X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඒකෙ තමයි මිහිර තියෙන්නේ

 

රුක්මණී දේවිය සමග මෙම සම්මුඛ සාකච්ඡාව මා විසින් පවත්වනු ලැබුවේ 1978 ඔක්තෝබර් මස 27 වැනිදා දහවල් 12.30 ට පමණය. ඊට පැය දහ අටකට පසුව 1978 ඔක්තෝබර් මස 28 වැනිදා සෙනසුරාදා උදෑසන 6.30 ට පමණ ජාඇළ තුඩැල්ලේ පල්ලිය අසල සිදුවූ මාරක රිය අනතුරකින් ඇය එතැනම කලුරිය කළාය. අවමගුල් උත්සවය පැවැත්වූ 1978 ඔක්තෝබර් මස 30 වැනි දින රාත්‍රියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සංදර්ශනය වැඩසටහනේ ප්‍රචාරිත පටියෙන් පිටපත් කර ගන්නා ලද්ද මෙහි පහත දැක්වේ. නිෂ්පාදක සටහන්, පිටපත් කරද්දී මවිසින් සටහන් කරන ලද ඒවා වෙයි.

වසන්ත ලංකාතිලක: හදිසි රිය අනතුරකින් මිය ගිය රුක්මණී දේවි, ඇගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව පටිගත කළේ, ඇය මිය යෑමට හරියට පැය 18 කට කලින් ඒ සිකුරාදා ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සංදර්ශනය සඳහායි. රුක්මණී දේවිගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ ප්‍රවෘත්ති වැඩසටහන් සංස්කාරක පාලිත පෙරේරා.

පාලිත: සිකුරාදා දිනයේ සිදුවන වැදගත් සිද්ධීන්, එදින උදේ තෝරද්දී මට පෙනී ගියා ඉරිදා රුක්මණීගේ ස්වර්ණ ගී ප්‍රසංගය පැවැත්වෙන බව. ඒ නිසා, සිකුරාදා ප්‍රවෘත්ති සංදර්ශනය නිෂ්පාදනය කරන අසෝක සිල්වාට මා කීවා මීගමුවට හරි ගිහිල්ලා රුක්මණී දේවිගේ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොට, වැඩසටහනට ඇතුළත් කරමු කියලා. පැය දෙකකට විතර පස්සේ රුක්මණී දේවි ඉන්න ඉසව්ව, ඉතා අමාරුවෙන් සොයා ගත්ත අසෝක සමග මා පිටත් වුණා කිරුළපනේ පළමුවැනි පටුමගේ ලෙස්ලි අමරසිංහ මහතාගේ නිවසට. අපි එහි යන විට ගුවන් විදුලි වාදක මණ්ඩලයේ අමරසිරි පීරිස් වාදනය කරන පියානෝව අසල පුටුවක වාඩි වී රුක්මණී දේවි ගීත පුහුණු වෙමින් සිටියා. අඩි එකේ එකහමාරේ බි්‍රස්ටල් බෝඞ්වල විශාල ඉංග්‍රීසි අකුරෙන් ලියා ගත් සිංහල ගීතවල පිටපත් අත ඇතිව, රුක්මණී දේවි ගීත පුහුණු වූවා. ඉතාමත් තෘප්තිමත් ගතියක්, ගීතය තුළ ජීවත් වන ගතියක් මෙන්ම ඉතාමත් පහසු ඉරියව්වක් මා එදා රුක්මණී දේවි තුළ දුටුවා.

දවල් 12.30 ට පුහුණුවීම් අවසන් වූ පසු රුක්මණී දේවි කෙළින්ම ආවේ අපේ පටිගත කරන යන්ත්‍රය වෙතටයි. කිසිම කලින් පුහුණු වීමක් නැතිව මා කෙළින්ම රුක්මණී දේවියගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. ඈ ඒවාට කෙළින්ම උත්තර දුන්නා. විනාඩි පහමාරක් වැනි කෙටි කාලයක් වන මෙම සම්මුඛ සාකච්ඡාව කිසිම සංස්කරණයකින් තොරව සම්පූර්ණයෙන්ම දැන් අපි ප්‍රචාරය කරමු.

