X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


ගල්ඔය ගොවි ජනපදය ගැන පැරැන්නන් කියන කතා

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බහුකාර්ය යෝජනා ක‍්‍රමය ගල්ඔය ව්‍යාපාරයයි. ඉඟිනියාගල දී සුවිසල් කඳු දෙකක් යා කර තැනූ සේනානායක සමුද්‍රය මුල් කරගෙන මේ මහා ව්‍යාපාරය බිහි විය. ගල්ඔය යනු දනන් තුඩ -  තුඩ පවත්නා නාමයකි. එය නව ලංකාව පිළිඹිබු කරන්නේය. එහි පරමාර්ථය නොපමාව මුදුන්පත්වී ස්වයංපෝෂිත වීමේ ජයස්තම්භය කරා කෙරෙන අපේ ගමන සාර්ථක වේවා” යන මේ වචන ප‍්‍රකාශ කරමින් ඞී.එස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා ඉඟිනියාගල නගරයේ ඉදි කරන ලද ස්මාරකය විවෘත කළේය. එම ස්මාරකයේ තුන් පැත්තක සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග‍්‍රීසියෙන් පහත වාක්‍ය ඛණ්ඩය සටහන් කර තිබුණි. ගල්ඔය වාරිමාර්ග හා විදුලිබල ව්‍යාපාරයේ ආරම්භය මෙයින් සිහිපත් කෙරෙන්නේය. ලංකාවේ අග‍්‍රාමාත්‍ය අතිගරු ඞී.එස්. සේනානායක මහතා විසින් 1949 අගෝස්තු මස 28 වැනි දින විවෘත කරන ලදී.” ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා ගල්ඔය සංවර්ධනය සඳහා වූ මෙම බහුකාර්ය යෝජනා ක‍්‍රමය ආරම්භ කළේය. උතුරු පළාත හැර ලංකාවේ අනෙකුත් සියලූම පළාත්වලින් ජනතාව ගෙන්වා ජනපද 40ක් ඇති කර කුඹුරු අක්කර දස දහස් ගණනකට අධික ප‍්‍රමාණයක් බෙදා දෙමින්, නව මංමාවත්, වැව් අමුණු කර්මාන්ත ශාලා ඇති කරමින් රැකීරක්ෂා මාර්ග ඇති කරමින් තැනූ ගල්ඔය ව්‍යාපාරය සැබවින්ම විප්ලවයක් බඳුය. නෙක උප සංස්කෘතීන් ද මේ තුළින් බිහි විය. අඳුරේ සිටි මිනිසුන්ට පමණක් නොව රටටම මේ ව්‍යාපාරය එළියක් විය. ගල්ඔය මිනිසුන් අදටත් ඞී.එස්. සේනානායක මහතා අදහන්නේ දෙවියන් බුදුන් අදහන පරිදිය. ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කර අදට (28) වසර 62ක් පිරෙයි. මේ නිසා ගල්ඔයේ අතීත තතු මෙන්ම දැයක් අවදි කළ ඞී.එස්. සේනානායක අගමැතිතුමා ගල්ඔයට පැමිණි හැටි සොයා අප පැරැුන්නන් කීප දෙනෙකුම හමු වීමු. අම්පාර, අම්බලන්ඔය පදිංචි මෙන්ඩිස් කපුගම (85) මහතා 21 වසරක් ගල්ඔය ව්‍යාපාරයේත් තවත් දස වසරක් හිඟුරාන සීනි ආයතනයේත් සේවය කළ දක්‍ෂ බර වාහන ඔපරේටර්වරයෙකි. හෙතෙම ගල්ඔයට කළ සේවය වෙනුවෙන් සූරිය ලංකා සම්මාන උළෙලේ දී සම්මාන ලැබීය. එපමණක් නොව, ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්ති උත්සවයේ දී ද සම්මාන ලැබීය. මම ඞී.එස්. සේනානායක මැතිතුමාව ඉස්සෙල්ලාම දැක්කේ 1948 පෙබරවාරි 04 වෙනිදා මහනුවර පැවැති ප‍්‍රථම නිදහස් උත්සවයේ දී. එදා එතුමන්ගේ ආර්යාවත් හිටියා. එංගලන්ත රජ පවුලේ නියෝජිතයෙකු වූ ග්ලෝස්ටර් ආදිපාදවරයත් හිටියා මට මතකයි. ඉන් පස්සේ ඞී.