X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


හඬ පටයේ හුට පටය

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ප්‍රසිද්ධියට පත්වීමේ සිද්ධියත් සමඟ දේශපාලන ක්‍ෂේත්‍රය පමණක් නොව අනෙකුත් අංශ ද උඩු යටිකුරු කර තිබේ. රන්ජන් රාමනායක රටේ දේශපාලනඥයන්, නීතිය සාමය සුරක්‍ෂිතකරන අංශ, නීතිය පසඳලීමේ ආයතන ඇතුළු අංශ මේ වනවිට විවිධ මට්ටමින් අපහසුතාවයන්ට ලක්වෙමින් තිබේ. මන්ත්‍රීවරයාගේ හඬපට මුලදී පොලිස් භාරයට ගැණුන ද ඇතැම් හඬපට මේ වනවිට මාධ්‍ය ආයතනවලට සිවිල් සංවිධානවලට හා තවත් පාර්ශ්ව ගණනාවකට ලැබී ඇත්තේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුව තිබේ.

එහෙත් ඒ ප්‍රශ්නයට වඩා බොහෝ පාර්ශ්ව දැඩි කැමැත්තක් දක්වන්නේ හඬපටවල ඇතැම් කොටස් ශ්‍රවණය කිරීමටය. එසේත් නැතිනම් විවේචනය කිරීමටය. රන්ජන් රාමනායකගේ මන්ත්‍රී නිල නිවසෙහි තිබී පොලිස්භාරයට ගත් එම හඬපටවල දුරකතන සංවාද එක්ලක්‍ෂ ගණනාවක් තිබෙන බවට ද ආරංචි පැතිර යමින් තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය රන්ජන් රාමනායක සම්බන්ධයෙන් නොනිල මට්ටමින් තීන්දු කීපයක් ගෙන තිබේ. එජාපයේ සමහර දේශපාලනඥයෝ මන්ත්‍රීවරයා සමඟ දුරකතන කතාබහ වැළැකීමෙන් පමණක් නොව මුහුණට මුහණ හමුවී කතා නොකිරීමට ද තීන්දුකර සිටිති. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ මීළඟ මහාමැතිවරණයට රන්ජන්ට නාමයෝජනා නොදෙන ලෙසය. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් පසුව අලුයම දෙකට පමණ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස රන්ජන් රාමනායක හමුවීම සඳහා නුගේගොඩ පිහිටි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට ගියේය. එහි ගිය විපක්‍ෂ නායකවරයා රන්ජන් දැඩි දෝෂදර්ශනයට ලක්කරමින් දුරකතන සංවාද පටිගත කිරීම පිළිබඳව ද දැඩි අප්‍රසාදය පළ කළේය. පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම සජිත් ප්‍රේමදාස රන්ජන් රාමනායකට බැණ වැදුණේය. රන්ජන් කිසිවක් කීවේ නැත. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රන්ජන්ට එරෙහිව කටයුතු කරන ලෙස ඉතා දැඩිව සිය නායකයන්ට කරුණු ඉදිරිපත් කරන බවය. මීට අමතරව සිවිල් සංවිධාන, භික්ෂූන් වහන්සේලා මෙන්ම තවත් පාර්ශ්ව රැසක් එම හඬපට පිළිබඳව විවිධ අදහස් පළකිරීමට පටන්ගෙන ඇත. මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇත්තේ රන්ජන්ගේ හඬපට පිළිබඳව කිසිදු අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමටය. ‘මේක බරපතළ අවුලක්. එක්සත් ජාතික පක්‍ෂයත් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ආණ්ඩුව මේක උඩදාගෙන ගෙනයනවා. මහඡන්දෙදි හොඳට මාර්කට් කරාවි. ඒ නිසා රන්ජන් රාමනායක ගැන පරෙස්සම් වෙන එක හොඳයි’ යැයි එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පවසා තිබේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධවීම නතර කිරීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි මහාමැතිවරණයේදී තනිව තරග කළ යුතුය යන ස්ථාවරයේ හිටපු ජනාධිපතිනිය සිටින අතර ඊට ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙකු එකඟ නැත. මේ අතර ඉකුත් බදාදා පෙරවරුවේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කොළඹට කැඳවනු ලැබ සිටියහ. එහි මූලාසනය ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංගය. ආසන සංවිධායකවරුන් පෙරවරු 9 පමණ සිට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණියේය. හිටපු ජනාධිපතිනිය එහි පැමිණ සිටි නමුත් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හෝ මහලේකම් දයාසිරි ජයසේකර හෝ පැමිණ සිටියේ නැත. මේ අතර ඇතැම් ආසන සංවිධායකවරුන් හිටපු ජනාධිපතිනියට ගරුසරු දක්වා කතාබහ කළහ. තවත් පිරිසක් කිසිදු තැකීමක් කළේ නැත. විරෝධය දැක්වූ පිරිසේ ප්‍රධානත්වය ගත්තේ එකල චන්ද්‍රිකා සමඟ ඉතාම සමීප කටයුතු කළ ශ්‍රීලනිප ඉදිරිපෙළ ආසන සංවිධායකවරුය. ‘චන්ද්‍රිකා එජාප වේදිකාවට නැග්ගා. එතුමිය දැන් ඉන්නේ එජාපයේද එහෙමත් නැත්නම් ශ්‍රීලනිපයේද කියලා අපි දන්නේ නැහැ. පක්‍ෂය නැත්තටම නැතිවුණා. දැන් ඉතිරි ටිකත් නැතිකරන්න හදනවා. අපි චන්ද්‍රිකාට විරෝධය දක්වමු’ යැයි හිටපු නියෝජ්‍ය ඇමැති චන්දන කත්‍රිආරච්චි යෝජනා කළේය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමයේ ඇයට සමීපතම දේශපාලනඥයකුව සිටි චන්දන එසේ යෝජනා කරද්දී අක්මීමන ආසන සංවිධායකවරයා වැට පැන්නේය. අක්මීමන ආසන සංවිධායක නැගිට චන්ද්‍රිකාට බැණ වැදුණේය. තවත් කිහිප දෙනෙක් ඔහුට අගුල්පත් තිබ්බෝය. චන්දන කත්‍රිආරච්චි ඔහු අසල සිට කරුණු මතක්කර දුන්නේය. චන්ද්‍රිකාට හෝ ඔහුගේ පාර්ශ්වයට හෝ පිළිතුරු බඳින්නට අවස්ථාවක් හිමිවූයේ නැත. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්‍ෂකයන් හා ඇයට හිතවාදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙක් පැමිණ විරෝධතා දැක්වූ පිරිස නතර කිරීමට උත්සාහ කළහ. එහෙත් චන්දන කත්‍රිආරච්චි මැදිහත් වී එම පිරිස ද වළක්වා චන්ද්‍රිකාට තව තවත් දොස් කියන්නට අවස්ථාව සලසා දුන්නේය.

