන් සති ගණන් කොට උඩ ගිමන් නිවූ ස්ථානයන්ය. අද ඒ එක තැනකවත් බෙහෙතකට ගන්නවත් ගරාජයක් තබා අඩු තරමින් ග‍්‍රීස් ඇබිත්තක්වත් සොයා ගන්නට බැරි තරම්ය. හිටුවනම ඇස් කඩා හැළෙන තරම් වෛවාරන්න අලූත්ම අලූත් බස් රථ දෙකක් නමෝ විත්තියෙන් රත්නපුරයට ගෙනාවේද රත්නාලෝක මුදලාලි මහත්මාය. 1969 කොළඹ පැවති වෛද්‍ය විද්‍යාල සියවස් සැමරුම ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුවන් වශයෙන් අප කොළඹ ගියේද කිරි ටොයියන් වන් එම බස්රථ වලය. මේ කියන වකවානුවේම අප පාසලේ ආදි සිසුවෙකු වූ නිමල් පතිරණ මහතා මැණික් වෙළෙඳපොළ ප‍්‍රකට චරිතයක් බවට පත් වූයේ හද්‍ර යෞවන වියේදීමය. අංක 752 එසේත් නැත්නම් 7777 යන සුපතල අංක තහඩුවලින් යුතු අති නවීන මෝටර් රථ පදවමින් නිමල් පතිරණ දොඩම්පේ සිට රත්නපුර නගරයට පැමිණියේ සංගීත රිද්මයට වැයෙන රථ නලාව නිම්නාද කරමිනි. මග දෙපස විසුවන්ට එම නාදය මග අද්දරට පැමිණෙන්නැයි පණිවිඩයක්ද විය. රථය ඇස නොගැටුන ද ඒ හඬ නිසා මග දෙපස පදිංචිකරුවෝ මේ තරුණ ව්‍යාපාරිකයාගේ සම්ප‍්‍රාප්තිය දුරතියාම හඳුනා ගනිති. නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා පැමිණි රාජ්‍ය නායකයන්ගේ ප‍්‍රයෝජනයට මෙරටට ගෙනවිත් තිබූ හෝල්ඩන් කින්ස්ඩුඞ් නැමති අධි සුඛෝපභෝගී රථ පෙළින් කීපයක්ම පැවති වෙන්දේසියකින් පසු රත්නාලෝක මුදලාලි මිලට ගත් ආරංචිය ද තවත් තිගැස්සුණු ආරංචියක් විය. විවිධ සම්පත් යාන වාහන මිලට ගත්සේම මෙම නව මැණික් පරපුර සමාජ සත්කාර සේවා රැසක් හඳුන්වාදීමට පුරෝගාමී විය. මැණිකෙන් උපන් හැම සතේම බේරුවල බොක්කේ සැඟව ගිය යුගය වෙනුවට අලූත් මැණික් වෙළෙඳාමේ අනුහස් නෙක වෙසින් රත්නපුර මහ පොළවෙන් මතු විය. රත්නපුර මහ රෝහලේ ඉදිවුනු රත්නාලෝක සහ විජයනායක වාට්ටු සංකීර්ණ දෙක කජුගස්වත්ත කඳු මුදුනේ අව්කන බුදු අනුරුව එසේ මැණික් වසන්තය හරහා මතුවූ භෞතික නිර්මිතයෝය. පන්සල් පාසල පාලම් ආදිය පමණක් නොව මේ නව මැණික් වෙළඳ පරපුර සිය නමින් වෙසක් පොසොන් තොරණ දන්සැල් ආරම්භ කළහ. දුගී මගී යාචකයන් සඳහා නොව අවශේෂ මිනිසුන් සඳහා ලංකා ඉතිහාසයේ පළමු වතාවට මුදලින් රුපියල් කෝටි ගණනක් බෙදා දෙන දාන පාරමිතාව ඇරඹියේ ද කහවත්තේ ගුරුගේ මහතා ඇතුළු රත්නපුරයේ සහ තදාසන්නයේ පදිංචි මැණික් ව්‍යාපාරික මහතුන්ය. සිංහල අවුරුද්ද කේන්ද්‍ර කර ගනිමින් මුදල් බෙදාදෙන පෝලිමට රැුකී රක්‍ෂා කරන උදවිය පවා එදා එක්වූහ. පවුල්පිටින් පැය ගණන් පෝලිමේ රැුඳී සිටි ඇතැමුන් දෙවැනි තෙවැනි වතාවටත් පෝලිමට එක් වූයෙන් ඇඟිලිවල තීන්ත ආලේපකොට මෙම මුදල් දාන පාරමිතාව ප‍්‍රජාතාන්ත‍්‍රික හා පාරදෘශ්‍ය කිරීමට සමහර ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. රත්නපුරයට එළඹි මේ මැණික් වසන්තයේ සමාජ ප‍්‍රකාශන භෞතික නිර්මිතයන්ට පමණක් සීමා නොවිණි. ඇතැම් ව්‍යාපාරිකයෝ චිත‍්‍රපට නිෂ්පාදනයට ද අත ගැසූහ. පුරෝගාමී මැණික් ව්‍යාපාරිකයන් චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසුවේ ඉන් ලැබෙන ලාභයට වඩා කීර්තිය ප‍්‍රශංසාව මෙන්ම ඒ හරහා තරු සමග ගැවසීමේ ඉඩකඩ ද ලැබෙන නිසා යැයි සමහරු ඔච්චම් කළෝය. ආශා, එයා දැන් ලොකු ළමයෙක් වැනි චිත‍්‍රපට නිෂ්පාදකයෝ රත්නපුර මැණිකෙන් බිහිවූවෝ වෙති. මෙයට හතලිස් වසරකට පෙර රත්නපුර පල්ලියේ පාරේ එකම එක මිෂනාරී පාසලේ අකුරු කළ අප දැන් ජීවිතයේ සැඳෑ වියට ළංවෙමින් සිටින්නෙමු. එදා පල්ලිය පාරේ යනෙන විට අප සවන් පෑරූ හන පෝරුවල හඬ දැන් නෑසේ. හන පෝරුවක හඬ තබා දැන් හනපෝරුවක් පල්ලිය පාරේ බෙහෙතකටවත් සොයා ගැනීමට නැති තරම්ය. එදා අප පාසල ඇරෙන විට පමණක් ජනාකීර්ණ වූ දවසේ ඉතිරි කල පාළුවට ගිය පල්ලිය පාර අද එකම හිස් ගොඩකි. ඒ පාළු පල්ලිය පාර වෙනුවට අද එහි ඇත්තේ කොළඹ මල්වත්ත පාරට නොදෙවෙනි විසූක දස්සනයන්ගෙන් පිරි කලබල තරගකාරීත්වයකි. රත්නපුර මැණික් වසන්තය මූර්තිමත් කළ පුරෝගාමී වෙළෙඳුන් පිළිබඳව ද අද ඇසෙන්නේ ඉඳහිටය. ඒ වෙනුවට ඔවුන් එළි පෙහෙළි කළ මාවතේ පෙරට ආ අලූත් පරපුරරේ වෙළෙඳුන්ගේ විවිධ කඩ සාප්පු රත්නපුර මහ වීදියේ සහ අතුරු වීදිවල කොතෙකුත් දක්නට ලැබේ. සියල්ල අනියත යැයි මෙම සටහන අවසක් කළ හැකිය. එහෙත් මේ අවසානය ද තවත් යුගයක ආරම්භයයි. එම අලූත් යුගය සටහන් කරන නන්නාඳුනන පුද්ගලයා ද මේ පල්ලියපාරේ පෙනී නොපෙනී යන අනන්ත අප‍්‍රමාණ ජන සමූහය අතරම ඇතැයි මට සිතේ.

