X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ

 අපේ රටේ සෑම ප්‍රදේශයකම එකලෙස ප්‍රකට තේරවිලි කවියක කොටසක් මතු දැක්වේ. මේ තේරවිලි කවියට අදාළ පිළිතුරු කවියද ඉතා සරලය. මතක තබාගැනීමට ද පහසු බව පෙනේ. මින් මගවැලි පිසින්නා ගැන කියවේ. කුකුළා කෑම අහුලාගෙන කන පක්ෂියෙකි. ඌ ඒ වගේම වැලි අතර කුණු ගොඩවල් ආශ්‍රිතව සැඟව සිටිනා කෘමීන් සහ පණුවන් ආහාරයට ගැනීම පුරුද්දක් කරගෙන ඇත. කුකුළා යන මග දිගට පහුරුගාමින් කෑම සොයා යාම සාමාන්‍ය ස්වභාවය බව අපි දනිමු. මේ නිසා කුකුළාට මගවැලි පිසින්නා යන නම භාවිත කිරීමට ගැමියන් පුරුදු වූ බව මුඛ පරම්පරාවෙන් පැවත එන්නකි. අද නම් අධිපරිභෝජනවාදී සමාජයේ කුකුළු මාංශ කෑමට ඇති තරගය මිස තේරවිලි කවි කීමට උනන්දුවක්වත් නැත. එහෙත් එදා නම් කුඩා දරුවන් අතර පමණක් නොව දැනුම් තේරුම් ඇති උදවිය අතරේ පවා තේරවිලි කවිය අතිශය ජනප්‍රිය විය.


ටං ටං ගාන්නා තෝරා     එවාපන්
ටිං ටිං ගාන්නා තෝරා     එවාපන්
දෙගම්බඩ රජා තෝරා     එවාපන්
මගවැලි පිසින්නා තෝරා     එවාපන්

16_PAGE_4_RASA
මෙහි තේරවිලි කවියද ඉතාමත් රසවත් අතර කුඩා දරුවන් ශබ්ද නගා කියන්නට පෙලඹේ. එහෙත් මෙවන් කවි අද අපට ඇසෙන්නේ පාසල්වල ප්‍රාථමික පංති කාමරවලදී පමණි.


ටං ටං ගාන්නා ගෝනා     නොවේදෝ
ටිං ටිං ගාන්නා ලේනා     නොවේදෝ
දෙගම්බඩ රජා කිඹුලා     නොවේදෝ
මගවැලි පිසින්නා කුකුළා     නොවේදෝ


මෙවන් කුකුළා පිළිබඳව අපට හුරු පුරුදු කතාද ජනයා අතර මුල්බැසගත් අනේකවිධ කතා බහද ජන විශ්වාසද ජනශ්‍රැතිය තුළින් නිතර හමුවන අවස්ථා එමටය.


“කුකුළු බෙටිත් බෙහෙතට ඕනෑ වෙනවාලු” මෙය කුකුළා නිසා අප අතරට ආ ජනප්‍රිය වහරකි. මින් හැඟෙන්නේ පොඩි මිනිහා පවා ඇතැම් විට උදව්වට ඕනෑ වෙන බවකි. එසේම බලවත් උදවියටත් යම් ප්‍රබල අත්දැකීමක් අමතක වීම හැඟවීමට ද කුකුළාව උපමාවට ගෙන තිබේ. එනම්, කුකුළන්ටත් හඬලන්නට අමතක වුණා වගේ. හැම කාන්තාවකටම මනමාලකම් පෑමට මාන බලන අයෙකු දුටු විට මිනිහා නම් හරිම කුකුළෙක් තමයි යන වහරද අපට ඇසේ. මින් අදහස් කරන්නේ කිකිළියන් රාශියකටම එක් කුකුළකු ඇති කිරීම ගැමියන්ගේ සිරිතක් වන අතර කුකුළාගේ හැඬලීමේ සුවිශේෂී හඬ නිසා කිකිළියන්ගේ බිත්තර මෝරන බවට විශ්වාසයක් පවතියි. එසේම මේ තනි කුකුළා ඕනෑම කිකිළි නෑම්බියකට වුවද ළංවීම සාමාන්‍ය පුරුද්දකි. අන්දරේ වටාද මෙවන් අදහසක් ගෙන දෙන කතාවක් ජනශ්‍රැතියේ වෙයි.


