ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය යෙදී තිබුණේ පෙබරවාරි මස 21 වැනිදාටය. මාර්තු 02 වැනිදාට සිංහල භාෂා දිනය යෙදී ඇති අතර කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ සමරු දිනය ද එදිනටම යෙදේ. කුමාරතුංග 78 වැනි සමරු උලෙළ මෙම මස 02 වැනිදා (හෙට) ප.ව. 3.00ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර එම උලෙළේ මුලසුන දරන්නේ හෙළහවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතායි.
සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියෝ ද කැලණිය සරසවියේ සිංහල අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන නාහිමියෝ ද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ද චනුක පැතුම් මින්සර සිසුවා ද මෙහි දෙසුම් පවත්වති.
මතු දැක්වෙන්නේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය, කුමාරතුංග සැමරුම සහ සිංහල භාෂා දිනය පදනම් කොටගෙන අප කළ සංවාදයක සටහන්ය.
හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා මෙම සංවාදයට එක්වෙති. කෝපරහේවා මහතා රචනා කළ ‘කුමාරතුංග මුනිදාස අධ්‍යයනය’ කෘතිය ද පසුගියදා එළිදැක්විණ.
• ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය පසුගිය 21 වැනි දාට යෙදී තිබුණා. මවු භාෂාවක් යනු කුමක්ද?
මවුබස යන්න මා සලකන්නේ පුළුල් අරුතිනුයි. ඇත්තටම එය නොයෙක් ලෙසින් නොයෙක් දෙනා අරුත් දක්වා ඇති යෙදුමක්. වචනාර්ථ වශයෙන් සැලකුවා ම නම් මවගේ බස මවුබසයි කියා කියන්නට හැකියි. එහෙත් මවුබස කියන්නේ යම් කෙනෙකු කුඩා කල සිටම තම පවුලින් පුරුදු පුහුණු වන, තම සිතේ පහළ වන අදහස් පැවැසීමට යොදාගන්නා බසයි. ඉතාම වැදගත් කරුණ තමයි අප සිතන්නේ මවුබසින් වීම. යම් තැනැත්තකු භාෂා ගණනාවක් ඉගෙන ගත්තත් ඔහු සිතන්නේ තම මවුබසින්. අපට ඉතා හෘදයාංගම වන්නේ මවුබසයි.
• සිංහල භාෂා දිනය හෙටටයි යෙදී ඇත්තේ. මවු භාෂාවක් හැටියට සිංහල භාෂාවේ වැදගත්කම අප වටහාගත යුත්තේ කෙසේද?
සිංහල භාෂාව කියන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක පමණ පිරිසක් මවුබස ලෙස යොදාගන්නා භාෂාවක්. එය ලෝකයේ මහා ව්‍යාප්තියත් සමඟ ඇති භාෂා සමඟ සසඳා බැලුවාම ඉතාම සුළු බසක් වන්නට පුළුවන්. ඒත් ඒ බොහෝ භාෂාවලට නැති අතිශය දීර්ඝ ඉතිහාසයක්, මහා උරුමයක්, ඉතාම සවිමත් පදනමක් සිංහලයට තිබෙනවා. මවුබස පිළිබඳව අභිමානයෙන් උද්දාම වී පවසන දේ පසකට කොට ශාස්ත්‍රීයව හේතු යුක්ති ඔස්සේ සලකා බැලුවත් දකුණු ආසියා කලාපයේ පිතෘ භාෂාව වන සංස්කෘතිය හා සම තැන් ගන්නා අතීතයක් සිංහලයට තිබෙනවා. ඇතැම් යුරෝපීය පඬිවරුන් කියන හැටියට ලෞකික සංස්කෘතයේ හැඩ ගැස්මට මූලිකවූ වෛදික සංස්කෘතය පෝෂණය කළ ප්‍රාකෘත භාෂා අතර සිංහලයත් තිබෙනවා. මේ කරුණු ගැන අද කිසිම පර් යේෂණයක් කෙරෙන්නේ නෑ. ගයිගර්, කුමාර චැටර්ජි ආදීන් කියූ දේ පුනරුච්චාරණය කරනවා හැර අපේ විශ්වවිද්‍යාලවලින් භාෂා ඉතිහාසය පිළිබඳව පර් යේෂණ කෙරෙන්නේ නැහැ. සරසවි ඇදුරන් පර් යේෂණ කරන්නේ පදික වේදිකාවේ බස, මාළු කඩේ බස ආදිය ගැනයි.
