X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


සප්තකන්‍යා ගුවන් අනතුරේ කළු පෙට්ටිය සොයා ගිය ගමන


 

කන්දේ හැපුණේ මෙවැනි ගුවන් යානයකි

 


 

ඡායාරූපය -  ජයමාල් චන්ද්‍රසිරි

ඩෙන්මාර්කයේ මාටින් එයාර් ගුවන් සමාගමට අයත් මාටිනෙයාර් 138 DC 8 ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඬා ගුවන් සමාගමේ සේවයට යොදවා තිබිණි. දිනය 1974 දෙසැම්බර් 4දාය. එම යානාවට එදින ගමන් වාරයක් යෙදී තිබුණේ හජ්ජි වන්දනාවේ යන ඉස්ලාම් භක්තිකයන් 182 දෙනකු සමග සවුදි අරාබියේ ජෙඩා නගරය දක්වාය. කාර්යමණ්ඩලය 9 දෙනෙකුගෙන්ද සමග යානය තුළ 191 දෙනෙක් ගමන් කළහ. මෙම ගමන් වාරයේ අතරමැදි නැවතුමක් වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළය.

මස්කෙළිය ප‍්‍රදේශයේ සප්ත කන්‍යා කඳුපාමුල පිහිටි ගම්මානවල වැසියෝ තවත් සුපුරුදු දිනයක් නිමාකොට නින්දට ගියහ. වැඩි වේලාවක් නිදන්නට ඔවුනට නොහැකි විය. අවට පරිසරයම දෙදෙරවමින් නැගුණු මහා හඬකින් ඔවුන් අවදි කරනු ලැබිණි. වසා තිබූ දොරගුළු හැරගෙන මිදුලට බට ඔවුනට දැකගන්නට ලැබුණේ ගිනිගෙන දැවෙන සප්ත කන්‍යා කඳුවැටියයි. සිදුවී ඇත්තේ කුමක්දැයි නොදැන අන්ද මන්ද වූ ඔවුනට මහා පිපිරීම් හඬවල් සමග තවත් ගිනි ජාලා දැකගත හැකි වූයේය.

ඉන්දුනිසියාවේ සිට ජෙඩා නගරය බලා ගමන් කළ DC 8 ගුවන් යානය සුන්බුන් ගොඩක් ලෙස සප්ත කන්‍යා කඳුවැටියේ දැවෙමින් තිබිණි. ජෙඩා නගරය දක්වා ගමන් කළ ගුවන් යානයේ අවසන් නැවතුම වූයේ සප්ත කන්‍යා කඳුවැටිය ආශ‍්‍රිත වනාන්තරයයි.

කලබල වූ ගැමියෝ වහා කන්ද දෙසට යන්නට වූහ. දැඩි අඳුර මෙන්ම දැඩි උණුසුමක්ද ඔවුන්ට දැනිණි. වටින් ගොඩින් එලිය වැටෙනවිට ඔවුහු කඳු පාමුල තෙබර්ටන් වතුයාය ඔස්සේ අනතුර සිදුවූ දිසාවට ළඟාවූහ. හිමිදිරි උදෑසනම ඔවුනට දැකගත හැකි වූයේ ගත ගිරිගඬු පිපෙන දසුනකි. මිනිස් අත් පා සිරුරු කොටස් රූස්ස ගස් මුදුන්වල එල්ලෙමින් තිබිණි. ගුවන් යානයේ දැවුණු කොටස්ද දස අත විසිර තිබූ අතර අනතුරින් ඇතිවූ ගින්නෙන් වනාන්තරයේ අක්කර දහයක පමණ ප‍්‍රමාණයක්ද දැවී තිබිණි.

සප්තකන්‍යා කඳුවැටිය අඩි 5143ක් පමණ උසැතිය. ගුවන් යානය ගැටී තිබුණේ එහි අඩි 1000 පමණ උසකින් පිහිටි ගල්කුලකය. ගැමියන් එම ගල්කුළ නම් කොට තිබුණේ උඩලක්ෂපාන කන්ද ලෙසිනි.