එස්. සේනානායක මහත්තයා මම දැක්කේ ගල්ඔය දී 1949 අගෝස්තු 28 වැනිදා. එතුමා ඉඟිනියාගලට ආවා. අපි එතුමාව පිළිගත්තේ ඉඟිනියාගලට කිලෝමීටර් 02ක් පමණ මෑතින් වූ ඔවාගිරිය පන්සල ළඟ දී. එතුමා ගල්ඔය පටන් ගන්න කලිනුත් මේවා බලා කියා ගන්න ඇවිත් තියෙන බව මට දැන ගන්නත් ලැබුණා. එදා ඈත ගම්වල මිනිස්සු විශාල ප‍්‍රමාණයක් ඔවාගිරිය පන්සල ළඟට ඇවිල්ලා හිටියා. රටේ අගමැතිතුමා ගල්ඔයට එනවා කියන්නේ ලොකු දෙයක්නේ. එතුමාව එතන දී මල් මාලා දාලා පිළි ගත්තා. එතුමා හිනා වෙලා හැමෝගෙම මූණ දිහා බලලා අලියගේ පිටේ නැග්ගා. එතැන ඉඳන් ඔය දැන් තියෙන ඉඟිනියාගල වටරවුමේ ස්මාරකය ළඟට ඇවිත් ස්මාරකය විවෘත කළා. විවෘත කරලා පැමිණ හිටපු අය අමතලා පොඩි කතාවකුත් කළා. එතුමා බුෂ් කෝට් එක ඇඳලා සපත්තු දාලා හිටියේ. රට සහලින් ස්වයංපෝෂිත කරලා මේ රට දියුණුව කරා ගෙන යාම අපි හැමෝගෙම වගකීමක්” කියලා එතුමා කිව්වා. අපි එතුමාගේ ළඟටම ගියා. හරි උස මහතයි. එතුමාගේ පෞරුෂය දැක්කම අපේ හිතටත් අමුතු අභිමානයක් ඇති වෙනවා. එතුමා මේ තුළින් ගල්ඔයට පමණක් නෙවෙයි සේවය කළේ. ගල්ඔය තුළින් රටටත් සේවයක් කළා. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය වූකලී ශ්‍රී ලංකාවේ සාර්ථකම බහුකාර්ය යෝජනා ක‍්‍රමයකි. ඒ බව ගල්ඔයට එන ඔබට දෑසින්ම දැකගත හැක. ගල්ඔය සංවර්ධන ව්‍යාපාර ඉතිහාසයේ ඇත්තේ ඉතා රසවත් මෙන්ම අපූරු කතා රැසකි. එමෙන් ශ්‍රී ලාංකිකයින්ට එය අමුතු අන්දමේ නැවුම් අත්දැකීමකි. මීට හැට වසරකට පමණ පෙර ගල්ඔය කෙබඳු වීද යන්න අසා එදා, අද සංසන්ධනය කර බලද්දී යමෙකු විස්මයට පත්වීම වැළැක්විය නොහැක. ඈත පළාතකින් තරුණ වියේ දී ගල්ඔයට පැමිණි මෙන්ඩිස් කපුගම මහතා ගල්ඔය අත්දැකීම් අපට තව දුරටත් විස්තර කළේ මෙසේය. මම ගල්ඔයට ආවේ මගේ සීයා කෙනෙක් එක්ක. ඒ වෙන කොට මගේ මල්ලි කෙනෙක් ගල්ඔයට ඇවිත් ඉඟිනියාගල කඩයක් දාගෙන හිටියා. අපේ අම්මා නිතරම කනු කුනු ගාන්න පටන් ගත්තා පුතේ මල්ලි බලන්න පලයන් කියලා. ඒ නිසා තමයි සීයත් එක්ක ආවේ. 1949 අගෝස්තු 22 වෙනිදා මාතර, කපුගමින් පාන්දර 4.30ට විතර අම්පාර පැත්තට එන බස් එකකට නැග්ගා. ඒ කාලේ සියඹලාණ්ඩුව හරහා අම්පාරට පාරක් තිබුණේ නෑ. මාතර, හම්බන්තොට, මොණරාගල, සියඹලාණ්ඩුව පහු කරල එතැනින් පොතුවිල්වලට ගිහින් අක්කරපත්තුවට ඇවිත් කාරතිව්වලින් තමයි අම්පාරට යන්නේ. කාරතිව් හංදියට එනකොට  7.00යි. අද කාලෙ නම් මාතර-අම්පාර ගමනට ගත වන්නේ පැය පහයි හයයි. ඒ වෙන කොට අම්පාරට ලයිට් නෑ. කාරතිව්වලටත් නෑ. කාරතිව් හංදියේ කඩයකින් බනිස් කාලා තේ බිව්වා. කඬේ වැහුවම මමයි සීයයි අරන් ගියපු රෙදි පෙරවගෙන බංකු උඩ බුදිය ගත්තා. පහුවදා උදේ නැගිට්ටම දැක්කා කාරතිව් හංදියේ ඉංග‍්‍රීසියෙන් බෝඞ් එකක් ගහලා ඊතලයක් ඇඳලා තිබුණා ගල්ඔය ප්‍රොජෙක්ට්” කියලා. සීයා කිව්වා පුතේ උඹ එහෙනම් එන වාහනයක නැගලා ඉඟිනියාගලට පලයන්, මම මරදමුනේ යනවා කියලා. මරදමුනේ අපේ බාප්පා