සුනිල් ලීලානන්ද පෙරේරා
මැණික් රත්නපුර නගරය මැණික් සොයමින් පුංචි කෝච්චිය



අදහස් (0)

එදා රත්නපුරේ මැනික් වසන්තය බිහිවූ හැටි

මහින්ද-Italy Sunday, 20 May 2012 01:17 PM

නව පරපුරට ගැළපෙන අගනා ලිපියක්

:       0       0

කපිල Sunday, 20 May 2012 01:18 PM

සැබවින්ම අපි නොදන්න ගොඩක් දේ දැන ගත්තා.ගොඩක් ස්තූතියි

:       0       0

දලු බණ්ඩා Sunday, 20 May 2012 06:35 PM

කියවන්න ආස හිතෙන පරණ ඉතිහාසය.හරිම අපූරුයි

:       0       0

බන්ඩාර Monday, 21 May 2012 10:38 AM

එ සුන්දර කාලෙ ඉපදෙන්න තිබ්බෙ.. මොනවද අපිට දැන් සතුටින් විදින්න තියෙන්නෙ????

:       0       0

කරෝලිස් Monday, 21 May 2012 11:08 AM

අම්මප පුතේ ඒ කාලේ තමයි කාලේ...

:       0       0

දොන් Tuesday, 22 May 2012 08:22 AM

මේ තුල ඇති සැඟවුණු පුවත සොයා වටිනා තෑගි ලබාගන්න.....

:       0       0

හර්ෂ Tuesday, 22 May 2012 11:13 AM

මම හිතන්නේ රටක් දියුණු වෙනකොට දුම්රිය පාරවල් දික්වෙනවා. එදා රත්නපුරය පසුකරගෙන ගිය දුම්රිය අද අවිස්සාවේල්ලෙන් නතරවෙලා. මේ සිදුවීම පිටිපස්සේත් ලොකු කතන්දරයක් තියනවා කියල මම අහල තියනවා. මේ ගැන දන්න කෙනෙක් ලිපියක් පලකලොත් බොහොම වටිනවා.

:       0       0

රණසිංහ Wednesday, 04 September 2013 10:35 AM

අම්මපා ඒ කලේ ඉපදෙන්න තිබ්බේ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site