X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


දේශපාලන අරාජිකත්වයක් අබියසද?

2021 වර්ෂය අවසානවීමට ආසන්නය. මේ වසරට මා ලියන අවසන් කිවිදා දැක්ම මේකය. පසුගිය වසර දෙකක කාලයක් පුරාවට ලෝකයම මුහුණ දුන් කොවිඩ් 19 වසංගතය නිසා අපත් රටක් ලෙස ගෙව්වේ ඉතාමත් සීමිත ජීවිතයක් බව මෙරට හැමෝම දන්නා කරුණක්ය. වසංගතය තවමත් සම්පූර්ණයෙන් පහවී ගොස් නොතිබුණත් යම් තරමක අස්වැසිල්ලක් ලැබී ඇත්තේ එන්නත්කරණය හොඳින් කරන්නට හැකිවූ නිසාය. එන්නත්කරණය සාර්ථකව සිදු කරන්නට හැකිවීම පිළිබඳව ගෞරවයක් රජයට ලැබිය යුතු වුවත් ඒ ගෞරවය හරියටම ලැබෙන්නේ නැති ගාණය. එයට හේතුවී ඇත්තේ ඒ හොඳ වැඩේ වැසී යන ආකාරයේ අර්බුදජනක ගැටලු රාශියක් මතුවී තිබීමය. අනෙක් අතට එන්නත්කරණයේ සාර්ථකත්වය සමාජය තුළ සාකච්ඡා කරන්නට පොහොසත් වූ දේශපාලන සංවාදයක් මතුකර ගැනීමට නොහැකිවීමද මෙහිදී පෙනී යන කාරණයන්ය.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ එන්නත්කරණය පිළිබඳව නොවේ. මගේ අවධානය මේ සතියේ යොමුවන්නේ රට තුළ මතුවෙමින් තිබෙන බරපතළ දේශපාලන කාරණයක් පිළිබඳව සාකච්ඡා කරන්නට විය. එනම් රට තුළ මතුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය පිළිබඳව සාකච්ඡා කරන්නටය. මේ අරාජිකභාවයේ ප්‍රකාශකයන් හැම තැනම හැම විටම පෙන්නුම් කරමින් තිබෙන බව මගේ අදහසය.

 

සෞභාග්‍යයේ දැක්මේ බලාපොරොත්තු

සමහරුන් සිතන්නේ අද පවතින මේ දේශපාලන අරාජිකත්වයට පදනම වැටුණේ 2019 මතුවූ දේශපාලන බලාපොරොත්තු ඉටු කරන්නට නොහැකි වූ නිසා කියාය. එවකට පැවැති යහපාලන යැයි කියාගත් රාජ්‍ය මගින් රට තල්ලු කර තිබුණේ අතිශයින්ම කනගාටුදායක තැනකටය. ඒ වැරදි පාලනයෙන් මතුවූ ක්ෂේත්‍ර 03 අලුතින් වෙනස් කරන්නට අවශ්‍ය යැයි රට තුළ බරපතළ සංවාදයක් මතු විය. ඒ ක්ෂේත්‍ර 03 වන්නේ ආර්ථිකය (Economy), ආරක්ෂාව (Security) සහ ප්‍රතිසංස්කරණ (Reforms) යන ඒවාය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩු වැඩි වශයෙන් සාකච්ඡා කරන්නේ ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 වෙනස් කරන යෝජනාවන්ය.

යහපාලන කාලයේ ආර්ථිකය ගැන විශාල විවේචනයක් මතු වුණේ 2015 මහ බැංකු බැඳුම්කර සිද්ධියත් සමගය. ආරක්ෂාව පිළිබඳව විශාලතම විවේචනයක් මතු වූයේ පාස්කු ඉරිදා පහරදීමත් සමගය. ඒ ආණ්ඩුකාලයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සමාජයේ අවිශ්වාසය මතු වුණේ ජයම්පතිලාගේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා හැදිල්ලත් සමගය. කෙටියෙන්ම කිවහොත් මේ ක්ෂේත්‍ර 03 ම තිබුණේ ඉතාමත් ආරවුල් සහගත තැනකය.