කෙනෙක් කඩයක් දාලා තිබුණා. සීයා එහෙට යන්න තමයි පිටත් වුණේ. මම නොදන්න ලෝකෙක තනි වුණා වගේ වුණා. ටික වෙලාවක් යද්දී මිනිස්සු අදින වෑන් එකක් ආවා. මම ඒකේ නැගලා මල්වත්ත හංදියෙන් බැස්සා. ඒ වෑන් එක මල්වත්ත හංදියෙන් දකුණට දාලා සෙන්ටර් කෑම්ප් පැත්තට තමයි ගියේ. එතැන ටිකක් වෙලාවක් ඉන්න කොට ගල්ඔය ව්‍යාපාරයේ ලොරියක් ආවා. මම ඒකෙ නැගලා ඉඟිනියාගලට ගිහින් මල්ලිගෙ කඬේට සේන්දු වුණා. එදා උදේ 10.30 වෙන කොට තමයි මම ඉඟිනියාගලට ආවේ. දුවිලි කාගෙන දැඩි අව් රශ්මියේ ඒ ගිය ගමන නම් හරිම වෙහෙසකරයි. එදා ඉඟිනියාගල දකිද්දී මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. කම්කරුවෝ නොබෝ දිනකින් වැඩ පටන් ගන්න තැන් තැන්වල කඳවුරු ගහනවා. ගොඩනැගිලිවලට බිම් සුද්ධ කරනවා. නවීන වාහන එහාට මෙහාට යනවා. ඇත්තෙන්ම ඒක අමුතුම ලෝකයක්. ඉතින් ඔය දවසට දින හයකට පස්සේ තමයි අපි අගමැතිතුමා පිළිගත්තේ. එදා ඔවාගිරියේ පන්සල ළඟත් වැඩබිමක් ආරම්භ කරලා තිබුණා. ඔය වැවේ ගස් ටික කැපුවේ එජාපයේ පතාක යෝධයෙක්ව සිටි වේරගොඩ රාළහාමි. එතුමන් අගමැතිතුමා ආව දවසේ සිටියා. ඒ ඇරුණහම ඔය ගල්ඔය ගොවි ජනපදවල මූලික වැඩවලට ගොවි හමුදාවක් හිටියා. ඒ අය ඔය පරගහකැලේ කඳවුරක හිටියේ. ඒ කඳවුර හැඳින්නුවේ ඇග‍්‍රිකල්චර් කැම්ප්” කියලා. ඒ නිසා තමයි අදටත් ඒ ස්ථානය කෙටියෙන් කියන්නේ ඒ.සී. කෑම්ප් කියලා. ඔය ගොවි හමුදාව ගල්ඔයට ලොකු සේවයක් කළා. ඒ අයට නිල ඇඳුම්, කෑම ඇතුළු සියලූම දේ රජයෙන් ලබා දුන්නා. මාසිකව රුපියල් 45/=ක වැටුපකුත් දුන්නා. මම මල්ලිගේ කඬේ ටික දවසක් ඉන්න කොට කඬේට ආ ගිය මහත්තයෙක්ගේ මාර්ගයෙන් සමුද්‍රයේ -බන්ට්” එකේ වැඩට සම්බන්ධ වුණා. මම වැඩ කළේ ඩයමන්ඞ් ඩි‍්‍රලිං සෙක්ෂන්” එකේ. ඔය බන්ට්” එකේ දකුණු පැත්තේ කඳුවැටියේ ඉඳලා ගල්ඔය ඉවුරට යනකම් යටින් ගල තිබුණේ. අපි ගල ඩි‍්‍රල් කරලා ඒකේ සාම්පල් අරගෙන රසායනාගාරයට යැව්වා. මේ ගලේ සවිශක්තිය සහ වෙනත් දෝෂ තියෙනවා ද කියලා රසායනාගාරයෙන් පරීක්‍ෂා කළා. බන්ට්” එකේ අත්තිවාරම සකස් කරද්දී තමයි මේ ගල මතු වුණේ. ගලේ සිදුරු තියෙන තැන් උපකරණ භාවිත කරලා සුළෙඟන් සහ වතුරෙන් පිරිසිදු කරලා සිමෙන්ති කොට්ට සිය ගණන් ග‍්‍රවුට්” කරලා ගැහුවා. නැත්නම් කවදා හරි දවසක බන්ට්” එකෙන් වතුර ලීක් වෙන්න පුළුවන්. ඩයමන්ඞ් ඩි‍්‍රලිං සෙක්ෂන් එකේ වැඩ වගකීම් සහිතයි. මමත් එක සැරේම වැඩ කළේ නෑ. බලාගෙන අහගෙන තමයි වැඩට බැස්සේ. ඩි‍්‍රල් කරන්නේ ඩි‍්‍රල් එකට දියමන්ති තුඩකින් යුතු උපකරණයක් සම්බන්ධ කරගෙන. ඒ දියමන්ති බීට් එක හැමදාම මගේ අතට ගෙනත් දෙන්නේ හෙන්සන් කියන ජෙනරල් ෆෝමන්. ඔහු හරිම කාරුණික ආචාරශීලි පුද්ගලයෙක්. ගල්ඔය වැඩ ආරම්භ කළාට පස්සේ ඒකේ රස්සාවල් සොයාගෙන පිට පළාත්වලින් දස දහස් ගණනින් මිනිස්සු ආවා. මම උදේට වැඩට යන කොට ගල්ඔය ඉවුර දිගේ හැම