දහවල් වනවිට පොලිසියත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාත් අනතුර සිදුවූ දෙසට පැමිණියහ. ගැමියෝ වනාන්තරය එලිකරමින් කඳු මුදුනට ළඟාවීමට මාවත් තනමින් සිටියහ. අනතුරින් දිවි ගළවා ගත් අය සිටී නම් ඔවුන් ගළවා ගැනීමේ අරමුණින් ගුවන් භටයන් හෙලිකොප්ටර් මගින් අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීමට උත්සාහ කළද අවට තිබූ දැඩි උණුසුම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වූයේය.

 

 


 

කඳු මුදුනේ සිට පාමුල දක්වා වූයේ දැඩි බෑවුමකි. එහෙයින් හෙලිකොප්ටර් යානාවලට එම ප‍්‍රදේශයට ළඟාවීම අසීරු කාර්යයක් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාව කඳවුරේ ජීවිතාරක්ෂක අංශයේ සුනිල් වීරසිංහ මහතා ප‍්‍රධාන ගුවන් භට කණ්ඩායමක් පස්වරු 2.30 පමණ වනවිට පර්වතය මුදුනට ළඟාවන්නට සමත් විය.
 

ගුවන් යානයෙන් සොයාගත් එක් රෝදයක්
 
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි

කඳු මුදුනේ වූ ඇතැම් මළ සිරුරු කොටස් හා මගී බඩු බාහිරාදිය කොටස් එකතු කරගත් ඔවුහු නැවත පහළට පැමිණියහ.

ගුවන් අනතුර පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුවී තිබිණි. අනතුර සිදුවූයේ කෙසේදැයි යන්න සෙවීමට  ඕලන්ද රහස් පොලිසිය ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය හා එක්ව පරීක්ෂණ ආරම්භ කළෝය. ඔවුන්ට නිරාකරණය කරගැනීමට අවශ්‍ය වූයේ මෙම අනතුර සිදුවූයේ ගුවන් නියමුවාගේ වරදකින්ද නැතිනම් යාන්ත‍්‍රික දෝෂයකින්ද යන්නයි. මේ පිළිබඳ නිල පරීක්ෂණ පැවැත්වුණේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ගුවන් යාන්ත‍්‍රික පරීක්ෂක ඞී.ජේ. රෝසා මහතාගේද ප‍්‍රධානත්වයෙනි.

ගුවන් යානයක  Black Box හෙවත් කළු පෙට්ටිය යනුවෙන් හඳුන්වන කොටස ඉතා වැදගත් උපකරණයක් ලෙස සැලකෙන්නකි. එහි විශේෂත්වය වන්නේ කිසියම් අනතුරක් සිදුවූ විට කළුපෙට්ටියේ ඇති හඬ පටියෙන් ගුවන් යානයේ සිදුවූ කතාබහ සියල්ල විමසා බලා අනතුරට හේතුව සොයාගත හැකිවීමයි. කළු පෙට්ටිය ලෙසින් හැඳින්වුවත් එය කළුපැහැති පෙට්ටියක් නොවේ. තනි තැඹිලි පැහැයෙන් යුතු එය අඟල් 10ක් පමණ දිගැති අඟල් 5ක් පමණ පළලැති කුඩා පෙට්ටියකි. එහි මුහුණත මත  Flight Data Recorder යනුවෙන් සඳහන් වෙයි. මේ තුළ ඇති ඇලූමීනියම් පටයක් මත ගුවන් නියමුවන්ගේ සියලූ සංවාද හා ඔවුන් ගුවන් පාලක මැදිරි සමග හුවමාරු කර ගත් සංවාද පටිගත වෙයි. රස පරීක්‍ෂකවරුන්ගේ ප‍්‍රධානතම අවශ්‍යතාව වූයේ මෙම කළු පෙට්ටිය සොයා ගැනීමයි. ගුවන් හමුදාවත් පොලිසියත් එය සොයාගැනීමට උත්සාහ කළද සියලූ උත්සාහයන් අසාර්ථක විය. කළු පෙට්ටිය යනු කුමක්දැයි දැන සිටියේ ඉතා අල්ප පිරිසක් පමණක් වීම ඊට හේතු විය.

ලූතිනන් විපුල් ස්වීන්ද්‍ර බොතේජු (දැන් බි‍්‍රගේඩියර්) එවක පළමුවන ගැමුණු හේවා බළකායේ නිලධාරියෙකු විය. දියතලාව හමුදා කඳවුරේ සිටි ඔහු 74 වසරේ අනුරාධපුර හමුදා කඳවුරට අනුයුක්ත කරනු ලැබුවේ පොලිස් නිලධාරීන්ට වනාන්තර සටන් පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහාය.