හොරාට පෙර කැන වැට පැන්නා වගේ යැයි පිරුළක් වහරේ එයි. ඊට සමාන අරුත් ඇති කුකුළා ගැන කියවෙන පිරුළක්ද අපට අසන්නට ලැබේ. එනම් කුකුළාට ඉස්සරවෙලා පෙඳ දිව්වා වගේ.. මින් අදහස් කරන්නේ පසුව කළ යුතු දෙයක් මුලින් කිරීම නිසා ඇතිවූ අපහසුතාවක් පිළිබඳවය.
කුකුළා අනුසාරයෙන් පමණක් නොව කිකිළිය සම්බන්ධයෙන්ද අප ජනවහරේ අගනා පිරුළු බිහිවී තිබේ. තමන්ගේ දෙයක් මෙන් සිතා අනුන්ගේ දෙයක් රැකබලාගෙන ඵල ප්‍රයෝජනයක් නොලද තැන ගැමියෝ කියන්නේ කිකිළි තාරා බිත්තර රැක්කා වගෙයි කියාය. එසේනම් කුකුළා සේම කිකිළියද අපේ ජන ජීවිතයට වඩාත් සමීප බව පෙනේ.


කිකිළි බිත්තරය ඇසුරින් පිළිතුරක් නැති ප්‍රශ්නයක් ද සමාජය තුළ මතුවී ඇත. එනම් මුලින් ඇතිවුණේ කිකිළියද බිත්තරයද කියාය. ලොව සත්වයන් පහළ වෙන ආකාර කීපයක්ම බෞද්ධ දර්ශනයේ සඳහන්ව ඇතත් අණ්ඩජ යන ආකාරයට කිකිළිය බිත්තරයෙන් උත්පාදනය විය යුතුය. මේ කිකිළි බිජුව කෙසේ ඇතිවේදෝයි යන පැනය හමුවේ කුකුළාගේ උපත ගැන අපූරු කතාවක්ද ගොඩනැගී ඇත. එය සුර අසුර සටන හා බැඳී පවතියි. එම කතාවේ හැටියට කුකුළාගේ පියා අම්බලස සෘෂිවරයාය. මව කාල රාක්ෂියය. මේ දෙදෙනාට දාව උපන් කුමරා කුකුළෙකි. අසුර භවනේ තොරණ පිට හිඳ හැඬලීම සිරිතක් කොට ගෙන සිටි අසුර කුකුළා සුර අසුර සටනේදී අසුරයන් ජයගත් විට උද්දාමයෙන් හැඬලීමට පුරුදුවී සිටි බව කියැවේ. මේ ගතිය ඉවසා සිටීමට නොහැකි වූ සුරයන්ගේ නායකයා වූ ඉසුරුගේත් ඔහුගේ බිරිඳ වූ උමාවගේත් පුතා වූ සටනට අධිපති කඳ කුමරු මේ අසුර කුකුළාව කඩුවෙන් ගසා දෙපළු කර තිබේ. ඉන් එක් පළුවක් කඳ කුමරු සිය වාහනය කරගත් අතර අනෙක් පළුව කඳ කුමරුගේ කොඩියයි. මේ නිසා අද කඳ කුමරුගේ කොඩියේ කුකුළකු සලකුණු කර තිබේ.


පැරැන්නෝ වේලාව මැනීමට ද කුකුළාව උදව් කර ගත් බව අපි දනිමු. කුකුළා හඬලන වේලාව හා කුකුළා ගස් ලගින වේලාව යන කියමන් ඒ අනුව ඇතිවී තිබේ. අදත් ගම්මානවල එදා වගේම එළිය වැටෙන වෙලාවට කුකුළාගේ හැඬලීම ඇසේ. එසේම ඉර බසින වෙලාවට කුකුළා නොවරදවාම ගස් නැගීම සිදුකරන්නේ නිරුපද්‍රිතව රාත්‍රිය ගෙවා දැමීමේ අටියෙනි. කුකුළා උස ගසක ඉහළම අත්තක කෙළවරේ උක්කුටුකයෙන් සිට දෑස් පියාගෙන නිදාගන්නා පක්ෂියෙකි. කුකුළාගේ නින්ද කෙටිය. ඒ ඌ කල්පනාකාරීව රාත්‍රිය ගත කරන බැවිනි. එසේම කුකුළාගේ කේන්තියද වහා ඇතිවී වහා නැතිවී යන බව ගැමියා අත්දැකීමෙන්ම දනියි. මේ නිසා සමාජය තුළද කුකුළු කේන්ති කාරයන් ඇතැයි අප අතර කතාවක් තිබේ.


