දින දෙකක කාලයක් තුළදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි පහරවලින් ඝාතනයට ලක්වීම රටේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ප්‍රබල කම්පනයක් ඇති කරනු ලැබ තිබේ. පොලීසිය භාරයේ පසුවන සැකකරුවන් මේ ආකාරයට ඝාතනය වීම දැඩිව හෙළාදකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරන අතර අදාළ ඝාතන සිද්ධී දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් වාර්තාවක් කැඳවමින් අවධාරණය කර තිබුණේ පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම බවය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයන්ගේ සංගමය ද මාධ්‍ය සාකච්ඡාවක් තබා අදාළ ඝාතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එම ඝාතන සිදුකළ පුද්ගලයන්ට දඬුවම් කළ යුතු බව කියා තිබිණි.
පොලීසියේ නිලධාරීන් අතින් අනීතික ආකාරයට සැකකරුවන් ඝාතනය වීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට ද කළු පැල්ලමකි. මෙවැනි සිදුවීම් මෙරට මානව හිමිකම් සංවිධාන මගින් පමණක් නොව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මගින් ද දැඩිව ප්‍රශ්න කරනු ලබයි. ඒවාට ලබාදිය හැකි පිළිතුරු කුමක් වුව ද රටේ නීතියේ ආධිපත්‍යයට සිදුවන හානිය එයින් වළක්වාගත නොහැක. එසේම මෙවැනි ඝාතන පොලීසියේ රැකවරණය යටතේ සිටින සියලු සැකකරුවන්ටත්, ඔවුන්ගේ පවුලේ සමීප ඥාතීන්ටත් විශාල භීතියක් ඇති කරවයි. එවැනි වාතාවරණයක සාධාරණ නඩු විභාගයක් පිළිබඳව බලාපොරොත්තු තැබීමත් නිෂ්ඵලය.
පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ සැකකරුවන් ලයිස්තුවේ ‘ඌරු ජුවා’ නොහොත් මාබුලගේ දිනිති මෙලන් සහ ‘කොස්ගොඩ තාරක’ නොහොත් තාරක පෙරේරා විජේසේකර යනු දෙදෙනකු පමණි. පසුගිය වසරේ ‘මාකඳුරේ මධූෂ්’ හෙවත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත ද පොලිස් අත්අඩංගුවේ සිටියදී එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. ඊට පෙර ද අවස්ථා ගණනාවකදී මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෝ ඝාතනය වූහ. සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියට පහරදීමට තැත් කිරීම හෝ පැන යාමට තැත් කිරීම මේ ඝාතනවලට හේතුව වශයෙන් ප්‍රකාශයට පත්වූ ‘මහා පොදු සාධකය’ විය. මාංචු පිටින් ගඟට බැස පිහිනා යාමට තැත් කිරීම් හේතුවෙන් සිදු වූ බවට පැවැසුණු මරණ ද මේ අතර විය. මරණය කෙසේ සිදු වුව ද පොලීසිය භාරයේ සිටින සැකකරුවන් අත්අඩංගුවට පත්ව සිටියදී ඝාතනය වීම් සැලකෙන්නේ නීතියට පිටින් සිදුකෙරුණු මනුෂ්‍ය ඝාතන වශයෙනි. එය නීතියේ පාලනයට සිදුකෙරෙන අවමානයකි.
මෙහිදී වඩාත්ම බරපතළ තත්ත්වයක් වන්නේ අවසන් වරට ඝාතනය වූ තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඝාතනයට ලක්විය හැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙර දැනුම්දීමක් සිදුකර තිබීම හේතුවෙනි. එම නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කරන ලද අදාළ පැමිණිල්ල එම සංගමය මගින් පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර තිබුණ ද සැකකරුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම නීතිය පිළිබඳ හැඟීමක් ඇති සියලුදෙනාම කම්පා කරවන සිදුවීමක් බව කිව යුතුය.
