අද ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. වත්මන් අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීම බාරදී ගෙදර යාමට සිදුවන තරමට දේශපාලන අර්බුදය ඔඩු දුවා තිබෙන අතර ජනතාව පාරට බැස කෑම බීම, තෙල්, ගෑස්, රැකියාවල සුරක්ෂිත බව ඉල්ලා අරගල කරන තරමට ආර්ථික අර්බුදය බරපතළ වී තිබේ.
අමාත්‍ය මණ්ඩලය අස්වූ පමණින් දේශපාලන අර්බුදය විසඳෙන්නේ නැත. ජනතාව පාරට බැස කරන අරගලයද සැබෑ ගැටලුවලට විසඳුමක් වන්නේ නැත. මේ යථාර්ථය හොඳින්ම අවබෝධ කරගත යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කර වත්මන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ය.
අද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේම දැඩි විරෝධයට මුහුණ දී සිටිති. මේ තත්ත්වය කෙතරම් බරපතළ දැයි කිවහොත් රටේ ජනතාව මහ මග යන මැති ඇමැතිවරුන්ට හූ කියන, අපහාස කරන තත්ත්වයක් ඇතිව තිබේ. මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ දේශපාලන මෙහෙයවීමකින් තොරවම රටේ ජනතාව තමන්ගේ අයිතීන් ඉල්ලා මහපාරට බැස සිය විරෝධය ප්‍රකාශ කරන බවය. මෙය දේශපාලන උසි ගැන්වීමක්, අන්තවාදී ක්‍රියාවක් හැටියට කවුරුන් හෝ හඳුන්වනවා නම් එය සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමකින් තොරව සිදුකරන නන්දෙඩවීමක් බව පෙන්නා දිය යුතුය.
පවතින සමස්ත ක්‍රමයම හෙළාදකින ජනතාව ඉල්ලා සිටින්නේ දැවැන්ත දේශපාලන සහ සමාජ පරිවර්තනයකි. තමන්ගේද ප්‍රශ්න විසඳන සැබෑ සාධාරණ පරිවර්තනයක් ඉල්ලා ජනතාව නගන හඬ ඉදිරියේ වගකිව යුතු රජයකටවත් විපක්ෂයකටවත් නිහඬව සිටිය නොහැක.
පවතින ව්‍යාකූල තත්ත්වය නිවැරදිව හඳුනාගැනීමකින් තොරව එය අන්තවාදීන්ගේ උප්පරවැට්ටියක් වශයෙන් ලඝු කිරීම තත්ත්වය තවත් නරක අතට හැරවීමකි. රටේ සියලු දේශපාලන නායකයන් තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගනිමින් ඊට විසඳුම් සෙවීම මේ හෝරාවේ රටේ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරන සියලු නායකයන්ගේ පරමාර්ථය විය යුතුය. පටු දේශපාලන වංගු ගැසීම්වලින් දැන් පලක් නැත. එවැනි දේශපාලන ගැට පිළිබඳව රටේ සියලු ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටින බව පාරට බසින ඕනෑම කෙනකුට පහසුවෙන් අවබෝධ කරගත හැක.
අපේ රට මෙතැනින් ඉදිරියට තබන පියවර මත රටේ අනාගතය රැඳී තිබෙන බව පැහැදිලිය. වැරදි තීරණයක් ගැනීම තමනුත් විනාශ වී රටත් විනාශ වන තරමට දිග්ගැස්සී යාමටද ඉඩ තිබෙන බව සිහියේ තබා ගනිමින් සියලු නායකයන් එක්වී රට යළි ගොඩ නැගීමේ කාර්යයට මුල පිරිය යුතුය.
