ඉකුත් සතිඅන්තයේ දඹානේ මළ ගමකි. මියගියේ දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ගේ එක්කුස උපන් සහෝදරයෙකු වූ ඌරුවරිගේ දීගහස්ත නමැත්තාය. පවුලේ 6 වැනියා වූ ඔහු උපතේ සිටම ආබාධිතයෙකු විය. වයස අවුරුදු 55 ක් වනතෙක්ම පවුලේ අය විසින් දීගහස්ත රැකබලා ගත්හ. මාවරගල ආරණ්‍යසේනාසනය ඉදිරියේ පිහිටි සොහොයුරාගේ නිවසේ මෘත දේහය තැන්පත් කළේ ‘හික්’ ගසේ පොත්තෙන් සකස් කළ සාම්ප‍්‍රදායික මිනීපෙට්ටියකය. හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ අවමඟුල් උත්සවයේ සිට වැදිරැහේ අවමඟුල් සඳහා එක්වන බෞද්ධ මහා සංඝයා වහන්සේ වැඩමවා මතක වස්ත‍්‍ර පූජාව හා පැන් වැඞීමේ සිරිත්ද සිදු කෙරිණ. නායක වන්නියලෑ ඇත්තෝ දැඩි සන්වේගයකට පත්ව සිටියේය. වඳවීගෙන යන සිය සංස්කෘතික ලක්‍ෂණයන්ගෙන් හෙබි රැහේ අය අතර සිටි නියම වැද්දෙකු අහිමිවීම දුකකි. වරිගේ ඇත්තන් වරිගේ සංස්කෘතිය තුළ රැකගැනීම නායකයාට අද ඇති විශාලතම අභියෝගය බව නොරහසකි. පාසලේදී කලිසමට හුරුවන ළමයින්, සාමාන්‍ය පෙළ පංතියට යනවිට දිගකලිසමට බසිති. තම කිට්ටුවන්ත ඥාතීන් පවා මේ රැල්ලට ගොඳුරු වී සිටිති. වැදිනායකයා පවසන්නේ ඇඳුම වෙනස් වූවත්, ඔවුන්ගේ සාම්ප‍්‍රදායික සංස්කෘතික ලක්‍ෂණ වෙනස් නොවන බවය. ඇතැම් තරුණියෝ ඇඟළුම් කම්හල්වල සේවයට ගොසිනි. තවත් කතුන් කීපදෙනෙක් මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරති. කොයි දීපංකරේ ගියත්, ඒ අය සිය නිවෙස්වලට ආ විට වැද්දන් බව නායක ඇත්තෝ පවසන්නේ කැලේ මාරු වුණත්, කොටියාගේ පුල්ලි මාරු නොවන බවට වන උපමාවක් ද සිහි ගන්වමිනි. කොළඹ ඇතුළු දුර බැහැර ඇඟළුම් කම්හල්වල රැකියාවට ගිය සමහර තරුණියෝ, වැඩබිමේදී යාළුවූ සිංහල තරුණයන් සමඟ විවාහවී ඇති බවත් ඔවුන් එම ප‍්‍රදේශවලම ජීවත්වන බවත් දැනගන්නට ලැබිණ. රැහේ කැකුළියන් වෙනත් තරුණයෙක් සමඟ සහේට ගියොත්, රැහෙන් ඉවත් කරන බවට මුලදී නායක ඇත්තෝ නීතියක් පැනවුවද එයද කි‍්‍රයාත්මක කිරීමට අවකාශ නොතිබිණි. එම තරුණියන් කැළේ අමතක කර සිදාදියේදීම කූඩු වී තිබෙන බවද දැනගන්නට ලැබිණ. සිදාදියෙන් සංකර සමාජයේ ඇසුර ලැබුවත් කිසිදු විපරියාසයකට ලක් නොවූ රැහේ අයෙක් සිටී. ඔහු මුළු රටම දන්නේ දඹානේ ගුණවර්ධන නමිනි. නෑකමට වැදිනායකයා ඔහුගේ මාමා කෙනෙකි. දඹාන විද්‍යාලයෙන් 9 වැනි ශ්‍රේණිය සමත් වූ ගුණවර්ධන, ඔරුබැඳිවැව විදුහලට ගියේ වැඩිදුර අධ්‍යාපනයටය. සාමාන්‍ය පෙළ විභාගයට එහිදී මුහුණදුන් ඔහු සම්මාන තුනක් සහිතව විෂයන් 7 කින් සමත්විය. එම විදුහලේ උසස් පෙළ පන්ති පටන් ගත් වසරේම සම්මාන 3 ක් සහිතව සිංහල, ආර්ථික විද්‍යාව, භූගෝලය සහ බෞද්ධ සංස්කෘතිය යන විෂයන් 4 සමත් වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසීමේ වරම ලබන්නේ 1986 දීය. විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුවත් කිසිදා කොළඹ දැක නැති, ගුණවර්ධන කැකුළාට, එය වරෙක බියද වරෙක, කුකුසද දනවන්නක් විය. කෙසේ නමුත් දඹානට පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධානයක හිතවතෙකුගේ මග පෙන්වීම යටතේ විශ්වවිද්‍යාලයට යාමට තීරණය කෙරිණ. ඔහු අපූරු වැඩක් කළේය. බදුල්ල දක්වා ගුණවර්ධන කැඳවාගෙන ආ ඔහු ගුණවර්ධන කොළඹ බසයකට නංවා ලිපිනයක් දී එතැනින් බහින්නැයි කියා මාරු වී ගියේය. ගුණවර්ධන කිසිවක් නොකියා බසයේ ඉඳගත්තේය. බසය පණ ගැන්වූ මොහොතේ සිට හිතේ තිබූ ගැස්ම තව තවත් වැඩිවෙමින් තිබිණ. බසය පැය ගණනාවක් එකදිගට ගමන්කරයි. ඇඟපත වේදනාව ද වැඩිවෙයි. ඉදිරි පැය කීපයේ කළ යුත්තේ කුමක්දැයි නොදනී. මෙසේ සිතුවිලි සයුරක අතරමංව සිටියදී ඒ අසුනේ සිටි අනෙක් මගියාගෙන් ඇමතුමක් ලැබිණ. ඔහු ගුණවර්ධනගේ විස්තර විමසා සැනින් මිතුරුවිය. ඔයා බයවෙන්න එපා. මං නියම තැනින් බස්සවන්නම්. අලුත් මිතුරා දුන් පොරොන්දුව ගුණවර්ධනගේ හිතට ඇතිකළේ මහත්වූ අස්වැසිල්ලකි. ඒ අනුව තමාට නවාතැන් පහසුකම් සලසන රාජ්‍ය නොවන සංවිධානයේ ගොඩනැඟිල්ල සොයා ගැනීමට හැකිවිය. සරමක් බැනියමක් ඇඳගත් ගුණවර්ධන පසුදා මගපෙන්වන්නෙකුගේ සහායෙන් විශ්වවිද්‍යාලයට ඇතුල්විය. එය වෙනමම ලෝකයකි. ගෙවෙන හැම තත්ත්පරයක්ම කුතුහලයෙන් පිරී ගියේය. තරුණ තරුණියෝ ඇවිස්සුන කඩිගුලක් මෙනි. කෙසේ නමුත් ගුණවර්ධනට මාර්ගඋපදේශකයා වූ පුද්ගලයෙක් ඔහු විශ්ව විද්‍යාලයේ කාර්යාලයට කැටුව ගියේය. එහි සිටියේ දඹානේ දී මුණ ගැසී