X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වසංගත මැද්දේ අනාගත සාහිත්‍ය තේමාවලත් විප්ලවයක්

ජනශ්‍රැතිය, නවකතාව, කෙටිකතාව, ශාස්ත්‍රීය පර් යේෂණ ආදී විවිධ විෂය ක්ෂේත්‍ර අළලා අගනා කෘති රැසක් පළ කළ මහාචාර්ය සාලිය කුලරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි. සිංහල- ඉංග්‍රීසි දෙබසින්ම  කෘති පළකොට ඇති මහාචාර්යවරයා නිර්මාණාත්මක කෘති මෙන්ම ශාස්ත්‍රීය කෘති රැසක් ද රචනා කොට තිබේ.  සංස්කෘතික සංවර්ධනය සඳහා නිර්මාණාත්මක සන්නිවේදනය ,සම්භාව්‍ය සිංහල සංස්කෘතිය පිළිබඳ භෞතික හා සංකල්පීය නිරීක්ෂණ, සන්නිවේදනය හා සාහිත්‍ය, සන්නිවේදනය හා ජනශ්‍රැතිය වැනි පර් යේෂණාත්මක කෘති ද විශ්වාන්තර සිහිනය, සත්පද්මා, සර්ප ධේනුවකගේ පුනර්ජන්මය වැනි කෙටිකතා සංග්‍රහ ද මනුෂ්කා, සඳ මද්දහන, සරස්වතී රාත්‍රිය, හැන්දෑවෙන් එහා රාජ්ජේ වැනි නවකතා ද ඒ අතර වැදගත්ය.

අප නව වසරකට පා තබා සිටියත් සමස්ත ලෝකය සමාජ සංස්කෘතික වශයෙන් යම් අර්බුදමය කාල පරිච්ඡේදයකට මුහුණ දී ඇති බව පොදු පිළිගැනීමයි. මෙම තත්ත්වය හමුවේ සාහිත්‍ය කලා සංස්කෘතික ක්ෂේත්‍රවල පවත්නා තත්ත්වය, අභියෝග සහ මතු විය හැකි නව ප්‍රවණතා කවරේ ද යන්න මහාචාර්ය සාලිය කුලරත්න මහතා සමග මෙම සංවාදයෙන් සාකච්ඡා කෙරේ.

• අප මේ සිටින්නේ නව වසරක වුවත් කිසියම් අර්බුදකාරී සමයක. මේ තත්ත්වය භාෂා සාහිත්‍ය සංස්කෘතික ක්ෂේත්‍ර වෙත බලපා ඇති අන්දම ඔබේ විමසුමට ලක්වන්නේ කොහොම ද?

“අර්බුදකාරී සමයක වුවත් සාහිත්‍ය කලාවන්ගේ විශේෂ ලක්ෂණ මතුවන තැන් හමුවෙනවා. අර්බුද සමයේ සාහිත්‍යයක යම් ගැඹුරක් නිර්මාණය වෙන්නත් පුළුවන්. වලගම්බා කාලය වගේ යුගයක බැමිණිතියා සාය වගේ දැඩි සාගතයක් පැමිණි සමයක ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීමට පවා පදනම වැටෙනවා. ඒක ඉතා පැරැණි නිදර්ශනයක්.

එසේම මේ යුගයේ සාහිත්‍යකරුවකුට ඕනෑ තරම් ගැඹුරක් වෙත තමන්ගේ සවිඥානිකත්වය ගමන් කරවීමට අවශ්‍ය මානුෂික නිදහස තිබෙනවා. මනුෂ්‍යත්වය අද නිරුපද්‍රිතව නිදහසේ තිබෙන හේතුව මේ යැයි කියලා අපට නම් කරන්න බැරි තරම් මනුෂ්‍යත්වයේ සියලුම අංශ අඩාළභාවයට ගිහිල්ලා. අද අපි සාමාන්‍ය සාහිත්‍ය ප්‍රවණතා උගන්වද්දී දෙවැනි ලෝක යුද්ධය ගැන කතා කරනවා. කාර්මික විප්ලවය ගැන කතා කරනවා. ඉන් පස්සෙ සමහර සිද්ධිවලදී වුණත් ලෝක ජනමනස සසල වුණු බවත්, ඒවායේ ප්‍රතිඵල විදිහට යම් යම් සාහිත්‍ය මතවාද සමාජයේ තහවුරු වුණ බවත් පෙනෙන්නට තිබෙනවා. සමහර දාර්ශනිකයන්ගේ ක්‍රියාකාරීත්වය වුණත් මතුවෙන්නෙ, තහවුරු වෙන්නෙ එවැනි පදනම්වලින්. සාංදෘෂ්ටිකවාදය, විකාරරූපී මතවාද, පශ්චාත්නූතනවාදය වගේ දේවල් වෙන්න පුළුවන්.

