X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


මගේ අරමුණු කිසිම හේතුවක් මත අත හරින්නේ නෑ

හිටපු යුද හමුදාපති ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා 2010 පෙබරවාරි මස 08 වැනිදා කොළඹ රාජකීය මාවතේ පිහිටි තම කාර්යාලයේදී යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීම හා හිටපු යුද හමුදාපතිවරයා සිරකරුවකු බවට පත්වීම කොතෙක් දුරට ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්ති බවට පත්වූයේද යත් එපමණකටම හිටපු යුද හමුදාපතිවරයා ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබීමේ ප‍්‍රවෘත්තියද ඉකුත් සතියේ උණුසුම්ම ප‍්‍රවෘත්තිය බවට පත්වූයේය. 2012 මැයි 21 වැනිදා පස්වරු 4.50ට පමණ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි හිටපු යුද හමුදාපතිවරයා පිළිගැනීමට පැමිණි ජනතාව වෙත තම හෘදයාංගම සමාචාරය පුදකළ හිටපු යුද හමුදාපතිවරයා ඊට පසුදින උදෑසන ඉරිදා ලංකාදීපය සමගද කතාබහකට එක්විය. ප‍්‍රශ්නය:- ජනාධිපති සමාව යටතේ ඔබට නිදහස ලැබුණා. ඒ ලද නිදහස පිළිබඳව ඔබ සැබැවින්ම තෘප්තිමත්ද? ඔබ නිදහස් පුද්ගලයෙක්දැයි ඔබට සිතෙනවාද? පිළිතුර:- මට ලැබුණු සමාවට අදාළ කිසියම් නීතිමය තත්ත්වයක් තිබේද? ඒ නීතිමය තත්ත්වය කුමක්ද යන්න මේ මොහොත වන විට මම දන්නෙ නැහැ. මා නිදහස් කිරීමට අදාළ ලිඛිත ලියකියවිලි කිසිවක් මා මෙතෙක් දුටුවේ නෑ. මට ලැබුණු නිදහස එසේ වාරණ සහිත නිදහසක් නම් මගේ ඉදිරි අරමුණුවලට, යාමට දේශපාලනයේ නියැලෙන්නට එය යම් බාධකයක් නම් මා ඉදිරියේදී මගේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් සටන් කරනවා. මම මගේ අරමුණ කිසිම හේතුවක් මත අත්හරින්නේ නැහැ. ඒ අරමුණ මගේ පෞද්ගලික අරමුණක් නොවෙයි. ජනහිතවාදී අරමුණක්. මම මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවෙනවා. අද තියෙන්නේ ජරාජීර්ණ වුණු දේශපාලන ක‍්‍රියාවලියක්. දුෂණය, අසාධාරණය, මර්දනය රජවෙච්ච බලලෝභී දේශපාලනයක්. මුදල් හම්බකරන දේශපාලනයක්. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුමයි. ජනතාවට නිදහසේ ජීවත් විය හැක්කේ ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වූ පසුබිමකදීයි. ඒ මා වෙනුවෙන් මම කැපවෙනවා.   