අපේ රටේ ඉපැරණි ලී කැටයම්වලද සැවුල් කැටයම් දැකිය හැකිය. කුකුළු රුව ගත් ප්‍රකට ලී කැටයමක් මාදම්පේ කොළඹගම් විහාරයේ දැකිය හැකිය.


සැවුල් ඉසේ යකු දහසක්     වෙසෙතී
සැවුල් ගෙ බොටුවෙ දහසක්     වෙසෙතී
සැවුල් ගෙ කඳ මැද දහසක්     වෙසෙතී
සැවුල් අතට ගෙන අද මෙහි     දපතී


රීරි යකා දොළ ගන්නා විටදී ද කුකුළෙකු පතයි. එහෙත් අපේ සංස්කෘතියට අනුව කුකුළාගේ කරමලය විද ලේ ගෙන රීරි යකාට පුදයි. කුකුළෙකු බිල්ලට දීම සිදුනොවෙයි. එහෙත් එවැනි දේ සිදුවෙන අවස්ථාද නැතුවාම නොවේ. මේ නිසා රීරි යකාගේ රුව අඹන විට කුකුළා අත ඇතිව සිටිනා අයුරු දැක්වීමද සිංහල නිර්මාණ ශිල්පියාගේ සම්ප්‍රදායක් බව පෙනේ.


අපේ පැරණි සිත්තරුවන් කුරුලු රූප සිත්තම් කිරීමට ගජ හපන්නුය. ඒ අතර කුකුළාද වූ බව ගණ දෙවි හෑල්ලේ එයි.


මොනරු සහ ගිරවුනු     ත්
කොබෙයියන් කුකුළනු     ත්
පරෙවි සොඳ කොවුලනු     ත්
ඇඳ බිත්තිවල මෙසි    ත්


කුකුළු පොර කැටයම් නිසා ඈත අතීතයේ පටන්ම අපේ රටේ කුකුළන් පොර කෙටවීමද පැරණි ක්‍රීඩාවක් බව පෙනේ. යුරෝපීය ජාතීන් පවා ලියූ ලේඛනවල කුකුළු පොර සඳහන් කර තිබේ. මේ නිසා අපූරු පිරුළක්ද නිර්මාණය වී ඇත. කොටන කුකුළට මොන පොර පිටියත් එක වගේ කියාය. නමුත් කුකුළන් කෙටවීම අද නීතියෙන් තහනම් කර ඇත. එය සූදුවක් හෙයිනි. හිංසාකර හෙයිනි. අමානුෂික ක්‍රීඩාවක් බැවින් සිංහල බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන්නකි.


එහෙත් මෙය ප්‍රිය කළ සිංහල රජවරු ද අපේ රටේ සිටි බව කියැවේ. ඉන් මුල් තැන ගන්නේ දෙවන රාජසිංහ රජතුමාය. ඔහුගේ කාලයේ කුකුළු පොර ජනප්‍රිය වී ඇත්තේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දිගම්පත ප්‍රදේශයේය. මේ ප්‍රදේශයේ ජීවත් වූ පරගල ටිකිරි බංඩාර කෝරාල කුකුළු පොර සංවිධානය කිරීමේ පුරෝගාමියා විය. ඔහුගේ පොර කුකුළා මහනුවර රාජධානියේ සියලුම පොර කුකුළන් පරදවා තිබේ. මේ නිසා ඔහුට පරගල විජේසුන්දර ටිකිරි බංඩාර කුකුළු කෝරාල යන පටබැඳි නාමයක් ද දුන් බව ජනශ්‍රැතියේ එයි. එදා පටන් ඔහු රාජකාරිය කළ දිගම්පත කෝරළය කුකුළු කෝරළය ලෙස ප්‍රකට වී තිබේ.