දිනකම සිය ගණනක් මිනිස්සු පොල් අතු හෝ මොන යම් දෙකක් බිම අතුරගෙන නිදා ගෙන ඉන්නවා දැකලා තියෙනවා. මේ හැමෝම රස්සාවල් සොයාගෙන ආව අය. මේ අයට මොන-මොනවා හෝ රස්සාවල් ලැබුණා. ඒ දවස්වල මට මතකයි වමේ ව්‍යාපාරයේ උදවිය කිව්වා ගල්ඔය යන්න එපා. ගල්ඔය මැලේරියාව තියෙනවා. කපුටෝ තරම් විශාල මදුරුවෝ ඉන්නවා කියලා. ඒ විතරක් නොවෙයි. එක් අවස්ථාවක දී පරගහකැලේ රැස්වීමකට ආව දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ මහත්තයා කිව්වා, කැලෑ ජෝන්ට පිස්සු. පිස්සු මිනිහා පිස්සු වැඩ කරනවා. ඔය වැව අවුරුදු 20ක් යන කොට පිරෙනවා. මේක මහා අපරාධයක්. තමුන්නාන්සේලා  ඕවට අහුවෙන්න එපා” කියලා. ඒත් අපේ අගමැතිතුමා සැළුනේ නෑ. වැඬේ දිගටම කෙරුණා. අවුරුදු විස්සේ ඒවා තුනකුත් ඉවරයි. සේනානායක සමුද්‍රය ඔය තියෙන්නේ හොඳට. ඔය බන්ට් එකට පස් ඇද්දේ වැව ඇතුළෙන්මයි. ඒවා තඹ පාට වගේ පස්. ලෝඩරයෙන් පස් කපනවා. ඒවා එහෙම්මම බෙල්ට් එකකින් යූක්ලීඞ් බොටම් ඩම්පර්වලට පිරෙනවා. ඉන් පස්සේ ඒවා බන්ට්” එකට හලාගෙන යනවා. පිටිපස්සේ එන මෝටර් ගේ‍්‍රඩරයෙන් පස් තුනී කරාට පස්සේ, ඒක පස්සෙන් මුල් අහුලන පාටිය එනවා. ඒ අය 15-20ක් විතර ඉන්නවා. ඒ අය මුල් අහුලනවා. පසුව රෝල්වලින් පස් තලනවා. අඩියක් උස පස් අඟලක් දක්වා තැළුවා කියලා කියමනකුත් තියෙනවා. එතරම් තදට පස් තැළුවා. මේ සියලූ කටයුතුවලට විදුලිය දුන්නේ ජෙනරේටර්වලින් සෑම දිනකම ෂිප්ට් 03ක් වැඩ කළා. උදේ 6-2, 2-10, 10-6 වශයෙන්. හැබැයි අපේ ඩි‍්‍රලිං සෙක්ෂන් එකේ අපට පැය 06යි. උදේ 6.00ට පටන් ගත්තම 11.45 වෙද්දී සුද්දා කොඩියක් වනලා සිග්නල් එක දෙනවා. ඊට පස්සේ අපිව ලොරියේ එක්ක ගිහින් නවාතැන් පොළවල්වලට දානවා. ඊළඟ ෂිප්ට් එකට වෙන කට්ටියක් ඉන්නවා. දැන් ඔය ගල්ඔය නිම්නයේ තිබුණු මහා විශාල ගස් පෙරළලා අයින් කරලා කුඹුරු හැදුවේ කොහොමද කියලා සමහරු දන්නෑ. ඔය විශාල වනාන්තරය පෙරළන්න ටොන් විස්සක් විතර බර දම්වැල්, D-8 ඩෝසර් හතරකින් ඇදගෙන යනවා. දෙපැත්තට දෙක ගානේ ඒ දම්වැල අරගෙන ඩෝසර් හතර ඉස්සරහට යනවා. එහෙම කරළත් පෙරලෙන්නැති ගස් තියෙනවා නම් පිටිපස්සෙන් එන තවත් ඩෝසරයකින් තල්ලූ කරනවා. මේ ක‍්‍රියාවලියට ''ජංගල් ෆෙලින්ග්” කියලා කියනවා. ඒ විදිහට තමයි ඔය රූස්ස ගස් ඇදගෙන වැටුනේ. ජනපද 1 ඉඳලා 40ක් හඳන කොට ජී.ජී. පොන්නම්බලම් මහත්තයා 50%ක් ඉල්ලූවා දෙමළ අයට. නමුත් එහෙම දුන්නේ නෑ. ඒ අයට අන්නමලේ සෙන්ටර් කෑම්ප්, රණමඩුව, මණ්ඩුර් දක්වා ගොඩ ඉඩම් සහ කුඹුරු දුන්නා. ඞී.එස්. සේනානායක මහත්තයා ගොවි ජනපද ඇති කළා විතරක් නෙවෙයි. රට හැම තැනකින්ම මිනිස්සු ගෙනල්ලා කැත්ත, උදැල්ල. නගුල, හරකාබාන මෙන්ම මාස 06ක් විතර යනකම් කෑම බීම ආදී සියලූම දේවල් දුන්නා. ඒ ආව හැමෝටම ගෙවල් දුන්නා. ඒ සියලූම කටයුතු සිදු කළේ ජනපදයට පත් කරපු ජනපද නිලධාරියා විසින්. ඔය 1960 ශ්‍රී ලනිපයෙන් පත් වෙච්ච විජයබාහු විජේසිංහ මහත්තයා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයෙක්. 