• කුමරතුඟුවන් කීවේ බස නැසුණොත් දැයත් නැසෙන බවයි. මේ ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද?
කුමරතුඟුවන් මෙහෙම කීවේ නිකම්ම නොවෙයි, යම් කිසි දර්ශනයක් අනුවයි. එතුමන්ගේ දර්ශනය වුණේ බස මඟින් රැස හෙවත් දැයක් රැස මගින් දෙස හෙවත් රටත් නැඟෙන බවයි. එය අනෙක් පැත්තට ගියාමත් එහෙමයි. බස නැසුණොත් දැයත් දැය නැසුණොත් රටත් නැසෙනවා. මෙ තැනදී අප ගැඹුරින් සලකා බලන්නට ඕනෑ බසත් රැසත්. ඒ කියන්නේ ජාතියක් අතර ඇති සම්බන්ධය ගැන. යම් කිසි ජන කොටසක් ජාතියක් බවට පත් වන්නේත් තවත් ජාතියකින් වෙනස් වන්නේත් ප්‍රධාන වශයෙන්ම ඒ ජනකොටස සතු සංස්කෘතිය නිසායි. සංස්කෘතියේ ප්‍රධානම අංගයක් තමයි භාෂාව. මේ අනුව බැලුවාම භාෂාව පිරිහුණොත් සංස්කෘතිය පිරිහෙනවා. සංස්කෘතිය පිරිහුණාම ඉබේම ජාතිය පිරිහෙනවා. මේ විදියට කල්පනා කළාම කුමාරතුංගයන්ගේ අදහස හරියටම හරි. අද අප මුහුණ දී සිටින්නේ ඒ මහා ඛේදනීය තත්ත්වයට යි.
• වත්මන් සමාජයේ සිංහල භාෂා භාවිතයේ පරිහානිය දකින විට එදා කුමරතුඟුවන් කී දේ සැබෑවක්වී ඇති බවද පෙනෙන්නේ?
ඔව්. ඇත්තටම සැබෑවී තිබෙනවා. එය තමයි මා කලිනුත් කීවේ. අද ජාතිය හැම අතින්ම පිරිහී වැනැසී නැත්තට නැතිවී යන තැනට පත්වී තිබෙනවා. අප හිතන්නේ එයට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා හේතුවී ඇති බවයි. ඒත් ඒ සියල්ලටම වඩා මා කලින් කී සංස්කෘතික පරිහානිය හේතුවී තිනෙවා. එහි ප්‍රධාන කොටසක් තමයි භාෂා පරිහානිය. අද තරම් භාෂාව පිරිහුණු අවදියක් අපේ ඉතිහාසයේ තිබුණා ද කියා හිතන්නටවත් බැහැ. බලන්න අද සමාජය මුළුමනින් වසාගෙන ඇති බොරු හර. හැම තැනම දකින්නට ඇත්තේ ‘හායි-බායි’ සංස්කෘතියයි. ඒ කියන්නේ කෙනෙකු හමුවන විට හායි කියනවා, වෙන් වන විට, සමු ගන්නා විට බායි කියනවා. මේ දෙක අතර ඇත්තේ අතිශය බොල්, හරයක් නැති, දීන ඇවැතුම් පැවැතුම් මාලාවක්.
