ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති දැඩිව ක්‍රියාත්මක කළ හැකි ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා රජය මගින් නව පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි මාධ්‍ය මගින් පසුගියදා හෙළිකර තිබිණි. මෙම කොමිසමට පැවරෙන විශේෂ බලතලවලට අනුව මහේස්ත්‍රාත් නියෝගයක් හෝ වරෙන්තුවක් හෝ නොමැතිව නව පනත ප්‍රකාර වරදක් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයකු හෝ පුද්ගලයන් හෝ අත්අඩංගුවට ගෙන පැය 24ක් රඳවා ගැනීමට පවා අවසර තිබෙන බව ද සඳහන් ය. මේ නව දූෂණ විරෝධී පනත පිටු 106කින් සමන්විත වන බවත් එය මහජනතාවගේ අදහස් විමසීම සඳහා නිකුත් කර ඇති බවත් කියයි.
මෙරට ඉහළ සිට පහළට සිදුකෙරෙන මහා පරිමාණයේ දූෂණ ක්‍රියා වර්තමානයේ දී ජාත්‍යන්තරයේ සාකච්ඡා වෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. එසේ වීමට ප්‍රධානම හේතුව අන්ත දූෂිත ක්‍රියා සිදුවුව ද ඒ සඳහා වගකිවයුතු කිසිදු බලවත් පුද්ගලයකුට හෝ පුද්ගලයන් පිරිසකට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ය.
එයින් අදහස් කෙරෙන්නේ රටේ අධිකරණ ක්‍රියාවලියේ දුර්වලතාවක් පවතින බව නොවේ. එසේම එවැනි පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශක්තිමත් නීති පනවා නැති බවක් නොවේ. ඒ සියල්ලම යහමින් තිබේ.
එහෙත් දූෂිත ක්‍රියාවලට දේශපාලකයන් සහ ඔවුන්ට ඥාති-මිත්‍ර සබඳතා ඇති බලවත් චරිත සම්බන්ධ බවට සාක්ෂි ලැබෙන විට අදාළ ක්‍රියාව සම්බන්ධ සියලු විමර්ශන ඇනහිටියි. සිදුකෙරුණු විමර්ශන වාර්තා ද කාපට් යට සැඟවෙයි. අවසානයේ දූෂණ ක්‍රියාව හේතුවෙන් සිදුවන බරපතළ පාඩු රටට ඉතිරි කර සියල්ලෝ සතුටින් විසිර යති. වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කෙසේ වෙතත් ඔවුන්ට එරෙහි සාක්ෂි අධිකරණයට ඉදිරිපත් වන්නේ ද කලාතුරකිනි. ලංකාවේ දූෂණ සහ වංචනික ක්‍රියා ජාත්‍යන්තරයේ මාතෘකා බවට පත්වන්නේ මේ ක්‍රියාවේ අග්‍රඵලය වශයෙනි.
රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ ඉහ වහා ගිය දූෂණ ක්‍රියා බව වරින්වර ප්‍රකාශයට පත්වෙමින් තිබේ. මේ තත්ත්වය කොතරම් ව්‍යාකූල තත්ත්වයකට පත්වී තිබෙනවාදැයි කිවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රසිද්ධියේ හෙළිකර තිබුණේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික කඩා වැටීමට ප්‍රධාන හේතුව ආර්ථිකයේ වැරදි කළමනාකරණය බව ය. මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමේ දී දූෂණ ක්‍රියා වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානයක් යොමුකරනු ඇති බවට මෙය පෙර නිමිත්තකි. ආර්ථිකය නිවැරදිව කළමනාකරණය වූයේ නම් දූෂණ ක්‍රියාවලට කිසිදු ඉඩක් තිබිය නොහැක. එහෙත් සිදුවූයේ දූෂණ ක්‍රියා ඉහළටම නගිද්දී රටේ ආර්ථිකය පහළටම ඇදවැටීම ය.
ශ්‍රී ලංකාවේ දූෂණය කොතරම් බරපතළ මට්ටමකට කිඳා බැස ඇත්දැයි කිවහොත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට කැමැත්තෙන් සිටින බටහිර රටවල් එම ආධාර ලබාදෙන්නේ එක්සත් ජාතීන්ගේ ආයතන හරහා බව නිවේදනය කර තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ එසේ නොවුණහොත් ලබාදෙන ආධාර ලැබිය යුතු ජනතාව අතට නොගොස් දූෂිත දේශපාලනඥයන්ගේ සාක්කුවල නවතිනු ඇති බව ය. මෙය රටක් වශයෙන් අප කෙතරම් ලජ්ජාවට පත්විය යුතු තත්ත්වයක් ද? එහෙත් දූෂිත දේශපාලනඥයාට නම් මෙවැනි කතා ගැන වගේවගක් නැත.