1960 පළවෙනි මැතිවරණයෙන් ශ්‍රී ලනිපයෙන් පත් වෙච්චි ඉන්ද්‍රසේන සොයිසා මහත්තයා ගල්ඔය ව්‍යාපාරයේ හිටපු ජනපද නිලධාරිවරයෙක්. ඒ වගේම 1965 ඉඳලා 1977 වෙන කම් ශ්‍රී ලනිප මන්ත‍්‍රී නියෝජ්‍ය ඇමැති වෙච්ච සෙනරත් සෝමරත්න මහත්තයත් ගල්ඔය ව්‍යාපාරයේ සේවය කළ අයෙක්. 1977 ඉඳලා තවමත් පාර්ලිමේන්තුවේ ඉන්න පී. දයාරත්න මහතාත් 1965 ගල්ඔයට විදුලි ඉංජිනේරුවෙක් විදිහට ආව කෙනෙක්. මේ හැම කෙනෙක්ම ගල්ඔය නිසා ප‍්‍රභාමත් වෙච්ච අය. ඒ කාලේ ගල්ඔය මිනිස්සු කවුරුවත් කොරළි මාළු කෑවේ නෑ. මේ අයට කොරළි කන්න පුරුදු කරන්න බෝඞ් එකේ උසස් නිලධාරීන් හොඳ වැඩක් කළා. සේනානායක සමුද්‍රයේ වාන් බැම්මේ තියෙන පොඩි දොරක් අරිනවා. විනාඩි 05ක් විතර ඇරලා වහනවා. අපි දොරෙන් එළියට එන වතුරත් එක්ක දහස් ගණනක් මාළු එළියට එනවා. වැඩට ඉන්න සේවකයෝ දාලා පහසුවෙන්ම ඒ මාළු අල්ලලා ඔස්ටින්” ටිපර් එකකට පටවනවා. පටවලා අම්පාරේ ප‍්‍රධාන වාරිමාර්ග වැඩපොළ ළඟට ගිහින් වැඩ ඇරිලා එන සේවකයන්ට කොරළි වැල් නොමිලේම බෙදනවා. සමහරු නොමිලේ දුන්නත් ගන්නේ නෑ. මේ කොරළි, ගුරාමි කියන මාළු, අපේ රටේ මාළු නෙවෙයි. මේ වැව් හැදුවට පස්සේ තමයි උන් බෝ කරේ. ඒ ඇරුනම බයිසිකල්වල පෙට්ටි සවි කරලා ඒවයිනුත් අරන් ගිහින් බෙදනවා. අම්පාරේ සමහර ක්වාටර්ස්”වල නෝනලා මේ කොරළි දැක්කම අප්පිරියාවේ අහක බලාගෙන ගෙට දුවනවා. අපි හෙමිහිට මාළු වැල පඩිය උඩින් තියලා එනවා. එදා එහෙම එපා කියපු කොරළි කිලෝවක අද මිල රුපියල් 200ක් විතර වෙනවා. අද කවුරුත් රසට උයලා කනවා. ගල්ඔය ව්‍යාපාරය නිම කළාට පස්සේ, 1957 දෙසැම්බර් මාසේ දින දෙකක් පුරා ගලපු ගංවතුර මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. රැයක් එළිවෙන කොට සියලූම වැව් උතුරලා ගියා. සේනානායක සමුද්‍රයේ වැව් බැම්මේ මට්ටමටම වතුර පිරුනා. ගංවතුරට අනාථ වෙච්ච ලොකු කුඩා 307 දෙනෙක්ම අපි ජර්මන් මැග්රිස් ලොරියක දාගෙන ඇවිත් දමන වැඩබිමට ගෙනැවිත් දින ගණන් කන්න බොන්න දීලා ගංවතුර බැස්සහම පිටත් කළා. මේ විදිහට ගල්ඔය ව්‍යාපාරයේ වැඩ ටිකෙන් ටික අවසන් වුණා. ඈත පළාත්වලින් වැඩට ආව සමහරු ආපහු ගියේ නෑ. ඔවුන් මේ ප‍්‍රදේශයේ පැරණි ගම්වලින් විවාහ කටයුතු සිදු කර ගත්තා. මෙහේම නතර වුණා මට මතකයි. පරගහකැලේ ගෙදරක ලස්සන ගෑනු ළමයි පස් දෙනෙක් හිටියා. අපි මල් පහ ගෙදර” කියලා තමයි කිව්වේ. ඔය පස් දෙනාම ව්‍යාපාරයේ වැඩට ආපු පස් දෙනෙක් විවාහ කරගත්ත. ඒ නිසා ඒ පවුලට හොඳ කලක් ගියා. ගල්ඔය නිම්නය අම්පාර දිස්ත‍්‍රික්කයේ මැද හරියේ ස්ථාපිත වී ඇත. මේ නිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ උතුරු වැව්ගම්පත්තුවත් (වර්තමානයේ උහන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්) දකුණු වැව්ගම්පත්තුවත් (දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්) ප‍්‍රධාන වශයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත. ඒ හැරුණු කොට අම්පාර දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ කලාපයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක භූමි ප‍්‍රදේශ මේ ව්‍යාපාරයට අයත් වී තිබේ. ගල්ඔය ව්‍යාපාරය පිළිබඳව මූලික සැලසුම් 1937 ඞී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමැති වශයෙන් සිටිය දී සකස් කර ඇත. මෙම යෝජනා ක‍්‍රමය ඉදි කිරීමේ කටයුතු ආරම්භයේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වය යටතේ ආරම්භ කළ ද පසුව, 1949 අංක 51 දරණ පනතින් යෝජනා වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය” 1949 නොවැම්බර් 24 වැනි දින සංස්ථාපනය කර ඇත. ඉන් පසුව 1949 දෙසැම්බර් මස 15 දින වැඩ කටයුතු ඇරඹූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය සඳහා 1950 මාර්තු 31 වැනි දින ගැසට් නිවේදනයකින් බල ප‍්‍රදේශ වෙන් කරන ලදී. ඒ අනුව උතුරින් ආඳල්ඔයත්, දකුණින් කෝමාරිකළපුවත්, බටහිරට ගල්ඔය ජලාධාර ප‍්‍රදේශයත් නැගෙනහිරට මුහුදත් වශයෙන් වූ වර්ග සැතපුම් 500ක් පමණ භූමියක් ගල්ඔය සංවර්ධන මණ්ඩලයට අයත් විය. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට ඞී.එස්. සේනානායක මැතිතුමා තුළ කෙතරම් උනන්දුවක් තිබුණ ද යන්න සිතා ගත හැක්කේ පාරක් තොටක් නැතිව යන කැලෑ මැදින් කරත්තවලින්, අලියගේ පිටෙන්, අශ්වයින්ගෙ පිටෙන් ඉඟිනියාගලට පැමිණි අයුරු අදත් ඇසෙන විටයි. අසූ වියැති වයිරමුත්තු ප‍්‍රවාරපිල්ලේ සිවප‍්‍රකාශන් අක්කරපත්තුවේ පදිංචි අයෙකි. 1951 අපේ‍්‍රල් 09 වැනිදා සිට වීරකේසරි පුවත්පතේ අක්කරපත්තු ප‍්‍රාදේශීය වාර්තාකරු ලෙස අද දක්වාම කටයුතු කරයි. කෙටි කලක් ගුරු වෘත්තියේ ද, රේඩියෝ සිලෝන්හි ද සේවය කළ ඔහු පසු කලෙක ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ දෙමළ යතුරුලේඛකයෙක් වශයනේ සේවය කර ඇත. 1951 වසරේ දිනක ඞී.එස්. සේනානායක අගමැතිතුමාත් ඉඟිනියාගලට එන පුවත අසා ඔහු එවක මඩකලපුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ වූ ඉබ‍්‍රාහිම් මහතා සමග ඔහුගේ පැරණි මොරිස් මයිනර් කාරයේ නැගී අම්පාරට පැමිණියේය. අපි එදා අම්පාරට එන කොට ඞී.