ප‍්‍රශ්නය:- හමුදා සේවයේ සිටියදී ජනරාල් තනතුරට උසස් කෙරුණු එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා වූ  තරු හතරේ ජනරාල්වරයකු වූ ඔබට හිරගෙදර ජම්පරය ඇඟලා ගන්නට සිදුවුණු මොහොතේ දැනුණු හැඟීම් කවරක්ද? පිළිතුර:- සිදුවුණු කිසිම දෙයක් නිසා මම බිංදුවක්වත් මානසිකව වැටුණේ නෑ. මගේ මානසික ශක්තිය වට්ටන්නත් කිසිවකුට බෑ. තව අවුරුදු දහයක් හිරගෙදරට දැම්මත්, මාව එල්ලනවා කීවත් මාව මානසිකව වට්ටන්න බෑ. කිසිම අභියෝගයක් බාධකයක් හමුවේ මම සැලෙන්නෙ නෑ. 1950 දෙසැම්බර් 18 වැනිදා අම්බලන්ගොඩදී ඉපදිලා, අම්පාර මඩවලන්ද මහා විද්‍යාලයෙන්, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු මම හමුදා සේවයට ආවේ 1970 දී. ඒ කැඩෙට් නිලධාරියකු වශයෙන්. 2009 වෙනකම් අවුරුදු 39ක් මා යුද හමුදාවේ සේවය කළා. යුද හමුදාව කියන්නේ මට මගේ ජීවිතයේම කොටසක්. මම හමුදාවට ආදරෙයි. මම මගේ රටටත් ජාතියටත් ඒ වගේම ආදරෙයි. 2006 අපේ‍්‍රල් 25 වැනිදා යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට ලක්වුණු වෙලාවේ මම කීවා මම මේ ත‍්‍රස්තවාදය ඉවර කරන එක ඉවර කරනවා. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය මේ රටින් අතුගාලා දාන එක අතුගාලා දානවා කියලා. ඒ අරමුණ වෙත යන්න අපට පුළුවන් වුණා. ඒ ත‍්‍රස්තවාදය අතුගා දමන සටනේදී යුද හමුදාපතිවරයා වශයෙන් මම හමුදාවට නායකත්වය දුන්නා. යුද්ධය ඉවර වුණා. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය ඉවර වුණා. ත‍්‍රස්තවාදය නැතිකරලා දැම්මා. විශිෂ්ට හමුදාවක් බවට අපේ හමුදාව ජාත්‍යන්තරයේ පවා ප‍්‍රශංසාවට ලක්වුණා. අපේ හමුදාව කවදාවත් යුද අපරාධ කළේ නෑ. දෙමළ මිනිස්සු බේර බේරා අපේ හමුදාවේ නිලධාරීන්ට, කොල්ලන්ට යුද්ධ කරද්දී කන්න තිබුණු කෑම පවා දෙමළ මිනිස්සුන්ට කන්ට බොන්ට දෙමින් ඒ දෙමළ මිනිස්සු ගැන, දරුවන් ගැන ඉතාමත් මානුෂිකව සලකමින් යුද්ධ කරපු උතුම් හමුදාවක් අපේ හමුදාව. ඒ හමුදාවට නායකත්වය දීපු මට වරදක් නොකළත් දේශපාලනයට පැමිණීම වරදක් කොට සලකමින්  නොයෙකුත් දුෂණ චෝදනා එල්ල කරමින් මා අත්අඩංගුවට ගනිද්දී, හිරකාරයෙක් කරද්දී, මගේ තනතුර අහිමි කරද්දී, විශ‍්‍රාම වැටුප පවා අහිමි කරද්දී, නිල ඇඳුම ඇන්ද මට ජම්පරය අඳින්න සිදුවෙද්දී මම එක මොහොතකටවත් සැලූනේ නෑ. අනිත් එක එය ඇඟට ඉතාම පහසු ඇඳුමක්. දැන් වුණත් ජම්පරය ඇඳගෙන ඉන්න තියෙනවානම් කොච්චර පහසුද හිතෙනවා. ජම්පරය ඇතුළෙ ජීවත්වුණෙත් නිල ඇඳුම ඇතුළෙ ජීවත්වෙච්ච නොසැලෙන පෞරුෂත්වයම තමයි. මම වැරැදි කරලා නෑ. මම