2019 ගෝඨාභය පාලනයක් වෙතට මේ රටේ මධ්‍යස්ථ ඡන්දදායකයන්ගේ ප්‍රවණතාව ගමන් කළේ ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 බරපතළ වෙනස්කමක් අපේක්ෂාවෙන් බව ඉතාමත් පැහැදිලිය. එහෙත් 2020 වර්ෂයේ සිට මතුවූ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදුවූ එක් ප්‍රධාන දෙයක් වූයේ රජයේ අවධානය ඉහත සඳහන් ක්ෂේත්‍ර 03 ට වඩා වැඩි වශයෙන් කොවිඩ් 19 පරදවන්නට යොමු කරන්නට වීමය. විශේෂයෙන්ම රටේ අවධානය නොසිතූ දිසාවකට යොමු කරන්නට සිදුවීම පිළිබඳ කාරණය හේතුවෙන් හැම වැඩක්ම යම් ආකාරයෙන් පසුපසට තල්ලු වූ බව සැබෑවක්ය. එහෙත් ආරක්ෂාව පැත්තෙන් රජය මගින් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජයේ ශක්තිමත් පිළිගැනීමක් තිබෙන බවත් පැහැදිලිය.

ආර්ථිකය සහ ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍ර 02 තුළ මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව සමාජයේ බරපතළ සාකච්ඡාවක් පවතින බව මේ වන විට ඉතාමත් පැහැදිලිය. ආර්ථිකයේ ගැටලුකාරිත්වය විසඳීමේ උත්සාහය සමග 2022 වර්ෂය සඳහා අය වැය යෝජනාවලිය මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත. ඒ මගින් රට තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇත. රටේ දේශීය මූල්‍ය සංස්කරණය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ උත්සාහයක් ඒ තුළ ඇතත් සමහරුන්ගේ විවේචන මතුවී තිබෙන්නේ විදේශ මූල්‍ය සංචිත වර්ධනය කර ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳවය.

දේශපාලන වශයෙන් සහ නෛතික වශයෙන් මේ රටේ බරපතළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව 2019 ජනාධිපතිවරණයේ මතු වූ ප්‍රධාන යෝජනාවක් විය. ඇත්තටම මේ යෝජනාව 2015 ජනාධිපතිවරණයේ දීත් යහපාලනය යැයි නමකින් පැමිණියේය. එහෙත් ඒ ආණ්ඩුවට ඒ යහපාලන සිහිනය සැබෑ කරන්නට හැකියාවක් ලැබුණේ නැත. 2019 වියත් මග වැනි බලවේග හරහා සමාජයෙන් මතුවූ යෝජනාව වූයේත් බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ පද්ධතියක් මේ රටට අවශ්‍ය බවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් ආරම්භ වී සම්පූර්ණ පද්ධතියේ වෙනසක් (System change) අවශ්‍ය යැයි සිතන සමාජයක් සිටින බව පසුගිය ජනාධිපතිවරණයේදී කැපීපෙනෙන කාරණයක් විය. මේ වන විට සමාජයේ බරපතළ විවේචනයක් මතුවී තිබෙන්නේ බලාපොරොත්තු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අතපසු වී ඇතැයි ඒ අය සිතන නිසාය.

 

