X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කහවත්තේ ධර්මසිරි නිදහස් වූ හැටි

පසුගිය කාලයේදී රටේ වැඩියෙන්ම කතාබහට ලක්වූ ගම කොටකෙතනය දිගින් දිගටම සිදුවූ කාන්තා ඝාතන රැල්ල ඊට හේතුව විය.
ආන්දෝලනාත්මක කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ තෙවැනි හා සිව්වැනි සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීම පසුගිය 2 වැනිදා සිදුවිය.
වසරකුත් දෙසතියක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාරගත කර සිටි ලොකුගම්හේවගේ ධර්මසිරිට ද මෙහිදී නිදහස ලැබුණි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ මන්තී‍්‍රවරයෙකි. අඛණ්ඩව මාස ගණනාවක්ම ප‍්‍රාදේශීය සභා රැුස්වීමට සහභාගි නොවූ නිසා ඔහුගේ මන්තී‍්‍රධුරය අභියෝගයට ලක්විය.

කොටකෙතන පළමු ද්විත්ව ඝාතනය ධර්මසිරිගේ නම ඈඳීමත් ඔහු සැකකරුවකු බවට පත්වීමත් නිසා දේශපාලනය ද මේ සිදුවීමට ඇඳුණි. 
පසුගිය 2012 ජනවාරි මස 31 වැනිදා  නයනා නිල්මිණි (51) සහ කාවින්ද්‍ය චතුරංගි සෙල්ලහේවා (18) යන මවත් දියණියත් ඝාතනය කිරීම කොටකෙතන ඝාතන රැල්ලේ නමවැනි සහ දහවැනි ඝාතන සිදුවීම් බව පොලිස් පොතේ ලියැවිණි. 

අහිංසක පාසල් සිසුවියක් කොටකෙතන ඝාතන රැල්ලට බිලිවීම නිසා එම ද්විත්ව ඝාතනය රටේම අවධානයට ලක්විය. එම ද්විත්ව ඝාතනයෙන් දින 35කට පමණ පසුව සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්හ.

පරීක්ෂණ කණ්ඩායම් 16ක් එකවර යොදවා මිනිස් ඝාතන සිදුවීමක් ගැන මෙරට සිදුවූ පුළුල්ම පොලිස් පරීක්ෂණය එය විය.
2012 මාර්තු 7 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ලොකුගම හේවගේ දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිඳවන රසිකා චාන්දනි උදයකුමාරි හෙවත් බට්ටි සහ ති‍්‍රරෝද රථ රියදුරකු වන ජයසේකර විතානලාගේ සනත් නන්දන නොහොත් චූටි මල්ලිය.

මව සහ දියණියගේ ඝාතන සම්බන්ධව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්. එච්. ධර්මසිරි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2012 මාර්තු 14 වැනිදාය. ද්විත්ව ඝාතනයට අනුබලදීම සහ සැකකරුවන්ට රැකවරණ ලබාදීම ඔහුට එරෙහිව පැවැති චෝදනා විය.

ධර්මසිරිගේ බාල සොහොයුරු රාජු පළමුවැනි විත්තිකරු ලෙස නම්කරනු ලැබීය.

පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනි නිරංජලා ඩයස් මහත්මිය ඉදිරියේ පැමිණිල්ල විභාගය ඇරැඹුණි. ලඝු නොවන නඩු කටයුත්ත ඒ අනුව සිදුවිය. 
ධර්මසිරි අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙරදි ධර්මසිරිගේ සොහොයුරු රාජුගේ බිරිඳවන චාන්දනි උදය කුමාරි නම් සැකකාරිය පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය හමුවේ දීර්ඝ පාපොච්චාරණයක් කළාය. 2012 මාර්තු 9 වැනිදා ඇය එම රහසිගත පාපොච්චාරණය කළාය.

විනාඩි 45ක පමණ කාලයක් සැකකාරිය මහේස්ත‍්‍රාත්වරිය ඉදිරියේ එම ප‍්‍රකාශය සිදු කළාය.

ඇසින් දුටු සාක්ෂි නොමැතිවීමකදී නඩුවක් තවදුරටත් පවත්වාගෙන ගොස් විත්තිකරුවන්ට චෝදනා ගොනු කිරීමට ලැබෙන සාක්ෂි පරිවේශනීය සාක්ෂිය. 

