X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


මේ ජනපතිවරණයේදී පක්ෂ කැඩුණු හැටි

 27_SLMA_P6_BACK 

 

 

”මෙහෙමත් පක්ෂ කැඩිල්ලක්” මේ දවස්වල පක්ෂ කැඩෙන කඩන දිහා බලාගෙන මිනිස්සු කියන්න පටන් අරගෙන තියෙන්නේ එහෙම කතාවකි. ඒ තරමට පක්ෂ කැඩෙමින් තිබේ.

 


මේ රටේ දේශපාලන ඉතිහාසයේ පක්ෂ වැඩියෙන්ම කැඞීමේ වාර්තාව අසමසමය.  ඒ අසමසම වාර්තාවේ හිමිකරුවා  ජනාධිපති මහින්ද රාජපක්ෂය. ”පොඩි ළමයි මහින්ද මහත්තයා අතට  සෙල්ලම් බඩුවක්  දෙන්න බයයි ඒ කඩයි කියන බයට” ජනාධිපතිවරයාගේ පක්ෂ කැඩිල්ලේ සමත්කම උත්කර්ෂයට නැංවී තිබුණේ එහෙමය.


එහෙත් අන්තිමට මහින්දගේ පක්ෂයත් කැඞී ගියේය. මහින්දගේ පක්ෂයෙ ”ලොකු දත්”  ද ගැලවී ගියේය. ඒත්  මහින්ද නිකම් හිටියේ නැත. ”දතට දත” න්‍යාය ක‍්‍රියාත්මක කළේය. තමන්ගේ පක්ෂයෙන් ගැලව ගිය දතට සමාන දතක් මේ රටේ ලොකුම විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් ගැලෙව්වේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායකය.


ජනාධිපතිවරණයට තව තිබෙන්නේ සති එකහමාරක කාලයකි. එහෙත් පක්ෂ කැඩෙන එක නතරවී නැත. මේ යන විදිහට ජනාධිපතිරණය පැවැත්වෙන දිනය වනවිට පක්ෂ කීයක් ඉතිරිවී තිබේදැයි කියන්නටත් නොහැකි තරම්ය.

 

SLD_20141228_A006

 


මහින්ද රාජපක්ෂ පක්ෂ කැඩිල්ල ආරම්භ කළේ 2005 ජනාධිපතිවරණයෙන් ජයගත්දා පටන්ය.   පටන් ගත්තේම එක්සත් ජාතික පක්ෂයෙන්ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ විදේශ සංචාරයක නිරතව සිටියදීය. පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු මන්ත‍්‍රීවරුන් දාහත් දෙනකු එජාපයෙන් කඩා ගන්නට ජනාධිපති මහින්ද  සමත් විය. ඒ වැටුණු වැටිල්ලෙන් ගොඩ ඒමට එක්සත් ජාතික පක්ෂයට තවමත් හැකි වූයේ නැත.


මහින්ද රාජපක්ෂ ඊළඟට අත තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණටය. 2005 ජනාධිපතිවරණයේදී මහින්දව කර  තියාගෙන රටපුරා ගියේ ජවිපෙය. මහින්දගේ මැතිවරණ යාන්ත‍්‍රණය මුළුමනින්ම පණ ගන්වාගෙන ගියේ ජවිපෙය. ඒ 2005 ජනාධිපතිවරණයේ මහින්දගේ ජයග‍්‍රහණය ජවිපෙ යැයි කිවහැකි තරමට ජවිපෙ බර ඇද්දේය. එහෙත් ඊළඟ තත්පරයේදී මහින්ද රාජපක්ෂ ජවිපෙටත් අත තිබ්බේය.


එකල ජවිපෙ ආකර්ෂණීයම තරුව වූයේ විමල් වීරවංශය. විමල්ව කඩා ගන්න මහින්ද සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ යනු සිංහල ජාතිවාදී පක්ෂයකැයි ගසාතිබූ හංවඩුව යම් පමණකට බිඳ ගන්නට ජවිපෙ ඒ වනවිට යම් පමණකට සමත්වී තිබිණි. ඒ අන්ජාන් උම්මා හා මොහොමඞ් මුසම්මිල් පාර්ලිමේන්තුවට එවීමෙනි. ඒ දෙදෙනාත් විමල් පසු පසින් පැමිණියහ. විමල්   සමග පැමිණි මුළු මන්ත‍්‍රීන් ගණන දහයකි. මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ බිඳ වැටෙන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.


