ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරු නිර්මාණයන් ඌව පළාතට සොබාදහමින්ම දායාද කර තිබේ. හපුතලේ ලිප්ටන් සීට් හෙවත් ලිප්ටන් අසුනද සොබාදහමේ එවැනි නිර්මාණයකි. කෙසේ නමුත් මෙම කඳුමුදුන දුටු ප‍්‍රථම විදේශිකයා වූයේ සුදු ජාතික වැවිලි කරුවෙකු වූ තෝමස් ලිප්ටන්ය.1890 දී අක්කර 925 ක් වූ දඹේතැන්න තේ වත්ත වෙනුවෙන් ඌව පළාතේ විශාලතම තේ කම්හල ඉදිකළ ඔහු මේ කඳුමුදුන වෙත පැමිණ විවේකී සුවයෙන් ගත කිරීමට පුරුදුව සිටි නිසා ඔහු අසුන්ගෙන සිටි ස්ථානයට ලිප්ටන් අසුන හෙවත් ලිප්ටන් සීට් නම ලැබී තිබේ. හපුතලේ සිට දඹේතැන්න මාර්ගයේ ගමන් කර දඹේතැන්න තේ වත්ත මැදින් ලිප්ටන් සීට් වෙත යා හැකිය. එක කඳුමුදුනක සිට ත‍්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, රත්නපුරය, මොනරාගල, හම්බන්තොට හා මාතර දිස්ත‍්‍රික්කයන්හි දසුන් සැතපුම් සියගණනක් දුරට දකින කල එය අපූරු සිත්තමක් වැනිය. දෙවිනුවර ප‍්‍රදීපාගාරයේ එළිය මෙන්ම ත‍්‍රිකුණාමලයේ හා කිරින්දේ ප‍්‍රදීපාගාර යන්හි එළියද දැකිය හැකි බව කියති. වරෙක මීදුමින් වැසීයන වටපිටාව වරෙක හිරුරැසින් දිදුලමින් ආලෝකමත් වන්නේය. මේ චමත්කාරය විඳින්නට එන විදේශිකයන්ගේ සංඛ්‍යාව අති විශාලය. මෙහි පැමිණ හෝරා කීපයක් ගත කිරීමටද ඔවුහු ප‍්‍රිය කරති. වරක් මෙම කඳුමුදුනේදී විදේශික යුවලක් තම විවාහය සිදුකළහ. ඒ සඳහා එළිමහනේ නිර්මාණය කළ පෝරු මස්තකයට ඔවුන් ආඩම්බරයෙන් ගොඩවූ අයුරු දක්නට මාගේ නෙත්ද පින්කර තිබිණ. බි‍්‍රතාන්‍ය ජාතික මනාලිය වූ ෂූ දේශීය උඩරට සම්ප‍්‍රදායේ මනාලියක් සේ හැඩ වී සිටියාය. මනාලයා වූයේ බි‍්‍රතාන්‍ය ජාතික ඇලෙක්ස්ය. ඔහු ජාතික ඇඳුමින් සැරසී සිටියේය. ඒ ශ්‍රී ලංකාවේ පළමුවැනි වරට කඳුමුදුනක එලිමහනේ පෝරු මස්තක වූ ප‍්‍රථම මනාල යුවල ලෙසින් ඔවුන් පසුගිය වසරේ ජනවාරි 12 වැනිදා ඉතිහාසයට එක්වූහ. මේ මනස්කාන්ත පරිසරයට ලෙන්ගතවූ කොරියන් ජාතික තරුණයෙකි 22 හැවිරිදි කිංයොන් වූ. ස්වේච්ඡා සේවයට ශ්‍රී ලංකාවට පැමිණ ඇති කණ්ඩායමේ එක් අයෙකු වන ඔහු බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයේ උපදේශකවරයෙක් වශයෙන් ස්වේච්ඡා සේවයේ නිරත විය. තරුණියන් වූ අනෙක් සිව්දෙනා මාතර රාහුල විද්‍යාලයේ හපුතලේ, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, බදුල්ල කාර්මික විද්‍යාලයේ හා අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ ස්වේච්ඡා සේවය කළහ. කිංයොන්ට ”ලිප්ටන් සීට්” පෙන්වා දී ඇත්තේ කාර්මික විද්‍යාලයේ සිසුන්ය. ඉන්පසු ඉඩ ලද හැම විවේකයකදීම වාගේ මෙම පියකරු පරිසරයේ ගත කරන්නට ඔහු පුරුදුවිය. සිංහල කතා කිරීමට ද හුරුවක් කාර්මික විද්‍යාලයේ සිසුන්ගෙන් ලබාසිටීම නිසා මග තොට හමුවූ අය සමග සිංහල බසෙන් කතාකිරීමට ද ඔහු ප‍්‍රිය කළේය. නිතර ලිප්ටන් සීට් පැමිණි නිසා එම ස්ථානයේ නැරඹුම් කුටියට නුදුරින් තාවකාලිකව පවත්වාගෙන යන කුඩා තේ කඬේ නඩරාජා ශංකර් ද මිතුරු විය. ඉකුත් 7 වැනිදා ඉරිදාවකි. ලද නිවාඩු දිනයේ මේ අපූරු පරිසරයේ හෝරා කීපයක් ගතකරමුයි කිංයොන් තම කොරියන් ස්වේච්ඡා කණ්ඩායමේ මිතුරියන් සිව්දෙනෙකුට ද ආරාධනා කළේය.ඒ අනුව බදුල්ල, හපුතලේ, මාතර, අම්පාර යන ප‍්‍රදේශවල ස්වේච්ඡා සේවයේ යෙදී සිටි එම තරුණියන් සිව්දෙනා ද හපුතලේට පැමිණියහ. හපුතලේ නගරයේ සිට ත‍්‍රිරෝද රථයකින් දඹේතැන්න වත්ත මැදින් ලිප්ටන් සීට් වෙත ඔවුන් පැමිණෙන විටත් අහස අඳුරුපැහැ ගැන්වී තිබිණ. කිංයොන් ප‍්‍රථමයෙන් කළේ තම මිතුරු ආපනශාලාකරුගෙන් රෝල්ස් මිලදීගෙන මිතුරියන්ට සංග‍්‍රහ කිරීමය. ”හරි ලස්සන තැන” තරුණියන් ද සිංහල බසින් කියනු ඇසින. මේ සුන්දරත්වය දකින්නට නොඉවසිලිමත්වූ ඔවුන් පොද වැස්ස පවා නොතකා සිරි නරඹන්නටත් ඡායාරූප ගන්නටත් උත්සුක වූහ. අඳුරු අහස මැදින් විදුලි කොටන්නට පටන් ගත්තේ මේ අවස්ථාවේය. වැස්ස ක‍්‍රමයෙන් නපුරුවිය. ගිමන් කුටිය දෙසින් විදුලි රේඛා එන බව දැනගත් ශංකර් කෑගසා සර් මගේ ළඟට එන්නැයි කීවත් මේ පිරිස එය ගණනකට ගත්තේ නැත. කිංයොන් විදුලි රේඛා තම කැමරාවේ සටහන් කර ගැනීමට කැමරාව අහස දෙසට එල්ල කළේය. ඔහු අසලම සිටි මාතර රාහුල විද්‍යාලයේ ස්වේච්ඡා සේවයේ නියුතු ජන්ග් මුන් (21) ජංගම දුරකථනයෙන් මේ රිදී රේඛා පිළිබඳව තවත් මිතුරියකට සජීවී ලෙස විස්තර කියන්නට පටන්ගත්තාය. අනෙක් මිතුරියෝ ද මේ පාරිසරික විපර්යාසයෙන් අන්ද මන්ද වී සිටියහ. එකවරම ගිනිගුලියක් අහසින් පහත්වූයේ එවිටය. එම ස්ථානයේ තිබූ ගසකට වැදුණු අකුණක් මොවුන් රැඳී සිටි ගිමන් කුටිය දෙසට ව්‍යාප්ත විය. මේ පරිසරකාමීන් පස්දෙනාම එක පොකුරට බිම වැටෙනු ශංකර් දුටුවේය. ශංකර්ද මේ හෙන හඬින් කම්පනයට පත්වූයේය. ශංකර් ආයාසයෙන් දෑස හැර ඊට නුදුරින් සිටි තම පියා ද සමග ගොස් බිම වැටී සිටි පස්දෙනාට ලංවිය. ඡායාරූප ගනිමින් සිටි කිංයෝන් හා ජන්ග්මුන් ඒ වනවිටත් මෙලොව හැර ගොස් තිබිණ. සිහිය තිබූ අනෙක් තිදෙනා ඔවුන් පැමිණ තිබූ තිරෝද රථයේම පටවා දියතලාව මූලික රෝහලට යැවීමට ද මොවුන් දෙදෙනා පියවර ගත්හ. ඒ නිසා ඔවුන් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරු සමත් වූහ. අතිශය ඛේදජනක මේ සිදුවීම සැලවූ සැනින් බණ්ඩාරවෙල පොලිස් අධිකාරි ජගත් චන්ද්‍රකුමාර හා සහකාර පොලිස් අධිකාරි බණ්ඩාරවෙල දිස්ත‍්‍රික් 1 ඒ.ජී.ඞී. වීරසේකර යන මහත්වරු හපුතලේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එහි පැමිණ මූලික විමර්ශන සිදුකර මියගිය දෙදෙනාගේ සිරුරු දියතලාව මූලික රෝහලට යවනු ලැබීය. හපුතලේ දී අකුණු සැර වැදී විදේශිකයෙකු මියයාමේ මුල්ම සිද්ධිය වාර්තා වන්නේ යටත් විජිත සමයේය. ඒ 1945 ජූනි මස 7 වැනිදාය. එවකට බදුල්ලේ උප ඒජන්තවරයා වූ බි‍්‍රතාන්‍ය ජාතික තෝමස් විලියම් රොජර්ස් රාජකාරි කටයුත්කට ගොස් එද්දී හපුතලේ තානායමට ගොස් මිතුරකු හමුවිය. ඒ වන විට වැස්ස පැවතිණ. වැස්ස තුරල් වන තුරු එහි සිටි විලියම් රොජර්ස් එළියට පැමිණ වැස්ස නතරවූවාදැයි බැලූවා පමණි. මහ අකුණක් පතිතවී ඔහු ඊට බිලිවිය. රොජර්ස් දඩයම විනෝදාංශයක් කරගෙන සිටි අයෙකු බවත් වල් අලි ඝාතනය කිරීමට ඔහු රුසියෙකු බවත් කියති. ඔහු විසින් ඝාතනය කරන ලද වල් අලි සංඛ්‍යාව 1400 ක් බවද සඳහන් වේ. ඔහුට මේ හෙණ වැදුණේ අලි ඝාතනයේ පාපකර්මය නිසා යැයි තවමත් විශ්වාස කෙරේ. කෙසේ නමුත් හපුතලේ අකුණු ඉතිහාසයේ නවතම බිලි වූ කිංයෝන් සහ ජන්ග්මුන් ශෝකජනක ඉතිහාසයට එක්වන්නේ චමත්කාරයට ඇලූම්කර අවධානම පවා නොතකා නපුරු විදුලි රේඛාවක් සොඳුරු මතකයක් බවට පත්කරන්න උත්සාහ කිරීමේදී අකුණු සැර විසින් උදුරා ගත් දඟකාර තරුණයෙක් හා තරුණියක් ලෙසිනි. එය අතිශය ශෝ බර මතකයකි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදුලි රේඛා ඡායාරූපයට නගද්දී අකුණුවැදී මියගිය කොරියානු යුවළ
අනු Tuesday, 16 October 2012 01:11 PM
ජිවිතය හරිම පුදුමයි . (ස)
සංජය Tuesday, 16 October 2012 03:09 PM
ලස්සන තැනක් (ස)
සන්ජීව Tuesday, 16 October 2012 03:11 PM
හරිම ලස්සන තැනක් (ස)
මධුශංඛ Wednesday, 17 October 2012 01:32 AM
සියලු දේම නැසෙන සුලුයි. (නි)
අමිල Wednesday, 17 October 2012 10:45 PM
කණගාටුයි! (නි)
ලකී Thursday, 18 October 2012 02:10 AM
ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ. ඒක හරියට තේරුම් ගත්ත කෙනෙකුත් නැහැ. (නි)
මහේෂ් Saturday, 20 October 2012 02:51 PM
අනේ පව් නේද ? ජීවිතේ කියන්නේ ඔහොම තමයි (ස)
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 05:25 PM
තරුණ වයසට මේ වගේ මොඩකම් කරනවා..!(නු)
ඉලුක්පිටියේ පඤාසේකර Sunday, 21 October 2012 01:37 PM
මෙතන විදුලි සැර පොලොවට යවන සන්නායකයක් නැති බවයි පේන්නේ.(නදී)
සුපුන් Tuesday, 16 April 2013 11:35 AM
ඉතාම කණගාටුදායක සිද්ධියක් (නි)