දිනක් දියතලාව හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වූ කර්නල් තම්බිරාජාගෙන් ඔහුට ඇමතුමක් ලැබුණි. ඒ විශේෂ මෙහෙයුමක් සඳහා නැවත දියතලාව හමුදා කඳවුරට වාර්තා කරන ලෙසිනි.

දෙසැම්බර් 7 දින ඔහු දියතලාව කඳවුරට පැමිණියේය.

කර්නල් තම්බිරාජා විසින් කළ යුතු මෙහෙයුම පිළිබඳව පැහැදිලි කළේය. අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගැනීමට මෙතෙක් නොහැකි වී ඇතිබවත් සෙබළ කණ්ඩායමක් සමග මස්කෙළිය ප‍්‍රදේශයට ගොස් කළුපෙට්ටිය සොයා ගැනීමට සහාය වන ලෙසත් අණදෙන නිලධාරියා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

මේජර් ලක්ෂ්මන් අල්ගමගේ මෙහෙයුම යටතේ කර්නල් තම්බිරාජා, ලූතිනන් සාලිය උඩුගම සහ ලූතිනන් විපුල් බොතේජු එම කණ්ඩායමේ නිලධාරීන් වූ අතර සියයකට ආසන්න හමුදා භට පිරිසක් මෙහෙයුමට එක්වූහ. දෙසැම්බර් 8 දින ඔවුහු මස්කෙළියට ළඟා වූහ. එහි එන අතරමග අපූරු දසුනක් ඔවුන්ගේ නෙත ගැටුණේය. ”ගුවන් අනතුර වූ ස්ථානයට” යනුවෙන් නාම පුවරු දැමූ ලංගම බස් රථ විශාල ප‍්‍රමාණයක් මස්කෙළිය ප‍්‍රදේශයට පැමිණෙමින් තිබුණි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් චාරිකාවන් සූදානම් කරගෙන ගුවන් අනතුර නරඹන්නට මහත් ජනකායක් ඇදී ආහ.

එදින පස්වරුවේ අවට ප‍්‍රදේශ නිරීක්ෂණය කළ ලූතිනන් විපුල් බොතේජුට අනතුර සිදුවූ ස්ථානයට අඩි 200 පමණ පහළින්, කන්දේ සිට මීටර් 25ක් 30ක් පමණ ඉදිරියට නෙරා තිබූ කඳුගැටයක් දැකගත හැකි විය. ගුවන් යානයෙන් කැඞී බිඳී විසුරුණු සුන්බුන්වලින් වැඩි ප‍්‍රමාණයක් මෙම කඳුගැටය මත පතිත වන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. මෙහෙයුම ඇරඹිය යුත්තේ එතැනින් බවද ඔහු නිගමනය කළේය.

ඒ වනවිට කඳු මුදුනට මංමාවත් තනාගත් මිනිස්සු කඳු මුදුනේ රැඳී තිබූ ගුවන් යානයේ සුන්බුන්වලින් ඇලූමීනියම් තහඩු ඉවත් කරමින් සිටියහ. අනතුරට පත් ගුවන් යානයේ කොටස්වලින් කීයක් හෝ හම්බකර ගැනීම ඔවුන්ගේ අරමුණවී තිබිණි. තහඩු කපා ගන්නා විට ගිලිහෙන කැබලි නෙරා තිබූ කඳුවැටිය මතට ගිලිහෙනු ඔහු දුටුවේය. එහෙයින් කඳුගැටය මතට යාම අනතුරුදායක මෙන්ම ජීවිත හානි පවා සිදුවිය හැකි බව ලූතිනන්වරයාට පැහැදිලි විය.
විදෙස් රටවල නම් මෙවන් අනතුරක් සිදුවූ විට එකී ප‍්‍රදේශ මහජනයාට තහනම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට අනතුරින් දිවි ගලවා ගත් අය පිළිබඳව සොයා බැලීමට කටයුතු කිරීම සාමාන්‍ය සිරිතය. එහෙත් මින් ඉහත මෙවැනි දරුණු අනතුරු පිළිබඳ අත්දැකීම් නොමැති වීම නිසා පොලිසිය මිනිසුන් ඉවත්කිරීමට පියවර ගෙන තිබුණේ නැත.