ජවිපෙන් එළියට පැමිණි විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ ගොඩනැගුවේය. ජනාධිපති මහින්ද ජාතික නිදහස් පෙරමුණටත් අත තිබ්බේය. ඒ 2010 මහ මැතිවරණයෙන්  පසුවය. ජාතික ලැයිස්තුවෙන් නම් කළ යුතු ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයා කවුරුන්ද යන්න විමල්ගෙන් නොවිසාම මහින්ද තීරණය කළේය. ජාතික ලැයිස්තුවේ ජානිපෙ අපේක්ෂකයෝ දෙදෙනෙක් සිටියහ. ඒ මොහොමඞ් මුසම්මිල් හා අචල සුරංග ජාගොඩය. ඒ දෙදෙනාම විමල් සමග ජවිපෙන් බිඳී පැමිණියෝ වූහ. ඒ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය හිමිවුයේ අචල සුරංග ජාගොඩටය. තමන්ගෙන් නොවිමසා මන්ත‍්‍රීවරයා පත් කිරීම තමන්ට කළ මදි පුංචිකමකැයි විමල් සිතුවේය. ඒ විරෝධය විමල් එළිපිටම ප‍්‍රදර්ශනය කළේය. ඒ විරෝධය තමන්ට එරෙහිව කළ විරෝධයකැයි අචල සිතුවේය. සිත් බිඳවීම් ආරම්භ විය. අචල සුරංග ජාගොඩ විමල්ගෙන් වෙන්විය. ඔහු අදටත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකි. අචල සුරංග ජාගොඩ  යනු ජාතික නිහස් පෙරමුණට හිමිවූ සංචාරක අමාත්‍ය ධුරය සඳහා නන්දන ගුණතිලකගෙන් පසුව විමල්ගේ තේරීම විය.

 

3


විමල් වීරවංශ ජවිපෙන් ඉවත් වීමටත් පෙර නන්දන ගුණතිලක ජවිපෙන් බිඳී සිටියේය.  විමල් ජාතික නිදහස් පෙරමුණ බිහි කරන විට නන්දන එහි සභාපතිවරයා විය. ජවිපෙට හිිමිවූ සංචාරක අමාත්‍ය ධුරය හිමි වූයේ නන්දනටය. පසු කාලයේදී නන්දන,  විමල්ගෙන් බිඳී ගියේය. ජානිපෙ ඇමැතිධුරය ඉල්ලූවේය. මහින්ද රාජපක්ෂ තැපැල් ඇමැති ධුරය නන්දනට දී නන්දන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  ගත්තේය. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණය වනවිට  නන්දන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පානදුර නගරාධිපති පුටුවේ වාඩිවී සිිටියේය.  ඒ නන්දන දැන් මෛත‍්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට  ගොස් සිටී.


මහින්ද රාජක්ෂ අත තිබ්බේ  ජවිපෙට හා ජානිපෙට පමණක් නොවේ. ජාතික හෙළ උරුමයටත් අත තිබ්බේය. ඒ 2010  මහ මැතිවරණයෙන් පසුවය. 2005 ජනාධිපතිවරණයේදීත් 2010  ජනාධිපතිවරණයේදීත් මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දර දිය ඇද්දේ ජාතික හෙළ උරුමයයි.  2010  මහ මැතිවරණයෙන් පසුව ජාතික හෙළ උරුමයට හිමිවූ ජාතික  ලැයිස්තු මන්ත‍්‍රීධුරය සඳහා චම්පික රණවකගේ කැමැත්ත වූයේ එය  ඕමල්පේ සෝභිත හිමියන්ට හිමි වියයුතු බවය. එහෙත් මහින්ද රාජපක්ෂ ඒ මන්ත‍්‍රීධුරය දුන්නේ එල්ලාවල මේධානන්ද නාහිමියන්ටය.  චම්පිකගේ සිත බිඳෙන්නට එයත් එක් හේතුවක් විය. අවසානයේදී එල්ලාවල මේධානන්ද හිමියෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූහ. චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන දිනවන්නට ගියද එල්ලාවල මේධානන්ද හිමියෝ එසේ වැඩම නොකළහ. උන්වහන්සේ මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිති.


මෛතී‍්‍රපාල දිනවන්නට චම්පික ඇතුළු පිරිවර ගත් තීරණය මහින්ද රාජක්ෂයට දැවැන්ත අභියෝගයක් විය. එම අභියෝගය අවම කර ගැනීමට මහින්ද ක‍්‍රියාත්මක විය. ප‍්‍රතිඵලය වුයේ ජාතික හෙළ උරුමයේ දීප්තිමත් තාරකාවක් වූ උදය ගම්මන්පිල යළිත් මහින්ද රාජපක්ෂ සෙවණට පැමිණීමය. උදය  ගම්මන්පිල පැමිණයේ තනිවමද නොවේ. ජාතික හෙළ උරුමයේ මහජන නියෝජිතයෝ 29 දෙනාගෙන් 17 දෙනෙක් උදය සමග පැමිණියහ. උදය ගම්මන්පිල දැන් පවසන්නේ  තමන් පිවිතුරු හෙළ උරුමයක් නිර්මාණය කරන බවය.


දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් දකුණේ මතය එතරම් යහපත් නැත. එය කොටි රූකඩයක්  බවටද චෝදනා එල්ල වේ. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානයට අත තිබ්බේය.  ඒ 2010 මහ මැතිවරණයෙන් පසුවය. දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත‍්‍රීවරුන් අතර එක් සිංහල ජාතික මන්ත‍්‍රීවරයෙක් සිටී. ඔහු නමින් පී.එච්.පී. පියසේන නම් වේ.


පියසේන මන්ත‍්‍රීවරයාට වැඩි දවසක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කිරීමට හැකි වුයේ නැත. මහින්ද රාජපක්ෂ ඔහු කඩා ගත්තේය. අද  ඔහු නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.


වමේ පක්ෂ කැඩි කැඞී ගියේ එකලය. උග‍්‍ර මතවාදී ගැටුම් පුපුරා යාමෙන් වමේ පක්ෂ බිඳී ගියේය. එහෙත් මෙවර වමේ පක්ෂ පුපුරා ගියේ ජනාධිපතිවරණයත් සමගය.


සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය මුල සිටම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන්  පෙනී සිටියේය. එමෙන්ම ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලා සිටියේය. ඒ හඬ ප‍්‍රවෘත්ති සාකච්ඡුා මගින් ඔවුහු ජනතාව අතරට රැගෙන ගියහ. එහෙත් අවසානයේදී පක්ෂ නායකයෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දීමට තීරණය කළහ.


එම තීරණයත් සමග කොමියුනිස්ට් පක්ෂය දෙකඩ විය. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගණන 51කි. ඇමැති  ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය ජනාධිපතිවරයාට සහාය දීමට තීරණය කළ අතර මධ්‍යම කාරක සභාවේ නියෝජිතයෝ 21 දෙනෙක්  පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීමට තීරණය කළහ.


කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන  මණ්ඩල සභික ඞී. ඩබ්ලිව්. සුභසිංහ එම කණ්ඩායමට නායකත්වය සපයයි. 2012 ඔක්තෝබර් මාසයේ පැවැති පක්ෂයේ විශේෂ ජාතික සම්මේලනයේදී 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය දීම වරදක් බව ස්වයං විවේචනාත්මකව පිළිගත් පක්ෂ නායක ඩිව් ගුණසේකර එසේ තිබියදී මහින්ද රාජක්ෂ මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම වරදක් බව කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායම පවසයි. මෙහි අවසන් ප‍්‍රතිඵලය වී තිබෙන්නේ එසේ කැඩි ගිය කණ්ඩායම ” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම   ලෙස පෙනී සිටීමට තීරණයක් ගැනීමය.


ලංකාවේ පළමු දේශපාලන   පක්ෂය වන සමසමාජ පක්ෂයද මෙවර ජනාධිපතිවරණයත් සමග දෙදරා ගියේය පක්ෂයේ නායක ඇමැති තිස්ස  විතාරණ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂට සහාය දීමට තීරණය කළ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් විජේනායක ඇතුළු පිරිසක් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දැක්වීමට තීරණය කළහ.


අති වාමවාදී නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මුහුණපෑවේ අමුතුම ආකාරයේ අකරතැබ්බයකටය.


ජනාධිපතිවරණ උණුසුමත් සමග එජාපය කලින්ම ප‍්‍රකාශ කර සිටියේ එජාපයෙන් අපේක්ෂකයකු  ඉදිරිපත් කරන බවය. ඒ අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ යැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. ඒ විශ්වාසය වික‍්‍රමබාහුටත් තිබිණි. ඒ අනුව වික‍්‍රමබාහු කියා සිටියේ තමන් රනිල්ට සහයෝගය දක්වන බවය. මෙම කාරණාවන් සමග එම පක්ෂය දෙකඩවී ගියේය.


මහින්දගේ අලූත්ම පක්ෂ කැඩිල්ල රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයයි. රිෂාඞ් බදියුදීන් කර්මාන්ත අමත්‍යවරයාය. රිෂාඞ් බදියුදීන් ආණ්ඩුවේ තබා ගැනීමට මහින්ද නොගත් වෙහෙසක් නැත. පත්කළ  මන්ත‍්‍රී අස්වර්ගේ මන්ත‍්‍රී ධුරය පවා  මහින්ද  රිෂාඞ් බදියුදීන්ගේ පක්ෂයේ අමීර් අලීට තෑගි කළේය.  එහෙත් රිෂාඞ් නතර කරගත නොහැකිවිය. ඔහු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීමට ගියේය. තමන් සමග සමස්ත පක්ෂයම සිටින බවද ඔහු කීවේය. එහෙත් එම පක්ෂයේ ජාතික සංවිධායක හිස්බුල්ලා, එම පක්ෂයේ නියෝජ්‍ය නායක එම්.එම්. සහීර් හා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මොහොමඞ් ෆායිස් නැවත දිනා ගැනීමට ජනාධිපති මහින්ද සමත්විය. දැන් ඒ පක්ෂයත් දෙකඩවී අවසන්ය.