ඒ වගේ අවස්ථාවල අපි කියනවා සමහර සාහිත්‍යකරුවන් පවත්නා ප්‍රවණතා ඔස්සේ සසල වුණ මනෝභාව ඇතිව වඩාත්ම විප්ලවීය සාහිත්‍ය ධාරා ලෝකයට බිහිකළ බව. මම හිතනවා ඒ අතීත නිදර්ශන සියල්ල අභිබවා ගිය සමාජයේ සියලු අංශ ඉරිතලා ගිය ස්වභාවයක් මේ කොරෝනා වසංගත ප්‍රවණතාවයේ තියෙනවා. බොහෝදෙනා මේ තත්ත්වය බාරගනිමින් සිටිනවා. පෙරළුණු පිට හොඳයි කියනවා වගේ කියන කියමන අනුමත කරමින් සිටිනවා. ඇත්තටම මේ බුද්ධි මෙවලම් ඉතා හොඳින් විමර්ශනය කළ හැකි අවස්ථා තියෙන්නේ අපේ ජන සාහිත්‍යයේ කියලා මම හිතනවා.”

• මේ සමාජ අර්බුද පිළිබඳ සංකේත මතු කරන ඔබ කියන ජනශ්‍රැතික නිර්මාණ අද ලේකයට සාධාරණ වෙන්නෙ කොහොම ද?

“මම හිතන්නෙ වඩාත් බුද්ධි වීමංසා තුළ, කථිකා ඇතුළෙ නැති මානව චර්යා අඩවි ජන සාහිත්‍යය තුළ ගොනු වෙලා තියෙනවා. උමතු සං වර්ෂාව පිළිබඳ කතන්දරය මේ වෙලාවෙ මට මතක් වන එක් උදාහරණයක්. බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නෙ මෘඝසංවර්ෂාව. ඒ කතාව අපි හැමෝම දන්න එකක්. උමතුසංවර්ෂාව ඒ කතාවට වෙනත් පැතිවලින් පෝෂණය වෙනවා. ඒ ජනශ්‍රැතියේ හැටි. අර ආගමික සංකල්ප ඇතුළෙ විතරක් තිබ්බ සමහර තේමා ජනශ්‍රැතිය ඇතුළෙ පොදු තේමාවක් විදිහට හැදෙනවා.
උමතු සංවර්ෂාවට අනුව එක්තරා වැස්සක් වහිනවා. ඒ වැස්සට තෙමුණ අය උමතු වෙනවා. විපතක් ඉදිරියේදී ඕනෑම කෙනෙක් උත්සාහ ගන්නෙ බේරෙන්නනේ. ඔවුන් ඒ උමතුසංවර්ෂාවට ගොදුරුව ක්‍රියා කළ විදිහ වර්තමාන අර්බුදකාරි සමස්ත ලෝකයටම ගලපගන්න පුළුවන්.

මේකෙ දෙන බුද්ධි චින්තාව තමයි අර්බුදකාරීම තත්ත්වයක ඒ අර්බුදයේ එක්තරා අවස්ථාවක් පාලනය කළ නොහැකි වෙනවා. එහෙම වුණාම අර්බුදයට නිසි සේ ගලා යන්නට ඉඩ දෙනවා. සොබා දහමේ තියෙනවා උපරි නීතිය කියලා එකක්. උපරි නීතියෙන් කරන්නෙ මේ තත්ත්වය උපරිමයට අරගෙන ඇවිත් අවසානයේ සමතුලනය කරනවා.

නව සාහිත්‍යකරුවන්ට තම නිර්මාණාත්මක ප්‍රශ්තුත සඳහා මේ අර්බුදකාරී සමාජය දිහා බලලා යම් යම් අපහැරණාත්මක සිතිවිලි ඒ කියන්නේ උපමා රූපක ආදියෙන් ඩැහැගත හැකි සිතිවිලි භාවිත කරන්න පුළුවන්.”

• ඔබ පැහැදිලි කළා වගේම යම් අර්බුදකාරී අවස්ථා සමාජය තුළ ඇති වී එම අර්බුදයට පසු සමය තුළ ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා මතු වූ බවට ඉතිහාසයේ උදාහරණ තිබෙනවා. අද අප සිටින මෙම සමාජ අර්බුදයත් පසු කාලීන නව සාහිත්‍ය ප්‍රවණතාවක පදනමක් වෙන්න පුළුවන් නේද?