 
ඝාතනය වූ මව සහ දියණිය

කොටකෙතන පළමු ද්විත්ව ඝාතනය ගැනද වටපිටාවෙන් ලැබෙන සාක්ෂි හෙවත් පරිවේශනීය සාක්ෂි වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගත්තේය.මවත් දියණියත් ඝාතනයට යොදාගත් බව කියන පිහියක්ද ලේ තැවරුණු ඇඳුම් කැබලිද පරිවේශනීය සාක්ෂි ලෙස යොදාගෙන තිබේ.
ඝාතනයට ලක්වූ දෙදෙනාගේ නියපොතුවල සැකකරුවන්ගේ සම්කැබලි ඇත්දැයි සොයා බැලීමට ජානමය පරීක්ෂණයක්ද කෙරුණි. එයද මේ නඩුවේ පර්වේශනීය සාක්ෂි අතර වෙයි. ඇසින් දුටු සාක්ෂි ඇතැම් අවස්ථාවලදී වෙනස්වීමට ඉඩ ඇතත් පරිවේශනීය සාක්ෂි එලෙස වෙනස් නොවෙන බැවින් එය අපරාධයක දඬුවම් ලබාදීමට වැදගත් සාක්ෂියකි.

කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ සැකකරුවකුගේ හිස කෙස් ඞී.එන්.ඒ. පරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කාවින්ද්‍යා චතුරංගි සිසුවියගේ දේහය  ඕපාත රබර් වත්තට රැගෙන යෑමට යොදාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ති‍්‍රරෝද රථයේ තිබූ රුධිර පැල්ලම් දෙක ගැනද විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කෙරුණි. ඒ 2012 මාර්තු මස අගදීය. 

ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර එල්. එච්. ධර්මසිරි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ පළමු වරට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණේ 2012 මාර්තු 15 රාති‍්‍රයේදීය. මහේස්ත‍්‍රාත්වරියගේ නිල නිවසට රැගෙන ගිය සැකකරු එහිදී මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි. රහස් පොලිසිය පැය 48ක රැඳවුම් නියෝගයක් ලබා ගත්තේ සැකකරුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහාය.

ධර්මසිරි පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත පළමුවරට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමවූදා බන්ධනාගාර නිලධාරීන් ඔහු බන්ධනාගාර රථයට රැගෙන යද්දී ධර්මසිරි මේ ලියුම්කරු සමග කීවේ ඡායාරූප ගත්තාට කමක් නැති බවත්ය. එමෙන්ම තමන් කියන දේ පත්තරේ දමන්නැයි ඔහු පැවසීය.”මල්ලි පොටෝ ගන්න. මම කියන දෙයත් පත්තරේ දමන්න. මට තියෙන්නේ සැකකරුවන්ට රැකවරණ දුන්නා කියන චෝදනාව. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේක තනිකරම කුමන්ත‍්‍රණයක්. අපේ දේශපාලනය නැති කරන්න කරන දෙයක්.”
ඒ එදා ධර්මසිරි කියූ වචනය. 

ඊට පසු පැල්මඩුල්ල අධිකරණයට ඔහු මෙන්ම අනෙක් සැකකරුවන් වරින්වර ඉදිරිපත් කෙරිණ. ධර්මසිරිගේ සොහොයුරු රාජු මාධ්‍යවේදීන්ට යම් යම් දේ පවසමින් ගියත් ධර්මසිරි මාධ්‍යවේදීන් සමඟ සිනහා වෙමින් අධිකරණයට පැමිණෙනු දකින්නට ලැබුණි.

2012 මැයි 14 වැනිදා පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැමිණිල්ල කැඳවනු ලැබීය. මව සහ දියණිය ඝාතන සිදුවීමේ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එදිනය ධර්මසිරිගේ නිවසේ තිබියදී සොයාගත් අඩක් පිළිස්සුණු කවිච්චියක් ද ඒ අතර විය.