(පසුබිමෙහි “අන්න සුදෝ අර පාට වලා...” යන ගීතය 
පියානෝවෙන් අමරසිරි පීරිස් වාදනය කරයි.)

පාලිත: ඬේසි අක්කා අවුරුදු හතළිහක සංගීත ජීවිතයේ ඔබේ ජයග්‍රහණ මෙන්ම පසුබෑම් ද තියෙන්න ඕනෙ. මතක් කරන්න පුළුවන්ද ඒ වගේ දේවල්.

රුක්මණී: මේ අවුරුදු හතළිහ තුළ වෙච්ච දේවල්ද?

පාලිත: ඔව්

රුක්මණී: (සිනාවෙමින්) වෙච්ච දේවල් නම් හුඟාක් නම් තියෙනවා. කියන්නේ මම පොඩි කාලේ ඉඳලම ගීතවලට හුඟාක්ම ප්‍රිය කළා. ඒ වගේම මට අවස්ථාවක් ලැබුණා රූපසිංහ මාස්ටර් සමග ගීත තැටිවලට නඟන්න. ඉතින් කාලයක් මුදුන් පෙත්තටම නැගලා හිටිය ගීත තැටිවලින්. ඊට පස්සෙ චිත්‍රපටවලින්. ඊට පස්සෙ ටික කලක් ආයෙත් චිත්‍රපට දිගටම කාලයක් තිබුණේ නෑ. ඒ වුණත් මේ අවුරුදු හතළිහක උත්සවය පවත්වන්න නම් මගේ හිතකටවත් ආපු නැති දෙයක්. මේ නුගේගොඩ ඉන්න දොස්තර බර්ටි අමරසිංහ මහත්මයා මගේ හොඳ යාළුවෙක්. එයාගේ හිතේ තිබිලා තියෙනවා මම මෙහෙ ඇවිත් කතා කර කර ඉන්නකොට කිව්වා මෙච්චර කාලයක් ඬේසි අක්කා ගීත කිව්වට ඇයි මෙහෙම දෙයක් කරන්න නැත්තේ කියලා. මම කිව්වා අයියෝ ඕක හරි කරදරයක් වෙන්නත් පුළුවන්. අනික සින්දුත් නෑ විසිපහක් හොයල ගන්නත්. ආ ඒවා කිසි ප්‍රශ්නයක් නෑ ඒවා මම කරන්නම් කියලා එයා තමයි මට අත දුන්නේත් අදහස දුන්නේත් මේකට. ඒ දොස්තර මහත්තයාට මම හුඟාක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ මෙහෙම දෙයක් කරලා මාව ආපහු අවුරුදු හතළිහකට පස්සෙ මෙවැනි දෙයක් ඉදිරිපත් කරනවාට. නේද?

පාලිත: දැන් ඬේසි අක්කාගේ ඊළඟ උපන් දිනය යෙදෙන්නේ කවදාටද? කීවෙනි උපන් දිනයද යෙදෙන්නෙ.

රුක්මණී: (හයියෙන් සිනාසෙයි) හරි ප්‍රශ්නයක්නෙ ඇහැව්වෙ

පාලිත: (රුක්මණී සමග එක්ව සිනාසෙයි.)

රුක්මණී: ඒ ප්‍රශ්නයට කවුරු හරි උත්තර දෙනවද? මං අහන්නෙ ගැහැනියෙක්. (දෙදෙනාම මහ හඬින් සිනාසෙති.) ඒ වුණාට මම උත්තර දෙන්නම් පනස් දෙකයි.

පාලිත: පනස් දෙකයි

රුක්මණී: ඔව්

පාලිත: ඬේසි අක්කට මෙහෙම දෙයක් හිතෙන්නෙ නැත්ද? දැන් ඬේසි අක්කාගේ ජීවිතේ තනිවෙලයි කියලා තේරෙන්නෙ නැත්ද?

රුක්මණී: (හඬ තැන්පත් වෙයි) මොන අතින්ද

පාලිත: හැම අතින්ම වගේ. පවුල් ජීවිතයේදී එහෙම අරන් බැලුවොත්, දරුවො එහෙම.