එදත් අදත් කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙච්ච මිනිහෙක්. මගේ අත් දෙක පිරිසිදුයි. මම සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්. ඒ සටන පරාජය කරන්න එන කිසිම බලවේගයක් හමුවේ මම සැලෙන්නෙ නෑ. මගේ තනතුර අහිමි කළාට අදටත් මේ රටේ ජනතාව මට කතාකරන්නේ ජනරාල් කියලා. ඒ බැඳීම නැති කරලා දාන්න තනතුරු නැති කරලා දාපු අයට බැරිවුණා.   ප‍්‍රශ්නය:- සිරකරුවකු ලෙස වැලිකඩ බන්්ධනාගාරයේ ගත කළ ජීවිතය ගැන නැවත කතාකරන්න ඔබ කැමතිද? පිළිතුර:- ඔව්. හිරගෙදර හිරකාරයෙක් විදිහට ගෙවපු ජීවිතය කියන්නේ මට කවදාවත් මගේ ජීවිතයේ අමතක නොවන කාලයක්. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව මම බරපතළ තත්ත්වයකට මුහුණ දුන්නා. තවමත් මගේ ඇඟේ තැනින් තැන යකඩ කෑලි තියෙනවා. වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ කැස්ස, හෙම්බිරිස්සාව වගේ තත්ත්ව ඇතිවීම වළක්වා ගන්න කියලා. දුවිලි සහිත පරිසරයක ඉන්න එපා කියලා. එහෙත් නාවික හමුදා භාරයේ සිටියදීත්, වැලිකඩ හිරගෙදර සිටියදීත් මම හිටියේ දුවිලි සහිත පරිසරයක. මගේ මේ රෝගී තත්ත්ව මත කියලා අවශ්‍ය පහසුකම් ලැබුණෙ නෑ. සැරින් සැරේ මා අසනීප තත්ත්ව වලට ලක්වුණා. එහෙත් අවුරුදු 39ක් හමුදාවේ රාජකාරි කරපු මට හිරගෙදර බත් පිඟාන කාලා ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. හමුදා ජීවිතයේ ලබපු අත්දැකීම්, යුද්ධය කරද්දී ලබපු අත්දැකීම් හිරගෙදර ජීවිතයට ඉබේම හුරුවෙන්න ශක්තියක් වුණා. මම හිරගෙදරට පළවැනි අඩිය තිබ්බේ  ඕනෑම දෙයකට  ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න හිත සූදානම් කරගෙන. බෙලෙක් පිඟානෙන් බත් කන්න බත් ටික ගන්න පෝලිමේ යන්න බෙලෙක් ජෝගුවෙන් වතුර ටික බොන්න, පැදුරේ බිම නිදාගන්න, මා ලෑස්ති වෙලයි හිටියේ. මා හිරගෙදරට යද්දී නිලධාරීන් වගේම හිරකරුවොත් මාව සුහද විදිහට පිළිගත්තා. මාව හිරගෙදර ඇතුළට ගද්දි කොටි සාමාජිකයෝ වගයක් බස් එකක දාලා හිටියා. ඒ අය එළියට ගෙනියනවා මම ඇතුළට එන නිසා. කොටි සාමාජිකයන් ඒ වෙලාවේ හයියෙන් කෑ ගහලා කීවේ, යුද්දෙ කරපු ජනරාල් ඇතුළට ගෙනියනවා, අපි එළියට යනවා කියලා. ඒත් ඔය කිසි දේකින් මා කම්පා වුණේ නෑ. මම හිරේට ගෙන ගිය දවසට පසුවදා මගේ බිරිය අනෝමා මාව බලන්න ආවා. පැය භාගයක වෙලාවක් ඇයට දීලා තිබුණා. මම ඇඳගෙන හිටිය ඇඳුම් එහෙම ගෙනියන්න ඇයට අවසර