අවසානයේ හිටපු ජනාධිපතිනිය නැගිට ගියාය. රැස්වීම පැවැත්වූයේ නැත. ‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කළොත් එක ආසනයක් දිනන්න පුළුවන්ද ? බැහැ. මේක තවත් දේශපාලන උප්පරවැට්ටියක්. අපි අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සන්ධානගත වෙලා ඡන්දෙට යන්න ඕනේ. දැනටම පක්‍ෂ දෙකේ නායකයෝ එකඟතාවයකට පත්වෙලා තියෙනවා. හැම මැතිවරණ දිස්ත්‍රික්කයකටම ශ්‍රීලනිපයට කෝටාවක් දෙන්න පොදුජන පෙරමුණ එකඟ වෙලා. කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා දෙන කොට ශ්‍රීලනිපයේ හතර දෙනෙකුට නාමයෝජනා ලැබෙනවා. අනෙක් දිස්ත්‍රික්කවල පවතින ඡන්ද සංඛ්‍යාව අනුව ශ්‍රීලනිපයට දෙන කෝටාව තීරණය වෙනවා’ යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් කීය.

මේ අතර ඉකුත් බදාදා පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ  121 වැනි ඡන්ම දිනය යෙදී තිබිණ. ඒ සඳහා උපහාර උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධානය කර තිබුණේය. කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිට දී එම සැමරුම පැවැත් වූ නමුත් නියමිත වේලාවට පෙර එම ස්ථානයට පැමිණි හිටපු ජනාධිපතිනිය සහ ඇයගේ වැඩිමහල් සොයුරිය සුනේත්‍රා බණ්ඩාරනායක මල් කලඹ තබා සිය පියාණන්ට පුෂ්පෝපහාර දැක්වූහ. හිටපු ජනාධිපතිනිය පැමිණෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවෙකුත් එම ස්ථානයට පැමිණ සිටියේ නැත. ‘මම හැම වසරකම මේ ස්ථානයට ඇවිත් පියාණන්ට උපහාර දක්වනවා. මට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ උත්සවයට ආරාධනා කළේ නැහැ. ශ්‍රීලනිප උපහාර උත්සවයක් තියෙනවාද? කියලා මම දන්නේ නැහැ’ යැයි චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට දෙහි කැපුවාය.
මේ අතර චන්ද්‍රිකා සහ සුනේත්‍රා පිටව ගිය පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැමිණ බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක් වූහ.

විජයදාස රාජපක්‍ෂගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හෙවත් යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සුළු දේශපාලන පක්‍ෂවලින් දැඩි විරෝධතා මතුවෙමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය දැනටමත් එම සංශෝධනවලට දැඩි විරෝධය පළකර තිබේ. මැතිවරණයක දී එක් නියෝජිතයකු තේරී පත්වීම සඳහා තිබිය යුතු ඡන්ද ප්‍රතිශතය සියයට 12.5 දක්වා වැඩිකිරීමට කර තිබෙන යෝජනාව පිළිබඳව එම සුළු පක්‍ෂවල දැඩි විවේචනය එල්ල වී තිබේ. සුළු දේශපාලන පක්‍ෂ සඳහන් කරන්නේ ‘මේක ගෝත්‍රික පන්නයේ යෝජනාවක්’ ලෙසය. මීට අමතරව තහවුරු නොකළ වාර්තා සඳහන් කළේ ආණ්ඩුව සමඟ සන්ධානගතව සිටින සුළු පක්‍ෂ පවා විජයදාසගේ යෝජනාවලට විරෝධය දක්වන බවය. ‘මේක ආණ්ඩුවේ අවශ්‍යතාවයක් නෙවෙයි. අපට ආරංචි හැටියට මේ සංශෝධනවලට අගමැති මහින්ද රාජපක්‍ෂ පවා විරුද්ධ වී තිබෙනවා. ආණ්ඩුව මේ තරම් මෝඩකම් කරන්නේ නැති බව විශ්වාසයි. විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාට දැන් දේශපාලන වැඩ නැහැ. ඒ නිසා ඔය වගේ වැඩකරගෙන ඉන්නවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී තවත් දේශපාලන පක්‍ෂ විජයදාසගේ යෝජනාවලට එළිපිටම විරෝධය දැක්වීමට සූදානමින් සිටින බවය.

එක්සත් ජාතික පක්‍ෂයට සිදුව ඇත්තේ ‘මඟ හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹුනහී’ වැනි තත්ත්වයකි. පක්‍ෂ නායකත්වය පිළිබඳ අර්බුදය විසඳාගත නොහැකිව සිටින අතරතුරේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තවත් බෝම්බයක් එළියට දැම්මේය. ‘දැන් අපි මේ හඬපට ගැන බලබලා ඉන්න ඕනෙ නැහැ. කරපු අය ඒවා බේරා ගනීවි. අපි ළඟම එන මහමැතිවරණයට සූදානම් විය යුතුයි. වැඩකරන්න ඕනේ. එක එක බොරු දේවල් පස්සෙ යන්න ඕනෙ නැහැ. අපි බොරු දේවල් පස්සෙ යනකොට ආණ්ඩුව මහජන්දෙත් ජය ගනිවි’ යැයි එජාප මන්ත්‍රීවරු පිරිසක් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක යෙදී සිටියෝය.

මේ වනවිට රටේ ඇතිවී තිබෙන විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් සමඟ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව කතාබහ යටපත් වෙමින් තිබේ. පසුගිය දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීම අවස්ථාව වන විට මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව විශාල කතාබහක් මතුව තිබුණද ජනවාරි 03 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවන අවස්ථාවේ ඒ පිළිබඳව කතාබහ නිවී ගොස් තිබිණි. ඒ පමණක් නොව වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත්නොකළ යුතු බවටද නීතිපතිවරයා නිර්දේශයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පෙර කතානායකවරයා සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතාකොට මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැන කතාබහ කළේය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ මොහොතේ කතානායකවරයාට කියා සිටියේ තමන් වෙත එවා තිබෙන සියලුම නීතිමය ලිපි ලේඛන කෝප් කමිටුවේ ලේකම්තුමිය මගින් කතානායකවරයාට එවිය හැකි බවත් එම නීතිමය ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුව කතානායකවරයාට එකී විගණන වාර්තා මන්ත්‍රීවරුන් අතට පත් කළ හැකිද යන්න තීරණය කළ හැකි බවත්ය. එය එසේ තිබියදී පාර්ලිමේන්තුව කැඳවන දිනයේ නීතිපතිවරයා නිර්දේශ කොට එවා තිබුණේ විගණන වාර්තා මන්ත්‍රීවරුන් අතට පත් නොකළ යුතු බවයි. “එදා කතානායකවරයා කළේ නීතිපති එවලා තිබුණ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එක පමණයි. එහෙත් කතා නායකවරයාට තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතර යෝජනාවෙන් මේ විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට දෙන්න. මේවා විශාල මුදලක් වියදම් කොට සකස් කරපු වාර්තා. මේවා මහජනතාවට අයිති ඒවා. ඒ විතරක් නෙවෙයි දැන් වෙන වෙන කතා කියන්නේ නැතුව හැකි ඉක්මනින් කෝප් කමිටුව කැඳවන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම මම ප්‍රශ්න කරනවා විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට ලබාදීම ගැන කතානායකවරයාට තීරණයක් ගන්න බැරි ඇයි කියලා.” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