ඒ ගැන කියවෙන ජන කවියක් ද හමුවිය.


දිග්ගම්පත කෝරලයෙන් ගෙනා කුකුළු පොර     කොටන්ඩ
කොක් හඬලා සප්රම් කෙළ අනික් කුකුළු     පරදවන්ඩ
වික්මැති යුද නිසා රජ වාසල සතුටු    වෙන්ඩ
එදා පටන් නම තැබුවයි කුකුළු කෝරළය     කියන්ඩ


රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජ අඩවියෙන් ගලා බස්නා කුකුළු ගඟද ගලායන්නේ කුකුළු කෝරලය හරහාය. කුකුළුවා කන්දත්, කුකුළුවා විහාරයත් මේ ප්‍රදේශයේම පිහිටා ඇත. මේ නම් සියල්ල පටබැඳුණේ කුකුළු පොර නිසා වූ ජනප්‍රියතාව හේතුවෙනි.


කෑරලා අසුබ සතකු ලෙස ජනප්‍රවාදයේ එයි. මේ සතා තුන් යාමයේ හැඬූ විට ඉන් අසුබ යමක් සිදුවෙන බව ජනප්‍රවාදයේ එයි. මේ නිසා ගැමියන් එම අසුබ හඬ මගහරවා ගැනීමට සැවුලෙකු සේ හඬ ආරෝපණය කර කවියක් ගොඩනගා ගෙන ඇත.


රෑ වෙලා මොනරු ගස් යන    වෙලාවේ
ඇහැරිලා බිලිඳු කිරි බොන    වෙලාවේ
එළිවෙලා කුකුළෝ අඬලන    වෙලාවේ
කෑරලා ඇඬිය දොරකඩ    මාරාවේ


ඉහත කී අසුබ කවිය සෙත් කවියක් කර ගැනීමට ගැමියා පහත පෙනෙන කවිය ගොඩනගාගෙන තිබේ.


අඳුරු වෙන්ට පෙර ගසට    නගින්නා
උදාවෙන්ට පළමුව    අඬලන්නා
වටකොට පැටියන් සාදා    ගන්නා
ඔන්න බිළිඳු සැවුලන්    හඬලන්නා


මෙය දරු නැළවිල්ලක් සේ ප්‍රකටය. එසේ නම් සැවුලා සුබ ලකුණකි. සීතාවක යුගයේදී සැවුල් සංදේශය නමින් සංදේශ කාව්‍යයක්ද බිහිවී තිබේ. මෙය අලගියවන්න මුඛවෙටි විසින් 1581-1585 අතර කාලයේදී රචිතය. සිංහල සන්දේශ කාව්‍ය පොත් පෙළේ අවසාන පොත මේ සැවුල් සන්දේශය වේ. මෙහි කවි 207 කි. මේ සන්දේශය මගින් සබරගමුවේ වැඩ සිටින සමන් දෙවියන්ට කන්නලව්වක් කර තිබේ.


අපේ රටේ ඒ ඒ පළාත්වලට අයත් ධජ නිර්මාණය වී ඇති අතර සැවුලා දැක්වෙන කොඩිය රුහුණු පළාතට අයත් වේ. කුකුළන්ට වඩාත් බලපෑම් කළ සිවුපාවා ලෙස නරියා හැඳින්විය හැකිය. මේ නිසාම නරියන්ට කුකුළන් බාරදුන්නා වගේ යැයි කියමනක් ද වහරේ එයි.


කුකුළන් හොරකම මිනිසුන් අතරද ඉතාමත් ජයට කෙරුණු බව හැඟවෙන අවස්ථාවක් ද ජනශ්‍රැතියේ දැක්වේ. සිය කුකුළා සොරාගත් සොවින් කතරගම දෙවියන්ට සෝපාසය මුසු වූ වස් කවියක් කියා පළි ගැසූ අවස්ථාවක් ද අපට හමුවේ. හැවිල්ල නම් කවි පංතියේ එය සඳහන් වේ. ගං කුකුළාත් ගං බිත්තරත් එදා අපේ ගෙවල්වල පරිභෝජනයට හා අලෙවියට පත්ව තිබූ බව ප්‍රකට කරුණකි. බා... බා... යනුවෙන් කුකුළන්ට කතා කිරීම ගැමි ගෙවල්වලින් ඇසෙන හඬකි. එහෙත් මෙය යුරෝපීය බසකින් ගැමි සංස්කෘතියට හුරුවූවක් බව පෙනේ.