දීලා තිබුණා. හිරගෙදරදී මම පොත්පත් ගෙන්න ගෙන කියෙව්වා. අධිකරණය හරහා මට රූපවාහිනියක් ලැබුණා. රටේ ලෝකේ තොරතුරු මම ඒ ඔස්සේ දැනගත්තා. කාලය වේගයෙන් ගෙවිලා ගියා කියලා මට හිතෙනවා. මා හමුදාවේ ඉන්න කාලේ මම හිටපු කඳවුරේ මගේ කාර්යාලයේ තිබුණ බුදු පිළිමය හිරගෙදරටත් අරගෙන ගියා. ඒ බුදු පිළිමය මම යන යන තැනට අරන් ගිය බුදු පිළිමයක්. උදේ කෑමට පෙර බුදුන්ට දෙවියන්ට වඳින එක මගේ පිළිවෙතක්. බුද්ධාගම හා වෙනත් ආගම් ගැන මම පොත්පත් කියෙව්වා. ඒවා මට විවිධ අය එවපු පොත්. දිනපතා පත්තර දෙකක් කියවන්න ලැබුණා. සමහරවිට බෙලෙක් පිඟාන පිරුනේ පොල් සම්බෝලයි පරිප්පුවලිනුයි වුණත් මම ඒ ගැන හිතුවේ නෑ. මා අවුරුදු 30ක් ජම්පරෙන් තියනවා කියලා සමහර අය කීවා. මා එල්ලනවා, හිරගේම මැරෙන්න අරිනවා කීවා. ඒත් මාව ඔය කිසිම දේකින් වැටුණෙ නෑ. හිරගෙදර පුංචි කාමරයක මීයෝ, කැරපොත්තො මකුණො, කූඹි හිටපු තැනක රසක් ගුණක් හිතන්නෙ බලන්නෙ නැතුව දුන්නු කෑම පිඟාන කාලා, වතුර ටික නාලා ගෙවපු ජීවිතයට මට හුරුවෙන්න අසීරු වුණේ නෑ. මම හිතන්නේ මේක මට පෞද්ගලිකව එල්ල කළ ප‍්‍රහාරයක් නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කළ ප‍්‍රහාරයක්. 2010 පෙබරවාරි 08 වැනිදා මාව බලෙන් පැහැරගෙන ගොස් හිරකළා. එය අත්අඩංගුවට ගැනීමක් නොවෙයි. පැහැරගෙන යාමක්. මට ඉඩිඅමින් කියලා කිව්ව අය හිට්ලර් කියලා කීව අය හිටියා. ඒත් ඉඩි අමින් කවුද, හිට්ලර් කවුද කියන එක විචාර බුද්ධියක් තියෙන ජනතාවට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්.   ප‍්‍රශ්නය:- වසර දෙකකට වැඩි කාලයක්, වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඔබට ඔබේ ලොකු දුව දකින්න ලැබුණේ නෑ. ඔබේ දරුවන් සමග ඔබට කතා කරන්නට පවා නොලැබුණු කාලයක් තිබුණා. එහෙම කාලයකින් පසුව ඔබට ඔබේ දියණියන් දෙදෙනා මුණගැසුණාම කතා කරන්න ලැබුණාම හිතට දැනුණෙ කොහොම හැඟීමක්ද? පිළිතුර:- දුවලා දෙන්නට ලොකු ආත්ම ශක්තියක් තියෙනවා. මගේ බිරිය අනෝමටත් එහෙමයි. මා නිදහස් කරගන්න එයාලා දරපු මහන්සිය මා දන්නවා. මගේ පවුලේ අය වෙන් කරන්න අප අතරේ තියෙන බැඳීම් නැති කරලා දාන්න කාටවත් බැරිවුණා. හැතැප්ම සිය දහස් ගාණක් දුර හිටියත් මගේ දුවලා දෙන්නා ජීවත් වුණේ මගේ හදවතේ. අපට නොයෙක් හිරිහැර විඳින්න සිදුවුණා. මගේ ලොකු දුවගේ තරුණ කාලයේදීම එයාගේ මහත්තයා එයා ළඟ නෑ. ඒත් හිත්වල බැඳීම් නරුම විදිහට