X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නීතිය - සාමය රකිමු: ඉවසීමෙන් කටයුතු කරමු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් බැහැරව සිටින බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරනු ලැබී යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (13) දහවල් ප්‍රකාශ කළේය. මීට පෙර කතානායකවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා 13 වැනිදා බදාදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය. වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත් කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර බස්නාහිර පළාතට ඇඳිරි නීතියද පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක සඳහන් විය.

මේ අනුව රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතා පැවැත්විණි. ජනතාව විශාල වශයෙන් එයට සහභාගි වී සිටි අතර එය මැඩපැවැත්වීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරද යොදා ගනිමින් ආරක්ෂක හමුදා විශාල පිරිසක් යොදවනු ලැබ සිටියහ. රට තුළ ඒ වනවිට නොසන්සුන්තාවක් හටගත් අතර ආගමික නායකයන් විසින් සන්සුන්ව ක්‍රියා කරන්නැයි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීම්ද කෙරිණි. ඉතා ඉවසීමෙන් සහ වගකීමෙන් ක්‍රියා කළයුතු දින කිහිපයක ආරම්භයේ අපි රැඳී සිටිමු.

මීළඟට රටේම අවධානය යොමුවන්නේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන දෙසටය. දැනට එය තුන්කොන් සටනක් වශයෙන් පවතින බවද ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් නාමයෝජනා බාරදීමට සූදානමින් සිටින බව සඳහන්ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් පෙන්වා දුන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් එක් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතු වෙයි. භාවිත කෙරෙන වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් සහ ඊට වඩා ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සඳහා තෝරා පත්කර ගනු ලැබෙයි. මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වනතුරු වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාවට අනුව පත්විය යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්ව යා යුතු බවට බලකෙරෙමින් රටේ ක්‍රියාත්මක වූ ජන අරගලය තවම අවසන් නැති බව අරගලකරුවෝ පවසති. දැනට පාර්ලිමේන්තුවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසකුත් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු සියලු‍ පක්ෂ නායකයන්ගේත් ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරයා මෙන්ම ඉල්ලා අස්විය යුතු බවය. එසේ නොවුණහොත් රට තුළ දිගටම අරගලය ක්‍රියාත්මක වනු ඇති බවටද ඔවුහු අනතුරු අඟවති.

රටේ සාමාන්‍ය ජනතාවට දැන් අවශ්‍ය වන්නේ කාලයක සිට දැඩිව පීඩනයට පත්කර ඇති ගැටලු‍වලින් තමන් මුදාගන්නා පාලනයකි. අරගලයට නායකත්වය දුන් ප්‍රධානම පාර්ශ්වයක් වන පෙරටුගාමී පක්ෂයේ නායකයන්ගේ මතය වන්නේද දේශපාලන පක්ෂවල පවතින බලයට කුළල් කා ගන්නා අභ්‍යන්තර ගැටලු‍ තමන්ට අදාළ නැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වී පිහිටුවන අන්තර්වාර රජයකින් මහජනතාව බලාපොරොත්තු වන සාධාරණ පාලනයක් ගෙන යා යුතු බවත්ය. ඒ සඳහා තමන් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු බවටද ඔවුහු ප්‍රකාශ කරති.

මේ අනුව දැන් අපේ රට ඉතාම තීරණාත්මක මොහොතක නැවතී තිබේ. එසේ නැවතී තිබෙන්නේ රට මේ ව්‍යසනයට පත්කළ සියලු‍ ගැටලු‍ එලෙසම පවතිද්දීය. තෙල් පෝලිම් තවම එසේමය. පෙට්රල් ලැබෙන දිනයක් ගැන ඇත්තේ බලාපොරොත්තුවක් පමණි. ගෑස් පෝලිම් යන්තම් තුනී කරමින් ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක වීම යම් පමණක සහනයකි. ඉහළ ගිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතී. ඇතැම් සහල් වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය හිඟයද දැඩි බලපෑමක් ඇති කර තිබේ. එදිනෙදා කුලී වැඩ කළ සහ ස්වයං රැකියාවල නියුතුව සිටි බොහෝ දෙනකුගේ ආදායම් මාර්ග ඇණහිට තිබේ. පොදු ගමනාගමන සේවා ක්‍රියාත්මක වන්නේ සීමිත වශයෙනි. මේ නිසා දුම්රිය ගමන මරුවා සමඟ වාසේ ගමනක් බවට පත්වී තිබේ. පාසල් සහ විශ්වවිද්‍යාල වැසුණු ගමන්ය. රජයේ කාර්යාල අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා වී තිබේ. රටේ ආර්ථික උද්ධමනය ලොවේ සියලු‍ රටවල් අබිබවා ගොස් ඇත.

මීට මාස කිහිපයකට පෙර අපේ රට මේ තත්ත්වයෙන් නොතිබිණි. එහෙත් ඊටත් පෙර සිටම රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත්වනු ඇති බවට රටේ ආර්ථික විශ්ලේෂකයන් සහ විද්වතුන් පළකළ  අනාවැකි සියල්ල ගඟට කැපූ ඉනි බවට පත්විය. ආර්ථිකය ගැන තීන්දු තීරණ ගත් විශාරද මොළ ටිකට ඒ බව තේරුම් ගැනීමට නොහැකි වීම රටේම අවාසනාවක් විය. ආර්ථිකය කඩා වැටීම කන්දෙන් පල්ලමට තල්ලු‍ කිරීමේ තීන්දුව වූ ඊනියා කාබනික පොහොර විප්ලවය රට සාගතයක් කරා කැඳවාගෙන යන බවට පළකළ විද්වතුන්ගේ අදහස් සමච්චලයට භාජන කෙරිණි. මේ මරි මෝඩ දේශපාලන තීරණවල ප්‍රතිඵල දැන් විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක පොදු මහජනතාවටය. එම තීරණ ගත් සහ ඒවාට සහාය දැක්වූ දේශපාලනඥයෝද නිලධාරීහුද යෙහෙන් වැජඹෙති. රටේ ජන අරගලය හඬ ගා කියන්නේ මීළඟට බිහිවෙන අන්තර්වාර ආණ්ඩුව මේ අඩුපාඩුකම් හඳුනාගෙන ජනතාවගේත් රටේත් යහපත සඳහා ක්‍රියාත්මක විය යුතු බවය.

මේ අනුව පළමුවෙන්ම සිදුවිය යුත්තේ නීතිය සහ සාමය රැක ගනිමින් රට සන්සුන්ව ඉදිරියට ගෙනයාමය. එය වැඩබලන ජනාධිපතිවරයාගේත් රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ දේශපාලන පක්ෂවල නායකයන්ගේත් වගකීම වෙයි. අරගලයට නායකත්වය ලබාදෙන සියලු‍ පාර්ශවද ඇවිළෙන ගින්නට පිදුරු දැමීමෙන් වැළකී රටේ අනාගතය වෙනුවෙන් කල්පනාකාරීව ඉදිරි පියවර ගත යුතුය. ඉදිරි දින කිහිපයේදී ඉවසීමෙන් කටයුතු කිරීමට සියලු‍ පාර්ශව කටයුතු කළ යුතුය. ඉවසීමෙන් තොරව කාටත් ලබාගත හැකි ජයග්‍රහණයක් නැත.

(***)



අදහස් (0)

නීතිය - සාමය රකිමු: ඉවසීමෙන් කටයුතු කරමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site