එස්. සේනානායක අගමැතිතුමත් අම්පාරට ඇවිත් හිටියා. එතකොට අම්පාර දියුණු නගරයක් නෙවෙයි. පැල්පත් තමයි වැඩියෙන්ම තිබුණේ. අගමැතිතුමයි මන්ත‍්‍රීවරයෙකු වූ කාරියප්පර් මහත්තයයි තවත් කීප දෙනකුයි අම්පාර කෝවිල ළඟ කතා කර කර හිටියා. තරමක් ලොකු වෑන් එකක තමයි ඔවුන් ඇවිත් හිටියේ. පසුව සියලූ දෙනාම ඉඟිනියාගල බලා පිටත් වුණා. ඒ වගේ වාහන ඒ කාලේ මේ පළාතේ මිනිසුන්ට අමුතුයි. විශේෂයෙන්ම ගම්බද දැකලා තිබුණේ කරත්ත විතරයි. අපි ඉඟිනියාගල බන්ට් එකට එන කොට විනාඩි 30ක් 40ක් විතර වුණා. අගමැතිතුමා බන්ට් එකේ දී වාහනයෙන් බැහැල අවට හොඳින් පරීක්‍ෂා කළා. එතුමා අතේ බස්තමකුත් තිබුණා මට හොඳට මතකයි. බුෂ් කෝට් ඇඳලා සපත්තු දාලා හරි පිළිවෙළට හිටියේ. ගල්ඔය ව්‍යාපාරයේ ප‍්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු අලගරත්නම් මහත්තයත් අගමැතිතුමා ළඟින්ම හිටියා. මම මගේ රොලිෆ්ලෙක්ස්” කැමරාවෙන් පින්තූර කීපයක් ගත්තා. මම පින්තූර ගන්න කොට එතුමා හිනා වෙලා මා දිහා බැලූවා. මේ අවස්ථාවේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සභාපති කනකසුන්දරම් මහත්තයත් හිටියා. මේ වෙන කොට වැව සම්පූර්ණයෙන් පිරිලා තිබුණේ නෑ. අගමැතිතුමා වැව දෙසටත් බන්ට් එකේ පහළ ප‍්‍රදේශයටත් අත් දික් කරමින් නිලධාරීන්ගෙන් යම් යම් දේ ඇහුවා. එහෙම පැය භාගයක් විතර ඉඳලා එතුමා පිටත් වෙලා ගියා. එතුමා අගමැතිතුමා වුණාට මහ ලොකු ආරක්‍ෂක විධිවිධාන තිබුණේ නෑ. පොලිස් නිලධාරීන් දෙන්නෙක් හිටියා. ඒ අයත් ඉඟිනියාගල පොලිසියෙන් අව අය විදිහටයි මට මතක. අගමැතිතුමා බොහොම කල්පනාවෙන් හැඟුම්බරව වැව දිහා බලාගෙන හිටපු ආකාරයත් මට අද වගේ මතකයි. අගමැතිතුමා මිය යන්නට කලින් ගල්ඔයට කීප සැරයක් ආව බව මම අහලා තියෙනවා. එතුමා කරත්තවලින් පවා ජනපදවල ගිය බවත් මම අහලා තියෙනවා. මට දින වකවානු මතක නෑ. නමුත් ගල්ඔය ව්‍යාපාරයේ ආරම්භක යුගයේ එතුමා අම්පාරේ ඉඳලා ඉඟිනියාගල පැත්තට කරත්තයක නැගලා තවත් පිරිසක් එක්ක යනවා මම දැකලා තියෙනවා. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයේ ජනපදිකයින් පදිංචි කර ජනාවාස ඇති කිරීමේ දී ඉඟිනියාගල සේනානායක සමුද්‍රයට යට වූ ගම්මානවල පැරණි ගම්වල වැසියන්ට ප‍්‍රමුඛස්ථානයක් දෙනු ලැබීය. මේ අය 1818 ඌව වෙල්ලස්සේ විමුක්ති සටනින් පීඩාවට පත්ව පැමිණි අයගෙන් පැමිණෙන්නෝ වෙති. දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ජනතාව ගෙන්වා ජනපදිකයින් ලෙස පදිංචි කිරීමට පෙර ජලාශයට යටවූ කොස්සාපොළ, කළුගල්කැටිය, අන්නාසිවත්ත, කෙහෙල්පොත, තඹදෙණිය, නිකවැටිය, පල්ලේඅරාව, බුබුල, සේරුවත්ත, බෝගහකිවුල ඇතුළු ගම්මාන රැුසක පදිංචිව සිටි පවුල් 296ක් සඳහා වාවින්න, පරගහකැලේ 1 සහ 2 ජනපදවල ගොඩ හා කුඹුරු ඉඩම් අක්කර 7 බැගින් ලබා දී පදිංචි කරවන ලදී. වනසිංහ මුදියන්සේලාගේ සුදු බණ්ඩා (69) වාවින්න (අංක - 01 ජනපදය) 19 වැනි නිවසේ පදිංචි අයෙකි. ඔහුගේ මුල් ගම සේනානායක සමුද්‍රයේ මහා ජල කඳට යට විය. ඒ ඔහුගේ කතාවයි. 