නැති කරන්න කාටවත් බෑ. එලවා එලවා පහර දුන්නට අපේ පවුල දෙකඩ කරන්න කාටවත් බැරිවුණා. මගේ බිරිය අනෝමා යකඩ ගැහැනියක් වගේ හැම දේම දරාගෙන ශක්තිමත්ව ස්ථිර අරමුණකින් හැමදේටම මුහුණ දුන්නා. දුවලා කාලයකට පසුව හමුවෙලා මගේ අත්දෙකේ එල්ලිලා මාව බදාගද්දී, එයාලගේ ඇස්වලට කඳුළු පිරෙද්දී මගේ ඇස්වලටත් සතුටට කඳුළු ආවා.   ප‍්‍රශ්නය:- ඔබේ බිරිය අනෝමා, අප්සරා හා අපර්ණා දුවරු ඔබ නැවත දේශපාලනයට පැමිණෙනවාට අකමැති වුණොත් ඔබ ගන්න තීරණය කුමක්ද? පිළිතුර:- මගේ දුවලා දෙන්නට දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඔව්, සමහරවිට මට නැවත දේශපාලනයට එන්න එපා කියලා එයාලා කියන්නත් පුළුවන්. නොකියන්නත් පුළුවන්. මගේ බිරිය වුණත් එහෙම වෙන්න පුළුවන්. දේශපාලනය කියන්නේ එයාලට පුරුදු දෙයක් නොවෙයි. ඒත් මම මගේ අරමුණ වෙනුවෙන් දේශපාලනය අත්අරින්නෙ නෑ. ඒක ස්ථිරයි. දුෂිත රාජ්‍ය පාලනය පෙරළා දැමිය යුතුයි. ඒ සඳහා පැහැදිලි දේශපාලන න්‍යාය පත‍්‍රයක් අවශ්‍යයි. කියන ස්ථාවරයේ මා ඉන්නේ. මේ තාක් මා ගත්ත කිසිම තීරණයක් මගේ බිරිය අනෝමා හෝ දුවලා දෙන්නා වළක්වලා නෑ. මා ගන්නා හැම තීරණයකටම එයාලා එකඟ වෙනවා. මගේ මේ තීරණයේදීත් එයාලා මාත් එක්ක ඉන්නවා. එකඟ වෙනවා. ඒ වගේම මම ඒ දේශපාලන ගමන යද්දි රනිල්ද සජිත්ද වෙනයම් දේශපාලනඥයෙක්ද කියලා ප‍්‍රශ්නයක් මට නෑ. රනිල්, සජිත් හෝ කවුරු වුණත් මගේ අරමුණ හා ඔවුන් එකඟ නම් ඒ ගමන යන්ට ඔවුන් සූදානම් නම් මා අවශ්‍ය තැනදී ඔවුන් හා කටයුතු කරනවා. මට තනතුරු ගැන කෑදරකමක් නෑ. මම දේශපාලනයට එන්නේ සල්ලි හම්බ කරන්නවත්, මිනීමරන්නවත්, පාතාල වැඩවලටවත්, බඩවියත රැකගන්නවත් නොවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන්.   ප‍්‍රශ්නය:- මේ රට අත්හැරලා කවදා හෝ දවසක විදෙස් රටක පදිංචියට යන්න ඔබේ අදහසක් තියෙනවාද? පිළිතුර:- නෑ කිසිම දවසක නෑ. එහෙම යනවනම් මීට අවුරුදු 10කට විතර පෙර මට යන්න තිබුණා. එහෙම යන්න මට ග‍්‍රීන්කාඞ් ලැබුණා. ඒත් මට කවදාවත් මගේ රට දාලා යන්න වුවමනා වුණේ නෑ. යුද්ධ කරන්නෙ නැතුව, මේ රටේ ත‍්‍රස්තවාදය නැතිකරන්න හමුදාපතිවරයා විදිහට කටයුතු නොකර, අභූත දුෂිත චෝදනාවලට ලක්නොවී හිරකාරයෙක් නොවී එළවා එළවා කළ පහර ගැසීම්වලට ලක්නොවී එදා එහෙම ගියානම් මම පිටරටක ජීවත්වෙයි. ඒත් මට එහෙම ජීවත්වෙන්න වුවමනා වුණේ නෑ. මගේ දුවලා දෙන්නා ඇමෙරිකාවට ගියෙත් එයාලගේ අධ්‍යාපන කටයුතු වලට. මම එයාලටත් කීවේ එහෙ ගිහින් ඉගෙන ගන්න හැබැයි ඉපදිච්චි රටට සේවයක් කරන්න එන්න කියලා. ඒ දේ කවදා හරි වෙනවා. මේ රට දාලා මම යන්නේ නෑ කියන එක ස්ථිරයි. යුද්ධය වෙනුවෙන් අපේ කොල්ලො මැරුණා. අතපය, ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නා. අබ්බගාතයෝ වුණා. ඒ රටට ආදරය කරපු හැබෑම මිනිස්සු. යුද්ධය නිසා තමන්ගේ තාත්තාගේ මූණ කවදාවත් දකින්න නොලැබුණු දරු පැටවු මේ රටේ කොච්චර ඉන්නවාද? තමන්ගේ මහත්තයා නැතිවුණ තරුණ බිරින්දෑවරු කොච්චර ඉන්නවද? දරුවන් නැතිවෙච්ච අම්මලා තාත්තලා කොච්චර ඉන්නවද? අද මේ රටේ ජනතාව යුද්ධයක් නැති රටක නිදහසින් හුස්මක් ගන්නේ ඒ අය තමන්ගේ ජීවිතය පැත්තකට කරලා තමන් ගැන නොහිතා කරපු පූජාව නිසා. මට ඒ අය කවදාවත් අමතක කරන්න බෑ. දුෂිත දේශපාලන සංස්කෘතියක් නිසා දුක්විඳින මේ රටේ ජනතාව වගේම ඒ පිරිසත් මට කවදාවත් අමතක කරන්න බෑ. ඔවුන් හැමදෙනාටම ත‍්‍රස්තවාදයෙන් විතරක් නොවෙයි දේශපාලන ත‍්‍රස්තවාදයෙනුත් නිදහස් වෙච්ච රටක් ගොඩනගන්න මා ජීවිතයෙන්ම කැපවෙනවා.   ප‍්‍රශ්නය:ද- සිරගෙදරක බිත්ති හතරක් ඇතුළෙ තනිවුණාම  ඔබ තනිවෙලා කියන හැඟීම කිසිම මොහොතක ඔබේ සිතට ආවේ නැද්ද? පිළිතුර:- නෑ කිසිම මොහොතක එවැනි හැඟීමක් මගේ සිතට දැනුණෙ නෑ. මාව අත්නොහැරපු ජනතාවක් මේ රටේ සිටින බව මා දැනගෙන හිටියා. පවතින දේශපාලන ත‍්‍රස්තවාදය ප‍්‍රතික්ෂේප කරන ජනතාවක් මේ රටේ සිටින බව මා දැනගෙන සිටියා. ඔවුන් මා වෙනුවෙන් හැමදාමත් සිටින බව, මට ආදරය කරන බව ඔවුන්ගේ දෑස්වල මා වෙනුවෙන් කඳුළක් ඉපදුන බව මා දැනගෙන හිටියා. හිරගෙදර බිත්ති හතර ඇතුළෙ හිරවෙලා තිබුණෙ සරත් ෆොන්සේකාගේ ශරීරය විතරයි. හදවත හිරවෙලා කොටුවෙලා තිබුණෙ නෑ. පිටස්තර ලෝකයේ වෙන යම් යම් දේවල් මා දැනගෙන හිටියා. මාධ්‍යවල ලියන කියවෙන දේවල් මා දැනගෙන හිටියා. තනිකමක්වත් කඩාවැටීමක්වත් මට කවදාවත් දැනුනෙ නෑ. මගේ දුවලා දෙන්නට මගේ බිරියට පවා මේ රටේ ජනතාව ශක්තිය දීලා තිබුණා. අපි ඔයාලාත් එක්ක ඉන්නවා. අපි ඔයාලව අත්අරින්නෙ නෑ කියන එක මේ රටේ ජනතාව වගේම විදේශ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකික ජනතාවත් මගේ බිරියට, දුවලා දෙන්නට කියලා තිබුණා. මගේ බිරියට වගේම දුවලා දෙන්නටත් හැමදේටම මූණ දෙන්න ශක්තිය තිබුණා. එයාලා එයාලගේ අධ්‍යාපන කටයුතු, රැකියාවල් කඩාකප්පල් කරගත්තෙ නෑ. ඒ දේවල් කරගෙන යන අතරෙම