කතා කරන වචනවලින් අඩකට වඩා වාත්තු කොටගත් ඉංගිරිසියි. කට උල් කරමින් දිව අඹරවා බැරි ‘ඇක්සංට්’ දමා ඉංගිරිසි වචන කතා කරන තරුණ පිරිසකුයි අද සිටින්නේ. ඒ බස් වහර වාගේම, එයින් ඇති වන සංස්කෘතිය වාගේම ඔවුන්ගේ ජීවිතත් හිස්, බොරු මායාවක්. සිංහලයෙන් ඉගෙන රැකියාවක් සොයාගෙන යන්නම් ඉංගිරිසි ලෑටි ගාගත් මවුපියන් පවා බහතෝරන ළමයාටත් බැරි බැරි ගණනේ හරි ඉංගිරිසිය තමා කියා දෙන්නට යන්නේ. ඉතින් ඒ ළමයාට මවුබසක් කෝ? ඒ ළමයා සිතන්නේ කුමන බසින්ද? ඒ ළමයාට හැඟීම් ගෙන දෙන හදවතේ බස කුමක්ද? ඉදිරියේ දී හැඟීම් දැනීම් නැති, සංවේදී බවක් නැති අශ්ලීල, අසංවර පිරිසක් ඇති විමට මේ භාෂා විනාශය ඔස්සේ සිදු වන සංස්කෘතික විනාශය හේතු වෙනවා නියතයි. අපේ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාඥයන් එදාට ඒ ගැන පර්යේෂණ කරාවි.
ඒ එක පැත්තක්. මේ ගැටලුවේ තවත් පැති තිබෙනවා. බලන්න අද භාෂාවේ ව්‍යුහය වන, භාෂාව නිවැරැදිව මෙහෙයවන ව්‍යාකරණය කොතරම් පරිහානියට පත්ව තිබෙනවාද කියා. ව්‍යාකරණානුකූලව නොවෙයි, හරියට අදහසක් තිබෙන විදියට වාක්‍යයක පද පෙළගස්වා ගන්නට ඇතැම් සරසවි ඇදුරන්ටවත් බැහැ. බස නිවැරැදි කරන්නට කියා මා වෙතට එවන බොහෝ පොත්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා. බොහෝ විට ලියූ තැනැත්තාගෙන්ම අහන්නට වෙනවා, මේ වාක්‍යයේ අර්ථය කුමක්ද කියා? බොහෝ වාක්‍යවල ක්‍රියාකාරක පද සම්බන්ධයක් නැහැ.
තවත් කාරණයක් තමයි හිතා මතාම භාෂාව සංකීර්ණ කරන්නට යෑම. අදහස්වල ඇති නිසරු බව වසාගන්නට හැම තැනම ‘තුළින්’ ‘හරහා’ ‘අහවලාට අනුව’ ආදි අසිංහල, නිරර්ථක පද යෙදීමත් සරල වචනවලට පවා වරහන් තුළ ඉංගිරිසි වචන යෙදීමත් දැන් ශාස්ත්‍රීය විලාසිතාවක් වී ඇති බව පෙනෙනවා. පණ්ඩිත මානිත්වය පෙන්වන්නට තමන් වත් තේරුම නොදන්නා අලුතින් වාත්තු කොටගත් සංස්කෘත පාරිභාෂික පද යෙදීම තවත් ශාස්ත්‍රීය විලාසිතාවක්. රචනයේ ඇති අශාස්ත්‍රීය, නිස්සාර භාවය වසාගන්නට යන්නේ මෙබඳු උපක්‍රමවලින්. ඒ අතර, විශ්වවිද්‍යාලවල සිංහල අංශවල ශිෂ්‍යයන් සිංහල සිනමාවේ නිරූපිත ස්ත්‍රියගේ පාදයේ මහපටැගිල්ලේ නියපොත්තේ සම්භාව්‍ය ලක්ෂණ පිළිබඳ මතවාදීය හා තුලනාත්මක අධ්‍යනයක් වැනි මාතෘකා ඔස්සේ ඉතා ගැඹුරු පර් යේෂණවල යෙදෙමින් උපාධි ලබාගන්නවා.
ඇතැම් ජනමාධ්‍ය මගින් කරන භාෂා විනාශය ඉතාම බරපතළයි. විශේෂයෙන්ම රූපවාහිනී හා රෙදෙවු (ගුවන් විදුලි) නාලිකා සිංහල භාෂාවට කලක් තිස්සේ කළ, අදත් කරන විනාශය වචනයේ සීමා ඉක්මවා යනවා. අට පහ නොදන්නා, කිචි බිචි ගෑමට පමණක් දන්නා, ගිරවියන් වැනි ළඳ බොළඳ යුවතියන් ලවා කරවන මේ විනාශය අද හැම නාලිකාවකම වාගේ සිදු වන බව කියන්නට ඕනෑ.