“ඔව්. අපි ඒ කාලය නම් කළොත් පශ්චාත් කොරෝනා සමය කියලා, කොරෝනා සමය පදනම් කොටගෙන පශ්චාත් කොරෝනා සාහිත්‍යයක් නව ප්‍රවණතාවක් ලෙස මතු වෙන්න පුළුවන්. මිනිස්සුන්ගෙ චර්යාවන්, ආකල්ප, ජීවන ක්‍රමවල කලින් නොවුණ වෙනස්කමක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒවා අපට යහපත් ද අයහපත් ද කියනවාට වඩා ඒවා දෙස බැලීමෙන් තමයි අපට ගැඹුරු සාකච්ඡාවලට එන්න පුළුවන්කම ලැබෙන්නේ.

මිනිසුන්ගේ ප්‍රවේගය හැදෙන්නෙ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, ආකල්පය, ආකර්ෂණය වගේ දේවල් මත කියලා අපේ ස්වාභාවික දාර්ශනික චින්තාවක් අප තුළ තිබුණා. ඒක තාම එහෙමම තියෙන බව ඇත්ත. ඒත් ඒ සම්බන්ධයෙනුත් දැන් වෙනස්කම් වෙලා තියෙනවා. අද මේ සමාජ අර්බුදය හා වසංගතය තුළ ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය පවා අඩු වෙලා තියනවා. දැන් මේ ස්ත්‍රී පුරුෂ හෝමෝනවල ආකර්ෂණයට වඩා බලවත් වෙලා තියෙනවා ජීවිත ආශාව.
එදා අප සාහිත්‍යයේ කතා කළ සුලබ තේමා වෙනුවට සාහිත්‍යකරුවන්ට අනාගතයේ මේ වගේ නව තේමා ගැන කතා කරන්න සිදු වේවි.

තව දෙයක්. ප්‍රජාවක් හැටියට මිනිසුන් වසංගත අර්බුද හමුවේ එකිනෙකා මරණයට පත්වන විට මරණය පොදු සමාජය තුළ ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. තම හිතවන්තයකුගේ මරණයක් පිළිබඳ ඇසීම, දැකීම, විඳවීම තුළ මීට පෙර දැනුණු කම්පනය නොදැනෙන්න පුළුවන්. මිනිසා දෙස මිනිසා බලන දෘෂ්ටියේ දැඩි භාවාත්මක සසලවීම් නැති වී යන්න පුළුවන්. ඒ හේතුවෙන් මිනිසුන්ගේ සංවේදීතා අඩු වී යන්න පුළුවන්.

මෙන්න මේ ස්වභාවයන් ශිෂ්ටාචාරයේ තත්ත්ව වෙනස් කිරීමට බලපා තිබෙනවා. මේවා ඉදිරි කාලයේ සාහිත්‍යකරුවාට ප්‍රධාන තේමා සපයනු ඇතැයි සිතෙනවා. එය වෙනම ප්‍රවණතාවක් වේවි.”

• සංස්කෘතික පරිහානිය බරපතළ වීම ගැන බොහෝ දෙනා කතාවෙනවා. මේ තත්තවය පවත්නා සමාජයට ඇති කරන බලපෑම කොහොම වෙයි ද?

“රටක ආර්ථික පරිහානියට වඩා සංස්කෘතික පරිහානිය බරපතළ වෙන්න පුළුවන්. ආර්ථික ව්‍යසනය පෙන්වාදෙන ගමන් සංස්කෘතික පරිහානියක් පැහැදිලිව හඳුනාගත යුතුයි. පැහැදිලි සමාජ සංස්කෘතික පදනමක් නැතිව ආර්ථික පදනමක් හැදුණත් ඒක දිගුකාලීන නැහැ. පැරැණි සමාජයේ දරාගැනීමේ ශක්තිය ඉතා හොඳයි. තව කෙනකුගේ බරක් දරාගැනීමට ඔවුන් පෙනී සිටියා. අද සමාජයේ ඒ තත්ත්වය දකින්න නෑ. කොරෝනා අවදානමත් මිනිසුන් දුරස් කිරීමට බොහෝ බලපෑවා. ඒවා පොදුවේ සංස්කෘතික කාරණාවලට ආකල්ප වෙනස්කම්වලට බලපානවා. ඉදිරියේදී සාහිත්‍යකරුවා කළ යුත්තේ දුරස් වී ගිය මානව සබඳතා, ආකල්ප වර්ධනය කිරීමට උදව් දීමයි.”


මහාචාර්ය සාලිය කුලරත්න

සංවාද සටහන - ගාමිණි කන්දෙපොල



අදහස් (0)

වසංගත මැද්දේ අනාගත සාහිත්‍ය තේමාවලත් විප්ලවයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site