කොළඹ සිට පැමිණි නීතිඥයින් දෙදෙනකු පළමුවරට ධර්මසිරි වෙනුවෙන් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියේද එදිනය. සැකකරුට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා සැකකරුට අදාළ බී වාර්තාව හා වැඩිදුර වාර්තාවල සහතික පිටපත් ලබාදෙන ලෙස එම නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනි නිරංජලා ඩයස් මහත්මිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ කරුණුද සැළකිල්ලට යොමු කළාය. මෙම නඩුවේ පරීක්ෂණ අවසන් නැති නිසා සැකකරු අත්අඩංගුවට ගත් පළමු වැනි දින වාර්තාව පමණක් ලබාදීමට මහේස්ත‍්‍රාත්වරිය එහිදී නියම කළාය.
සැකකාර ධර්මසිරිගේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධුරය අහෝසිවීමට ඉඩ ඇති නිසා 2012 මැයි 29 පැවැත්වෙන ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට සහභාගිවීමට අවසර ලබාදෙන ලෙසද සැකකරුගේ නීතිඥයෝ එහිදී ඉල්ලීමක් කළෝය. එම නියෝගය ලබාදීමේ අභිමතය ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාට බවත් අධිකරණ කොමිෂන් සභා චක‍්‍රලේඛ 320 යටතේ එම ඉල්ලීම කළ හැකි බව ද මහේස්ත‍්‍රාත්වරිය එහිදී පැවැසුවාය.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධර්මසිරිට 2012 මැයි 29 ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගිවීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාගේ අවසරය ලැබිණ. ධර්මසිරි බන්ධනාගාර ආරක්ෂාව ඇතිව ප‍්‍රාදේශීය සභා රැස්වීමට පැමිණෙනු ඇතැයි ආරංචි පැතිර තිබිණ. පොලිස් ස්ථාන හතරකින්ද නිලධාරින් කැඳවා ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට ආරක්ෂාව තර කර තිබිණි. ධර්මසිරි ප‍්‍රාදේශීය සභා රැුස්වීමට නොපැමිණි අතර ඒ වෙනුවට නිවාඩු අනුමත කිරීමේ ලිපියක් එවා තිබිණි. ඊට ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමිවිය.

විද්‍යාත්මක පරීක්ෂණයක වාර්තා ලබාගැනීම සඳහා බොරැල්ල ජින්ටෙක් ආයතනයේ සහ රජයේ රස පරීක්ෂකවරයාගෙන් විමසීමට ඉදිරිපත් කළයුතු ප‍්‍රශ්නාවලිය රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවක ගැටලූ මතුවිය. 

එම ප‍්‍රශ්නාවලියේ ඇතැම් කරුණු පැහැදිලි නොවීම ගැන රහස් පරීක්ෂක නිලධාරින්ගෙන් කරුණු විමසූ මහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රශ්නාවලිය පැහැදිලිව සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුවද කල් තැබීය.

මෙම ද්විත්ව ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර සූදානමකින් එම ප‍්‍රශ්නාවලිය ඉදිරිපත් කළේ නම් ගැටලූ මතුවීමට ඉඩ නොතිබිණ.

සිවුවැනි සැකකාර එල්. එච්. ධර්මසිරි සහ තෙවැනි සැකකාර දැනට අතුරුදන්ව සිටින ති‍්‍රරෝද රථ රියදුරු ජයසේකර විතානලාගේ සනත් නන්දන ඉකුත් 2 වැනිදා නිදහස ලැබුවේ නීතිපති උපදෙස් මතය. සැකකරුවන්ට එරෙහිව ප‍්‍රමාණවත් ලෙස සාක්ෂි ගොනුකර නොතිබීම නිසා තවදුරටත්  ඔවුන්ට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන්  නිදහස් කළේය. 

 

සැකකාරයකුව සිටි ධර්මසිරි  නමැත්තා නිදහස් වී යමින්...

 

ධර්මසිරි නිදහස් වීමෙන් පසුව සිනහා මුසු මුහුණින් පැල්මඩුල්ල අධිකරණයේ දොරටුව අසලට පා ගමනින් පැමිණියේය. රත්නපුර බලන්ගොඩ ප‍්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි පැල්මඩුල්ල අධිකරණයට පිවිසෙන දොරටුව අසලට පැමිණි මෝටර් රථයක නැගී ඔහු පිටත්ව ගියේය.
ධර්මසිරි එලෙස පිටත්ව ගියද නිදහස් ලද බවට නීතිපති උපදෙස් ලැබූ ති‍්‍රරෝද රථ රියදුරු සනත් නන්දන මාස පහක පමණ කාලයක සිට අධිකරණයට පැමිණ නැත. රත්නපුර මහාධිකරණයේ තීන්දුවකට අනුව ඇප මත මුදාහරින ලද ඔහු වැලිවේරියේ ඥාති නිවෙසක රැඳී සිටියදී පැහැර ගැනීමට ලක්වූ බව ඔහුගේ බිරිඳ පැමිණිලි කර තිබේ.