කොවිඩ්වලට පසු දේශපාලනය

2019 ආරම්භ කළ නව දේශපාලන උත්සාහය හෙවත් පාරේ තාප්පවල චිත්‍ර අඳින තාරුණ්‍යයේ මැදිහත්වීම මේ වන විට තිබෙන්නේ නව තත්ත්වයක් තුළ බව මගේ අදහසය. කොවිඩ් වසංගතයට පසු තිබෙන රට කොවිඩ් වසංගතයට පෙර තිබුණු රටට වඩා ඉතාමත් වෙනස් එකක්ය. රටේ ප්‍රමුඛතා වෙනස් වී ඇතිවා පමණක් නොව 2015 සහ 2019 දේශපාලන වෙනස්කම්වලින් ජනතාව තැබූ බලාපොරොත්තු වෙනමම දිසාවකට යොමු කරමින් තිබෙන බවද පෙනෙන්නට තිබෙන කාරණයකි. අද අප අත්දකිමින් තිබෙන්නේ පශ්චාත් කොවිඩ් දේශපාලන තත්ත්වයකි. (Post Covid political Condition) මේ තත්ත්වය හඳුනා ගැනීමකින් තොරව 70 දශකයේ 90 දශකයේ හෝ විසඳුම් ලබා දෙන්නට ගිය විට සිදුවන්නේ බරපතළ දේශපාලන වියවුලකට තල්ලු වීමය. මේ වන විට සමාජයේ බරපතළ කොටසක් සක්‍රිය දේශපාලන ක්‍රියාකරුවන් හා විවේචකයන් බවට පත්වී සිටින්නේ මේ නව තත්ත්වය නිසාය. සංනිවේදන තාක්ෂණයේ නව දියුණුවක් සමගින් මේ තත්ත්වය තවත් සංකීර්ණ සහ ශක්තිමත් වී ඇත. රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියම ඡන්දයෙන් ඡන්දයට සිදුවන තත්ත්වයක් නොව සෑම මොහොතකම සිදුවන 24x7 දෙයක් බවට මේ වන විට පත්වී තිබෙන්නේ ඒ නිසාය.

සංනිවේදන තාක්ෂණයේ නව දියුණුව විසින් මතුකර ඇති මේ නව දේශපාලන අවකාශය තේරුම් ගන්නේ නැතිව දේශපාලනය කළහොත් ඉතාමත් භයානක තත්ත්වයක් වෙතට රට තල්ලුවීමේ ඉඩක් ඇති බව මගේ නිරීක්ෂණයයි. 2015 ආණ්‍ඩුවේ කඩාවැටීමෙන් ඉගෙන ගත හැකි පාඩමක් වන්නේ මේ නව තත්ත්වය තුළ රජයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ සෑම දත්තයක්ම (තීරණයක් අනුමැතියක් වැනි දේ) පොදු සමාජයේ තිබෙන දෙයක් මිස හුදු තමන්ගේ මේසය මත පමණක් තිබෙන දෙයක් නොවන බවය. මේ නව තත්ත්වය හේතුවෙන් දේශපාලන තීරණ ගැනීම හුදු හිතේ සෝදිසියෙන් කරන පරණ තත්ත්වයෙන් ගැලවී ගොස් ඇති බවද ඉතාමත් පැහැදිලිය. දේශපාලනයේ ගනු ලබන තීරණ ඉතාමත් බරපතළ නිරීක්ෂණයකින් පසුව මිස සිතට එන පලියට ගැනීමේ කිසිදු ඉඩක් මේ වන විට නැති පිළිගැනීමට බලකර තිබෙන්නේ මේ තත්ත්වය නිසාය.

විශේෂයෙන්ම මෙහිදී අවධානයට ගත යුතු කාරණය වන්නේ දියුණු රටවල දේශපාලන තීරණ ගන්නාක් මෙන් ප්‍රතිපත්ති සම්බන්ධව ශක්තිමත් උපදේශයක් (Policy Advice) නොමැතිව අමාත්‍යාංශ වැනි දේ පාලනය කරන්නට ඉතාමත් අපහසු තත්ත්වයකට සංවාද අවකාශය පත්වී ඇති බවය. මේ සඳහා නිදර්ශන අවශ්‍ය තරම් පසුගිය කාලයේ අපට දක්නට ලැබුණු බව මගේ අදහසය. එක් තීරණයක් මුලින් ගැනීමටත් ඒ තීරණය සමාජ සංවාදය තුළ තාර්කිකව සහ විධිමත්ව ස්ථාපිත කිරීමට නොහැකි වීමත් පසුව ඒ තීරණය වෙනස් කිරීමට තෙරපුමක් ඇති වීමත් මගින් පෙන්නුම් කරන්නේ මා කියන මේ කාරණයේ තිබෙන බරපතළ භාවයයි.