එහිදී ජනතාව බලාපොරොත්තු වන සැබෑ වෙනසකට යාමට තරම් දැඩි තීන්දු ගැනීමට නායකයන් සියලු දෙනා තුළ පොදු අවබෝධයක් තිබීම අවශ්‍යය. ඉතිහාසයේ දරුණුම ආර්ථික ගැටලුවලින් දැඩිව පීඩා විඳින ජනතාවට ලොසින්ජර ලබාදී මේ ප්‍රශ්න විසඳිය නොහැක. පවතින ආර්ථික අර්බුදයේ තරම තවමත් නොදැන නන්දොඩවන දේශපාලනඥයන් පිළිබඳව අපට දැනෙන්නේ මහත් පිළිකුලක් බව ද රටේ පාරට බැස අරගල කරන ජනතාවට පාර්ලිමේන්තුවේ 225ම සම්බන්ධයෙන් දැනෙන්නේ එවැනිම පිළිකුලක් බව ද කිව යුතුය.
බින්දුවට වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රටේ සියලු දේශපාලන නායකයෝ එක් වී දැන්වත් අලුත් ගමනක් යාමට සැබෑ උනන්දුවක් පෙන්වීම අවශ්‍යය. එකතු වී යන ගමනකින් හැර තනිව යන ගමනකින් අගාධයෙන් ගොඩ යා නොහැක. රටේ මේ සියලු ප්‍රශ්න ඇති වූයේ ඩොලර් සංචිත සිඳී යාමෙනි. එහෙත් ඇමැති මණ්ඩලය ගෙදර යාමෙන් ඩොලර් උපදින්නේ නැත.
රටට අවශ්‍ය ඩොලර් ශක්‍ර දේවේන්ද්‍රයා ගෙනැවිත් දෙන්නේත් නැත. රටේ පවතින තත්ත්වය අනුව පටු චේතනා මතින් ගොඩනැගෙන සියලු ආයෝජන ජාත්‍යන්තර ප්‍රජාවගේ කුමන්ත්‍රණ වශයෙන් පෙන්වන, සියලු නිෂ්පාදන දේශීය කර්මාන්තවලින් පමණක් සිදුකරගත හැකිය වැනි මිථ්‍යා මතවලින් දැන්වත් බැහැර විය යුතුය. දේශපාලන සටන්පාඨ සඳහා එවැනි මෝඩ තර්ක වැදගත් විය හැකි වුවද ඒ ඇසුරින් රටට ඩොලර් ලැබෙන්නේ නැත. මෙතරම් කාලයක් රට වසාගෙන සිටි ආර්ථික මිථ්‍යාවේ කඩතුරාව ගලවා දමා අලුත් ආදායම් මාර්ග සකස් කර ගැනීමකින් තොරව රටට ඉදිරි ගමනක් නැත.
ඡන්ද ලබාගැනීම සඳහා ජනතාවට සහන දෙන මුවාවෙන් පවත්වාගෙන ගිය සුබසාධන රාජ්‍ය ක්‍රමය මේ රටට සිදුකර ඇති විනාශයේ තරම දැන්වත් මේ සියලු නායකයන් තේරුම් ගත යුතුය. අපේ රට සුනාමිය, යුද්ධය ජයග්‍රහණය කිරීම වැනි රටට විශාල ඉදිරි පිම්මක් ගත හැකිව තිබූ අවස්ථා සියල්ල පටු දේශපාලන අදහස් හේතුවෙන් අහිමි කරගත් රටකි.
ඒ අවස්ථාවලදී සියලු දේශපාලන පක්ෂ එකතු වී ගමනක් ඇරඹුවා නම් අද අපේ රට මේ අභ්‍යාග්‍ය සම්පන්න තත්ත්වයට වැටෙන්නේ නැත. පටු දේශපාලන මිථ්‍යා මතවලින් තොරව සියලු දෙනාටම රට වෙනුවෙන් ඉදිරිපත් වී වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට දැන් අවස්ථාවක් නිර්මාණය වී තිබේ. මෙය අපේ රටට ලැබුණු අවසන් අවස්ථාව බවට ඉතිහාසයේ කෙදිනක හෝ සටහන් වනු ඇති බව සියලු දෙනාට සිහිපත් කර දෙමු.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රට යළි ගොඩනැගීමට සියලු පක්ෂ එක්විය යුතුයි