හඳුනාගත් මහත්මයෙකි. එනිසා ඇතුළත්වීමේ කටයුතු පහසුවිය. නවකවදය සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන් වලිකති. ගුණවර්ධන ළඟට පැමිණ නවකවදේ හවුල්කරුවෙකු දිගින් දිගටම ප‍්‍රශ්න කළේය. ඔහු ‘‘වැදි’’ පරපුරේ අයෙක් බව දැනගැනීමෙන් පසු නවකවද නායකයා වෙත රැගෙන ගියේය. එහිදී වැදි ගී ගයා වැදි නැටුම් නැටීමටද සිදුවීම හැර වෙනත් වදයක් නොදුන්හ. එහෙත් සරම-බැනියම ඇඳගත් ලොකු පවුලක තරුණයෙක්ද පැමිණ සිටියේය. නවකවදයෙන් මිදීම සඳහා ඔහු පැවසුවේ තමා දඹානෙන් පැමිණි බවය. එහෙත් ඔහු කළේ බොරුවක් බව දැනගත් සිසුන් උපරිම නවක වදයක් ඔහුට දෙනු ලැබීය. එම පුද්ගලයා අද රජයේ ඉහළම නිලයක් දරන්නෙකි. දින කීපයක් තුළ මනස තරමක් සන්සුන් වූවත් අධ්‍යාපන කටයුතු කරගත හැකිවූයේ කෙටිකාලයකි. ජේ.වී.පී. කලබල නිසා විශ්ව විද්‍යාලය වසා දැමිණ. නැවත දඹානට පැමිණි ගුණවර්ධන කර කියාගත දෙයක් නොහැකිව සිටියදී අම්මාද කළුරිය කළාය. තාත්තාද අහිමිව සිටි ගුණවර්ධන පවුලේ බර කරට ගැනීමට ඉටාගත්තේය. පේ‍්‍රමදාස මහත්තයාගේ ගම්උදාව මහියංගනයට ආවේය. ගුණවර්ධන කම්කරුවෙකු ලෙස එහි වැඩට බැඳුණේය. දිනක වැටුප රු.72 කි. එය ඉහළ කුලී වැටුපකි. විශ්වවිද්‍යාලය ක‍්‍රමයෙන් අමතක කර කම්කරු ජීවිතය ආරම්භ කරත්ම, එකට පාඩම් කළ මිතුරෝ මඟ තොටදී හමුවූ විට අහක බලාගත්හ. එය හිතට රිදුම් දෙන්නක් වූවත්, සමාජයේ හැටි එහෙම තමයි යැයි සිතා සිත පාලනය කර ගත්තේය. ගම්උදා වැඩබිමේ ඇති වූ නොසන්සුන්තාවයක් නිසා සේවකයන් ඉවත් කෙරිණ. ඉන්පසු ගුණවර්ධන තම ජානවල රැඳී ඇති රස්සාව සඳහා උදැල්ල අතට ගත්තේය. මාස හත අටක් වගා කටයුතුවල නියැලූනේය. කෙසේ නමුත් උගත් දේ රැහේට දෙන්න ඉඩක් සොය සොයා සිටියේය. දාහේ ගුරුපත්වීම් ක‍්‍රමය ආරම්භවත්ම ඊට අයදුම් කළේය. ඒ අනුව ගුණවර්ධනට දඹාන විද්‍යාලයේ ගුරුවරයෙකු වීමට අවකාශ ලැබිණ. එය ඔහුට මහත් අභිමානයක් විය. රැහේ අනාගත පරපුරට අකුරු කියා දෙන්න ලැබීම කොතරම් අපූරුදැයි සිතු මේ රැහේ ගුරුහූරා කැපවීමෙන් ඉගැන්වීම් කළේය. ඊට අමතරව රැහේ ගැයුම් වැයුම් හා නර්තනයන් දරුවන් තුළ ප‍්‍රගුණ කරවමින් ඔහු නිර්මාණය කළ වැදි ගී මිහිර ප‍්‍රසංගය. ගුණවර්ධනයන් තුළ තිබූ ප‍්‍රතිභාවය මොනවට කියා පෑවේය. කලබල නිසා වැසුණු විශ්වවිද්‍යාලය යළි ඇරුණේය. එහෙත් යළි එහි යාමට ගුණවර්ධන හූරාට සිතක් නොවීය. ගුරු මණ්ඩලයද හිතවතුන්ද කළ ඉල්ලීම්, නොලසකා හැරීමට බැරිවූ තැන යළි විශ්වවිද්‍යාලයට ගියේය. ඒ වනවිටත් විශ්ව විද්‍යාලය පටන්ගෙන දින 29 ක් ගෙවී තිබුණේය. සරසවි බිම ක‍්‍රම ක‍්‍රමයෙන් හුරුවූවත් රැහේ ජීවිතය පිළිබඳව එහි වටිනාකම පිළිබඳව සෙස්සන් දැනුවත් කිරීමට ඔහු අමතක නොකළේය. ‘පියසේන කහඳගමගේ ගුරුතුමා ලියු දේ එහි ආභාෂය ගුණවර්ධනගේ සිත් ගත්තේය. මහාචාර්ය සරත් විජේසූරිය හා මහාචාර්ය ජේ.බී.දිසානායක ගුණවර්ධනගේ සිංහල භාෂා දැනුම වැඩි කළෝය. ඔහු නිස්කලංකව සිටියදී වැදි ජනයාගේ උපතේ සිට මරණය දක්වා වන සංසිද්ධි නිර්මාණාත්මකව ලියන්නට පටන් ගත්තේය. එය අපූරු නිර්මාණයක් විය. සරසවි යාළුවෝ එය ඉතා අගය කළහ. මචං යමු අපි මේක ජේ.බී.සර්ට පෙන්නමු. යාළුවෝ ඉල්ලා සිටියහ. එහෙත්, මට බෑ මචං, මට බයයි. ගුණවර්ධන පස්ස ගැසුවේය. මිතුරෝ ඔහු මහාචාර්ය ජේ.බී.දිසානායක වෙත බළෙන්ම රැගෙන ගියෝය. ‘‘ගුණවර්ධනගේ පදරටාවල අනගි බව දුටු මහාචාර්යවරයා අතිශයින්ම සතුටට පත්විය. කාගේත් ඉල්ලීම මත සරසවි කළා උළෙලට ඉදිරිපත් කළ මේ නිර්මාණය සම්මානය දිනා ගත්තේය. පසුව ‘දඩබිමෙන්-දඩබිමට’ නමින් මෙම නවකතාව ග‍්‍රන්ථයක් බවට පත්විය. ඒ සඳහා පියසේන කහඳගමගේ ගුරුතුමාගේද සරත් විජේසූරිය මහාචාර්ය වරයාගේද නොමද සහයෝගය ලැබිණ. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රජා, අධ්‍යාපන වැඩසටහනට තෝරාගත් 24 දෙනා අතුරින් කෙනෙක් වීමේ අවස්ථාව ගුණවර්ධනට ලබා දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ අර්ජුන මහතාය. ඒ පුහුණුව ප‍්‍රායෝගික කි‍්‍රයාකරකම්වලින් පෝෂණය වූ අපූරු අත්දැකීමකි. කාලය ගෙවී ගියේය. උපාධි ප‍්‍රදානෝත්සවය එළඹියේය. ලෝගුව සඳහා රු. 