 

අභියෝගාත්මක කාලයක්

කොරෝනා තත්ත්වයෙන් පසු සමාජයේ දේශපාලනය ඊට පෙර දේශපාලනයට වඩා වෙනස් බව මම මුලින් කීවෙමි. එසේම සංනිවේදන තාක්ෂණයේ නව තත්ත්වයන් සමග 2015 පසු මෙරට දේශපාලනයද බරපතළ ආකාරයෙන් වෙනස් කර ඇති බව සත්‍යයක්ය. මේ තත්ත්වය 2019 දේශපාලන වෙනස්කම මගින් තවත් තීව්‍ර කළ හෙයින් දැන් තිබෙන්නේ අලුත්ම හා වෙනස්ම තත්ත්වයකි. මේ අලුත් හා වෙනස් තත්ත්වයේ ගතිකයන් හඳුනා නොගතහොත් රටේ දේශපාලන අරාජිකත්වයක් වර්ධනය වීමේ ඉඩක් පවතින බව මගේ නිරීක්ෂණයයි. ඒ කියන්නේ රටේ ජනතාව සහ රාජ්‍ය අතර තිබිය යුතු සම්බන්ධතාව කැඩී යාමයි. රජය එකක් කියද්දී ජනතාව වෙන දෙයක් කරන තැනකට රට ගමන් කිරීමේ විභවයක් හැදෙන්නේ එවැනි අරාජිකත්වයක් මතුවූ විටය.

මේ වැනි අභියෝගාත්මක කාලයක අවධානයට කරුණු කිහිපයක් තිබෙන බව අදහසය. පළමු කාරණය වන්නේ ආණ්‍ඩුවේ ප්‍රතිපත්ති වෙනස්කම් හා නව තීරණ සඳහා ශක්තිමත් තාර්කික පදනමක් නිර්මාණය කිරීමය. ශක්තිමත් තාර්කික පදනමක් නොමැති ක්ෂණික තීරණ (Adhock decisions) ගැනීම දේශපාලන වශයෙන් මේ නව තත්ත්වය තුළ සාධාරණීකරණය කිරීමට නොහැකි වනවා පමණක් නොව එවැනි තීරණ සමාජයේ බරපතළ විවේචනයට ලක්වීම නොවැළැක්විය හැකි කාරණයක් බවට පත්වීම අනිවාර්යය.

දෙවනුව මේ යුගයේ දේශපාලනයේ ඇති අනෙක් වැදගත් පිළිගැනීම විය යුත්තේ සඟවා කළ හැකි කිසිවක් නැති බවයි. කරන කියන සියල්ලම මුලු සමාජයම ඉදිරියේ පේන්නට හැකි සන්නිවේදන අවකාශයක් ගොඩනැගී අවසන් නිසා සියල්ලම සියලු දෙනාට පේන බව දේශපාලනයේදී පිළිගත යුතුම සිල්පදය බවට පත්වී හමාරය. 2015 ආණ්‍ඩුවේ පරාජයට පත් විශාල හේතුවක් වූයේ මේ තත්ත්වය නොසලකා හැරීම බව මගේ අදහසය.

තුන්වෙනුව අරාජිකත්වය සටහන් කිරීමේ උපායමාර්ගය වන්නේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය බුද්ධිමත්ව සහ විධිමත්ව පාවිච්චි කරමින් තාර්කික ප්‍රතිපත්ති මූලික තීරණ ගැනීමේ ක්‍රියාවලියත් (Rational Policy base decision making process හරහා ආර්ථික ආරක්ෂක සහ ප්‍රතිසංස්කරණ අභියෝග සඳහා මැදිහත් වීමක් නිර්මාණය කිරීමයි.

(***)


මහාචාර්ය
චරිත හේරත්

 



අදහස් (2)

දේශපාලන අරාජිකත්වයක් අබියසද?

Nadee Friday, 24 December 2021 12:25 PM

Adhock තීරණ කියන්නේ මොනවාද? එහෙම එව්වා අපි නම් අහලා නෑ.

:       2       0

fairoos Sunday, 26 December 2021 03:18 PM

මහාචාර්යතුමා එන්නත්කරණය හොඳට කළා කියලා සර්ට කඩේ යනවා. මෙච්චර දෙයක් රටට වෙලත් ආණ්ඩුව හොඳ කියනවා නම් වහල්ලුන්ට විතරයි පුළුවන්...

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site