අපේක්ෂා නොකළ අවස්ථාවකදී සිදුවූ මෙම නිදහස් කිරීම ගැන කොටකෙතන ගම්වාසීන් තුළ විවිධ මත පවතී. අපරාධ පරීක්ෂණයක් ගැන තමාට ඍජුව තොරතුරු ලබාදෙන ලෙස පොලිස්පතිවරයකු පෞද්ගලික ජංගම දුරකථන අංකය ලබාදී ඇතිනම් ඒ කොටකෙතනදී විය හැකිය. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා තම ජංගම දුරකථන අංකය මීට මාස කීපයකට පෙරදී එනම් කොටකෙතන අවසන් කාන්තා ඝාතනයෙන් පසු ගම්වාසීන්ට ලබාදී තිබිණ.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පැමිණ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලද ස්ථාන මාරුවූ වාස් ගුණවර්ධන මහතා ගැනද ගම්වාසීන්ට මහා විශ්වාසයක් ගොඩනැගී තිබිණ. නියෝජ්‍ය පොලිස්පතිවරයා කොටකෙතනින් සමුගැනීම හැඟුම්බර විය. එහිදී ඔහු කීවේ කොටකෙතනට සැනසිල්ල උදාවූ බවයි. එමෙන්ම කොටකෙතන ඝාතන රැල්ල පිටුපස ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ සහයෝගයක් ඇතැයි පැතිරී තිබූ කථාව සත්‍යයෙන් තොර බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයිද වාස් ගුණවර්ධන මහතා කීවේය.

ඇත්තටම කොටකෙතන සිදුවූයේ කුමක්ද? පොලිස් ප‍්‍රධානීන්ගේ ප‍්‍රකාශ හා නීතිමය කටයුතු අතර පරස්පරයක් තිබුණේද? පොලිස් බලධාරින් පවසන බවට උපුටා දක්වමින් සමහර මාධ්‍යවල පළවූ තොරතුරු අසත්‍යයක්ද? ඒවා අතේ ගෙතු බොරුද?

මේ ආදී ප‍්‍රශ්නවලින් දැන් කොටකෙතන ජනතාව හෙම්බත්වී සිටිති. ”කවුරු මොනවා කිව්වත් දැන් වැරැදි කාරයෝ මරා දැමුණු ගැහැණු අය විතරයි” කොටකෙතන තරුණයකු අප සමග එලෙස කීවේය. 

ධර්මසිරිගේ නිදහස්වීමත් සමග කොටකෙතන යළිත් කිසියම් සෙලවීමකට තැති ගැන්මකට පත්වී ඇති බව නොරහසකි. ඒ නිසාම ගම්වාසී කාන්තාවෝ පොලිස් ප‍්‍රධානීන්ගේ ජංගම දුරකතනවලට පසුගිය දින කීපයේදී ඇමතුම් ලබා දුන්හ.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රශාන්ත ජයකොඩි මහතා ධර්මසිරි නිදහස් වූ දින පස්වරුවේ කොටකෙතනට පැමිණියේය.

කොටකෙතන ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය යුද හුමදාව සහ පොලිසිය මේ ප‍්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල සුපුරුදු ලෙසම යෙදී සිටිනවා. ආරක්ෂක කටයුතු ශක්තිමත්ව තිබෙනවා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රශාන්ත ජයකොඩි මහතා කීවේය.

ධර්මසිරිගේ නිදහස්වීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින බවට රාවයක් පැතිරී තිබෙන බව සඳහන් කිරීම අතිශෝක්තියක් නම් නොවේ.
මිනිසුන්ට උපකල්පන කළ හැකිය. සිදුවෙමින් පවතින කරුණු ගැන සැක පළ කළ හැකිය.

ධර්මසිරි සම්බන්ධ කතා බහේදී අවධානයට ලක්වූ දේශපාලන චරිතය රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතාය. සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස වසර 15ක පමණ කාලයක් ධර්මසිරි රාජකාරි කළේය. ඔහුගේ නිදහස්වීම පිටුපස ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා සිටීද? සමහර තැන්වලින් ඇසෙන මේ කථාව ගැන අප කෙළින්ම ඇමැතිවරයාගෙන් විමසීමු. 