එවක යුද හමුදාපතිවරයා වුයේ ජනරාල් සේපාල ආටිගලය. සිදුවී ඇති අනතුර නිරීක්ෂණය කරන්නට ඔහුද පැමිණියේය. කළුපෙට්ටිය සොයා ගැනීමට ඇති අසීරුතා පිළිබඳව ඔහු ලූතිනන් විපුල් බොතේජුගෙන් විමසා සිටියේය. තමා මුහුණ පා සිටින ගැටලූව පිළිබඳව ලූතිනන්වරයා ජනරාල්වරායට පැහැදිලි කළේය. වහා මෙම ප‍්‍රදේශයෙන් ජනයා ඉවත් කරන ලෙසත් මෙම ප‍්‍රදේශය සිවිල් ජනතාවට තහනම් කලාපයක් ලෙස නම් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ඒ මොහොතේම මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කැඳවූ ජනරාල් ආටිගල පොලිසිය ලවා කඳුමුදුනේ සිටින සියලූම ජනතාව ඉවත් කරන ලෙස ඔහුට දැනුම් දුන්නේය. සප්ත කන්‍යා ප‍්‍රදේශය එදින රාත‍්‍රියේ සිට සිවිල් ජනතාවට තහනම් ප‍්‍රදේශයක් බවත් එම ප‍්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති බවත් ගුවන් විදුලිය මගින් ප‍්‍රචාරය කෙරිණි.

පසුදින උදෑසනම ලූතිනන් විපුල් බොතේජු ඇතුළු යුද හමුදා භට පිරිස් කඳුගැටයට ළඟා විය හැකි මගක් පිළිබඳව සොයන්නට වූහ. කන්ද මුදුනට නැග කඹ මගින් පහළට බැසිය යුතු යැයි ඔවුහු තීරණය කළහ. එවක අද මෙන් කඳු නගින්නන් සඳහා අවශ්‍ය මෙවලම් තිබුණේ නැත.

කඳු මුදුනේ සිට කඳුගැටය දක්වා වූයේ දැඩි බෑවුමකි. කඹයක එල්ලී පහළට බැසීම පහසු කාර්යයක් නොවූයේ පාද තැබීමට හෝ කඹය හැර අල්ලා ගැනීමට කිසිවක් එහි නොවූ බැවිනි. කඳු මුදුනේ සිට එක එල්ලේම අඩි දෙසීයක් පමණ පහළට බැසීම අසීරු කටයුත්තක් මෙන්ම අවදානම් සහිත ක‍්‍රියාවක්ද වූයේය. එහෙයින් ඔවුනට එම අදහස අත්හැර දමන්නට සිදුවිය.

අසල ගමකින් කැලෑව පිළිබඳව දන්නා ගැමියෙකු සොයාගත් ලූතිනන්වරයා කඳු ගැටයට ළඟාවිය හැකි වෙනත් මගක් ඇත්දැයි ඔහුගෙන් විමසීය. එවන් මගක් ඇති බවත් එය ඉතා අසීරු කටුක ගමන් මාර්ගයක් බවත් ගැමියා පැවසීය. කොතරම් අසීරු වුවද එම මග දිගේ කඳු තරණය කළ යුතු බව පැවැසූ ලූතිනන්වරයා ගැමියාද පෙරටු කරගෙන සිය කණ්ඩායම සමග ගමන් ඇරඹුවේය. විශාල කටු පඳුරු, බට පඳුරු, වැල්ගොමු එලිපෙහෙලිකරමින් කන්ද තරණය කරන්නට ඔවුන්ට සිදුවිය. විටෙක ගස් අතුවල එල්ලී වඳුරන් මෙන් ඉහළට නැගුණු ඔවුන් විටෙක බඩගාමින් හෙල දිගේ ඉහළට නැගුණි. අවට පැතිර තිබුණේ දරුණු දුගඳකි. දින ගණනාවක් ගත වී තිබූ බැවින් මළ සිරුරු කොටස් නරක්වීමට පටන්ගෙන තිබිණි. බඩගාමින් බෑවුම නගිද්දී ලූතිනන්වරයාගේ අතක් පස්ගොඩක් තුළ එරී ගියේය. ඒ සමගම ඇලෙන සුළු ගතියක් හා තෙතමනයක් අතට දැනුනු අතර දරුණු දුර්ගන්ධයක් හමා ගියේය. ලූතිනන්වරයාගේ අත එරී තිබුණේ මළ සිරුරක් තුළය. ඔහුට මහත් අපුලක් දැනුණේය. එහෙත් කළ හැකි දෙයක් නොමැත.අසල වැවී තිබූ වැල්ගොන්නකින් අත පිසදා ගත්තද දුර්ගන්ධය මකාදැමිය නොහැකි විය. පැය තුනක පමණ දුෂ්කර ගමනකින් පසු සුන්බුන් පිරී තිබුණු කඳුගැටිය මතට ළඟා වන්නට පිරිසට හැකි විය. සියොළඟ දහදියෙන් නැහැවී තිබිණි. දැඩි වෙහෙස නිවෙනතෙක් මොහොතක් විඩා හළ පිරිස් තමන්ගේ මෙහෙයුම හෙවත් කළුපෙට්ටිය සෙවීමේ නිරත වූහ.යුද හමුදා සේවයට එක්වුවද ලූතිනන් බොතේජුගේ විනෝදාංශයක් වූයේ ගුවන් යානා පිළිබඳ හැදෑරීමය. විවිධ සඟරාවල, පුවත්පත්වල ගුවන් යානා පිළිබඳ ලියැවුණු ලිපි ඔහු කියෙව්වේය.

කළුපෙට්ටිය කුමන ආකාරයේ වස්තුවක්ද යන්නත් ගුවන් යානයක එය තැන්පත්ව ඇත්තේ කුමන ස්ථානයකද යන්නත් ඔහු දැන සිටියේය. ඉතා ඉවසිල්ලෙන් සුන්බුන් පීරමින් තමන්ට අවශ්‍ය උපකරණය සොයන්නට විය. ඇලූමීනියම් තහඩු කොටස් ඉවත් කරමින් බොහෝ වේලා සොයා බලනවිට ගුවන් යානයේ වැසිකිළිය පිහිටා තිබූ කොටස හමුවිය. කළුපෙට්ටිය ඇත්තේ මෙම කුටියට ඉහළින් බව දැන සිටි ඔහු දැවුණු කොටස් කැබැල්ලෙන් කැබැල්ල පිරික්සන්නට විය. ඇලූමීනියම් කොටස් ඇතුළේ තැඹිලි පැහැති තහඩු කොටසක් මතුවිණි. ඒ මත GHT - ATA- REC යන අකුරු කීපයක් දැකිය හැකිවිය.

ඔහුගේ මුවට සිනහවක් නැගිණි. ආකිමිඞීස් මෙන් යුරේකා යුරේකා යැයි කියමින් දිව යන්නට සිතිණි. තහඩුව මත වූ අක්ෂරවලින් කියැවුණේ FLIGHT DATA
RECORDER යන්නයි. එනම් කළුපෙට්ටියයි. ඒ මොහොතේම අත තිබූ ගුවන් විදුලි පණිවුඩ යන්ත‍්‍රයෙන් සිය අණදෙන නිලධාරියා ඇමතු ලූතිනන්වරයා තමන් කළුපෙට්ටිය සොයාගත් බව ඔහුට දැන්වීය. කිසිදු ගුවන් අනතුරකින් කළුපෙට්ටිය විනාශ නොවන බවට ගුවන් යානා ඉන්ජිනේරුවරුන් ප‍්‍රකාශ කොට තිබුණද DC 8 ගුවන් යානයේ කළු පෙට්ටිය කැබලි වී තිබුණි. ලූතිනන්වරයාට හමුවූයේ එහි කොටසක් පමණි.