නූතනයේදී බිත්තරය මුල්වී නව ප්‍රස්ථා පිරුළක්ද නිර්මාණය වී ඇත. එනම් බිත්තරයක් නැතුව ඔම්ලට් හදන්න ගත්තා වගේ. මින් අදහස් කරන්නේ යම් කාර්යයක් කිරීමට අවශ්‍ය සාධක සොයා නොබලා කටයුතු කිරීම ගැනය. එදාට වඩා අද බිත්තර මගින් විවිධ කෑම වර්ග සෑදෙන බව පෙනේ.

යෝගාවර්ණයේ පවා සිංහලයන් බිත්තර හා කුකුළු මස් අනුභවයට දැක්වූ රුචිකත්වය දක්වා තිබේ.


(යෝගාවර්ණය යනු වෙද පොතකි.) බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන කාලි යක්ෂණියගේ කතා පුවතට හේතුව වී ඇත්තේ කිකිළියක සහ බැළලියක අතර ඇති වූ වෛරයකි. මෙය බෞද්ධ ජන ජීවිතයටද ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් වූ කතා පුවතකි.


අද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වලට (ප්‍රාථමික) රජයෙන් දිවා ආහාරය සපයනු ලැබේ. මෙහිදී සෑම දරුවෙකුටම බිත්තර දෙකක් එක් සතියකදී ලබාදිය යුතු බව දැනුම් දී ඇත. බිත්තර වල ජීව විද්‍යාත්මක වටිනාකම 100% කි. එහි අඩංගු විටමින්, ඛනිජ, ප්‍රෝටීන ආදියෙහි කැලරි ප්‍රමාණය ඉතා අධිකය. මේ නිසා රෝහල්වල ආහාර වේලට බිත්තර එක්කර ඇති බව පෙනේ. සිංහල වෛද්‍ය ක්‍රමයට අනුවද කුකුළු මස් හා බිත්තරවල පෝෂ්‍යදායී බව දක්වා තිබේ. ඒ අනුව කුකුළු මස් වාතය නසන බවද පිත නසන බවද වළිකුකුළු මස් ආහාර රුචිය වැඩිදියුණු කරන බවද පැවසේ. මීට අමතරව ලොකු කුඩා මහලු දුර්වල අයට වුවද වළිකුකුළු මස් ආහාරයට උචිත බව පැවසේ. නමුත් අපේ රටේ ජාතික පක්ෂියා වළි කුකුළා බව ලොකු කුඩා සැවොම දන්නා කරුණකි. කෙසේ වුවද අද වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති කුකුළු මස් සම්බන්ධයෙන් නම් යටකී කිසිම කරුණක් අදාළ නොවේ. ඊට හේතුව බ්‍රොයිලර් කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලිය ස්වභාවිකව කෙරෙන්නක් නොවන බැවිනි. නමුත් එදා අපේ ගමරාලගේ කුකුළු කොටුවේ නිෂ්පාදන ක්‍රමවේදය මීට වඩා පාරිභෝගිකයාට සුබවාදී ආකල්පයන් ඇතිකිරීමට සමත් වූ බව පෙනේ. ඒ බව අප පමණක් නොව ගමරාලගේ කුකුළු කොටුවට රෑට රෑට හොර රහසේ ඇතුළු වන නරිරාල පවා දැන සිටියාට සැක නැත.

m

 



අදහස් (0)

මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ

නන්ද Tuesday, 19 April 2016 05:17 PM

ඉතාම හරබර ලිපියක් (නි)

:       15       6

එදිරිවීර Saturday, 23 April 2016 06:20 AM

ලංකාදීපයට ස්තූතියි මෙවැනි දේ අපිට ලබාදෙනවාට (නි)

:       1       25

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site