 

 

කාලයක් මේ සිදුවීම මුල් කරගෙන මට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන ගියා. අපේම සමහරුන් හා විපක්ෂයේ අය මට මඩ ප‍්‍රහාර එල්ල කළා. ධර්මසිරි මාගේ ලේකම්වරයකු වූ බව ඇත්ත. ඔහුගේ සහෝදරයකු ඝාතන සිදුවීමකට අත්අඩංගුවට ගත් බවට වාර්තාවූ විගසම මම ධර්මසිරිව ඉවත් කළා. හතළිස් වසරකට වැඩි මාගේ දේශපාලනය පිරිසුදුයි. රත්නපුරේ ජනතාව ඒ බව දන්නවා.

සමහර මාධ්‍ය මට මඩ ප‍්‍රහාර ගෙන ගියා. පුවත්පත් මණ්ඩලයට ගියවිට වැරැදි නිවැරැදි කිරීමට ඔවුන් එකඟ වුණා.

ධර්මසිරිගේ නිදහස්වීම මම හරියටම දැන ගත්තේ පුවත්පත්වලින්. එම නිදහස් කිරීම නීතිපති උපදෙස් මත සිදුවූවක්. ඒ ගැන මා දන්නේ එපමණයි. අපේ අමාත්‍යාංශයේ උපාධිධාරින් බඳවා ගැනීම ගැන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කිසියම් රූපවාහිනි නාලිකාවක මාධ්‍යවේදියෙකු ධර්මසිරිගේ නිදහස්වීම ගැන මාගෙන් විමසුවා. එවිට මම ඊට පිළිතුරු දුන්නා. ඇමැතිවරයා කීය.

රළු බොරළු පස් හා වැලි අතුරින් මිණිකැට හඳුනා ගන්නා මේ ප‍්‍රදේශයේ මිනිසුන්ට සත්‍ය කුමක්දැයි හඳුනාගත  හැකිය. ලබන 16 වැනිදා කොටකෙතන බක් මහා උළෙල මහා ඉහළින් සමරා නැවුම් බලාපොරොත්තු සමග එළැඹෙන නව වසර ඇරැුඹීමට අපේක්ෂා කරන කොටකෙතන ගම්වාසීන්ගේ සැනසිල්ල කඩතොලූ නොවේවා යන්න අපේ ප‍්‍රාර්ථනාවයි.

 

සටහන/ඡායාරූප - කහවත්තේ ලසන්ත නිරෝෂණ පෙරේරා

 



අදහස් (0)

කහවත්තේ ධර්මසිරි නිදහස් වූ හැටි

නිමල් Wednesday, 17 April 2013 07:09 PM

මෙවන් පුද්ගලයින් දේශපාලනයට ගේන්නෙත් ඉතින් අපේම ඡන්දදායකයොනේ. (නි)

:       0       0

රූපවතී Thursday, 11 April 2013 03:06 PM

මට ගොඩාක්ම දුක අපේ රටේ අනාගත පරපුර ගැන. අද අපි මෙහෙම විදවනවා නම් අපේ අනාගත පරම්පරාවට මොන වගේ වින්නැහියක් කරාවිද? කමක් නැහැ ස්වභාව ධර්මය දඩුවම් කරාවි වැරදිකළවුන්ට හා වැරදි තීන්දු දුන් අයට. (නි)

:       0       0

රූපවතී Thursday, 11 April 2013 09:04 PM

දැන් එතකොට අර කහවත්තේ දේශපාලකයෙක්ගේ නිවසෙන් හමුඋන කුඩු පාර්සලයට මොකද උනේ? එකත් කුරක්කන් පිටි උනාද? දන්නැහැ උසාවියට යන පරක්කුවට ?(නදී)

:       0       0

සරදියල් Saturday, 13 April 2013 11:01 AM

වැරදි කරන මිනිස්සුන්ටයි ආසියාවේ ආශ්චර්යටයි ජයවේවා! (නි)

:       0       0

දිනේෂ් Saturday, 13 April 2013 04:02 PM

ආශ්චර්යට යන කොට මේවා ගනන් ගන්න එපා . ආඩමිබරකාර තාත්තා මොනවා හරි කරයි.(නදී)

:       0       0

ලසන්ත Saturday, 13 April 2013 06:03 PM

අර කිරිබත් කෑව කට්ටිය මේක දැක්කද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගයන්ත Monday, 15 April 2013 12:30 PM