රුක්මණී: පවුල් ජීවිතය ගැන කීවොත් එහෙම, මට දරුවෝ නැති එක තමයි මට හුඟාක්ම තනිය දැනෙන්නෙ. නමුත් සමහර විට මට හිතෙනවා ඒවාත් මැකෙනවයි කියලා මේ සංගීතය තියෙන නිසා. ඒ කියන්නේ මම හුඟාක් චිත්‍රපටවල රඟපානවා. වේදිකාවල රඟපානවා. සංගීත සංදර්ශනවල ඉන්නවා. ඉතින් ඒවාවලට ගියාම මගෙත් එක්ක ආශ්‍රය කරන සහෝදර ගායක ගායිකාවෝ නළුවෝ නිළියො සියලු දෙනා සමග ඉන්න කොට නම් මට ඒ දුක මැකෙනවා. නමුත් මං තනියෙන් ඉන්න අවස්ථාවකදි නම් ඒක ලොකු වේදනාවක් තමයි. කොච්චර කලක්, මම අම්මා ගැන සින්දු කිව්වත් දරුවෙක් ගැන සින්දු කිව්වත් මට අම්මා කියලා අමතන්න කෙනෙක් නෑනෙ. ඒ දුක මට තියෙනව තමයි. ඒ දුක සදහටම තියෙනවා. කරන්න දෙයක් නෑ හැම දෙයක්ම ලෝකෙ ලැබෙන්නෙ නැහැ නේද සියලු සැපතක්ම.

පාලිත: ඊයේ රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහත්මයා කිව්වා මීට පස්සෙ ගායක ගායිකාවන්ට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන හැම ගීතයකටම ගණනක් ගෙවන්න යනවයි කියලා. මේ ගැන මොකද කියන්නේ.

රුක්මණී: (සිනාසෙමින්) 
මං හිතන්නෙ ඒක බොහොම හොඳ දෙයක්. කියන්නේ ඒක මෙච්චර කාලයක් නොකරපු දෙයක්නෙ. ඉස්සර නම් එච්.එම්.වී. තැටිගත කළ කාලයේදී නම් රූපසිංහ මාස්ටර්ලගෙ කාලයේදී ඒ තැටියට... මේ රෝයල්ටි කියල තියෙන්නෙ. අන්න එහෙම ගාණක් අපිට 
ලැබුණා. පස්සෙ පස්සෙ ඒක නැතිව ගියා මේ මෑතකදි ඉතින් එහෙම අදහසක් ඒ මහත්මයා කරලා තියෙනවා නම් ඒක ලොකු දෙයක්, මං හිතන්නේ හැමෝටම ගායක ගායිකාවන්ට නේද?

පාලිත: ඬේසි අක්කාගේ මේ ස්වර්ණ ගී ප්‍රසංගයේ කොයි වගේ ගීත ද ගියනා කරන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. අර පරණ තාලේ “දැඩි කළ මාතා” වැනි ගීත ගැයූ කාලේ ඉඳන්ම එහෙම.

රුක්මණී:- ඔව් මං හුඟාක් ඒ වගේ පැරැණි ගීත තමයි තෝරගෙන තියෙන්නෙ. ඒ මොකද සාමාන්‍යයෙන් සංගීත සංදර්ශනයකට ගියොත් එහෙම වැඩියෙන්ම කියැවෙන්නේ ඔය අලුතෙන් තැටිගත කරපුවා. නමුත් මේ පැරැණි ගීත අහන කෙනකුට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. දැන් ඒවායෙ තැටිත් නෑ. හුඟාක් ඒවයෙ තැටි දැන් නරක් වෙලා. ඉතින් දොස්තර මහත්තයා කීවා අපි පරණ ගීතම කියමු කියලා. එයා අදහස දාල දැන් 
පැරැණි ගී තෝරගෙන තියෙන්නෙ. ගී විසි පහක් තෝරගෙන තියෙනවා.

පාලිත: මං මේක අහන එක හරිද මන්දන්නෙ නෑ. දැන් ඕනෑම ගායිකාවකට තියෙනවා තමන්ගේ මතකයේ තියෙන ඉතාමත් කැමැති ගීතයක්. මොකක්ද ඒක.
(පියානෝවෙන් තවමත් දිගටම පසුබිමේ වාදනය කෙරෙන අන්න සුදෝ යන ගීතය කෙරෙහි මදක් අවධානය යොමු කොට)

රුක්මණී: මං හුඟාක් ප්‍රිය කරනවා කැලෑ හඳ චිත්‍රපටයේ

පාලිත: මේ ඇහෙන එකද “අන්න සුදෝ...”