6000 ක් ගෙවාගත නොහැකි වූ දඹානේ ගුණවර්ධන ශිෂ්‍යයා එම උත්සවයට සහභාගී නොවීය. එහෙත් උපාධි සහතිකය ලබා උපාධිධාරියකු ලෙස ගුරුසේවයට එක්විය. තම ජන්ම භූමිය ආශි‍්‍රතව ඇති තලාවේගම, කුකුලාපොළ, ගුරුකුඹුර, වේවත්ත යන විදුහල්වල සේවය කරද්දී අපේ අධ්‍යාපන ක‍්‍රමයේ බොහෝ අඩුපාඩු ඇති බව දැක්කේය. ඒ අඩුපාඩු මකාදමා විදුහල්පති, ගුරුමණ්ඩලය සිසු දරුවන් හා දෙමව්පිය ගම්වැසියන්ගේ මනා අවබෝධය හා මනා සහයෝගය තුළ සුන්දර පාසලක් නිර්මාණය වන බව ගුණවර්ධන මනැසින් දුටුවේය. ‘තුන්යම සිහිනය’ නමින් ඔහු එය රචනා කළේය. දැන් මේ නිර්මාණකරුවා මහියංගණය-කුකුලාපොළ විද්‍යාලයේ ගුරුවරයෙකි. එහෙත් වෙනත් ගුරුවරුන්ට වඩා ඔහුගේ කි‍්‍රයාකාරකම් ඉඳුරාම වෙනස්ය. එම පාසලේ 3 වැනි ශ්‍රේණිය ඔහුට බාරදී ඇත. පාසලේ ගොඩනැඟිලිවල පවතින තදබදය තුළ ළමා මනස හිරකර තැබීමට නොහැකි බව වටහා ගත් ඔහු මුලින්ම කළේ දෙමව්පියන්ගේද උදව් ඇතිව තුරුසෙවනක මානා සෙවිලිකර පන්තිය සකස් කර ගැනීමයි. මුළු කාලයම පාසලේ ගත කළ යුතුයැයි සිතූ ඔහු නිල නිවාස ඉල්ලා සිටියේ නැත. පාසල් බිමේම කැලෑ ඉසව්වේ රූස්ස ගසක් මුදුනේ පැලක් ඉදිකරගත්තේ දඹානේ රැහේ අයගේද උදව් ඇතිවය. එහි ජීවත්වන මේ ගුරුතුමා දැන් පැය 24 පුරාවටම පාසලේය. වරෙක පුංචි දරුවකුසේම, දරුවන් සමඟද ගී ගයන්නේ ය. වරෙක දරුවන් තුරුලට ගෙන අකුරු කරන්නේය. දරුවන්ගේ හැසිරීම් රටාවේ කිසිවක් වැරැදි සේ නොපෙන්වා ආදරයෙන් හරිමඟට යොමු කරන්නේය. ලොකු පන්තිවල සිසුන් සමඟ එක් වී පොළව කොටන්නේය. අඩි 40 උස ගස මුදුනේ පිහිටි පැල්කොටේ සිට මේ ගුරු හූරාගෙන් මා දැන් සමුගත යුතුය. සමුගන්නා මොහොතේ ඔහු මගෙන් ඉල්ලීමක් කළේය. කරුණාකරලා මංගැන ලියන්න එපා. මේ සංකල්පය ගැන විතරක් ලියන්න. ‘මේ ලිපිය ලියන්නට පෙර මා පැය ගණනක්ම කල්පනා කළෙමි. ගුණවර්ධන නම් වූ රැහේ ඇත්තෝ ගැන නොලියා, මේ කතාව කිසිසේත්ම ලිවිය නොහැක. මෙය කලින් පිරිසිදු හා සමාජ හිතෛශීව කළ පොරොන්දු කඩ කිරීමක් විනා, ගුණවර්ධන ගුරුතුමා කළ ඉල්ලීම නොසලකා හැරීමක් නොවන බව අවධාරණයෙන් කියනු කැමැත්තෙමි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුකං පොජ්ජේ රඳන ගුරු හූරා
ප්‍රභාත් Monday, 21 November 2011 09:39 AM
ගසට, පැලට, රටට ආදරය කරන්නේ නම් ඒ ඔවුන්ය
චතුර Saturday, 27 April 2013 11:17 PM
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්ත මට, කැලේට ගිහින්, මේ "ගුරු උතුමා" ගේ දෙපතුල අල්ලලා වඳින්න ඇත්නම්? :) (නි)