මේ ආකාරයට ඝාතනය වූ සැකකරුවෝ යහපත් පුරවැසියන් වශයෙන් සමාජය හැඳින්වූයේ නැත. ඔවුන් ඉදිරියේ සඳහන්ව ඇත්තේ සංවිධානාත්මක මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් වැනි ඉහළම ගණයේ අපරාධ චෝදනාය. මේ අපරාධ චෝදනා සමඟ ඔවුහු පාතාල සාමාජිකයන් වශයෙන් ද හංවඩු ගැසෙති. කොතරම් දරුණු අපරාධකරුවකු වුව ද දඬුවම් ලැබිය යුත්තේ සාධාරණ නඩු විභාගයකින් පසුව අධිකරණය මගින් නියම කෙරෙන තීන්දු ප්‍රකාරව පමණි. මෙවැනි පාතාල කෙරුමන්ට එරෙහි චෝදනා ඇත්තේ එකක් දෙකක් නොව දුසිම් ගණනින් වීම නිසා ඔවුන් මුහුණදිය යුතු නඩු විභාග ද ගොඩගැසෙයි. මේ නිසා පාතාල අපරාධකරුවන් විසින් කරන ලද අපරාධවලින් අගතියට පත් පාර්ශ්වවලට ද යුක්තිය ඉටුවීම ප්‍රමාද වෙයි. එය බලවත් සමාජ අසාධාරණයක් බව ද පෙන්වා දිය යුතුය. එය කොතරම් අසාධාරණ සහ අයුක්ති සහගත වුව ද එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වීම රටේ නීතියට ප්‍රතිවිරුද්ධය. එවැනි ඝාතනවලට පොලීසිය තුළ ඉඩක් නොතිබිය යුතුය.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු පිට පිට දින දෙකකදී ඝාතනයට ලක්වීම හේතුවෙන් තවත් එවැනිම සැකකරුවකුගේ ජීවිතය පිළිබඳව ද ගැටලුවක් මතුව තිබෙන බව අභියාචනාධිකරණයට පසුගියදා ගොනු වූ පෙත්සමක සඳහන් විය. මත්කුඩු ජාවාරම් චෝදනාවලට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටින ‘වෙලේ සුදා’ හෙවත් ගම්පළ විදානගේ සමන්ත කුමාරගේ මව විසින් මේ පෙත්සම ගොනුකර තිබිණි. එහි සඳහන් වූයේ වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් මරාදැමීමේ සැලසුමක් ඇති බවට තමන්ට තොරතුරු ඇති බවය. මේ තත්ත්වය මත කිසිදු හේතුවකට හෝ වෙලේ සුදා නමැත්තා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන නොයන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි සිදුකර තිබූ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය ලැබිණි. එම පෙත්සම විභාගයේදී මේ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය වනු ඇත.
රට හමුවේ දිගහැරෙමින් පවතින මේ ආකාරයේ ඝාතන පෙන්නුම් කරන්නේ පොලීසියේ ඇතැම් නිලධාරීන් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන බවය. අපරාධකරුවකුට වුව ද සාධාරණ නඩු විභාගයක් සඳහා පෙනී සිටීමට තිබෙන අයිතිය අවි පෙන්වීමට කැඳවාගෙන ගොස් පැහැර ගැනීම පොලීසියේ රාජකාරියක් නොවේ. විශේෂයෙන්ම නිරායුධව සිටින බරපතළ ගණයේ අපරාධ සැකකරුවකුට වෙඩි වැදීමට ඉඩක් නොතැබීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියයි. මෙවැනි සිදුවීම් ඉදිරියේදී හෝ වැළැක්වීමට පියවර ගැනීම රජයේ වගකීමයි.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස් භාරයේදී සැකකරුවන් ඝාතනය වීම නීතියට අභියෝගයක්
Chami Thursday, 27 May 2021 07:29 AM
වැදගත් ලිපියක් ස්තූතියි ලිව්වට.
Dr. Lakshman Fernando Friday, 28 May 2021 01:47 AM
ඔව්, ඉතා හොඳ මාතෘකාව.
ganegoda Friday, 28 May 2021 11:19 AM
පාතාලය, පොලිසියටයි, බන්ධනාගාර නිලධාරීන්ටයි වෙඩි තියලා පාතාලයේ අරමුණු ඉෂ්ඨකර ගැනීම අභියෝගයක් නෙමෙයිද?
janahitha Saturday, 29 May 2021 06:59 AM
පාතාලය, පොලිසියටයි, බන්ධනාගාර නිලධාරීන්ටයි වෙඩි තියලා පාතාලයේ අරමුණු ඉෂ්ඨකර ගැනීම ජනතාව අභියෝගයක් නීති නිලදරුවන්ට නඩු අවශ්‍ය වෙනවා. අපරාධ කාරයෝ ඉතාමත් ඉහළ අගයක් ගෙවනවා. පිටරට සංචාර ලැබෙනවා. ජනතාවගේ අභියෝගය ඒ අයට අභියෝගයක් නොවේ..