X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


පිල්ලේ ආවේ මොකටද ?

 

වසර දෙකක් තිස්සේ ඇය වෙනුවෙන් අපි බලා සිටියෙමු. ඒ සියැසින්ම ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය දැක බලාගැනීමටය. විවිධ ගැරහිලි මධ්‍යයේ සිය ගමන එලෙසින්ම යන රජය ඇය කෙරෙහි වඩාත් බලාපොරොත්තු සහිතව සිටින්නේ රටේ හෙට දවස උදෙසාය. මාතෘ භූමිය දෙකඩ කිරීමට මාන බලමින් සිටින සටකපටයන් හමුවේ යුද්ධයෙන් පසු ලැබූ ජයග‍්‍රහණයත් සංවර්ධනය පිළිබඳවත් සියැසින්ම දැකබලා ගැනීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය වන දකුණු අප‍්‍රිකා ජාතික නවනීදන් පිල්ලේ මහත්මිය අද (25) දිවයිනට පැමිණීමට නියමිතව සිටියාය.

ඒ 2011 වසරේ අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජය කළ ආරාධනය පිළිගනිමිනි. කවුරු කෙසේ හෝ කුමන ආකාරයට විවේචන එල්ල කළත් මෑත කාලයේ ලොව බිහිවූ රුදුරුතම ත‍්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ ශ්‍රී ලංකා රජය උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගෞරවනීයත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනී. ඒ අතරතුරේ කිරි කළයට ගොම බිංදුවක් වැටී අපවිත‍්‍ර වන හා සමාන අඩුපාඩුකම් සිදුනොවනවාම නොවේ.

දශක තුනකට වැඩි කාලයක් ලාංකීය භූමිය වෙළා ගනිමින් පැවති ත‍්‍රස්තවාදය ඉවත්කර ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී අපහසුතාවට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු සියැසින්ම දැක බලා ගැනීමේ අරමුණෙන් නවනීදන් පිල්ලේ මහත්මිය අද (25) සිට ලබන 30 වැනිදා තෙක් සතියක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය කළ ආරාධනය පිළිගනිමින් පැමිණි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය සිය සතියකට ආසන්න ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිස් හමුවී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මීට අමතරව උතුරු හා නැගෙනහිර දෙපළාතේ කෙරෙන සංවර්ධනාත්මක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට නවනීදන් පිල්ලේ මහත්මිය යාපනය, කිලිනොච්චිය, ත‍්‍රිකුණාමලය, වැනි ප‍්‍රදේශයන් හිද සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී මහ කොමසාරිස්වරියට තිස් වසරක් මුළුල්ලේ ජාතිය සහ ජනතාව මහත් විනාශයකට පත්කළ කුරිරු ත‍්‍රස්තවාදය නිම කර ගතවූ සිව් වසරට සාපේක්‍ෂව ලංකාව සංහිඳියාව සඳහා ලබාගෙන ඇති දියුණුව සහ දැනට ක‍්‍රියාත්මක කාර්යයන් ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මෙරට ගැන හා එහි සංහිඳියා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පද්ධතියේ විවිධ ක‍්‍රියාකාරකම්වලට මෑතක දී මුල් වූ මිථ්‍යාවන්ගෙන් ඉවත් වී ශ්‍රී ලංකා රජය සහ මානව හිමිකම් කවුන්සිලය අතර ඵලදායී වැඩ සැලැස්මක් ගොඩනැගීමට ද මෙම චාරිකාව ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටී.

පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය මහ කොමසාරිස්වරිය සහ මානව හිමිකම් කවුන්සිලය සමග අඛණ්ඩව, විනිවිධ භාවයෙන් ශ්‍රී ලංකා රජය යෙදෙන කාර්යයන් හි කොටසක් ලෙස රජය සලකනු ලැබේ. එබැවින් පිල්ලේ මහත්මිය දැන් කළ යුතුව ඇත්තේ ප‍්‍රකාශ හෝ වාර්තා පදනම් කොට ගනිමින් ඉදිරි පියවර ගැනීම නොව සත්‍යය සියැසින් දැක බලා ගැනීමය.

ඇයගේ මෙම සංචාරයේ දී දෝෂාභියෝග යෝජනාවක් ඉවත් කළ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හමුවීමටත් අධිකරණ සේවයේ නිලධාරීන් පිරිසක් ද හමුවීමට නියමිත යැයි ආරංචිමාර්ගවලින් පැවසේ. එසේම විනාශ කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මියගිය නායකයන්ගේ භාර්යාවන් ඇයව හමුවීමට නියමිත බැව් වාර්තා වේ.

මෙම කිසිදු හමුවීමක් සඳහා ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට කොන්දේසි පනවා නොමැති බව රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කියයි.