• සිංහල භාෂා භාවිතයේ පරිහානිය අවම කරගැනීමට ඔබ යෝජනා කරන පිළියම් මොනවාද? අදට ගැළපෙන බස කුමක්ද?
මා හිතන්නේ පළමුව කළ යුතු පිළියම තමා මවුබස ගැන ආදරයක්, අභිමානයක් කුඩා කල සිටම දරුවන් තුළ ඇති කිරීම, ඊළඟට පාසලේ දී ඒ සඳහා විශේෂයෙන් ගුරුවරුන් මගින් හැඟීමක් ඇති කිරීම, එය විෂය නිර්දේශය මඟින්ම කළ යුතුයි. නිවැරැදි බසම භාවිත කළ යුතුයි යන හැඟීම සිසු අවදියේ සිටම දරුවන් තුළ තදින් ඇති කළ යුතුයි. විභාගවල දී මේ ගැන දැඩි සැලැකිල්ලක් දක්වන්නට ඕනෑ. එයින් දරුවන් ඉබේම නිවැරැදි බසට හුරු වෙනවා. රජයටත් විශාල වගකීමක් තිබෙනවා දැඩි නීතිරීති මගින් හෝ ජනමාධ්‍යයේ යෙදෙන භාෂාව නිවැරදි නිරවුල් ශිෂ්ට සම්පන්න බසක් කළ යුතුමයි. මේ සඳහා ජනමාධ්‍ය භාෂා ප්‍රඥප්තියක් ඇති කළ යුතුයි. එය උල්ලංඝනය කළහොත් දඬුවම් පැමිණවිය යුතුයි. භාෂා සංස්කාරකවරුන් රජයේ ප්‍රමුඛ ආයතනවල වත් සිටිය යුතුයි.
යටත් පිරිසෙයින් රජයේ කාර්යාලවලවත්, රජයේ ලේඛනවලවත් නිවැරැදි බස යෙදෙන බවට ජනයා තුළ නිශ්චිත හැඟීමක් ඇති වන වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. නිරවද්‍ය භාෂාව පිළිබඳව මතභේද තිබෙන බව අප දන්නවා. ඒ වුණත් ඒ මතභේද හැකි තරම් සමනය කොට පොදු පිළිගැනීමක් ඇති වන පරිදි මහත් පරිශ්‍රමයෙන් සකස් කළ ‘සිංහල ලේඛන රීතිය’ වැනි සම්මතයන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ දිනවල එසේ කළා නම් භාෂාව මේ තරම් පරිහානියකට පත්වන්නේ නැහැ.
ඊළඟට ඔබ ඇසුවා අදට ගැළැපෙන බස ගැන. මා හිතන්නේ අදටත් හෙටටත් කවර දාටත් ගැළැපෙන්නේ අර්ථ ප්‍රකාශන ශක්තියෙන් අනූන වූ නිවැරැදි නිරවුල් බසයි. එය සරල විය යුතුද, ගැඹුරු විය යුතුද ආදි කරුණු ස්ථානෝචිතව වෙනස් වන්නට ඉඩ තබන්නට ඕනෑ.
හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මේ තරම් භාෂා පරිහානියක් කිසිදා දැක නෑ
harsha sampath senavirathna Friday, 04 March 2022 12:32 PM
මම හිතනවා ඇත්තටම මෙතුමා කියන දේ හරි නිකන් පොෂ් වෙන්න ඕනෑ නෑ... ලංකාවේ අපි කතාකරන්න ඕනෑ සිංහලෙන් උදාහරණයක්... අරාබියේ යන ඕනෑම කෙනෙක් අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනෑ.. නැත්නම් ජොබ් එක කරන්න බෑ.. ඒ වගේ ලංකාවෙත් අනිවාර්යයෙන් සිංහල භාෂාවට අංක එක හිමිවිය යුතුමයි. නැතිනම් මේක ලෝකෙන්ම නැතිවෙලා යයි.