මහින්ද කැඩූ හා මහින්ද නිසා කැඩුණු පක්ෂ මෙසේ දේශපාලන කතරේ අතරමං වෙද්දී තමන්ගේ පක්ෂයට එම ඉරණම එසේම අත්වේයැයි මහින්ද සිතුවේ නැත. එහෙත් දේශපාලනය වහා වෙනස්වන සුළුය. එය හරියට කාලගුණය මෙනි. කලින්දා රාත‍්‍රියේ තමන් සමග ආප්ප කෑ පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන ඒ ආප්ප  දිරවීමටත් පෙර තමන්ට එරෙහිව පොදු අපෙක්්ෂකයා ලෙස ඉදිරිපත් වේයැයි මහින්ද සිතුවේ නැත. එහෙත් එය එසේම සිදුවිය.

මෛත‍්‍රීපාල ගියේය. ඒ රාජිත සේනාරත්න දුමින්ද දිසානායක රාජිව් විජේසිංහ ආදීන්ද සමගිනි
දැන් කවුරුත් වික්ෂිප්ත වී සිටිති. ඉස්සර බලාගෙන සිටියේ වෙන්නේ මොකක්දැයි කියාය. දැන් බලාගෙන සිටීමට සිදුවී තිබෙන්නේ පනින්නේ මොකාදැයි යන්න දෙසය.


එහෙයින්ම දීමට අවවාදයක් තිබේ.


ජනවාරි 8 වැනිදාට ඡුන්දපොළට යාමට පෙර තමන් ඡන්දය දීමට බලාපොරොත්තු අපේක්ෂකයා දැන් සිටින්නේ කොහේදැයි විමසිල්ලෙන් බැලිය යුතුය. මන්ද යත් ඒ අපේක්ෂකයා කලින් දා රාත‍්‍රියේදී පනින්නට ඉඩ ඇති හෙයිනි.


පක්ෂත් කඩාගෙන ආපු ගමනේ රටේ දේශපාලනය නතර වී තිබෙන්නේ එතැනය. මේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් සතුටු විය හැකි යමකු වේ නම් හෙතෙම ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කදිම සුදුස්සෙකි.


m



අදහස් (0)

මේ ජනපතිවරණයේදී පක්ෂ කැඩුණු හැටි

චමින්ද Tuesday, 30 December 2014 10:11 AM

මේ පක්ෂ කැඩිල්ල නතර කර ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇතිකිරීමට නම්, මේ විනාශයට මුල් වූ මහින්ද දේශපාලනයෙන් අතුගා දැමීම අනිවාර්යෙන්ම කළයුතු දෙයකි. (දිල්)

:       0       0

ජයසේකර Tuesday, 30 December 2014 12:46 PM

චමින්ද, ඔයාට වැරදිලා. මේ විනාශයට මුල වෙන කවූරුවත් නෙමෙයි මේ දේශපාලනය. (ර)

:       0       0

ලියොන් ගුනවර්දන Wednesday, 31 December 2014 03:08 AM

මේ කරනම් ගහන්නේ රට හදන්නද නැත්නම් තමන්ගේ තැන රැකගන්නද රට වැසියන් සැමට දෙවි පිහිටියි . (නදී)

:       0       0

සමීර Wednesday, 31 December 2014 07:58 AM

මේ ලිපිය කියවනවිට මට ලංකාවේ ජනතව ගැන දුක හිතුනා මේ දේශපාලකයන් ට එහාට මෙහාට පනින්න අවස්ථාවක් උදා වුනේ රටේ ජනතවගේ සර්ව බල ඡන්දය නිසා නේ.(හේ)

:       0       0

දිල්ෂාන් Thursday, 01 January 2015 03:31 AM

මේ හැම දේටම මුල අපි පක්ෂ බදාගෙන ඡන්දය දීමයි. ප්‍රතිපත්ති පමණක් බලලා පුද්ගලික වාසි අමතක කරලා ඡන්දය දෙමු. සුදුස්සන් නැතිනම් නරක් වූ ඡන්ද දාමු. අනිත් වැදගත් දේ දේශපාලඥයන්ගේ බලය අඩු කිරීමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site