ඇයගේ ලංකා සංචාරය තුළ ඇයට රිසි පරිදි ඇයගේ කාලසටහන හසුරුවාලීමට අවසරය ලබාදී තිබෙන බවත් සිවිල් සංවිධාන නියෝජිත හමුවීම්වලදී ඉහත සඳහන් වූ පුද්ගලයන් හමුවීමට රජය කිසිදු බාධාවක් එල්ල නොකරන බැව්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කියයි.

නමුත් නවනීදන් පිල්ලේ මහත්මියගේ මෙම සංචාරය ද්වේෂසහගත ලෙස හෙළා දකින දේශපාලනඥයන්, ප‍්‍රභූන් සමාජයේ නැතිවාම නොවේ. ඔවුන් ඇයව බටහිර රූකඩය ලෙස හුවා දැක්වුව ද ඇය විද්වතකු වන්නේය. දකුණු අප‍්‍රිකාවේ දෙමළ ජාතිකයකු වුවද පිල්ලේ මහත්මිය ජාත්‍යන්තරයේ විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප‍්‍රධාන වීරවරියකි. ඇයගේ විවේචන රටකට බලපෑම් එල්ල කරන්නේ වක‍්‍රාකාර ලෙසිනි. වෘත්තියෙන් විනිශ්චයකාරවරයකු වන පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට ද්‍රෝහි අයෙකු ලෙස ඇතැම් පිරිස් හඳුන්වා දෙමින් සිටිති. එම හැඳින්වීම රටට කරන අපහාසයක් විය හැකිවාම නොවේ.

දකුණේ සිවිල් ජනතාවගේ ඇතැම් මූලික අයිතිවාසිකම් පිළිබඳ ගැටලූ සහගත තත්ත්වයන් විශේෂයෙන් රතුපස්වල ජල අර්බුදය හා ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ඇතුළු කලබලකාරී තත්ත්වය වාර්තා වූ අවස්ථාවක පිල්ලේ මහත්මියගේ සංචාරය ඉතාම වැදගත් වේ. විපක්ෂ මතධාරින් ඒ පිළිබඳ ස්වාධීන මත දැරුව ද ඒවා රටට හානිකර නොවන අයුරින් ඇය වෙත දැනුම් දීම කළ යුතුව තිබේ. මන්දයත් ඇයගේ මෙම සංචාරයේ අරමුණ ලංකාවේ ඇත්ත ඒ සැටියෙන් බලා ජිනිවාහි ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 24 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමය.

ඇයගේ මෙම විශේෂ වාර්තාව වැදගත් වන්නේ ලබන 2014 වසරේ මාර්තු මාසයේ දී යළිත් වරක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින හෙයිනි. එබැවින් පිල්ලේ මහත්මියගේ මෙම සංචාරය ඉතා වැදගත්, සාවධාන ලෙසින් අධ්‍යයනය කරමින් රට ගැන අපූරු පැහැදිලි මතයක් ඇයගේ තීක්ෂණ බුද්ධිය තුළට කාවැද්දීමට අප සමත් විය යුතු වේ.

නවනීදන් පිල්ලේ මහත්මියගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව යළි නැගිටීමට දරන ප‍්‍රයත්නයත්, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය හා ලංකා රජය අතර ඵලදායී සම්බන්ධතාවක් ගොඩනැංවීමට ඉවහල් විය හැකිය. එබැවින් ජාති, ආගම්, පක්ෂය පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස සැමදෙනාගේ සහයෝගය ඊට ලබාදිය යුතු කාලය එළැඹ ඇත.

මන්දයත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව අතිශය වැදගත් වන හෙයිනි. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධන කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ තමන් වැඩි අවධානයක් යොමු කරන බව නවනීදන් පිල්ලේ සිය ලංකා සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි.

2009 වසරේ දී ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ වර්ගීකරණයට අනුව ලොව බලගතු කතුන් සියදෙනා අතර 64 වැනියා වූ නවනීදන් පිල්ලේ මහත්මිය වර්ගභේදවාදයේ උපරිම අත්දැකීම් සිය ජීවිතයට එක් කරගෙන හමාරය. දකුණු අප‍්‍රිකාවේ දෙමළ සම්භවයෙන් යුතු බස් රියදුරකුගේ දියණියක ලෙස බහුතර සුදු ජාතිය පරදවා 1995 දකුණු අප‍්‍රිකාවේ මහාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස පත්වූයේ එරට අධිකරණ ක්ෂේත‍්‍රයේ විනිසුරු තනතුරකට පත් වූ සුදු ජාතික නොවන පළමු කාන්තාව ලෙසය. රුවන්ඩාවේ යුද සංහාරය පිළිබඳව වන ජාත්‍යන්තර අධිකරණයේ වසර ගණනාවක් තිස්සේ සේවය කළ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්වූයේ 2008 වසරේදී ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඛෑන් කී මූන් මහතාගේ යෝජනාවකට අනුව 2008 සැප්තැම්බර් මස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ධුරයට පත් කෙරුණ අතර එහි වසර හතරක පළමු ධුර කාලය ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ අවසන් කළ ඇය යළිත් වරක් එම තනතුරට පත්වූයේ එම සංවිධානයේ බහුතර අනුමැතිය අනුවය.