අවරුදු 2ක 3ක කොටකෙතන නඩු වල සැකකරුවෝ හිරේ ඉන්නවා. ධර්මසිරි හිටියේ 1ක අවරුද්දයි. මෙයා නිදකස් වෙන්නේ කොහොමද කියා ප්‍රස්නයක් තියෙනවා. මොකද කලින් සැකකරුවන් 3ක් අතුරුදහන් වීම සැකයට කරුණක්.(නදී)

:       0       0

රොසානා Monday, 15 April 2013 12:36 PM

එතකොට මාසයකට කලින් සමහර මාධ්‍ය කිව්වේ ධර්මසිරිලාගේ මෙහයවීමෙන් කොටකෙතන ඝාතන 15 ක් වුනා කියලා. ඒවා බොරුද ? (නි)

:       0       0

කහවත්ත Monday, 15 April 2013 02:52 PM

කහවත්තෙ අය ගැන එදා කිවුවෙ කොහෙමද? එහේ ඉන්න අපි දන්නවා ඇත්ත. (නි)

:       0       0

රුක්මාල් Thursday, 11 April 2013 03:01 PM

මට දුක මම ඡන්දෙ දුන්න එක ගැනයි. (නි)

:       0       0

ඉෂාන් Friday, 19 April 2013 02:20 PM

බොදු බල සේනවටවත් මේවා පේන්නෙ නැද්ද බුදු හාමුදුරුවනේ? (නි)

:       0       0

චන්දා Saturday, 20 April 2013 05:13 AM

බොදු බල සේනාව, අවශ්‍ය නම් යමක් කරයි අනිවාර්යෙන්ම. (නි)

:       0       0

චන්දික Saturday, 20 April 2013 08:37 AM

බොදුබල සේනාව , සිංහල රාවය , යන සංවිධානවත් මේ දේශපාළුවන්ගේ වැඩවලට එරෙහිව නැගීසිටි කියලා අපි බලන් ඉන්නවා. හාමුදුරුවනේ මේ රටේ නීතියක් නැනේ.(නදී)

:       0       0

තිලෝෂන Saturday, 20 April 2013 12:04 PM

අනේ රටට ගිය කල? තමුන්ගේ මල්ලි කුඩු විකුණන බව දැනගෙන හිටියේ නැද්ද? බොරුවනේ කරන්නේ . රටම ආර්ථිකය වැටිලා යුද්දේ දිනුව එක හොදයි. ඒත් යුද්දෙට වියදම් කරපු සල්ලි ඉතුරු වෙනවා කෝ?(නදී)

:       0       0

ලක්ෂමන් Saturday, 20 April 2013 09:47 PM

බොදු බල සේනාවට ඕවා කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට පවරලා තියෙන්නේ ජාතිවාදය අවුස්සන්න.(නදී)

:       0       0

ඛාන් කුවෛට් Sunday, 21 April 2013 02:29 AM

මගේ අම්මා හා තාත්තා‍ (වයස 60 හා 68) ගම්පොල සිංහපිටිය ආරාමය පාර 2006 දී කව්දෝ මරලා දාලා තිබුනා. එතකොට මම රට. තනිවම දෙන්න ජීවත් වුණා.තාම කිසි කෙනෙක් සැකපිට ඇල්ලුවේ නැහැ.නඩු හබ, පවුල් ප්‍රශ්න තරහකාරයෝ නැහැ. මට කව්රුහරි උදව් කරන්නකෝ කරුණාකරලා. පොලිසිය අල්ලලා දෙන්නම් කියනවා. තාම නැහැ. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 24 April 2013 05:33 PM

ලක්ෂ්මන්, ඔබ හරියට හරි. (නි)

:       0       0

සඳුනි Monday, 08 April 2013 01:30 PM

සල්ලි වලට ඉතිරි අයද නිදහස් කරන්න පුළුවන්...එහෙත් හෘද ශාක්ශියෙන්.....? (ස)

:       0       0

රූපවතී Thursday, 11 April 2013 03:01 PM

ඇත්තටම මේ ප්‍රවෘත්තිය බලලා පුදුම විදියට මම කලකිරීමට පත්වුණා. එක අතකට මෙහෙම වෙන එකත් හොදයි. තණකොළ කන අපි වගේ සිංහලයෝ මින් එදිරියටවත් දේශපාලුවෝ පත්නොකර සිටීමට අදිටන්කර ගනීවි (නි)