මම වෙනුවෙන් මහන්සි වුණා. මම සතුටු වෙනවා ඒ අය නොසැලූණු එක ගැන. මම මේ රටේ මාත් එක්ක හිටිය ජනතාවට හුඟක් ස්තුති කරන්න  ඕනෑ. එදා මම නිදහස් වෙන දවසේ පැය ගණන් එයාලා බඩගින්නේ දාඩිය පෙරාගෙන මගදිගට බලාගෙන හිටියා. ඒ අයගේ ආදරය මට දැනුණා. ඒ වගේම නීති ක්ෂේත‍්‍රයේ කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරපු අය හිටියා. ඒ අයට, මට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්ඩලයට, හැමදෙනාටම මා ස්තුතිවන්ත වෙනවා. 2009 යුද්ධය ඉවරවුණාම මිනිස්සු හන්දියක් හන්දියක් ගානේ කිරිබත් ඉව්වා. එදා මා නිදහස් වෙච්ච දවසේ මිනිස්සු කිරිබත් ඉව්වා. කැවුම් හැදුවා. රතිඤ්ඤා පත්තු කළා. නිදහස් දවසේවත් සිංහ කොඩි නොඑසවූ සමහර මිනිස්සු සිංහ කොඩිය දැම්මා. ඒ මිනිස්සු ඉද්දී මම කවදාවත් තනිවෙන්නෙ නෑ. ඒ වගේම බලපෑම් තියෙන පසුබිමකදීත් මම යන යන තැනට කැමරාව උස්සාගෙන ආපු මා වෙනුවෙන් අකුරක් හරි ලියපු මාධ්‍යවේදීන්ටත් මාධ්‍ය ආයතනවලටත් මම මාගේ ස්තූතිය ප‍්‍රකාශ කරන්න  ඕනෑ.   ප‍්‍රශ්නය:- මුලසිටම නීතියෙන් ඔබට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා ඔබ හිතනවාද? පිළිතුර:- කිසිසේත්ම නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වුණා කියලා නීතියෙන් සාධාරණය ඉෂ්ඨ වුණා කියලා මා පිළිගන්නේ නෑ. යම් යම් බලපෑම් නීතිය මත ක‍්‍රියාත්මක වෙන බව පෙනෙන්න තිබුණා. එහෙත් එවැනි වාතාවරණයකදීත් සාධාරණව හඬ නඟපු නීතිඥවරු, කොන්ද කෙලින් තියාගෙන හිටපු විනිසුරුවරු හිටියා කියන එක මම ගෞරවයෙන් සිහිපත් කරනවා.   ප‍්‍රශ්නය:- ඔබ සිතන්නේ මේ අවස්ථාවේදී ඔබ නිදහස් කළේ කවර පසුබිමක් පදනම්වද? පිළිතුර:- මම විශ්වාස කරනවා මා නිදහස් කරන්න මගේ රටේ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තරයේ බලපෑමත් ඉවහල් වුණා කියලා. ඒ වගේම මගේ පාර්ශ්වයෙන් කෙරුණු සාකච්ඡාවත් ඉවහල් වුණා. මේ ලැබුණු නිදහස ඒ සියල්ලේ ප‍්‍රතිඵලයක් කියලා මම හිතනවා. ඒත් හිරෙන් නිදහස් වුණාට අන් අය වගේම මා  ඕනෑම මොහොතකදී මේ රටේදී තර්ජනයකට, අයුතු ලෙස බලය පාවිච්චි කිරීමේ ගොදුරක් බවට පැහැර ගැනීමකට මරා දැමීමකට ලක් වෙන්න පුළුවන්. මගේ ජීවිතයේ ආරක්ෂාව ගැන වගකීම රජයට තියෙනවා. ඒත් මට මගේ ආරක්ෂාව දුන්නත් නොදුන්නත් මගේ දේශපාලන කටයුතුවල නියැලෙන්න මම බය වෙන්නෙත් නැහැ.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා

සටහන - සංජීවිකා සමරතුංග



අදහස් (0)

මගේ අරමුණු කිසිම හේතුවක් මත අත හරින්නේ නෑ

රණ්බණ්ඩා Tuesday, 29 May 2012 06:02 AM

ෆොන්සේකා මහතාණෙනි, සිංහල,දෙමල,මුස්ලිම් අහිංසක සිවිල් වැසියන් දසදහස් ගණනින් ඝාතනය කල ත්‍රස්තයන් වෙනුවෙන් ඔබ පෙනී සිටී නම් …….. ඒ ජනඝාතකයන් වනසා අහිංසක දෙමල වැසියන් දෙලක්ෂයක් ඇතුළු ලක්ෂ දෙසීයක් ලක්වැසියන්ගේ මරණ භය දුරුකළ ඔබේම යුධ හමුදා විරුවන් ඇතුළු සමස්ත රණවිරුවන් යුධ අපරාධ චෝදනාවෙන් බේරාගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ ආර්. සම්බන්ධන්ද??? ඔබේ මනසට මෙන්ම, තොරතෝංචියක් නැතිව කියවන කටටද විවේකයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. බටහිර මාධ්‍ය හා ඔවුන්ගේ ගැත්තන් රැයක් දවාලක් නැතිව ඔබෙන් සම්මුඛ සාකච්ඡ ලබාගැනීමට එන්නේ ඔබේ කටට තිරිංග නැතිබව හොඳාකාරව දන්නා නිසයි. ඒ නිසා “කට නිසා නැහුණු මාලුවෙක් නොවී”, ඔබේ “කට රැකුනොත්- රට රැකේ” යන්න නිතර මෙනෙහි කරන්න. ඔබට මේ යථාර්තය පසක් වේවා!!! තෙරුවන් සරණයි!!!

:       0       0

ආඩම්බරකාර හිඟන්නා Tuesday, 29 May 2012 08:04 AM

ජෙනරාල් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශ විකෘති කරලා තමයි කියන්නේ හැමෝම අන්තිමට.

:       0       0

අනුර Tuesday, 29 May 2012 01:22 PM

රට කන, රටේ සම්පත් විකුණන් කන දේශපාළුවෝ ඉදිද්දි මෙතුමා අසාධාරණයට විරුද්ධව කතා කිරීම ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධීයි

:       0       0

සුරවීර Tuesday, 29 May 2012 04:41 PM

ඔබ සුවපත් වේවා!!

:       0       0

කොස්තා Tuesday, 29 May 2012 09:06 PM

පිස්සෙක්....නේ

:       0       0

විකුම් Wednesday, 30 May 2012 11:36 AM

ඔබ දැන්වත් හරි මග ‍යන්න

:       0       0

ජයන්ත වීරකෝන් Wednesday, 30 May 2012 11:44 AM

නිවැරදි මිනිසෙක් .හොඳ නායකයෙක් .ඔබ හොරෙක් නෙමෙයි.අපි හැමෝම ඒක දන්නවා. ඔබට සුභ පැතුම් ....

:       0       0

කවින්ද Wednesday, 30 May 2012 05:33 PM

ඔක්කොම එකයි.කවුරු බලයට ආවත් අන්තිමට කරන්නේ රට කන එක විතරමයි

:       0       0

විභූති Wednesday, 30 May 2012 05:51 PM

ඔබ හොරෙක් නෙමෙයි..අපි හැ‍මෝම ඒක දන්නවා. තෙරුවන් සරණයි

:       0       0

සහන් Wednesday, 30 May 2012 10:31 PM

ඔබ සුවපත් වේවා!!

:       0       0

චන්දිමා Thursday, 31 May 2012 09:16 AM

ඔබ රටට ආලෝකයන් .ජය ශ්‍රී...

:       0       0

ශාන්ත Thursday, 31 May 2012 11:29 AM

මෑත කාලයේ පහළ වූ වීරයා ඔබයි.

:       0       0

නිශාඩ් Thursday, 31 May 2012 03:53 PM

ජෙනරාල් තුමනි ඔබට අපේ සුභ පැතුම්...

:       0       0

ජයවික්‍රම Sunday, 19 August 2012 05:51 AM

ඔබට බුදු සරණයි නියමුවාණෙනි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site