මෙවැනි චරිතයකින් යුත් ඇයට බොරු කිරීම කළ නොහැකි දෙයකි. රජයට ද අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තරයේ නැගෙන චෝදනා, අවලාදවලට නොබියව මුහුණ දීමය. දැන් එයට කාලය එළැඹ තිබේ.

 

 

සටහන - තිළිණි ද සිල්වා

 



අදහස් (0)

පිල්ලේ ආවේ මොකටද ?

ම්වරුණා Monday, 26 August 2013 10:19 PM

පුදුම වැඩ කියන්නේ මිනි මරණ රටවල් අපමණ තිබියදී මෙයා මෙහෙ අවා. එයාගේ ජාතියට අදාරකරන්න. බලමු මේ වතාවේ මෙයා බොලේ දාන්නේ කාටද කියලා.(නදී)

:       0       0

කටා මාමා Tuesday, 27 August 2013 02:35 AM

එයාගේ ඡායාරූපයෙන් එයාගේ හැටි පෙනෙනවා (නි)

:       0       0

සොයිසා Tuesday, 27 August 2013 03:06 AM

මට නම් එයාගෙන් වැඩක් නැහැ (නි)

:       0       0

විල්සන් Tuesday, 27 August 2013 05:27 AM

මට නම් ඒ දෙන වාර්තාව ගැන බලාපොරොත්තුවක් නැහැ (නි)

:       0       0

මලික් Tuesday, 27 August 2013 10:17 AM

මෙයා ද්‍රවිඩ සම්භවයක් ඇති කෙනෙක් නොවුනා නම් කොච්චර හොඳද. (දී)

:       0       0

කෝසල Tuesday, 27 August 2013 10:09 PM

පිල්ලේ නෝනා ආව අතක් බලාගෙන යනවාද (දී)

:       0       0

නීල්-කොස්තා Wednesday, 28 August 2013 03:35 AM

ඇයි ලංකාවට ආවේ?(නදී)

:       0       0

නිමල් Wednesday, 28 August 2013 03:41 AM

කරුණාකරලා නැවත යන්න (නි)

:       0       0

දොන් ජයදේව පියරන්ජන් විජේසූරිය Wednesday, 28 August 2013 12:09 PM

ඇයි මැතිනිය, මේ කුරිරු ම්ලේච්ච යුද්ධයේදි ත්‍රස්තවාදින්ට වු විපත් පමණක් අගයන්නේ, එල්.ටි.ටි ම්ලේච්චයන් කළ සිවිල් සිංහල​.දෙමළ​,මුස්ලිම් ඝාතන බලන්නැත්තේ(ශ්‍රි මහා බොධියේ උපසක අම්මලා, අරන්තාලාවේ භික්‍ෂු ඝාතනය​,කොළඹ මහා බැංකු, සි.බි.එස්, ගලදාරි,හිල්ටන් හොටලය​,කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේදි මුස්ලිම් වරුන් 100ක්, දේශපාලකයින්, හමුදාපතීන්, යුධ හමුදා සෙබලුන් වැනි අය) (ස)

:       0       0

අචිනි Wednesday, 28 August 2013 02:43 PM

අපි නිවැරදි නම් මොකටද කාටවත් බයවෙන්නේ .....? මෙතන අදහස් දාන අය හොදටම බයවෙලා ඉන්නේ ඇයි (ස)

:       0       0

කේ ඇස් ප්‍රනාන්දු Thursday, 29 August 2013 07:02 PM

පිල්ලේ නෝනාට ලංකාව බලන්න ආස ඇති. අනේ! බලලා ගියාවේ (නි)

:       0       0

නිලූක Friday, 30 August 2013 04:49 AM

බොහොම හොදයි (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 31 August 2013 01:51 PM

පිල්ලේ නෝනා ආවේ,අවුරුදු 30 ක යුද්ධයේදී අවසන් සතියේදී සිදුවුවා යැයි කියන ත්‍රස්තවාදීන්ගේ හිමිකම් කඩවීම් බලන්න (නි)

:       0       0

නීල් Saturday, 31 August 2013 02:35 PM

ගියාද එයා? (නි)

:       0       0

චමත් Saturday, 31 August 2013 05:07 PM

වාස් ගුණවර්ධන කියල පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් ඉන්නවද බොලේ? (අ)

:       0       0

නිවිල් Sunday, 01 September 2013 02:08 PM

අපේ ජාතිය විනාශ කරන්න මිසක් වෙන මොකටද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site