රුක්මණී: (යාන්තමට සිනාසෙයි) අන්න සුදෝ මං කැමැති ගීතයක් තමයි. “සිරියලතා” චිත්‍රපටයේ ගීතයක් තියෙනවා “ආලේ කළා නම්...” කියලා. මං ඒකට හුඟාක් ප්‍රිය කරනවා. නමුත් මං හිතන්නේ ඒකෙ තැටිය නෑ.

පාලිත: ඬේසි අක්කා මොකද ඔය ආදරය ගැන කියන ගීතවලට ඔය තරම් ඇලුම්කමක් දක්වන්නෙ?

රුක්මණී: ඒකෙ තමයි මිහිර තියෙන්නේ. (සිනාසෙයි)

පාලිත: නැතුව ඒක තමාගේ ජීවිතයටත්...

රුක්මණී: ජීවිතයටත් ඒක, එක කොටසකට ඇතුළත් වෙනවා. නැහැ කියන්න බෑ. ආදරය කියන දේ තමයි ලොකුම දේ මං හිතන්නෙ. මොන අතකින් වුණත් දරුවකුට හෝ වේවා ස්වාමියාට ආදරය වේවා පෙම්වතෙක් පෙම්වතියකට ආදරයක් වේවා. නමුත් හැම දෙයක්ම කෙරෙන්නේ ආදරයක් උඩනෙ.

පාලිත: නමුත් ඬේසි අක්කාගේ ගීත හුඟක් මං දැකලා තියෙන්නේ බලාපොරොත්තු සුන් වෙච්ච ගීත හුඟාක් ඬේසි අක්කා ගායනා කරලා තියෙනවා කියලා. ඒ වගේම ඬේසි අක්කා ඒවාට හුඟාක් ඇලුම් කරනව කියලා.

රුක්මණී: ඔව්. ඒවා මගේ ජීවිතයට හුඟාක් සම්බන්ධ වෙනවා. ඒ ගීත, ඒ ඒ විදියේ දුක. අනික ඒ වගේ ගීතත් මට ලැබිලා තිබෙන්නේත්... කලින් මම චිත්‍රපටවල රඟපාපු කොටස්. චරිත ඒ වගේ දුක් චරිත තමයි මුල හිටන්ම රඟපෑවේ... එතකොටත් ලැබුණා. ඉතින් ජීවිතයට ඕකත් සම්බන්ධ වුණා. එහෙම... (යන්තමින් ඇය සිනාසෙයි.)

පාලිත: බොහොම ස්තුතියි ඬේසි අක්කාට

පාලිත: රුක්මණී දේවි මිය යෑමට පැය දහ අටකට (18) පෙර පටිගත කළ ඇයගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවයි. ඒ වසන්ත ලංකාතිලකගේ සහය ඇතිව. මේ ප්‍රවෘත්ති සංදර්ශන විශේෂ සංස්කරණය නිෂ්පාදනය කළේ පාලිත පෙරේරා.

රුක්මණී දේවියගේ ගීතයක් “සැප නෑ සංසාරේ... ගැලී දනෝ තණ්හාවේ දෝසේ - මීලෝල සේ දුකේ වැටී - දනෝ තණ්හාවේ දෝසේ... සැප නෑ සංසාරේ ගැලී දනෝ තණ්හාවේ දෝසේ...” ගීත ඉතා සෙමින් මැකී ඉවතට යයි.

(සුරස ප්‍රකාශනයක් ලෙසින් 2008 දී ප්‍රකාශයට පත්වූ “පාලිත පෙරේරා සමග සජීව ලෙසින්” කෘතියෙන් උපුටාගන්නා ලදී.)
(විශේෂ ස්තුතිය: ප්‍රේම් දිසානායක මහතාට) 

ඡායාරූප -   http://www.rukmanidevisrilanka.org/ අනුග්‍රහයෙනි



අදහස් (0)

ඒකෙ තමයි මිහිර තියෙන්නේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site