තත්ත්වය මෙසේ පවතින විට දූෂණ ක්‍රියා වැළැක්වීමට ප්‍රබල ආයතනයක අවශ්‍යතාව දැඩිව මතු වී පෙනේ. නව පනත හරහා සිදුවනු ඇත්තේ එම අවශ්‍යතාව සපුරාලීම බව පෙනේ. මේ පනතේ වත්කම් හෙළිකිරීම සඳහා වෙනම කොටසක් ද වෙන්කර තිබේ. එය ද යහපත් පියවරක් වශයෙන් අපි දකිමු.
රජයේ නිලධාරීන් වරින් වර තම වත්කම් ප්‍රකාශ ලබාදිය යුතු අතර, ශ්‍රී ලංකාව තුළ සහ විදෙස් රටවල පවතින සියලු වත්කම් ද ඒවායේ නිවැරදි ලිපින සමඟ ලබාදිය යුතු ය. ඒ සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ. නීති විරෝධී ලෙස ධනය සහ වත්කම් හිමිකර ගැනීමට තිබෙන අවකාශය මෙයින් අහෝසි වනු ඇතැයි උපකල්පනය කෙරේ. කෙසේ වුව ද මේ වත්කම් ප්‍රකාශ දේශපාලනඥයන්ට අදාළ වන්නේ කෙසේදැයි පැහැදිලි නැත. වැරදි ප්‍රකාශ ලබාදෙන පුද්ගලයන්ට රුපියල් දෙලක්ෂය නොඉක්මවන දඩයක් ද වසර 10කට නොවැඩි සිර දඬුවමක් ද නැතහොත් ඒ දඬුවම් දෙකම ද ලබාදීමට ප්‍රතිපාදන සලසා තිබීම ද වැදගත් ය.
රට පවතින තැනින් ගොඩගැනීමට නම් රටේ ඉහවහා ගොස් තිබෙන දූෂණ සහ වංචා නැවැත්විය යුතු ය. ඒ සඳහා නව දැඩි නීති හඳුන්වා දීම ද අවශ්‍ය ය. නව පනතින් ඒ අරමුණු ඉටුවනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එසේම මේ පනත යටතේ පැවරෙන බලතල දූෂිතයන්ට දඬුවම් දීමට නොව විරුද්ධවාදී දේශපාලනඥයන් සහ රටේ වෙනසක් ඉල්ලා සාමකාමීව සටන් කරන තරුණ තරුණියන් දඩයම් කිරීමට යොදාගන්නේ නම් රටේ තත්ත්වය තවදුරටත් කඩා වැටීම හැර ගොඩඒමක් නැතිවග ද පෙන්වා දිය යුතු ය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දූෂණ මර්දනයට පනත ලොකු රුකුලක්
බද්රානි Wednesday, 12 October 2022 02:09 AM
විද්‍යාව බඩට සරලයි කියලා දැන් තේරෙනවද? ඒකනෙමේ, දැන් ජාතිවාදය වපුරන්නේ නැද්ද? එහෙම නැත්නම් පහුගිය කාලේ වපුරපු බීජ වල සරු අස්වැන්න සතුටින් නෙලමින් ඉන්නවාද? පිටිගල මිලානෝ, ලේක්කෝ ගලබඩ, බන්දුල පෙරේරා, ඇතුළු රැල?
CC Wednesday, 12 October 2022 02:08 PM
මෙවැනි පණත් රටට ඉතා අවශ්‍යයි. නමුත් සම්මත කිරීම ඒ ආකාරයෙන්ම සිදුවේ යැයි සිතීම උගහටයි. යහපාලන ආණ්ඩුවෙන් විගණනයට වැඩි බලතල දෙමින් 19 වැනි ව්‍යවස්ථාව හදන ලදී. නමුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ පනත ඉතාම දුර්වල ලෙස සම්මත වුනි. ඒ් නිසා විගණනයෙන් හොරකම් සෙව්වාට දඬුවම් නැත. දේශපාලුවන් දූෂිත බැවින් ඒවුන් මෙයට සහාය දෙන්නේ නැත. මොවුන් සිටිනතාක් කල් රටට සෙතක් නැත....!