ජීවත්වීමට මගක් නැතැයි කියා දරුවා කැලණි ගඟට විසිකර දිවි නසා ගැනීමට තැත් කළ අම්මා කෙනකු සම්බන්ධයෙන් පසුගිය දිනක පළවූ පුවත මෙන්ම සැමියා රැකියාවක් සොයා නිවෙසින් පිටව ගිය පසු දරුවාට විෂ ද්‍රව්‍යයක් පොවා නිවෙසින් පලාගිය අම්මාට අදාළ පුවත ද රටේ ඇත්ත ඇතුළාන්තය මනාව නිරූපනය කරයි. දින දෙකක් තුළ ඉන්ධන පෝලිම්වල දී රටේ පුරවැසියන් තිදෙනකුට දිවි අහිමි විය. මේ කුමන ශාපයක්ද? පාපයක්ද? යන්න සිතාගත නොහැකි තරම්ය.
මොහොතින් මොහොත කැළැඹෙන ගැඹුරුවෙන අර්බුද වගුරට තවත් මාරාන්තික බලපෑමක් එල්ල වී තිබේ. ඒ ඩෙංගු මාරයා යළිත් හිස එසවීමෙනි. රට තුළ ඇති මානව ආපදාව තවත් ඉතා භයංකර ඉසව්වකට රැගෙන යාමට ඩෙංගු මාරයා සමත් වී සිටී.
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා නොබෝදා ප්‍රකාශ කර තිබුණේ ඉකුත් මැයි මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් හය දහස් හාරසිය අසුතුන් දෙනකු හමුවී ඇති බවය. එමෙන්ම ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව විසි හතර දහස් පන්සිය විසි තුන් දෙනකු බව ද විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කර තිබිණි.
රටේ අවධානය ඉන්ධන හිඟය ගැනය. ගෑස් හා භූමිතෙල් හිඟය ගැනය. විදුලිය කැපිල්ල දෙසය. ගුවන් ගත බඩු මිල දෙසය. ඒ අතරවාරයේ නිරිත දිග මෝසම් වැසි ඇද හැලෙමින් තිබේ. ඩෙංගු මාරයා තම තවාන් තර කර ගනිමින් සිටී. බස්නාහිර පළාත ගල ග්‍රහණයෙන් ගැනීමට ඩෙංගු මාරයාට මේ වනවිටත් හැකිවී තිබේ. ගාල්ල, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක ද ඩෙංගු මාරයාට නතු වෙමින් තිබේ. රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනතිස්ස මහතා ප්‍රකාශ කර තිබුණේ වසර 10කට පසු බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගොස් ඇති බවය. දිවයින පුරා මදුරුවන් බෝවීමේ බ්‍රිටෝ ඉන්ඩෙක්ස් දර්ශකය 20 ඉක්මවන බවත් මෙය ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අනතුරු අඟවා තිබිණි.
ඉතා පැහැදිලිව අවධාරණය කළ යුතු කරුණක් තිබේ. එනම් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට අයකු නැති බවය. බලධාරීන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන් අනාවැකි පළ කරමින් සිටිනවා හැර වගකීම අතට ගෙන දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සපයන බවක් නොපෙනේ. එහෙයින් තමන්ගේ ජීවිත ආරක්ෂාව පුරවැසියා විසින්ම බාරගත යුතුය. වෙනත් විකල්පයක් නැත.
ඩෙංගු මාරයාට අපගේ ජීවිත පැහැර ගැනීමට හැකි වන්නේ අපගේම නොසැලකිලිමත්කම නිසා මිසක් වෙනත් හේතුවක් නැත. කොවිඩ් වසංගතය රට ආක්‍රමණය කිරීමට පෙර යුගයේ දී ඩෙංගු මාරයාට මුහුණදීමේ සවිමත් සුදානමක් ජනයා සතුව පැවතිණි. එහෙයින් ඩෙංගු මාරයාට රිසිසේ තම අණසක පතුරුවා හැරීමට නොහැකි විය. එහෙත් අවධානය වෙනතකට යොමු වී අනතුර සම්බන්ධ භීතිය තුරන්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු මාරයා යළිත් පැමිණ සිටී. නිරිත දිග මෝසම් වැස්ස ඩෙංගු මාරයාට පාවාඩ එළමින් සිටී.
කෝවිඩ් මාරාන්තික ව්‍යසනයේ භයානක පෙනුම තුරන් වී ගියා පමණි. එහෙත් අපට තවත් වසංගතයකට මුහුණ දීමට සිදුවී තිබේ. ජීවත්වීම අමිහිරි මෙන්ම කඨෝර අත්දැකීමක් බවට පත්ව ඇති මෙම ශාපලත් පරිසරය තුළ වුව ද අපට ජීවිතය අත් හැරිය නොහැකිය. අපට ජීවිතයෙන් පලායා නොහැකිය. අපගේ දූ දරුවන් කෙසෙල් කඳන් මෙන් මළ කඳන් වනවා බලාගෙන සිටිය නොහැකිය. අපි අපගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු දෑ නොපමාව කළ යුතු වෙමු.
පරිසරයට එදිරිව ගිය ගමනේ ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වැනි මාරක වසංගත ආවේය. අපට තවමත් මුඛ ආවරණ පැළඳ සිටීමට සිදුව තිබේ. මුළු රටම සිපිරි ගෙයක් බවට පත්ව එහි සිරගතවීමට අපට සිදුවිය. දැන් එළැඹ ඇත්තේ අප එදිරිව ගිය පරිසරය සමග යළිත් සහජීවනයට යාමය.
දැන් අපට නැවතත් වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කිරීමට සිදුවී තිබේ. නිවෙස සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට සිදුව තිබේ. කාණු පද්ධති පිරිසුදු කිරීමට සිදුව තිබේ. ඒ කළමනා කටයුතු නොපිරිහෙලා සහ නොපමාව කරන්නේ නම් ඩෙංගු මාරයා පසු බැස්සවිය හැකිය. නොඑසේනම් මාරයා සමග සහජීවනයට හිත හදාගත යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩෙංගු මාරයාත් ඇවිත් පරෙස්සමින් සිටිමු