මේ වනවිට ඉරානය සහ ඇමරිකාව අතර ඇතිව තිබෙන විරසකය නිසා මැදපෙරදිග කලාපයේ යුද ගැටුමක් ඇතිවීම පිළිබඳ බියක් පැතිර යමින් තිබේ. මේ හේතුව නිසා මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් අවදානමකට මුහුණ දී තිබේ. මේ තත්වයන් පිළිබඳව එතෙර අපි සංවිධානයේ සාමාජිකයෝ එතෙර අපි සංවිධානයේ සභාපතිවරයා දැනුවත් කළහ. “මැදපෙරදිග කලාපයේ ඇතිවෙන සිදුවීම් නිසා ශ්‍රී ලාංකිකයෝ බය වෙලා ඉන්නේ. ලංකාවේ ආණ්ඩුවෙන් නිල ප්‍රකාශයක් ඒ ගැන කරලා නැහැ. අපිත් එක්ක ඉන්න පිලිපීන ජාතිකයන් කිවුවා එයාලගේ රටේ එයාර්පෝට් එක දැනටමත් සූදානම් කරලා තියෙනවා කියලා හදිසි අවස්ථාවක මැදපෙරදිග කලාපයේ ඉන්න පිරිස් ඒ රටට ගෙන්වා ගන්න. ශ්‍රී ලාංකිකයන් ගැනත් පියවරක් ගන්න කියලා ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙයි” කුවේට්හි එතෙර අපි සංවිධානයේ සංවිධායකවරයා සුනිල් හඳුන්නෙත්තිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් කීවේය. “ඔව් අපි මේ ගැන කතා කරන්නම්. වෙන රටවල් තමන්ගේ පුරවැසියන් ගැන විශාල අවධානයකින් ඉන්නේ. කනගාටුවට කරුණ අපේ රටේ පාලකයන් තීරණ ගන්නේ වෙනස් විදියට. දැන් එයාර් ලංකා එක තීරණය කරලා තියෙන්නේ තමන්ගේ ප්ලේන් ටික    මැදපෙරදිග කලාපයට නොගිහින් රූට් එක මාරු කරන්න. ඒත් වෙන රටවල් තමන්ගේ මිනිස්සු ගෙන්වා ගන්න මැදපෙරදිගට ප්ලේන් යවන්න සූදානම් වෙනවා.” හඳුන්නෙත්ති කියා සිටියේය.

එතෙර අපි සංවිධානයේ නායකයෝ හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළෝය. එහිදී තීරණය කෙරුණේ එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් ස්වදේශ කටයුතු ඇමතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමටය.

කස්තුරි



අදහස් (2)

හඬ පටයේ හුට පටය

Mf Saturday, 11 January 2020 11:24 AM

හ හඬ පටයේ හුට පටය................ ගොන් හරකෙක්. ආයෙමක් පාර්ලිමේන්තු යවන්න එපා.

:       87       3

BaminuarachchiSunday, 12 January 2020 05:06 PM

කුණුවූ තුවාලය රන්ජන් පාරවා ඇත. එහි සිදුවූ සහ සිදුවෙමින් පවතින සියලු දේ පිළිබඳ රටේ ජනතාව දැනුවත් විය යුතුයි. මෙතෙක් කිසිඳු රජයන්වලින් හෝ ආයතනවලින් සිදු නොවූ හෙළිදරව් හඬපට මගින් රන්ජන් සමාජගත කොට ඇත. වැරදි කළවුන් රන්ජන්ට බන වැදුණත් ඇති බහුතර ජනතාවක් අද ඔහු සමග සිටියි. ඉදිරි මහා මැතිවරණයේදී කිසිවකු නොලද ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඇති බහුතරයකින් පාර්ලිමේන්තුවට පැමිණෙන බව නම් කිව යුතුමයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට පැමිණෙනු ඇත. පක්ෂයකින් පැමිණියත් ස්වාධීනව පැමිණියත් මීළඟ මැතිවරණයේ ජනප්‍රිය පුද්ගලයා රන්ජන් වනු නොඅනුමානයි. දූෂිතයන් නොවන පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමට මග පෙන්වීම රන්ජන්ගේ හඬපට මගින් ජනතව දැනුවත්කර ඇත.

:       2       59

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site