සවස තුන පමණ වන විට පිරිස නැවත කඳු පාමුලට එන්නට සූදානම් වූහ. එහෙත් කඳු මුදුනට ළඟා වූ මග ඔස්සේ නැවත බැසිය නොහැකි වූයේ බෑවුම හේතුවෙන් පහළට ලිස්සා යාහැකි නිසාවෙන් හා ඉහළින් ඇති ගල් පහළට කඩා වැටී අනතුරු සිදුවීමට ඉඩ තිබූ නිසාවෙනි. එහෙයින් පහළට බැසීමට වෙනත් මගක් තනාගත යුතු විය. මදින් මද පහළට බසිනවිට දිය සිඳී ගල්කුළු පෑදුනු දිය පහරක් ඔවුනට හමුවිය. එම වියැලූණු දිය පහර ඔස්සේ කඳු පාමුලට ළඟාවිය හැකි විය.

කඳු මුදුනට පිවිසි හමුදා භට පිරිස් සිහිවටනයක් ලෙස තබා ගැනීම සඳහා කඳවුරට ගෙනයාහැකි කිසිවක් පිළිබඳව විමසිලිමත් වූහ. ඔවුන්ගේ නෙත ගැටුණේ ගුවන් යානයෙන් ගැලවී ගිය එන්ජිමකි. අවට වනයෙන් ගස් කඳන් කීපයක් කපාගත් ඔවුන් එම පොලූ ආධාරයෙන් එන්ජිම කඳු පාමුලට ගෙන එන්නට සමත් වූහ. තවත් පිරිසක් යානයේ ඉදිරිපස රෝද යුගලය කරගසා ගත්හ. ටොන් ගණනක් බරැුති මෙම යන්ත‍්‍ර කොටස් මහත් දුෂ්කර මගක් ඔස්සේ ගෙන එන්නට තරම් මේ භට පිරිස ධෛර්යසම්පන්න වූහ. විටෙක උරමතින්ද බැවුම් සහිත භුමියේ පෙරළමින්ද කඳු පාමුල කරා ගෙන ආහ.


මතු සම්බන්ධයි


 


 



අදහස් (0)

සප්තකන්‍යා ගුවන් අනතුරේ කළු පෙට්ටිය සොයා ගිය ගමන

දිලාන් Thursday, 20 February 2014 12:46 AM

මීළඟ කොටස බලාපොරොත්තු වෙමි (අ)

:       0       0

රංග Thursday, 20 February 2014 11:14 AM

කතා ඔක්කොම " මතු සම්බන්ධයි" තවමනම් කිසිම කතාවක දෙවෙනි කොටස අවේ නෑනේ (අ)

:       0       0

දයා අලහකෝන් Thursday, 20 February 2014 11:36 AM

පිනතූර ඇත්නම් පළ කරන්න (අ)

:       0       0

ප්‍රියා Thursday, 20 February 2014 03:06 PM

වටිනා ලිපියක් ....(දී)

:       0       0

ප්‍රියා Thursday, 20 February 2014 03:08 PM

කළු පෙට්ටියෙන් ලැබුණු තොරතුරු දැනගන්න කැමති.....(දී)

:       0       0

රොහාන් Thursday, 20 February 2014 03:33 PM

යානය හැපුන නිවැරදි ස්ථානය විය යුත්තේ ඊතලයෙන් පෙන්වා ඇති තැනට සමාන්තරව වම්පසින් පෙනෙන කඳු කොටසෙහි බව සඳහන් කොට ඉදිරි ලිපිපෙළ පලවනතෙක් බලාසිටිමි.සප්තකන්යා කඳුවැටිය උදේ හවා නෙතගටෙන මස්කෙළිය පාරේ පතන ගමේ අපට මේ මෑතක් වනතුරු අනතුර සිදු උන සලකුණ දකින්න තිබුන.ලිපිපෙලට ස්තුති.(දී)

:       0       0

චන්දිමා Thursday, 20 February 2014 11:55 PM

ඉතිරි ලිපියත් බලාපොරොත්තු වෙමි. ලිපි පළකළාට ස්තුතියි (අ)

:       0       0

නිශාන්ත Sunday, 23 February 2014 01:03 AM

ලිපිය සම්පුර්ණ බලාපොරොත්තු වෙමි (දී)

:       0       0

සංජීව Monday, 24 February 2014 12:05 PM

ප්ලේන් අනතුර වෙලා මේ දෙසැම්බර් වලට වසර 40. අප හිතාගෙන ඉන්නේ උඩට නගින්න (අ)

:       0       0

නදීෂා Thursday, 27 February 2014 02:27 PM

කළු පෙට්ටියේ විස්තර දැන ගන්න කැමති ඉක්මනට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site