1949-1950 වෙන කොට මිනින්දෝරුවෝ ඇවිල්ලා අපේ ගම්බිම් මැන්නා. අපි කිව්වා මෙතන විශාල ජලාශයක් හදනවා, ඒ නිසා ඔයාලට මේ ගම් අත් ඇරලා යන්න වෙනවා කියලා. මේ ඉඩම් වෙනුවට ගොඩින් මඩින් ඉඩම් ලැබෙන බවත් ඔවුන් කිව්වා. අපිට ඔය ඉඩම් වුනාට” කියලා සමහරු වෙල්ලස්ස පැත්තට ගියා. මට මතකයි අපේ තඹදෙණියේ ආච්චිත් ඒ පවුලේ අයත් එක්කම වෙල්ලස්සට ගියා. මණ්ඩලේ ලොකු වාහන අරගෙන පාරවල් කපලා 1951 වෙද්දී අපි එක්ක ඇවිත් මේ ජනපදයේ පදිංචි කළා. අපි එන කොටත් වැවේ වතුර ටික ටික පිරෙනවා. අපට ගොඩින් අක්කර 03යි මඩින් අක්කර 04යි ලැබුණා. ඞී.එස්. සේනානායක මහත්තයා ගල්ඔය ආව එක් අවස්ථාවක දී මම එතුමාව දැක්කා. මට හරියට දිනය මතක නෑ. අවුරුද්ද නම් 1952. මට එත කොට වයස අවුරුදු 10යි. අගමැතිතුමා එනවා කියපු ආරංචියට මමත් තවත් පිරිසක් එක්ක පරගහකැලේ හංදියට ගියා. එදා එතුමා අශ්වයා පිටේ නැගලා ගියේ. එතුමා පරගහකැලේ හංදිය පසු කරලා ගිය එක විතරයි මට මතක. ඒ දවස්වල හිටපු වේරගොඩ කියලා මහත්තයෙක් ගල්ඔය ව්‍යාපාරයේ ගස් කැපීම් කොන්ත‍්‍රාත් එක අරගෙන තිබුණා. එතුමා හිටියේ පාදාගොඩ කරාන කියන ගමේ. වේරගොඩ මහත්තයාට අලි 05 දෙනෙක් හිටියා. ඒ අලින්ගෙන් කොට ඇද්දා. කොට කොන්ත‍්‍රාත් එකට සල්ලි වගයක් ගෙවන්න බැරි වෙලා ගල්ඔය බෝඞ් එකෙන් එතුමාට කරානෙන් ඉඩම් අක්කර 20ක් දුන්නා. සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 7,70,000කි. මෙය ලංකාවේ වැඩිම ජල ධාරිතාවක් ඇති ජලාශයයි. බැම්මේ දිග අඩි 3600කි. බැම්මේ මුදුනේ මට්ටම අඩි 272කි. ජල කඳේ උස අඩි 110කි. වැවට යට වෙන ප‍්‍රදේශය අක්කර 19250කි. ප‍්‍රධාන වම් ඇළ සැතපුම් 32ක් දිග අතර ප‍්‍රධාන දකුණු ඇළ සැතපුම් 22ක් දිගය. විදුලි බලාගාරයෙන් ජනනය කෙරෙන විදුලි බලය මෙගා වොට් 11.25කි. වගා වෙන ඉඩම් ප‍්‍රමාණය කුඹුරු අක්කර 112506කි. උක් අක්කර 11188කි. දේශීය අරමුදල්වලින් මෙම දැවැන්ත බහුකාර්ය යෝජනා ක‍්‍රමය ඉදි කරනු ලැබුවේ ඇමෙරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝහි සිමාසහිත මොරිසන් නුඞ්සන් ඉන්ටර්නැෂනල් සමාගමයි. ගල්ඔය නිසා ඇති වූ නව ශිෂ්ටාචාරයේ දියවර තවත් සියවස් ගණනක් දැයට සෙත සලසා ගලනු ඇත. ඒ වටිනා ශිෂ්ටාචාරය රැුක ගැන්ම ඔබ අප කාගේත් යුතුකමකැයි සිතමි.



අදහස් (3)

ගල්ඔය ගොවි ජනපදය ගැන පැරැන්නන් කියන කතා

ලියොන් ගුණවර්ධන Sunday, 30 November 2014 10:50 PM

ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරඹු අප ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්, මින්නේරි දෙවියෝ නමින් අදත් ගැමියන් විසින් පුදනු ලැබේ (නි)

:       1       3

Thilini Wednesday, 11 August 2021 11:07 AM

ලංකාවේ ජනපද කීයක් තියනවද...

:       1       0

දිලිප් කුමාර Saturday, 08 January 2022 04:47 PM

මම මේ මොහොතේ කියවමින් ඉන්නවා දොස්තර SA වික්‍රමසිංහ මහතාගේ පොතක්. ඒකෙ ඕක පිළිබඳව ලොකු විවේචන තියෙනවා. නමුත් මේ සඳහන් කතාව ඉඳුරාම වෙනස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site