:       0       0

ජූඩ් Thursday, 11 April 2013 01:19 AM

අන්තිමටම කළකිරුනා මම මේ ප්‍රවෘත්තිය කියවලා. (නි)

:       0       0

වසන්ත Wednesday, 10 April 2013 11:37 PM

කොහොමහරි අන්තිමට වුණේ තනිපංගලමේ හිටපු අහිංසක ගැහැණු ටිකක් මැරුණු එක විතරයි (නි)

:       0       0

ප්‍රියදර්ශනී Wednesday, 10 April 2013 12:46 PM

අනේ අපේ රටේ නීතිය! (නි)

:       0       0

ම්ර්ෆ් Wednesday, 10 April 2013 12:13 PM

තවත් මොනවාද තියන්නේ විබාග කරන්ඩ? නඩු කියල කියල අන්තිමට ඇසින් දුටු සාක්ෂි නෑ කියල නිදහස් කරද්දි.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 10 April 2013 11:33 AM

ඔබ සත්‍යයයි සිතන දෙය සත්‍ය නොවේ. සත්‍ය කිසිදිනක එලි නොවේ. ඔබ තුලින්ම සත්‍ය අවබෝධ වීමෙන් පමණක් සත්‍ය වශයෙන්ම ඔබ සත්‍ය දැනගනු ඇත. සැකය දුරුකර තණ්හාවෙන් තොරව ජීවත්වෙමු.(නදී)

:       0       0

සුදු Wednesday, 10 April 2013 09:10 AM

අනේ මන්දා මේක නඩු ලෝකයක් හරි නීති රීති මේ ලංකාවට එන්නේ කවදද? (නදී)

:       0       0

දිනූෂා Wednesday, 10 April 2013 06:25 AM

ලංකාවේ නීතිය අනුව කපා කොටා දූෂනය කර මැරීම වරදක් නොවේද? මම හිතන්නේ ඒ මිනිස්සුම ගිනි තියාගන්න ඇති. මැරෙන්න ඇති. එතකොට මේ අහිංසක මිනිස්සු මැරුවේ කවිද? (නදී)

:       0       0

දිනූෂා Wednesday, 10 April 2013 06:29 AM

ආසියාවේ ආස්චාර්ය. අවසානයේ වැරැද්ද මැරුණ මිනිසුන්ගේ වගේ. භූතයෙක්ම තමා මරන්න ඇත්තේ. සාධාරණ ඡන්දයක් තිබුනොත් ලබන සැරේ ගමේ අය උත්තර දෙයි.(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 10 April 2013 01:32 AM

ලෝකේ අපේ රට වගේ රටක් කොහෙවත් නැහැ, මිනීමරලා පාපකර්මයන් ටික හෝදගන්නත් පුළුවන්. අනේ අපේ ලක්මවට වෙච්ච කොඩිවිනය නම් කපන්න බැහැ කපේට. (නි)

:       0       0

රාජා Tuesday, 09 April 2013 03:23 PM

මෙයාවත් අතුරුදහන් උනෝතින් කොටකෙතනෙ අයට සැනසීමේ ඉන්න පුලුවන් වෙයි. එහෙම වේවා!(නදී)

:       0       0

දර්ශන් Monday, 08 April 2013 06:20 PM

වැරදි කළ අයට මැරෙන මොහොතේදීවත් කළ පව් මතක් වේවි. (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 08 April 2013 02:45 PM

වැරදි කල උදවිය බෙහොම දෙනෙක් දිටිට දම්ම වේදනීය කර්මය අනුවම මෙලොව හැර ගියා.(නදී)

:       0       0

වරුණ Monday, 08 April 2013 02:34 PM

අර උඩ පොටෝ එකේ දර්මසිරි නිදහස් වෙලා යනගමන් කියල මාංචු දල ගෙනියන්නේ කොහෙද?අදකාලේ නිදහස් කරන අයත් මාංචු දාලද ගෙනියන්නේ? (නදී)

:       0       0

බන්දුල Monday, 08 April 2013 01:40 PM

සේරටම කලින් අප රටේ නීති පද්ධතිය දේශපාලනයට යටවෙන්න නොදී මහජනයාට සාධාරණයක් ඉටුවන ආකාරයට සකස් කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site